පුංචිකාලේ උපන්දිනයක් එනතුරු ඇඟිලි ගනිමින් සිටියාට තරුණ වෙද්දී ඒ ගැන තිබෙන උනන්දුව ටික ටික අපෙන් ගිලිහෙනවා.මැදි වයසට එනවිට බොහෝ දෙනා උපන්දිනයක් එනවාටත් ටිකක් අකමැතියි.කවුද කැමති වයසට යන්න? නියම වයස කියන්නත් බොහෝ දෙනා දක්වන්නේ මැලිකමක්.
ජීවිතයේ බොහෝ තරුණ අවධියේ සිට සාගරයේ රළ සේ උස්පහත්ව වන විටෙක චණ්ඩ වන ජීවිතයක් ගෙවූ මට උපන්දිනවල විශේෂත්වයක් ඒ වනවිට තිබුණේ නෑ.ඒත් මේ එලඹෙන්නට තිබෙන්නේ තීරණාත්මක උපන්දිනයක් බව මගේ හිත කියමින් තිබුණා.ඔව්! සමහරවිට සුධාරක සමග මම ගෙවන අවසන් උපන්දිනය මෙය වන්නට පුලුවන්.
මම ඔහුගේ උසස්ම නිලධාරියා ඇමතුවා.ඒ විශේෂ ඉල්ලීමක් වෙනුවෙන්.
“හෙට මගේ උපන්දිනේ.සුධාරක මගේ ලබන අවුරුද්දේ උපන්දිනයට ජීවතුන් අතර ඉඳීද කියන්න බෑ.මට හෙට එයා එක්ක ඉන්නට ඕනෑ.සමහරවිට මගේ මුළු ජීවිතයටම මම ලබන හොඳම තෑග්ග ඒක වෙන්න පුලුවන්”
ඔහුද එවේලේ නිරුත්තර වුණා. තත්පර ගණනක් නිහඬව සිට සුසුමක් හෙළූ ඔහු”අනේ කරුණාකරලා හෙට යන්න” යැයි ඉංග්‍රීසි භාෂාවෙන් පැවසුවා.
සුධාරකත් මමත් දැන හැඳිනගත් දා පටන් බොහෝ බාධක දුක් කම්කටොළු මැද ආදරය කල දෙදෙනෙක්.පළමු ලිපිය ලියා අප දෙදෙනා සැබෑවටම මුණ ගැසෙද්දී වසර එකහමාරක් ගෙවී තිබුණ බව මම කලින් ඔබට කියා තිබෙනවා. අප දෙදෙනා ශාරීරික හා භෞතිකව කළ ආදරයකට වඩා එය මානසිකව කළ ආදරයක් බව මට සිතෙන්නේ ඒ නිසාමයි.
ඒ කාලයේ බොහෝ බාධා රැකවල් මැද කෙසේ හෝ හදාගන්නා ඉඩකින් ඒ මුණගැසෙන තත්පරයේ හිතට දැනුණු තිගැස්ම බිය හා නුහුරු බව එදා පුංචි කෙල්ලක්ව සිටි කාලයේ දැනුණා වගේම අදත් මෙතරම් අත්දැකීම් ලබා ජීවිතයේ පරිණත බව ලබා සිටියදී මගේ හදවතට සහ ගතට දැනෙමින් තිබුණා.
මම සුධාරක බලන්නට ඉඳහිට හෝ ගිය ඒ දවස් කිහිපයේම ඒ ඇඟ කිළිපොලා යන හැඟීම බිය මුසු නුහුරු බව මගේ හදවතට දැනුණා.ඒ කාටවත් ඇති බියකට නොවෙයි. මේ වනවිට අනුරාධා භය කරන්නට සමත් දෙයක් මේ මිහිපිට තිබුණේ නැහැ.අනුරාධා භය එක් දෙයකට පමණයි.හදවතට සමීප ආදරණීයයන් අහිමිවනවාට අනුරාධා බයයි.ඔව්! ඒහදවතක් ඇති ඕනෑම කෙනෙක් බියවන කරුණක්.
ඉතින් මගේ උපන්දිනය එළඹි දා උදෙන්ම මම මගේ සංසාර ගමන්සගයා බැලීමට රෝහලට ගියා.ඒ වනවිටත් ඔහු සිටියේ දැඩි සත්කාර ඒකකයේ.
මම සාමාන්‍යයෙන් හැඟීම්බර බව කොතරම් තිබුණත් වටපිටාව හොඳින් නිරීක්ෂණය කරන කෙනෙක්. කඳුල ශෝකය වැනි දේ අපේ හිත් ව්‍යාකූල කරමින් තියෙද්දී අපට නොදැනී අප අවට පරිසරයේ බොහෝ දෑ සිදුවිය හැකියි.ඔබේ බුද්ධිමත් බවින් ප්‍රයෝජනයක් ගත හැක්කේ ඔබ ප්‍රායෝගික වූවොත් පමණයි. ඒ නිසාම මම සුධාරක බලන්නට ගිය හැම දිනකම ඔහු අසලට යාමට පෙර ඔහුට සවිකර තිබූ යන්ත්‍ර වල සටහන් වන ඔහුගේ සෞඛ්‍ය තත්වය මුලින්ම විමසා බැලුවා. රෝගියෙකුගේ හෘද ස්පන්දනය,නාඩි වැටීම, රුධිර පීඩනය වැනි බොහෝ දේ එම යන්ත්‍ර වල සටහන් වෙනවා. එවිට වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගන්නා තෙක් හෝ ඔබට රෝගියෙකු පිළොබදව යම් අවබෝධයක් ලැබිය හැකියි.
තාක්ෂණය අද බොහෝ දියුණුයි අපි smart phone භාවිතා කර ඇත්තටම කරන්නේ මොනවාදැයි මට හිතෙනවා.තරුණ පරපුර වුණත් අන්තර්ජාලය අවභාවිතා කරනවා විනා ලෝකයක දැනුම අත්ල මත තබාගෙන ලෙහෙසියෙන් ඉගෙනීමට උත්සාහ දරන්නේ නැහැ.නමුත් මම අන්තර්ජාලයේ ඇති දැනුම් පද්ධති ප්‍රයෝජනයට ගන්නට බොහෝ කැමති කෙනෙක්
බොහෝ මිනිස්සු හරි නිර්මාණශීලී වෙන්නේතවෙකෙකුට පද හදන්න කතන්දර ගොතන්න නින්දා අපහාස කරන්නටයි.නමුත් ඔවුන්ට විවෘත මනසකින් ලෝකය දකින්නට බැහැ.උදාහරණයක් ලෙස අනුරාධපුරයේදී මා රෑ එළිවෙනතුරු සුධාරකගේ රෝගී තත්වය ගැන අන්තර්ජාලය පීරා කරුණු සොයනවිට ඔහුගේම නැගනිය මට පැවසූවේ බොරු වැඩ නවතා නිදාගන්නා ලෙසට.නමුත් මා ඒවාගෙන් සැළුණේ නැහැ.
සුධාරක අසලට යන්නට පෙර මා කරන පළමුවෙනි දේ ඔහුගේ සිරුරට සවි කර තිබූ යන්ත්‍රයේ සටහන්ව ඇති දේ තනිවම කියවාගැනීමයි.ඔහුගේ හෘද ස්පන්දන වේගය ඉතා අල්පව තිබූ අවස්ථා එමටයි.ඔහුට ඒ වනවිටත් කිහිපවරක් නිව්මෝනියා තත්වය ඇතිවී තිබුණා. ඔහු අසලටවත් යන්නට නොලැබුණත් අසල සිටියා සේම මා ඔහුට වන සියල්ල දැන සිටියා.ඒ ඔහු වටා සිටි අපේ ආදරය සියැසින් දැක ඒ ගැන දන්නා අය මට දිනපතා ඔහුගේ තත්වය නොසඟවා පවසන්නට තරම් කරුණාවන්ත වූ නිසාමයි.ඔහුගේ නෑයන්වත් දිල්හානිවත් ඒ කිසිවක් දැනහිටියේ නෑ.
මේ වනවිටත් සුධාරකට අත පය සෙලවීමට හැකියාවක් තිබුණේ නැහැ. අනුරාධපුරයේ දී ඔහු අත පය සොළවමින් සිටියා.මගේ සහ දියණියගේ කටහඬ ඇසෙනවිට යාන්තම් හිස එසවූවා.නමුත් දැන් එසේ වනවාදැයි යැයි පැවසීමට මා දැන සිටියේ නැහැ. ඔහු අසලම රැඳෙමින් ඔහුට නැවත ජීවිතය දිනන්නට අත්වැලක් වන්නට තිබූ මගේ හැකියාව නරුම හිත් ඇති මිනිසුන් කිහිපදෙනෙක් විසින් උදුරාගෙන තිබුණා.
ඔහු අසලට ගිය මම හිතේ ආවේගය තිබූ පලියට ඔහු බදා වැලඳ හඬා වැලපෙන්නට ගියේ නැහැ. අප කෙතරම් සංවේදී වූවත් ඒ අවස්ථාවට අනුකූලව බුද්ධිමත්ව මුහුණදිය යුතු බව මම සිතනවා.ජීවිතයේ බොහෝ වාරයක් වැරදෙන්නට පුලුවන්. ඒත් ඒවායෙන් අප යම් යම් දේ ඉගෙන ගන්නට ඕනෑ.නැතිවුවහොත් අපි හැමදාම පරාදයි.
සුධාරක යනු මරණය අසලට ගොස් නැවත ගොඩ ආ අසාධ්‍ය රෝගියෙක්. ඔහු තවමත් පසුවන්නේ එහි කම්පනයෙන්.ඔහුට අපට මෙන් සියල්ල එකවර වටහා ගන්නට හෝ දරාගන්නට බැහැ. ඔහුගේ මොළයේ යම් පමණකට හානි වී තිබුණා.එය කොපමණක් ද කියා කිසිවකු දැන සිටියේ නැහැ.මොකද ඒ වනවිටත් සුධාරකට MRI scan පරීක්ෂණ කිසිවක් සිදුකර තිබුණේ නැහැ.අනුරාධපුරයේදී එය කරන්නට වෛද්‍යවරු කිහිපවරක් උත්සාහ කළත් සුධාරගේ ඇඟේ යකඩ කැබලි තිබෙන්නට හැකි බව කියමින් ඔහුගේ සහෝදරියන් ඒ පරීක්ෂණ වැළැක්වුවා.එසේ නොවන බව මා කොතරම් පැවසුවත් කුමන හෝ හේතුවකට ඒ සියල්ල වැළකී ගියා.
මා ඔහුගේ රෝගී සයනය ඉදිරියට විත් ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටියා.වෙනදා මෙන් මහ හඬින් කෑගසාගෙන පැන මා බදා වැලඳගෙන සිපගන්නට එදා ඔහුට හැකියාවක් තිබුණේ නැහැ.
“ඔයාට සුබම සුබ උපන්දිනයක් මගෙ මැණිකේ.මං ඔයාට පණටත් වඩා ආදරෙයි”
කියන්නටත් එදා ඔහුට හැකියාවක් තිබුණේ නැහැ.
කඩිසර ගමනින් පපුතුරේ රැඳි පදක්කම් ගොන්නක් දරාගෙන අභීත සිංහ සෙයියාවෙන් ඇවිද ගිය ඒ ප්‍රතාපවත් මිනිසා එතැන සිටියේ නෑ.අත පය ගල් කරගත් ඇඟිල්ලක්වත් සොලවාගත නොහැකිව බලාගත් අත බලාගෙන තමාට සිදුවන්නට යන්නේ කුමක්ද තබා තමාට සිදුකරමින් ඉන්නේ කුමක්ද යැයි වත් නොදන්නා මිනිසෙක් සිහි තිබෙන නමුත් හදවතේ දහසක් සිතිවිලි දරාගෙන වචනයකින් හෝ ඒ කිසිත් ප්‍රකාශ කරගත නොහැකි ඉතා අසරණ මිනිසෙකු වී ඒ සයනය මත වැතිරී සිටිනු මා කඩා හැලෙන හදවතකින් බලා සිටියා.
ඇත්තටම ඒ දවස මට මගේ හුස්ම තිබෙනතුරු අමතක කරන්නට බැහැ. මේ කතාව පුරාවට මා කිසිදු ඡායාරූපයක් ඔබ සමග බෙදාගෙන නැහැ. ඒත් හෙට මම ඔබ සමඟ පලමුවතාවට එක ඡායාරූපයක් බෙදාගන්නට සිතුවා.
ඉතින් අපි හෙට ඒ සමඟ මුණ ගැහෙමු!