ප්‍රේමයේ අභිමන් – 28

රාත්‍රිය උදා වූයේ හෙමිහිට ය. උඩු මහලේ භෝජන සංග්‍රහය උනුන් අවබෝධ කර ගැනීමේ කතා බස් වලින් සමන්විත ව ළයාන්විත ලෙස කෙරී ගෙන ගියේ ය. එහිදී සසංක වැඩිපුර උනන්දු වූයේ අපරාජිතා ගේ මව්වත් හද මඬල ගැන ය. ඇගේ දෑස් වල වන කරුණාබර ශාන්තිය සම කළ හැකි වන්නේ මහාමායාව ගේ හෝ මරිය මව්තුමිය ගේ දයාවේ දෑස් වලට පමණක් යයි ඔහු ට විශ්වාස කරන්නට සිදු විය. අපමණ වැරදි කරනා මනුෂ්‍යයෙකු හෝ කෝපයකින් වෛරයකින් හෝ ද්වේශයකින් තොර ව වැළඳ ගත හැකි මහා කරුණා හදවතක් ඇත්තේ අම්මා ට පමණක් බව ඔහු යළි යළිත් ප්‍රත්‍යක්ෂ කර ගනිමින් සිටියේ ය. ඈ ළඟ ඔහු ට දැනුණේ තමන් කුරු කුහුඹුවෙකු සේ ය. අනන්‍යා ට තිබුණේ ද එවන් කුරු කුහුඹු ආත්මයකි. 

සසංක නික්ම යත්දී ගැහැනු තිදෙන ම බැල්කනියට ගියහ. ඔවුන් ගේ හදවත් වල ඔහු වෙන වෙනත් ස්වරූප වලින් ඉඩක් වෙන් කර ගෙන සිටියේ ය. පොදුවේ “ගුඩ් නයිට් එහෙනං” කියූවද ඔහු ගේ ඇස් වල ඊට වඩා පෞද්ගලික වූ සමු ගැනීමේ බැල්මක් අපරාජිතා වෙතට හෙලූ බැල්මෙහි තිබී අනන්‍යා හැඳින ගත්තා ය. “මහන්සියි අප්ප” කියා ගෙන අනන්‍යා යහනට ගියා ය. අපරාජිතා කඩිනමින් කුස්සිය අස් කොට ඇඟ සෝදා ගත්තා ය. ඇයට සැනසීමක් දැනිණ. මොනවා වුණත් දැන් අනන්‍යා ඈ ළඟ ය!

කියන්නට ගොඩක් දේවල් දේශිකා ට තිබිණ. නමුත් අනන්‍යා ඉන්නා තැන ඒවා කිව නො හැකි ය. නිදි වාගේ සිටියාට ඈ නොනින්දේ සිටින්නට බැරි නැත. 

“අපි දෙන්න බිමින් බෙඩ් ශීට් එකක් දා ගමු”

අපරාජිතා ඇතිරිල්ලක් අතට ගත්තා ය. ඇනෙක්ස් එකට වන්නේ එක කාමරයකි. එය යුගල යහනකි.

“අම්…මි…අනේ අපි තුන් දෙනාම ඇඳේ නිදියමු”

අපරාජිතා ට අනන්‍යා සම්බන්ධ කිසිත් නො කියා සිටි එක හොඳ යයි දේශිකා ට සිතුණේ ඈ එසේ කියත්දී ය. යුගල යහනේ හරස් අතට ඇඳේ වැතිරෙත්දී අපරාජිතා ගේ මුවග මඳහසක් විය. මොනවා නැති වුණත් ආදරය විතරක් අත පොවන මානයේ තියෙනා එක කෙතරම් සැනසිල්ලක් ද?

අනන්‍යා අම්මා ගේ බඳ වැළඳ ගෙන ඇයට තුරුලු වූවා ය. මේ පිරිමියෙකු ට තුරුලු වී ටික කලක් හෝ සිටි ගැහැනියක නේද කියා අපරාජිතා සිතුවේ නැත. 

“ඔන්න ඉතිං නාකි හුරතල් වෙන්න ගත්තා”

දේශිකා බොරුවට තරවටුවක් කළා ය. 

“අම්මි හිටියනං කියල මට එහෙදි කී සැරයක්නං හිතිල ඇද්ද…”

“අම්මි ඉන්නවනෙ පුතේ. ඔයාට කතා කරන්න ඕන වෙන ඕනම වෙලාවක…වෙලාව කීය වුණත් අම්මිට කතා කරන්න බැරි කමක් නෑනෙ”

අපරාජිතා දියණිය ගේ හිස කේ අතර අතැඟිලි යවමින් හිස පිරිමැද්දා ය. අනන්‍යා ගේ ඇස් ලොව්තුරු සුවයකින් පියැවිණ.

“පහුගිය ටික කාලෙ නොවෙන්න ඕන හුඟක් දේවල් වුණා පුතේ. දැන් ඉතින් ඒව ගැන කතා කරල වැඩක් නෑ. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතේ වෙනුවෙන් වර්තමානෙ හරියට ජීවත් වෙන එකයි මනුස්සයෙක් කරන්න ඕන බුද්ධිමත්ම දේ” 

“දැන් තාත්ති හොඳට ඉන්නව ඇතිනෙ..සතුටෙන්…”

අනන්‍යා ගේ ස්වරයේ සඟවා ගත් කඳුළක් විය. අපරාජිතා ඇගේ හිස සිම්බා ය.

“සතුටෙන් ඉන්න තමයි ඕනෙ. ඔයා දන්නෑ පුතේ. තාත්තියි මායි එකට හිටිය ජීවිතේ කවදාවත් සතුට තිබුණෙ නෑ. ඒක ප්‍රපෝසල් එකක්. ප්‍රපෝසල් එකක් කියන්නෙ…තාත්තිම තමයි සීයගෙන් මං ගැන අහල තිබුණෙ. දෙතුන් සැරයක් ආදරේ නිසා තුවාල වෙලා හිටිය මං ඔන්න ඔහේ ඕන දෙයක් කියල ඒකට කැමති වුණා. දෙන්නෙක් එක ජීවිතයක් ගත කරන්න එක ගෙදරකට වෙනව කියන එක අපි හිතනවට වැඩිය කොච්චර සංකීර්ණ දෙයක්ද කියල මට තේරෙන්න ගත්තෙ ඊට පස්සෙ. මං උත්සාහ කළා තාත්තිව තේරුං අරං ආදරෙන් ජීවත් වෙන්න. ඒත් අපි දෙන්න පාරවල් දෙකක යන දෙන්නෙක්. කවදාවත් එයාට ආදරේ වෙන්න මට බැරි වෙන්නැති. ඒකට හේතුව එයා ජීවත් වුණේ මං ආස විදිහට නෙවෙයි. අපි කොහොම කතාවට කිව්වත් නොගැලපීම් ගලපගන්න ඕන කියල…ඒක කොච්චර ප්‍රායෝගික ද කියල තේරෙන්නෙ ඒක ඇතුළෙ ඉන්න අය විතරයි. දෙන්නෙකුට එකට බැඳිල ඉන්න පුළුවන් වෙන්නෙ ඒ දෙන්නා දෙන්නව අපූර්වත්වෙකින් දකිනවනං තමයි. ඒක වශීයක් ආකර්ෂණයක් වෙන්නත් පුළුවන්. එහෙම කිසි දෙයක් නැති තැනක අපිට කතා කරන්න හරි දෙයක් තිබුණනං ඒ ඔයා ගැන විතරයි. මං කවදාවත් තාත්තිට දොස් කියන්නෑ. මොකද අපි දෙන්නම මහන්සි වුණා ඒ කසාදෙ තියාගන්න…ඔයා නිසා. හැමදාම තමන්ව රවට්ටගෙන ජීවත් වෙන්න බෑ. මං නිසා නොලැබෙන සතුටක් තාත්ති පස්සෙ එළියෙන් හොයන්නැති. ගෑනු ගතියට මුලදි රණ්ඩු වුණාට පස්සෙ මං එයාව තේඑුං ගත්තා. මං සද්ද නැතුව හිටිය තාත්ති ඕන දෙයක් කර ගත්තදෙං කියල. ඕනනං එයා යන්න යාවි කියල. අනිත් එක පිරිමියෙක්ට ගෙදරින් පිට තව ගෑනු කෙනෙක් එක්ක පැටලිල්ලක් තියනව කියන එක සාමාන්‍යකරණය කර ගන්න තරං දේවල් මං එළියෙදි දැක්කා. ගෙයි බත් තම්බන නිකංම ගෑනියෙක් නෙවෙයි නිසා මං ඒක දිහා ඇති හැටියෙන් බලන්න මහන්සි වුණා. ඒක ලේසි නෑ. සෑහෙන්න අමාරුයි.මට හුඟක් රිදුණා. මාව ප්‍රතික්ෂේප වෙලා ඉවරයි කියන තැන ඉඳන් හිතන එක…මං තාත්තිට කවදාවත් ආදරේ කළේ නෑ කියල දන්නව වුණත්…අපි අතරෙ තියෙන්නෙ නීතියෙන් ඇති කරපු කසාදෙකුයි එකට කාලයක් ජීවත් වෙච්ච නිසා ඇති වෙච්ච බැඳීමකුයි විතරයි කියල දන්නව වුණත්…එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනව කියල දැනගන්න එක…ගෑනියෙක්ට මරු පහරක්. හිත තද කරන් මං බලං හිටිය එයා යයි කියල. ළඟදිම දවසක කියයි කියල එයාට යන්න ඕනයි කියල. කාලෙ කොච්චර ගෙවුණත් එයා එහෙම කිව්වෙ නෑ. එයාට එහෙම ධෛර්යක් තිබුණෙ නෑ. ගොඩක් පිරිමින්ට එහෙම තද තීරණයක් ගන්න ශක්තියක් නෑ කියන එකත් මං කාලෙත් එක්ක සමාජෙන්ම ඉගෙන ගත්තා. ඒකයි හුඟක් පිරිමි වෙන සම්බන්දයක් තිබුණත් ගෙදරත් බැලන්ස් කරං ඉන්නෙ. ඕව දුරට දිගට හිතනකොට මං තව තව කලකිරුණ එකයි වුණේ. ඒත් ඔයාට යමක් කමක් තේරෙනකල්…අඩු ගානෙ ඔයා ඉස්කෝලෙ ගිහිං ඉවර වෙනකල් මං බලං හිටිය. එතකොට ඔයාට ප්‍රශ්නෙ තේරෙයිනෙ..අපි වෙන් වෙන්නෙ එකට ඉන්න බැරි නිසා කියන එක තේරෙයිනෙ…එතකොට ඔයා අපි දෙන්නටම වෛර නොකරයිනෙ කියල. අන්තිමට මං ඩිවෝස් වෙමු කියපු වෙලෙු තාත්තිගෙ මූණෙ මං දැක්කෙ මහ පුදුම සැනසිල්ලක්. ඒ අවුරුදු ගාණම එයාට කියාගන්න ධෛර්යක් තිබුණෙ නැති…ඒ වුණත් කියන්න ඕන වෙලා තිබුණ දේ මං කිව්වහම දැනුණ සැනසිල්ල ඒ…එවෙලෙ මට හිතුණා අපරාදෙ ඇයි මං මේ මනුස්සයව කලින් නිදහස් නොකළෙ කියල…ඒත් පුතේ…මගෙ බලාපොරොත්තු ගඟට කපපු ඉණි වගේ වුණා. මට කොයි පැත්තකින්වත් සැනසිල්ලක් නැති වුණා. තාත්තිට වෛර කළා විතරක් නෙවෙයි ඔයාගෙ හිතත් අවුල් කර ගත්තා..මට දැං ඕන එක දෙයයි. මෙතන ඉඳලවත් ඔයා ජීවිතේ ලස්සනට අලුතෙන් පටන් ගන්න එක විතරයි. මට මේ වයසෙදිත් ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු දලු දානව. ඉතිං ඔයාට බැරි ඇයි…ට්‍රෙවින් කියන්නෙ ජීවිතෙන් ඔයා ඉගෙන ගත්ත පාඩමක්නං…ඒ පාඩමේ හොඳ ප්‍රතිඵලයි ඉස්සරහට එන්න ඕන. මේ පුංචි ජීවිතේ අපිට කාටවත් වෛර කර කර ඉන්න වෙලාවක් නෑ. ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට හතළිස් ගාණක් ගෙවිල ඉවරයි. සතුටයි අපි හොයා ගන්න ඕන පුතේ. අපේ සතුට විනාස කරන්න පුළුවන් පාරවල් නෙවෙයි”

අපරාජිතා ගේ ඇසින් ගිලිහුණ කඳුළක තෙත අනන්‍යා ගේ හිසට දැනිණ. මීට පෙර වෛද්‍ය පාරේ ගෙදරදී ද අම්මා ගේ කඳුළු වල සීතල ඇය ට කොතෙකුත් දැනී තිබේ. ඈ සිටියේ අපරාජිතා ගේ පපුවේ හිස ඔබා ගෙන ඈ වැළඳ ය. උන් හිටි ගමන් අහිමි වූ අම්මාගේ උණුහුමත් තාත්තා අන්සතු වීමේ වේදනාවත් යන දෙක ම ඇය ට්‍රෙවීන් වෙත බැඳ දැමුවාය යන සත්‍යය අනන්‍යා ඉදිරියේ නග්න ව බලා සිටින්නට විය.

අම්මා හඬනු හා හූල්ලනු වසර ගණනාවක් තිස්සේ අනන්‍යා අසා හිඳ තිබේ. අපරාජිතා අනන්‍යා සමග යහන බෙදා ගෙන නිදන්නට ගියේ අරවින්ද රොෂෙල් සමග විදෙස් සංචාරක නියුතු වූ බව මුලින් ම දැන ගත් දා ය. එදා ඔහු ගෙන් මුලුමනින් මිදෙන්නට ඇය ඇතුළාන්තයෙන් ම තීරණය කොට ගත්තා ය.  එදා අම්මා ගැන නො දැනුණ දුකක් දික්කසාදයෙන් පසු තාත්තා ගැන දැනුණේ ඇයි දැයි සිතමින් අනන්‍යා ට නින්ද යමින් තිබිණ.

එදා අරවින්ද ට නිදි වර්ජිත රාත්‍රියක් වූයේ ය. ඔහු සමාජ ශාලාවට නොයා සිටියේ උදේ ත් රොෂෙල් ඇනුම් පද කී නිසා ය.

“දූ සිඟිත්ත ලංකාවට ආවට පස්සෙවත් බීගෙන ගෙදර එන එක නවත්තයිද බලමුකො. එහෙම නොවුණොත් ඔය බොනව ඇත්තෙ දුව නිසා නෙවෙයි අම්ම නැති වෙච්ච දුකට තමයි”

ගැහැනුන් කියන්නේ කිසිවකින් තෘප්තිමත් කළ නො හැකි ජාතියක්ද යන පැනය අරවින්ද ගේ සිත් හි ඇති වන්නට පටන් ගෙන තිබේ. අපරාජිතා සමග උන් සමයේත් ඔහු ට ඒ පැනය තිබිණ. කිසිදු අඩු පාඩුවක් නොවුණේ වී ද ඇය සතුටෙන් නො සිටි වග ඔහු ට විශ්වාස ය. ඒ කාලේ අඩු නැතිව ඔහු ව සතුටෙන් තැබූ රෝෂෙල් ද විවාහයෙන් පසු කිසිවකින් සෑහීමට පත් වන්නේ නැත. ඔවුන්ට උවමනා පිරිමින් ගේ හදවත ගලවා අතට ගෙන පෙන්වන්නද කියා ඔහු ට සිතෙන වාර ගණන අපමණ ය.

ගුවන් තොටුපොළේ දී ද අනන්‍යා ඔහු ව ගණන් ගත්තේ නැත. ඉස්සර තාත්තී කියාගෙන ඇඟේ දැවටුණ කෙල්ල ඒ තරම් දුරස් වෙතැයි අරවින්ද බලාපොරොත්තු වූයේ ම නැත. තාත්තා කෙනෙකු ගේ හිත දුවකට පෙන්වා සිටින්නේ කොහොම ද? කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් ඔහු සිතුවේ ය.

අපරාජිතා ගෙන් වෙන් ව රොෂෙල් වෙත ආවාය කියා ජීවිතයට වූ වෙනස හෝ හිතට ලැබුණ සතුට කුමක්ද කියා අරවින්ද කල්පනා කළේ ය. එදා අපරාජිතා වෙන් වෙමු කී දවසේ දැනුණ සැනසුම ක්ෂය වී යන්නට මහ කාලයක් ගියා නොවේ. කොහේ හෝ තැනක් වරදා ගෙන මිනිසුන් ජීවිත කාලයක් පඹ ගාලක පැටලී හිඳ මිය යනවා වන්නට පුළුවන. සතුට කියන්නේ අනුන් ළඟ ඇති දෙයක් නොවේ. එය වන්නේ තමා තුළ ය. එය සොයා ගන්නා වූ ප්‍රතිශතය පුද්ගලානුබද්ධ ය. සාපේක්ෂ ය. අපරාජිතා නැති වූවාට වඩා දරුනු පහුරුගෑමක් අනන්‍යා ඔහු ගෙන් දුරස් වී ඇතැයි සිතෙත්දී අරවින්ද ට දැනෙයි.

උදේ ම අරවින්ද අපරාජිතා ට කතා කොට අනන්‍යා සමග දවස ගෙවන්නට අවස්ථාව ඉල්ලා සිටියේ ය. 

“මං ගෙනත් ඇරලන්නං ඔෆිස් එක ළඟට”

ඇය හෙමිහිට කීවා ය. නමුත් පියා වෙත යාම අනන්‍යා තරයේ ප්‍රතික්ෂේප කළා ය. අවසන අරවින්ද ට ඇමතුමක් ගෙන අනන්‍යා ට දුරකතනය දෙන්නට අපරාජිතා ට සිදු විය.

“මං මෙහෙ ඉන්නං ඉතිං”

ඇය කීවේ නො සැලකිලිමත් ව ය.

“තාත්ති එක්ක ටික වෙලාවක් ඉමු පුතේ. ලන්ච් අරගෙන එහෙම මං ඔයාව අම්මි ඉන්න තැනකට ඩ්‍රොප් කරන්නං”

“ඒත් මට ඕන නෑනෙ”

“ඒ කියන්නෙ ඔයාට තාත්ති එක්ක කෑම ටිකක් කන ගමන් කතා කරන්න ඕනත් නැද්ද…”

“අනේ ප්ලීස් තාත්ති. මට බල කරන්නෙපා”

“තාත්තිට ඔහොම කතා කරන්න එපා අනන්‍යා”

එහෙම කීවේ අපරාජිතා ය. අනන්‍යා අම්මා වෙත දුරකතනය පෑවා ය.

“අරවින්ද. එයාට දවසක් දෙකක් දෙන්න”

“හ්ම්”

එපමණකි. මේ බැඳුම් මේ විදිහට බිඳී ගියේ සසර කොතැනක සිදු වූ වරදක් නිසා දැයි අපරාජිතා සන්තාපයෙන් යුතුව සිතුවා ය. අනන්‍යා ගේ හදවතේ බිඳී ගිය සියුම් කොටස් යළි පෑහිය හැක්කේ කෙසේ දැයි මුල සිට සිතිය යුතු විය. 

සති අන්තය වූයෙන් සසංක ගෙදර හිටියේ ය. ඔහු උදයේ ම ගෙන ආවේ ආරාධනයකි. ඒ අනන්‍යා වෙනුවෙන් දිවා ආහාරයක් ඔහු ගෙන් ලැබෙනා බවයි.

“ආව්. නියමයි”

ඇය සතුටෙන් පිළිගත්තා ය. සසංක කියන්නේ බිඳුණ හිතක සන්සුන් ලෙස ඔසු ගැල්විය හැකි සංයමයක් ඇති මිනිසෙකු ය යන විශ්වාසය අපරාජිතා තුළ වගා වෙමින් පැවතිණ. අනිත් අතට අනන්‍යා ගේ ඇස් වල සසංක නිසා ඇති වන සතුට අපරාජිතා ට නම් හුරු පුරුදු එකකි. ඉස්සර අනන්‍යා අරවින්ද ළඟ දැවටෙත්දී ඇස් වල තිබුණේත් ඔය දීප්තිය බව ඇය ට මතක ය. සසංක යනු අරවින්ද නොව නුපුරුදු පිටස්තර පිරිමියෙකු නිසා අනන්‍යා ඒ ළෙංගතු කමට වැරදි අර්ථකතනයක් දෙන්නට ඉදිරිපත් වන බව අපරාජිතා දනී. අනන්‍යා ඉන්නේ ඒ වාගේ කලබලකාරී වයසක ය. වියවුල් මානසිකත්වයක ය.  අරවින්ද ඈත් වීම ඇයට කෙතරම් රිදවූවා ද, එවැනි රිදුමක් කොහෙත්ම නැත කියා හඟවනු වස් ද අරවින්ද ට රිදවනු වස් ද ඈ සිය සිත්හි පහසු හැඟීමක් ඇති කළ පිරිමියෙකු වෙත බැඳීමේ තත්වය තේරුම් ගන්නට අපරාජිතා ට නුපුළුවන් කමක් නැත. 

පෙර දා රාත්‍රියේ දේශිකා ගේ තරවටු කිරීමෙන් පසු අනන්‍යා සසංක ට කතා කළේ නිශ්චිත ආමන්ත්‍රණයකින් තොරව ය. නමුත් ඇය ඔහු අස වඩාත් හුරතල් පෑවා ය. 

“කොච්චර වුණත් අනන්‍යා ට සසංකට ලං වෙන්න ඕනවට වඩා ඉඩ දෙන්න එපා. ගින්දරයි පුළුනුයි ලං කරහම මොකද වෙන්නෙ කියල මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ”

සසංක කැටිව ගිය බොජුන් හලේ දී දේශිකා අපරාජිතා ගේ සවනට මිමිණුවා ය. අපරාජිතා ගේ උගුර ගොළු ගැහී තිබිණ. නමුත් ‘මට සසංක විශ්වාසයි’ කියා කියන්නට ඇයට ඕන වී තිබුණේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles