ප්‍රේමයේ අභිමන් – 30

සසංක ක්ලච් එක හා බ්‍රේක් පැඩලය මත දෙපා තැබුවේ මෘදු ලෙස ය. මේ මොහොත අභියෝගයක් වන බව ඔහු දැන සිටියේ ය. නමුත් ඒ අභියෝගය මගැර පලා යා නො හැකි ය.

හිරු මඬල ගිනි ගනිමින් තිබිණ. අනන්‍යා දිගු අඩි තැබුවේ හිරුගේ පෙළීමෙන් ඉක්මනට මිදී බස් නැවතුම තෙක් යන්නට ය. සසංක ගේ දම් පාට වොක්ස්වැගන් බීට්ල් රිය දුටු ඇගේ මුවට මන්දස්මිතයක් ආවේත්, දෙපා වල වේගය අඩු වූයේ ත් එකට ම ය. කාලය මැන බලා හරියට ම තත්පර වෙමින් ඔවුහු දෙදෙන එක ම තැනෙක නතර වූහ. අනන්‍යා ගේ මුව මඳහස ලස්සන සිනහවක් ලෙස හොඳින් පිපී තිබිණ. සසංක රිය කවුළුවෙන් එබී ඇදෙස හොඳින් බැලුවේ ය.

“කොහෙද මේ යන්නෙ…”

“යාළුවෙක් බලන්න”

ඇය දඟකාර ලෙස කීවා ය. සසංක සිය අවු කණ්ණාඩිය ගලවා කැබිය මත දැමුවේ ය.

“ඉතිං මේ පයින් යන්නෙ…ළඟ ද ඉන්නෙ යාළුව…”

“නෑ…මහරගම. බස් එකක් ගන්නව”

“ඉතිං අම්මට කිව්වනං ගිහිං දායිනෙ”

“අම්මි නෑ. රෙකෝඩින් වලට ගිහින්”

“ඉතින් අම්ම දන්නවද ඔයා බස් එකේ යනව කියල…”

“නෑ…ඕකෙ ඉතිං කියන්න දෙයක් නෑනෙ. මොකෝ මං ඉංග්ලන්ඩ් වල ඉන්නකොට යන යන තැන අම්මිට කියල ගියායැ. අනික මේ ටික බස්සෙකේ යන්න බැරි කමක් නෑ”

“නගින්නකො කා එකට”

සසංක ඒ ඇරයුම කළේ කල්පනාවෙනි. අනන්‍යා සතුටෙන් රියට ගොඩ වූවා ය. 

“තෑන්ක්ස්”

රිය හෙමිහිට ඉදිරියට ඇදිණ. අතුරු පාරවල් දෙකක් ම හමු විය. අනන්‍යා දෑස් හකුලා ගෙන සසංක දෙස බැලුවේ එතකොට ය.

“හරවන්නැද්ද…”

“ගෙදර යමු”

සසංක ඇදෙස නොබලා ම සන්සුන් ලෙස කීවේ ය.

“අනේ…මං හිතුව මාව ඩ්‍රොප් කරන්න හදනව කියල”

අනන්‍යා නො සන්සුන් ව හිටියා ය. සසංක දුරස්ථ පාලක යතුරෙන් රෝලර් දොර හැර රිය ගෙවත්තට දමා ඉන් බැස, ඇනෙක්ස් එකට වෙන් කොට ඇති සාමාන්‍ය ගේට්ටුව වෙත ගොස් එහි වන ඉබ්බා ලොක් කළේ ය. අනන්‍යා ඔහු පසුපස වූවා ය.

“අනේ…ඔය මොකද්ද කරන්නෙ..”

ඇගේ ඇස් මත මඳ කම්පිත බවක් විය. එසේ ම තිගැස්ම මුසු මිහිරක් ද එහි නොවූවා කිව නො හැකි ය. අපරාජිතා එන්නට තව වෙලා යන බව ඇය දනී. සසංක සමග තනිපංගලමේ කතා කරමින් ඉන්නට ලැබෙන එකත් එක විදිහක සතුටකි.

“ගේට්ටු ලොක් කරල තියෙන්නෙ. අම්ම එනකල් ඔයා කොහෙවත් යන්න බෑ. ඕන්නං කෝල් කරල අම්මගෙන් පර්මිශන් ගන්න මං ගිහින් දාන්නං”

අනන්‍යා මොහොතක් ගල් ගැසී තරුණයා දෙස බලා උන්නා ය. ඊළඟට ඇය වේගයෙන් පියගැට පෙළ දෙසට හැරුණා ය. ඇගේ කොපුල් ලැජ්ජාවට ද කෝපයට ද බලාපොරොත්තු සුන් වීම නිසා ද මන්දා ලේ පුරා රතු වී තිබිණ.

“හරියට මෙයා මගෙ තාත්ත වගේනෙ”

ඉක්මන් කෙටි අඩි තබා පිය ගැට පෙළ නැගෙනා ගමන් ඇය ට එහෙම කියැවී තිබිණ. යන්තම් ඒ වචන සවන් වැකෙන විට ම සසංක ගේ දෙතොල් සිනහවෙන් විකසිත වූයේ ය. ඔහු ට ජයග්‍රාහී සතුටක් දැනිණ. දොර හැර සෝෆාව මතට වැටෙමින් ම ඔහු අපරාජිතා ට ඇමතුමක් ගත්තේ ය.

ඒ වෙලාවේ ඇය හිටියේ ස්ටූඩියෝවේ පාලක මැදුරේ ය. වීදුරු බිත්තියෙන් එහා පැත්තේ ඇගේ අකුරු පණ ලබමින් තිබේ. ඩෙනිම් කලිසම් සාක්කුවේ වන දුරකතනය වයිබ්‍රේට් වත්දී අපරාජිතා එය ගෙන බැලුවේ ඇමතුම බිඳ දමන්නට ය. මේ වෙලාවේ හඬ ගැන්වෙන්නේ නාට්‍යයේ රසවත් කොටසකි. නමුත් තිරය මත සසංක  ගේ නම සනිටුහන් ව තිබෙනු දුටු ඕ නාට්‍ය නිෂ්පාදකවරයා ට ඇසින් ඉඟියක් කරමින් ම දොර දෙක හැර ගෙන ස්ටූඩියෝ සංකීර්ණයේ පිටත කොරිඩෝරයට ආවා ය.

“සසංක”

අපරාජිතා ගේ හඬෙහි මෘදු සෞම්‍ය ළගන්නා බවක් විය. සසංක ඇස් පියා ගත්තේ ය.

“ඔයාගෙ වැඩේ ඉවර නැද්ද..”

“මං ඩ්‍රාමා රෙකෝඩින් එකේ. ඇයි සසංක…”

“ඔයා කලබල වෙන්නෙපා අපූ. මං අද වේලාසන ගෙදර ආව. මට ලේන් එකේ මැද හරියෙදි අනන්‍යා හම්බ වුණා. යාළුවෙක් ගෙ ගෙදර යනව කිව්ව. මං කා එකට නග්ගගත්ත. කෙල්ල හිතුවෙ මං එහෙට එක්ක යන්න කියල. මං ගෙදරට ගෙනත් දාල ගේට්ටු ලොක් කළා අම්මගෙන් අහල යන්න කියල”

“අනේ…තෑන්ක් යූ සසංක. මන් දන්නව ඒ වචනෙ ගැලපෙන්නෑ කියල. ඒත් මට මේ වෙලාවෙ වෙන වචනයක් මතක් වෙන්නෙත් නෑ. මං ඉක්මන්ට එන්නං”

“පරිස්සමට. බය වෙන්නෙපා. දැන් මං ඉන්නව ගෙදර”

හදවතේ ඈත කොනක ඇති වූ සුළි සුළඟ අපරාජිතා තුළ මිහිරක් දනවමින් හමා ගියේ ය. ඇය ට කියන්නට ඕනා කළේ ඔහු මොහොතකට අනන්‍යා ට පිය රැකවරණය තැනු බවයි. නමුත් කිසි සේත් වචන වලට හරවා ගත නොහී ඒ හැඟීම හදවතේ ගුලි ගැහී ම තිබිණ. 

මුමුණමින් සසංක ට බැණ බැණ මතු මහලට නැගුණා ට අනන්‍යා ගේ පපුවට මොකක්දෝ වී තිබිණ. යහනෙහි ගුලි ගැහී හිඳිමින් ද යළි නැගිට සක්මනේ යෙදෙමින් ද යළිදු සඳැල්ලට විත් අරමුණකින් තොර ව ඈත ද මෑත ද බලා හිඳිමින් ද ඇය යමක් තේරුම් ගන්නට උත්සාහ කළා ය. නමුත් දැනෙමින් නො දැනෙමින් ගියා විනා එය නිරවුල් ව හිත මතුපිටට පැමිණියේ නැත. යමක් පවසන්නට හදවත උත්සාහ කරමින් තිබිණ. නමුත් එය කිව යුතු භාෂාවක් හෝ වදන් තෝරා බේරා ගන්නට හදවත සමත් වූයේ නැත.

අපරාජිතා හිතා සිටියා සේ ම හඬ ගැන්වීම් නිමා වෙන්නට පෙර ගුවන් විදුලි නාලිකාවෙන් පිට වූවා ය. පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි වූයේ ය. කඩින් කඩ වැටෙනා වැස්ස නිසාවෙන් මග මග තෙත් ව පැවතිණ. තැන් තැන් වල වැහි දිය එක්කාසු වූ කළල් දිය කඩිති වූයේ ය. මේ වාගේ වැසි වල තෙමෙමින් ද මේ තරම් සංවර්ධනය නොවූ මාර්ග වල මඩ පොකුණු වල දඟලමින් ද ගෙවී ගිය ළමා වියක් ගැන මතක, වයිපරයේ අකාරුණික පහරින් පිසදැමී යන අහිසංක වැහි බින්දු අතරේ තිබී වින්ඩ්ස්ක්‍රීනය මත දඟලනවා වාගේ අපරාජිතා ට දැනිණ. හදිසියේ එහෙම වූයේ කොහොම ද? ඒ අතරමැද ගෙවී ගිය චිත්ත පීඩා ගෙන දුන් ජීවන කොටස සංස්කරණයෙන් කපා හැර එදාත් මෙදාත් යා කරන්නට මනස කටයුතු කළේ කොහොමද? 

පාරට පැන වැහි වතුරේ තෙත බරිත වන ළපටි අපරාජිතා ගේ හා හතළිස් විය ඉක්මවා හිඳින අපරාජිතා ගේ මනස් රූප දෙකක් ඈ ඉදිරියේ ප්‍රීති සිනහ නගමින් සිටියේ ය.

සසංක සිටියේ සිමෙන්ති බංකුවෙහි හිඳ ගෙන ය. අපරාජිතා රියෙන් බැස ගේට්ටුවේ අගුල විවර කරත්දීත් ඔහු එලෙස ම උන්නේ ය. රිය ඇතුළට ගෙන ගේට්ටුව වසා දමා ඇය සන්සුන් මන්දස්මිතයකින් සසංක වෙතට ආවා ය. ඈ ළඟ තුනී ලැවැන්ඩර් සුවඳක් විය. ඔහු ගේ ඇස් වල සීතල හිම රටක වන සීතල පාටත් තෙත පාටත් තැවරී තිබිණ. කොට කලිසමක් හා ටී ශර්ට් එකක් හැඳි තරුණයා ගේ නග්න දෙපා ඝණ රෝම වලින් ගහන ව තිබුණේ ය. අපරාජිතා ගේ සියුමැලි පා ඇඟිලි වල නියපොතු මත ගල්වා තිබූ ලා දම් පැහැය එක මොහොතකට ඔහු දුටුවේ ය. හැඟීම් කොයි තරම් දොඩමළු වී තිබුණාද යත් කතා කරන්නට වචන දෙදෙනා සන්තකයේ ම වූයේ නැත. අපරාජිතා ට උන් හිටි ගමන් ගණ දෙවි නුවණ පහළ විය.

“තේ එකක් හදන්නං…”

ඔහු හා කීවේ ඇස් වලිනි. අපරාජිතා වහා හැරී ගියා ය. කළු පාට ඩෙනිම් කලිසමකට කළු පාට මල් ඉහිරුණ කහ පාට බ්ලවුසයක් යටින් දමා උන් ඈ වෙතින් දිස් වූයේ වැඩිම වුණොත් තිස් වියැති තරුණියක ගේ පෙනුමකි. 

“අරය හරි පණ්ඩිතයි අම්මි. මං දනූලගෙ ගෙදර යන්න ගියේ. මගෙ තාත්ත වෙන්න එනෝ මෙතන”

සසංක අම්මා ට කේලම කියා ඇති බව දන්නා අනන්‍යා ගතු කීවා ය. නමුත් ඒ බොරු තරහක් බව මැනවින් පෙනිණ. අපරාජිතා මඳහසක් පෑවා විතර ය.

“තාත්තිවත් නෑනෙ මාව එහෙම මුර කළේ”

“මේ සමාජෙ හැටි සසංකල දන්නවනෙ පුතේ. අනුංගෙ දරුවෙක් වුණත් තමංගෙ වගේ පරිස්සං කරන්න හිතන ඕනම කෙනෙක් ලං වෙන්නෙ දෙවියෙකුට. මේ ලෝකෙ වැඩිහිටියො නිසා දරුවො කොච්චර අනාරක්ෂිතද…තමංගෙ ගෙදර තමන්ගෙ තාත්ත සීය සහෝදරයො නිසා දවසකට ගෑනු ළමයි කී දෙනෙක්ට අතවර වෙනවද…තමන්ගෙ දරුවො ඇස් දෙක වගේ රකින අය වුණත් අනුන්ගෙ දරුවෙක්ට අහක බලා ගන්නව”

අපරාජිතා ඇඳුම් මාරු කරන්නේ ද නැතිව වතුර උණු වෙන්නට තබා තේ පිළියෙල කරන්නට සූදානම් වූවා ය. අනන්‍යා ඈ එත්දී ගෙන ආ කුකීස් ටින් එකක් කැඩුවා ය. 

“ඔයා තරමට දරුවෙක් ලොකු කර ගන්නව කියන්නෙ පුතේ…ඒක පුදුම වගකීමකින් කරන්න වුණ අමාරු වැඩක්. ඒකයි ඔයාට කවදාවත් තාත්තිට පිටුපාන්න අයිතියක් නැත්තෙ. දැන් ඇවිත් දවස් දෙක තුනක් වුණානෙ. දනූව බලන්න යන්න කලින් ඔයා තාත්තිව හම්බ වෙන්න. එයාට ඒ ජීවිතේ සැනසීමෙන් ගත කරන්න ඔයාගෙන් වචනයක් දෙකක් විතරයි ඕනෙ. ඔයා ඒක නොදී ඉන්න ඉන්න එයා ඒ ලෝකෙයි අපියි අතරෙ හිරවෙලා වැරදිකාර මානසිකත්වයකින් විඳවනව. ඒක පව්. එයා සතුටෙන් ඉන්න ඕන. කොතනක හරි. අපිට එකට ඉන්න බැරි වුණාට”

අපරාජිතා තේ කෝප්ප තුන පිඟානක් මත තබා ගෙන පිය ගැට පෙළ බැස්සා ය. කූකීස් ටින් එක අතැතිව අනන්‍යා ආවේ සසංක වෙතට යොමු කර ගත් නෝක්කාඩු බැල්මෙනි. ඒ බැල්මට ඔහුට සිනා ගියේ ය.

“එන්නෙපා ඔයා මාත් එක්ක හිනා වෙන්න”

“යන දිහාක ඉතින් දැන් යන්න පුළුවන්නෙ. අම්ම එක්ක”

“අම්ම එක්ක ගමං යන්න මං චූටි බබෙක් නෙවේනෙ”

“ඒ වුණාට අම්ම හිතං ඉන්නෙ එහෙමනෙ”

සසංක බංකුවෙන් නැගිට ගත්තේ අම්මාටත් දූටත් ඉඩ දෙනු පිණිස ය. 

“ම්හු ඔයා ඉන්න”

කියමින් අනන්‍යා සසංක ගේ මෝටර් රියට පිට දී ගත්තා ය. වෛද්‍ය පාරේ ගෙදර දී කවදාවත් නො විඳි ආකාරයේ සැනසුම් සහගත හුස්මකින් ළය පිරී යන හැටි අපරාජිතා බලා ගෙන හිටියා ය. සතුටු වෙන්නට කාරණා ජීවිතයේ තැන් තැන් වලදී ඕනෑ තරම් හොයා ගන්නට පුළුවන. නමුත් මේ සැනසිල්ල එසේ සොයා ගත හැකි විදිහේ එකක් නොවන බව ඇය ඉඳුරා දැන උන්නා ය.

“මෙයාට කියන්නෝන අම්මි..දැන් මාව දනූලගෙ දිහාට එක්ක යන්න කියල”

නැවත ද අනන්‍යා නෝක්කාඩු වචන අහුරකින් දමා ගැසුවා ය. නමුත් ඒ අතරේ අමනාපයක් කිසි සේත් වූයේ නැත.

“හරි ඉතිං එක්කං යන්නං. ලෑස්ති වෙලා එන්න. අම්මගෙ පර්මිශන් ඇතුව ඕන දෙයක්”

සසංක සිනහ වෙවී කීවේ ය. අපරාජිතා ඒ සිනහ මුහුණ දුටුවේ පැත්තට යන්තමිනි. සුළඟට හසු වූ පරඬලා පතක් සේ ඔහු දෙසට ගසා යන්නට ගිය හිත අල්ලා ගෙන ඇය සසංක ගෙන් ඉවතට නෙතු හැරවූවා ය. 

“අම්ම අම්ම අම්ම. ඔයාට ඉතිං අම්මගෙං තොර දෙයක් නෑනෙ”

අනන්‍යා එසේ කීවේ නිකං කටට ආවාට වී ද අපරාජිතා ගේ පපුවේ දෙදරීමක් සිදු විය. ඒ ගැස්මෙන් ම සසංක දෙස බැලු ඕ, කැළඹිලි නැති පෑදි දියක් බඳු ඔහු ගේ නෙත් පොකුණු දුටුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles