(අ)හිමි සිහින -190

පොලිසි,උසාවි සහ සිරගෙවල් ඇත්තේ මිනිස්සුන්ට යන්නට නිසා ඒ තැන් වලට යන්නට බිය විය යුතු නැති බව මම හිතුවා.පොලිසියට යන්නේ වරදක් කර ඇති හෝ නැති බව තහවුරු කරන්නටයි. උසාවියෙන් එය ස්ථිර වුණොත් හිරගෙදර තිබෙන්නේ ඒ වරදට දඬුවම් විඳින්නටයි.අපව නිකරුණේ වරදකරුවෙක් කරන්නට කෙනෙක් වෙහෙසෙනවානම් කටත් බුද්ධියත් තිබෙන්නේ තමා වෙනුවෙන් කතාකිරීමටයි.මම ඒ පුවත ඇසීමෙන් පසු එසේ සිතුවා.

පොලිසියට යන දවස උදා වුණා.මේ දිනවල මට සිදුවෙන දේ සහ මා කරන දේවල් කිසිවක් මගේ දෙමාපියන් දන්නේ නැහැ.ඔවුන් දැන සිටියේ මා සුධාරකගේ අසනීපය සුව කරගන්නට සටන්කරන බව පමණයි.එහෙත් මගේ සහ සුධාරකගේ සමීපතමයන් සියලු දෙනාව සිදුවන සියල්ල ගැන මම දැනුවත් කර තැබුවා.

“අපි අහවලා ට කතාකරමු.අපි මේ මේ නිලධාරින්ට කතාකරමු.අපිට මෙයාගෙන් උදව් ගන්න පුලුවන්.අපි එන්නම් ඔයාගේ තනියට.  පොලිසියට තනියම යන්න එපා”

ඔවුන් එසේ කියද්දී මා ඒ ඉල්ලීම් සියල්ලම ආදරයෙන් ප්‍රතික්ෂේප කළා.

“නැහැ. මම වරදක් කරලා නැහැ.ඒ නිසා මට මේකට තනියම මූහුණ දෙන්න පුලුවන්. අවශ්‍ය වුණොත් මම කියන්නම් “

එසේ පවසා අදාළ  පොලිස් ස්ථානය වෙත මම පැමිණීමට ලබා දුන් වෙලාවටත් කලින් ගොස් රැඳී සිටියා.

“වෙලාවට වැඩකරන්න මැණිකේ.කිසිම දෙයක් අතපසුකරගන්න එපා” 

මේ සුධාරක නිතර පැවසූ සහ ක්‍රියාවට නැංවූ දෙයක්.එහෙත් වේලාවට වඩා පැයක් පමණ ගත වූ නමුත් පැමිණිලි පාර්ශවය නැහැ.

සෑහෙන වෙලාවක් ගත වූ පසු මඟුල් ගෙදරක යන්නට මෙන් සාරි ඔසරි වලින් සැරසී ගත් සුධාරකගේ මවත් සොහොයුරිනුත් මස්සිනාත් පැමිණියා.වෙනත් ගැහැනියකට නම් ඒ මොහොතේ මහත් කෝපයක් නැගෙන්නට ඉඩ තිබුණා. කලහකාරී වී ඔවුන්ට බැන වදින්නට තිබුණා.නමුත් මම තනිව සිනාසෙන්නට වුණා.ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. අර ඔවුන් පටලවාගෙන ආ වස්ත්‍රාභරණ කුමට හැඳගෙන ආවාදැයි මටම ලැජ්ජා සිතුණු නිසා. 

ආත්මය නග්න මිනිස්සු ඇඳුම් ඇඳීම විහිළුවක් බව මට සිතුණා.

පැමිණිල්ල විභාග කරන වෙලාව පැමිණියා.මා හා විනෝද චාරිකා ගොස් අවුරුදු උත්සවත් උපන්දින සාදත් එකට සැමරූ නංගී,දුවේ,පුංචි කියාගෙන එකටම සිටි මිනිසුන් පිරිසක් හා මා මුහුණට මුහුණ ලා සිටිනවා.මම ඔවුන් අනුරාධපුර සිට ආ පසු දැක්කේ අදයි.එතැන සුධාරකගේ පොඩි නංගී සිටියේ නැහැ.ඇය මා හා පසු කාලයේ නැවත කුළුපග වීම ගැන සෙස්සෝ උරණව සිටියාලු

ඒ නිසා සුධාරක බැලීම සපුරා තහනම් ලැයිස්තුවට ඇගේ නම ද ඇතුලත් කර තිබුණා. ඇයට අයිතියක් තිබුණත් ඇය ද එයට කරබා සිටියා මිස හඬක් නැඟුවේ නෑ.

“මෙයා අපිට Facebook එකේ නින්දා අපහාස කරනවා.අපිට මිනිස්සුන්ට මූණදෙන්න ලැජ්ජයි”

“මිසිස් අනුරාධා. ඇත්තද මේ කියන්නෙ”

“මෙහෙමයි රාළහාමි. මට ඉතාමත් කැත විදියට පහුගිය දින කීපයේ ෆේස්බුක් එකේ අපහාස කර තිබුණා. ඒ අතරතුර fake accounts කීපයකුත් තිබුණා.ඒවායේ මෙයාලා ගැන පේලි එකක් දෙකක් තිබුණා.මම ඒක කළා නම් වැඩිපුර මටම අපහාස කරගෙන මගේ විවාහ සහතික, දරුවාගේ උප්පැන්න  සහතික දාගෙන මේ මිනිස්සු ගැන එක පේලියක් දෙකක් විතරක් දාවි කියන එක තර්කානුකූල නෑ නේද? අනික ඒ බොරු ගිණුම් මගේ කියලා ඔප්පුවෙන විදියට මට සම්බන්ධ වන ලෙස ඒ  ගිණුම්වල  නම් දාගන්නේ නෑ නේද? ඒ නිසා මේක කරවලා තියෙන පාර්ශවය පැහැදිලියි.මේ අය මාව අපහසුතාවයට පත්කරන්නට කරන ඒවා මේ.”

ඉන් අනතුරුව සුධාරක වෙනුවෙන් මා සකසා තිබූ file එක පෙන්නා දිගු කතාවක් කෙටියෙන් කියූ මම දැන් ඔවුන් ලෙඩා බිල්ලට තබාගෙන කරනා නාඩගම් ද ඔවුන් ඉදිරියේ දිගහැරියා.පොලිස් නිලධාරියාට කාරණය වැටහුණේ එවිටයි.

“අයියෝ මේ කිසි තේරුමක් ඇති දේ නොවෙයිනේ.මේ මිස් ළඟ තියෙන සාක්ෂි වලින් පේනවා මේ සර් මේ මිස් එක්ක සතුටින් ආදරයෙන් ඉඳලා තියෙනවා කියලා.ඔය දෙගොල්ලොම මේ අවස්ථාවේ දී කරන්න ඕන ලෙඩා සනීපකරගන්න බලන එකනේ”

එසේ කියද්දී කිතුලට නැග්ග අය හේතු දක්වන්නට පටන් ගත්තා.

“අපිට කරන්න දෙයක් නෑ ලෙඩාගේ නීත්‍යානුකූල බිරිඳ එංගලන්තයේ සිට සියලු දේ මෙහෙයවනවා”

මට ද අසන්නට දේ තිබුණා

“මෙච්චරකල් ඔයාලට එයාව වහකදුරු වෙලානෙ හිටියේ.අනික එයාගේ ඕඩර්සවලින් ලෙඩා ගොඩදාගන්න මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ”

මගේ ප්‍රශ්න හමුවේ ඔවූන් නිරුත්තර වුණා. මා පොලිස් නිලධාරියාට අපේ සම්බන්ධය පටන්ගත් තැන පටන් සුධාරකගේ මහ ගෙදර අපි ජීවත්ව වූ කාලය ගැන වගේම මේ නෑයන් වෙනුවෙන් මා කළ කී දෑ සාරාංශ කර පැවසූවේ මා සතුව දුරකථතනයේ තිබූ ජායාරූප වීඩියෝ පට පෙන්වමින්.ඒවා බලා සිටි ඔහු

“ඕගොල්ලෝ මේ මිස් එක්ක හොඳටම ඉඳලා තියෙනවානේ ? මෙයා ඔයාලාගෙ ගෙදරත් ඉඳලා තියෙනවානේ… නේද අම්මා” ඇසුවා.

“අනේ මං දැන් වයසයිනෙ. මගේ ස්නායු දුර්වල නිසා මට දැන් මුකුත් මතක නෑ”

ඒ කතාව අසා ඉන්නේ කොහේදැයිවත් නොසිතා මට විශාල සිනාවක් ඉපදුණා.පැමිණිල්ල වැඩකට නැති එකක් හන්දාද මා වරදකාරියක වන බව ඔප්පු නොවන හෙයින් ද පැමිණිල්ල ඉක්මනින් විභාග කර අවසන් වුණා.මේ කට උත්තරය ලියා ගන්නට ලිපිනය විමසූවිට පදිංචිව සිටින සුදාරකගේ නිවසේ ලිපිනය මම පැවසුවා.ඒ සැනින් සුදාරකගේ මවට අපූරු ප්‍රශ්නයක් මතුවුණා 

“ආ ඒක කොහොමද මෙයාගේ ගෙදර වෙන්නෙ.ඒක සුධාරක ගේ ගෙදර ලිපිනයනෙ” 

පොලිස් නිලධාරියා හිස ඔසවා ඈ දෙස බැලුවා

“මේ අම්මට දැන් මොකුත් මතක නෑ කිව්වා නේද?එතකොට පුතාගේ ගෙදර ලිපිනය පමණක් හොඳින් මතක තියෙන්නේ කොහොමද?හරි පුද්‍රමයි නේ”

එවිට පවුලේ අය ඇයට නිහඬව ඉන්නැයි පැවසුවා.පොලිස් නිලධාරියා දෙපාර්ශවය එකතු වී රෝවී රෝගියා සුව කරන්නට උත්සාහ කරන මෙන් ද උඩ බලාගෙන කෙල ගසා ගැනීම තේරුමක් නැති බව ද ප්‍රකාශ කර සිටියා.නමුත් පඩික්කම තුළ මුහුණ ඔබාසිටින අයට උඩ බලාගෙන කෙළ ගසා ගැනීමේ අරුමයක් නැති බව දැන සිටියේ මා පමණයි.

“රාළහාමි කරුණාකර මේ පැමිණිලි අංකය සහ දිනය මට සටහන් කර දෙන්න.මට සිදුකල අපහාසය ගැන මේක රහස් පොලීසියේ සයිබර් ක්‍රයිම් අංශයට පැමිණලි කරන්නට අවශ්‍යයි” යැයි මම පැවසුවා.

අනුරාධා හිරේ විලංගුවේ දමන්නට බලාගෙන පැමිණියත් ආ  ලෙසටම හිස් අතින් සුධා‍රකගේ පවුලේ උදවිය නැවත හැරී ගිය අතර මගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් මමම සටන්කොට නිරුපද්‍රිතව පොලිසියෙන් එළියට බසින්නට මට හැකි වුණා.

ගැහැනියක් මුලු ගැන්වී නොසිටිය යුතු අතර සැමවිටම ඇත්ත මත ජීවත් වුණොත් තමාට තමා වෙනුවෙන් පෙනී සිටින්නට ශක්තිය ධෛර්යය ඇතිබව ද ගැහැණියක් දැන සිටිය යුතුමයි.එසේම පවත්නා නීති රීති ගැන අවබෝධයෙන් සිටීමව්ද ජීවිතයේ ඔබට එන බොහෝ ගැටලු වලදී අසරණ නොවී ඉන්නටත් බොරුකාරයන්ගෙන් ගැලවී ඉන්නත් ඔබට ශක්තිය ගෙනෙනවා.

මේ සියල්ල එසේ වෙද්දී පොලිසියෙන් පිටතට ආ සුධාරකගේ පිරිස මා එනතුරු ඔවුන්ගේ රථයට වී මඟ බලා සිටියා.ඒ කුමකටදැයි හෙට දැන ගනිමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles