මේ හැමදේම නොසඟවා පවසන අතරම ඔබට නැගෙන ගැටලු සහගත තැන් වලට පිළිතුරු ද සපයාගෙන ම යන්නට මා උත්සාහ දරන්නේ.ඒ ගැටලු වලදී මටද ඔබට මෙන්ම සමහර තැන්වලදී වැටහෙන්නේ නැති තැන් එමට අදටත් තිබෙන නිසා.
ඔබ හැමෝටම ඇති ප්‍රශ්නයක් තිබෙනවා ඒ මේතරම් රටට ද්‍රෝහී වුණා නම් දිල්හානි කියන විදියට හැමෝම වැඩ කරන්නට හේතුවයි.අපේ රටේ නීතිය ගැනත් මහා ඉහළින් කතා කළාට නීතිය ක්‍රියාත්මක කරන්නට ගියාම ඇති මන්දගාමී ස්වභාවයත් මිනිස්සුන්ගේ ඇති ගැලවිජ්ජාවේ න්‍යායටත් සියල්ල යට යැයි මම ඉගෙනගත්තේ මේ කාලයේ.
දිල්හානි එසේ පැනගිය බව දන්නේ කිහිපදෙනෙක් පමණයි.සැබවින්ම ඇය කර කියා ඇති දේ ගැන ඇගේ දෙමාපියන් හෝ දැන සිටියේ නැහැ. ඇය වටා සිටින ඇගේ සමීපතම මිතුරියන්ට නෑයන්ට පවා ඇය කියා තිබෙන්නෙ මේ කතාවන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්.
අනෙක් සියලු දෙනා දන්නේ ඇය එංගලන්තයට වී රැකියාවක් කරමින් සුපිරි ජීවිතයක් ගතකරන බවයි.ඒ මදිවාට ඇය ඉතාම ගුණයහපත් අහිංසක ගැහැණියක් බවටත් සුධාරක ඇගේ දේපල කොල්ලකාගත් බවටත් තමාට දරුවන්ට නින්දිත ලෙස සැලකූ බවටත් දරුවන් හා ඇය ඔහු විසින් අපයෝජනයට ලක්කල බවටත් අදටත් ඇය නිවැරදි බවටත් පිලිගන්නා කොට්ඨාශයක් සිටිනවා.ඒත් ස්වභාව ධර්මය හරි ප්‍රබලයි.
ඇගේ සියලු ලිපි ලේඛණ මා අතට එන ලෙස සමහර දේ දෛවය විසින් මෙහෙයවා තිබුණේ හරි පුදුම විදියට.අදටත් ඇයට ඕනෑ තැනක ඕනෑ කෙනෙකුට බොරු කිය කියා යන්නට හැකියි.එහෙත් නීතිය හෝ සමාජය ඉදිරියට හෝ එන්නට නොහැකියි.ඒ ඇගේ සියලු සත්‍ය තොරතුරු සාක්ෂි සමග මා අත තිබෙන නිසා.
දිල්හානි මෙසේ රටට විරුද්ධව සාක්ෂි දෙන බව මා පවසන තුරු ඒගැන කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ.සමහර විට සමහරු සිතන්නට ඇති මම ඇය ගැන ඇති වෛරයකින් බොරු ගොතා කියන බව. බොහෝවිට ඔබත් එසේ සිතනවා ඇති. නමුත් සත්‍යය අප හිතනවාට වඩා හරි වෙනස්.දිල්හානිගේ සරණාගත ලිපි මා අදාල ආයතන හා පුද්ගලයන්ට ලබාදෙන්නට පටන්ගත්විට තමයි ඔවුන්ගේත් ඇස් ඇරුණේ.එහෙත් ඒවාට එසැනින් ක්‍රියාත්මක වන්නට අප රටේ නීති නැහැ.වසර ගණන් නඩු කියා තීරණයක් ලැබෙනවිට වෙන්න ඕන දේ වෙලා තිබේවි.
දිල්හානිගේ රාජ්‍ය විරෝධීභාවයට එරෙහිව උසාවි ගොස් ඇය වරදකාරියක බව ඔප්පුකොට සුධාරකට වෙන්න ඕන හරිය එතනින් එහාට තීරණය කරන තුරු මරණයේ දොරකඩ සිටින රෝගියෙක් නිරුපද්‍රිතව සිටීවිද?
ඇය රටට හා සැමියාට කරමින් ඉන්න විනාශයට වඩා විවාහ සහතිකයෙන් ඇයට ලැබී තිබුනු බලය ඉතා විශාලයි.සුධාරකට වචනයක් හෝ කතාකරගන්නට පුලුවන්කම තිබුණානම් මේ සියල්ල වෙනස්වන්නට තිබුණා.ඒත් හරි හැටි සිහි නැතිව ඉන්න මිනිසෙකුව ඔහු තමාට සිදුවන දෙය නොදැන මාරයා සමග තනිව සටන්කරමින් උන්නා.
සුධාරක ගේ ආයතනය තුල විවාහ සහතිකයට තිබුනේ විශාල බලයක්.ඔවුන් ඇත්ත දැන සිටියත් ඔවුන්ට එයට එරෙහිව යන්නට හැකියාවක් තිබුණේ නෑ.මට ඒ බව එහි උසස්ම නිලධාරියා පෞද්ගලිකව ම පවසා තිබෙනවා.සුධාරක ගේ මේ ගැහැණු දෙදෙනකුගේ කතන්දරය නිසා ඔවුන් උසාවි යන්නට කැමති නැති බව මට වැටහුණේ එවිටයි. ඒ මදිවාට වැරදුණු කුරුමානම් සියල්ල එළි වේයැයි බියෙන් සුධාරකට සිහිය එනවාට බිය වූ ඔහුගේ මව සහ සහෝදරියන්ද දිල්හානිගේ පැත්තට හේත්තු වී සිටීම බරපතල බව තව වැඩි කලා.
“අනුරාධා අපිට තේරෙනවා ඔයා තමයි සුධාරකව බලාගත්තේ.හැමදේම කළේ.අදටත් මෙයාව බේරගන්න ඕන ඔයාට විතරයි.ඒත් ඔයාට උදව් කරන්න අපිට බැහැ. අපිත් අසරණයි අනික් අය ඔක්කොම ඉන්නේ කණපිටට.ඕවාට උසාවි ගානේ රස්තියාදු වෙන්න අපට බැහැනෙ”
පිට රට වල බිරිඳගෙන් හෝ සැමියාගෙන් වෙන්වී හෝ නොවී වසර කිහිපයක් එකට සිටිවිට ඒ දෙපාර්ශවයටම යම් අයිතිවාසිකම් ලැබෙනවා සහ ඒ වෙනුවෙන් නීතිය ඉදිරියේ උවත් පෙනී සිටින්නට පුලුවන්කම ලැබෙනවා.නමුත් අපේ රටේ මොනතරම් මානුෂික හේතුවක් තිබුණත් එවන් බැඳීමකට ලැබෙන්නේ “හොර” “අනියම්” වැනි ලේබල සහ නින්දා අපහාස පමණයි. මගේ කතාව තුල සිදුවූ සත්‍ය තොරතුරු සියල්ල ගතහොත් විවාහ සහතිකයකට හා උප්පැන්න සහතිකයකට ඉතා සූක්ෂම ලෙස හා සාපරාධී ලෙස මනුෂ්‍ය ඝාතනයක් උවත් කිරීමට හැකියාව ඇති බව මට ඔප්පුකල හැකි තරම් සාක්ෂි තිබෙනවා. සත්‍ය වශයෙන්ම වෙනත් රටක වූවානම් මෙලහට සුධාරකගේ මුලු පවුලම අද ඉන්නේ සිපිරිගෙදරයි.
ඔබ කිහිපදෙනකු අසා තිබුණා දිල්හානිට ඇයි එච්චර බලයක් තිබුනේ ?කියලා ඇත්තටම බලය තිබුණේ ඇයට නොවෙයි ඈ අත තිබූ නීතිමය ලියවිල්ලටයි.ඒක ඇය සුධාරක ගොඩදාගන්නට නොවෙයි ඔහුගෙන් සසරේ කල කුමක්හෝ ගනුදෙනුවක් පියවාගන්නට අමානුෂික ලෙස යොදාගනිමින් සිටියා.
ඉතින් දැන් අපි නැවතත් කතාවට හැරෙමු.කරුණු කාරණා සියල්ල සාවධානව අසා සිටි ඇමතිවරයා මට අපූරු යෝජනාවක් ගෙනාවා.
“මිසිස් අනුරාධා.ඔබතුමිය ගන්න උත්සාහය විශිෂ්ඨයි.ඔබ ඇත්තටම මේ සුධාරකට ආදරය කරන බව පේනවා.ඔබ වැනි කාන්තාවන් ඇත්තටම අද කාලයේ දුර්ලභයි. ඒත් ඔබ මීට වඩා ඔබ ගැන සිතිය යුතුයි නේද?”
මට එක්වරම ඔහුගේ අදහස වටහා ගන්නට අපහසුවුනා.මොකද ඒ වනවිටත් මා ගැන සිතුවා නම් කරන්නට තිබූ බොහෝ දේ ගැන නොසිතා ආදරයක් වෙනුවෙන් මා කැපවුනේ හොඳ සිහිබුද්ධියෙන් වීමයි.
“සර් කියපු දේ මට වැටහුණේ නෑ”
“මෙහෙමයි අනුරාධා.මට වැටහෙන විදියට සුධාරකව සුවකරගන්නට යමක් කළ හැකිව තිබූ කාලයත් ටික ටික ගෙවිලා ගිහින් තියෙනවා.දැන් ලොකු දෙයක් කලත් එයාව යථා තත්වයටම ගන්න බැරිවෙයි.ජීවත් වුණත් ඉතිරි කාලයම එක්කෝ එක්තැන්වෙයි නැත්නම් රෝදපුටුවක ඉඳීවි.එයාගෙ පවුලේ අයගෙන් වෙන සෙතකුත් නැහැ නේ.ඒ නිසා ඔයා දැන් මෙයාව අතහරින එක තමයි කරන්න තියෙන හොඳම දේ”
මට එවේලේම නැගිට ඔහුට අත දිගහැර කම්මුල්පාරක් ගහන්නට සිතුණා.ඒත් හිතෙන හැමදේම කරන්නට අපට බැරි නිසා මා හිත ඇතුලෙන් ඔහුට සාපකරමින් හිටියා.ජනතාව වෙනුවෙන් පෙනී සිටින මිනිස්සුද මේ?
“සර් මට ඒක කරන්න බැහැ.සුධාරක ජීවිතයේ වැඩියෙන්ම විශ්වාස කළේ මාව එයාට මෙවෙලේ හරිහැටි සිහියක් නැහැ.මම එයාග්ගේ විශ්වාසය උපරිමයෙන් රැකිය යුත්තේ දැනුයි.”
“නැහැ මම මෙහෙම කිව්වේ ඔයා ගැන හිතලා.ඔබ තවම තරුණයි.මේ ලෙඩා ඔයා බාරගත්තොත් ඔයාට බොහොම කරදර වෙනවා.මෙයා වෙනුවෙන් ලොකු කාලයක් සහ මුදල් ඔයාට නිරපරාදේ වැයවෙනවා. ඔයාගේ දුව ඔයාගේ දුව එක්ක ඕක ඔයාට කරගන්න අමාරුයි.අනික සුධාරකට ඔයාට නීතියෙන් අයිතියක් නැති නිසා එයාගේ දීමනා දේපල කිසිදෙයක් ඔයාට ලැබෙන්නේත් නැහැ.ඔයාට වෙන්න යන්නේ පාඩුවක් මයි”
ඔහු කෙතරම් ප්‍රබල ඇමතිවරයෙක් උවත් ඔහුගේ මනුස්සකම ප්‍රබල නොවන බව පමණක් වටහාගත් මා මට අවශ්‍ය පිළිසරණ එතැනින් නොලැබෙන බව ඒ වනවිටත් අවබෝධකරගෙන සිටියා.ඒ නිසාම එතැනින් පිටව එන්නට මත්තෙන් අවසාන වරට මා ඔහුට මගේ අදහස මෙසේ කීවා.
“මෙහෙමයි සර්, එක එක්කෙනා ආදරය තක්සේරුකරන්නේ තම තමා ඒක විඳපු හැටියට හා කරපු හැටියටයි.නමුත් මම ආදරය දකින්නේ කොන්දේසි විරහිතව මානුෂිකව කලයුතු දෙයක් හැටියට.අපි ආදරේ කළා නම් හා සමාජයක් ඉදිරියේ නොබියව ඒ වෙනුවෙන් නැගී සිටියා නම් මරණයෙන් කෙලවර වනතුරු ඒ ආදරය රකින්න ඕනෑ.සුධාරක එයා ලෙඩ වුණාම මං එයාව අතහරීවි යැයි කිසිදා සිතන්නේ නැහැ.එයා සුවකරගන්නට මට පුලුවන් හැමදේම මම කරනවා.එක්තැන්වෙලා ජීවත්වුණත් මම මගේ හුස්ම තියෙනතුරුම එයාව ආදරයෙන් බලාගන්නවා.ආදරය කියන්නේ එක් අතකට පරිත්‍යාගයක්”
ඇමති තුමා ඒ කතාවට සැලෙන්නත් ඇති.
“මම එහෙම කිව්වේ ඔබතුමිය ගැන හිතලා.සුධාරක ගේ යම් දේපලක් සම්බන්ධයෙන් ඔබට හිමිකමක් ඉල්ලන්න ඕන වුණොත් කියන්න මම කරලා දෙන්නම්”
මට ඒකට නම් සිනාගියා.
” ඇත්තටම නම් සර් අයිතියක් නැති මම කරන්න ඕන කියල හිතන වැඩ තමයි අයිතිය තියෙන අය කරමින් ඉන්නේ. අද කාලේ පිරිමියෙකුට ලංවෙන බොහෝ ගෑණු එන්නේ එයාගෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්න බලාගෙන.පිරිමියෙක් නඩත්තු කරන්න බලාගෙන ගෑණු එන්නෙ නෑ.නමුත් මම තමයි සුධාරකව රැක බලාගත්තේ.අපි ඉන්නා එයාගේ නිවස පවා මා පසුකාලීනව වියදම්කර හැදුවේ ඉන්නා තාක් කාලයක් අපිට සතුටින් ඉන්නයි.ඒවා මට අයිති වන්නේ නැති බව මම දන්නවා. මට ඒවා අවශ්‍යත් නැහැ. මට වටින්නේ එක දෙයයි ඒ මගේ සුධාරක රෝදපුටුවක හෝ ජීවත්කරගැනීම විතරයි.මට වෙන කිසිදෙයක් අවශ්‍ය නැහැ. ඔබතුමා මා වෙනුවෙන් වෙන්කල කාලයට බොහොම ස්තූතියි”
මා සමඟ ගිය ස්වාමීන්වහන්සේවත් මිතුරාවත් කිසිදු වචනයක් කීවේ නැහැ.ඒ ඔවුන් මා ගැන දන්නා නිසා. මට කේන්ති ගොස් සිටිබව ඔවුන්ට ද වැටහුණා.තවත් තත්පරයක් වත් ඒ ජනතා නියෝජනය යැයි කියාගන්නා මිනිසා ලඟ වැය නොකළ මා කෙතරම් කෝපයක් හිතේ තිබුණත් මගේ ගෞරවය වචනයකින් හෝ නොකෙලෙසෙන ලෙස හැසිරී එතැනින් එන්නට ආවා
කතාවක් තියෙනවා “යුද්ධයේදී දරුණුම සටන් ලබාදෙන්නේ හොඳම සොල්දාදුවන්ටයි” කියලා.නිවට වී පලා යනවාට වඩා සටන් කර පැරදීම හෝ මියයාමත් වීරකමක්.රෝමියෝ ජූලියට් වැනි ප්‍රේමකතා ඒ කාලයට විශිෂ්ඨ විය හැකියි.ඒත් ප්‍රේමය වෙනුවෙන් එක්ව මියයනවාට වඩා ප්‍රේමය වෙනුවෙන් එකෙක් වැටුණු විටදී හෝ අත්නොහැර එකිනෙකා වෙනුවෙන් නැගීසිටීම තරම් ශ්‍රේෂ්ඨ කැපකිරීමක් ඇතැයි මා සිතන්නේ නැහැ.
මං තවදුරටත් සටන් කරන්නට තීරණය කළා