“මේ අර හමුදාවේ ඉන්න ලෙඩාගෙ අම්මද? මම මේ පන්සලේ හාමුදුරුවො කතා කරන්නෙ”
අනෙක් පසින් සුධාරකගේ වැඩිමහල් නැගණිය කතා කළා.අප එතැන සිටින වග ඇය දැනසිටියේ නැහැ.ස්වාමීන් වහන්සේ දුරකථන ලවුඩ්ස්පීකරය දමා තිබු හෙයින් අප සියලුදෙනාටම ඒ සංවාදය ඇසුණා. කාටත් හොරා ඒ සියල්ල මගේ දුරකථනයේ පටිගත වෙමින් තිබුණා.
“හාමුදුරුවනේ අම්මා නෑ,ඇයි මොකක්ද වෙන්න ඕනෑ”
ඇය අසන්නට වුණා.
“මට නම් මොකක්වත් වෙන්න දෙයක් නෑ.අන්න අර දපල ඉන්න ලෙඩාට නං වෙන්න දෙයක් ඇති.උඹලට මේ ලෙඩා ගැන කැක්කුමක් නෑ.උඹලගේ අම්මා ආවා වෙන මොකක්ද මගුලක් අහගෙන.උන්දැ කියන ඒවා නං කොරන්ට බෑ.හැබැයි මට මේ ලෙඩා ගොඩදාගන්න මොනවහරි කරන්න පුලුවන්”
ස්වාමීන් වහන්සේ පවසන්නේ සැරපරුෂ ලෙසටයි.
“ආ!! අම්මා කිව්වා හාමුදුරුවො ළඟට ආවා කියලා.මෙහෙමයි හාමුදුරුවනේ. අපිට ඒ ගෑණිව අයින්කරගන්න ඕනෑ.එයාගෙන් අයියට කරදරයි”
ඇය කියවාගෙන යන අතර මට මේ සියලු දේ ඇසෙනවා.මිනිස්සු ගැන මට කවදාවත් නැති ලෙස මහා කලකිරීමක් දැනෙන්නට වුණා.මේ මා සමග එක පතේ කා විනෝදවී බදා වැලඳගෙන සිටි මිනිස්සුද? සුධාරක අසනීප නොවන්නට මා මේ සර්පයින් සමග අදටත් කිසිත් නොදැන ජීවත් වන බව සිතද්දී මට දැනුණේ මහා අප්පිරියාවක්.විෂ සහිත මිනිස්සුන්ගෙන් අයින් නොවීම මගේ මෝඩකමයැයි ඔබ සමහරදෙනෙක් පවසා තිබුණා.ඒ නමුත් මහා මාර්ගයේ ගමන් කරන විට අකුණු ගැසීම වාගේ දෙයක්.කල්තියා අපේක්ෂා නොකරම සිදු වන අනතුරක්.
“ඒ ගෑණිව අයින්කරගන්න ඕන වුනේ මිනිහට සිහිය නැතිවෙනකන් ඉඳලද? එතකොට උඹලා ඔක්කොම එකට පවුල්කනකොට ඒ ගෑණි හොඳයි ද?මට ඒවායෙන් වැඩක් නෑ.උඹලගේ නංගිත් මෙහේ ආවා. මං ඒ අම්මණ්ඩිට තෙල් වගයක් දුන්නා ලෙඩාගේ ඇඟේ ගාන්න.උඹලා ඒකිටත් යන්න දෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද.මොන වගේ පවුලක් ද බොල ඕක”
මෙසේ නින්දාවට පත් වීම ගැන මට දැනුණේ සැබෑවටම වේදනාවක්.
“මෙහෙමයි හාමුදුරුවනේ,අපේ ඔය නංගිත් අපි පවුලෙන් අයින් කරලා තියෙන්නෙ.එයාගෙ චරිතයත් හොඳ නෑ.ඒ නංගිත් නරක චරිතයක් තියෙන එක්කෙනෙක්.එයා අර ගෑණුකෙනාට උදව්කරනවා.ඒකයි අපි එයාට යන්න දෙන්නෙ නැත්තෙ”
සුධාරක ගේ බාලම නංගී එක කුස උපන් සිය වැඩිමහල් සොහොයුරිය තමා නින්දිත ලෙස විවේචනය කරන හැටි ලොකුකරගත් දෑසින් අසා සිටියා.දේපොල ඉඩකඩම් හා කූඨ සැලසුම් අභියස සහෝදරකම වෙන්දේසි වනහැටි මම සියැසින් දැක කනින් ඇසූ පළමු වතාවයි ඒ.සහෝදර සහෝදරියන් නැතිව තනිව ඉපදීම ගැන හැමදාම තිබුණු සතුට ඒ වෙලාවේ මට තවත් තදින් දැනුණා
සහෝදර සහෝදරියන් ඇතිව ඉපදීම පිනක් වූවත් සසර වෛරක්කාරයන් ගොන්නක් මැද උප්පත්තිය ලැබීම බරපතල පවක් පටිසන්දීමක් යැයි මට හිතෙනවා.සුධාරක සංසාරයේ කොතැනකදී හෝ කරගත් විශාල අකුසලයක් මේ ආත්මයේ ගෙවමින් සිටියා. ඒ අකුසලයට ම කොතැනකදී හෝ යාන්තම් මාත් සම්මාදම් ව ඉන්න ඇති.මේ ණය මේ ආත්මයේදී මෙලෙස ගෙවා නිමකරන්නට දෛවය තීන්දුකරන්නට ඇති.එය එසේම වේවා යැයි මම ප්‍රාර්ථනා කළා.
සහෝදර සහෝදරියන් වෙනුවෙන් සිය පණ වුවත් දෙන්නට මැලි නොවන මිනිසුන් අනන්තවත් ඉන්නවා.එක කුස නූපන්නත් මටත් එසේ ඥාති සහෝදර සහෝදරියන් ඉන්නවා.ඒත් මගේ සුධාරකට ඒ පින තිබුණේ නැහැ.
“අනේ මන්දා උඹලා එකාට එකා නෑ නෙව.දැන් ඉතින් කමක් නෑ.කොහොමහරි මේ ලෙඩා ගොඩදාගන්න පුලුවන් මේ තෙල්ටික ගෑවනං. යන්න පුලුවන් එකෙකුට කියලා මේක ගාවපං. අම්මට හරි කාටහරි ඇවිත් මේ තෙල් ටික ගෙනියන්න කියපං”
ස්වාමීන්වහන්සේ දුරකථනය විසන්ධිකොට හිස අතගාමින් සුධාරකගේ නැගනිය දෙස බලා සිටියා.
“දැන් උඹ අහගත්තද අක්ක කියන ඒවා.ඕන් උඹලගෙ පවුලෙ හැටි”
මට මේ චරිත සහතික වලින් වැඩක් නැහැ.අනුන්ට චරිත සහතික දෙන මිනිස්සුන්ට ඔවුන්ගේ චරිත සහතික දෙන්නේ කවුදැයි මම සිතුවා.නමුත් සුදාරකගේ නංගිට මෙහෙම වුණාට කමක් නැහැ.මෙය මා සමග වැඩිපුරම හිතවත් වී සිට මේ අවස්ථාවේදී එක්තරා කාලයකදී මා පිටුදැක සිටි අන්දම මට සිහිපත් වුණා.මේ අවස්ථාවාදී මිනිසුන් මේ අවස්ථාවේ එකිනෙකා කා කොටා ගනිමින් සිටිනවා.නමුත් මගේ අරමුණ වන්නේ එය නොවේ
එදා පන්සලෙන් පිටවා ආ පසු මම කිහිපවරක් ස්වාමීන්වහන්සේ අමතා තෙල් බෝතලය ගෙන යන්නට කිසිවෙක් පැමිණියේද ඇසූ නමුත් කිසිවකු ඒ සඳහා පැමිණ තිබුණේ නැහැ. මා මරන්නට කොඩිවින කරන්නට කන්දක් නැග ඒ පන්සලට යන්නට හැකිවූ අම්මා කෙනෙක් ඒ පන්සලට ම ගොස් තෙල් බෝතලයක් ගෙන පුතා බේරාගන්නට උත්සාහ නොකල හැටි ඉතා පුදුමයි
මේ සියලු කාරණා අතර රටේ නම ගිය මිනිසුන් ද බලය ඇති මිනිසුන් ද හමුවෙමින් මම කුමක් හෝ කරන්නට උත්සාහ කළා.නමුත් වේදිකා මත නැගෙන උගුර ලේ රහ වනතුරු කෑවා සෙමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන අය තමන්ගේ අවස්ථාව එනතුරු කෑ ගසනා බව මට තහවුරු වුණා.කාන්තා සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන වලින්ද කිසිම උදව්වක් ලැබුණේ නැහැ.සංවිධාන අටවා ගන්නට තරමට ඔවුන්ට මිනිස්සුන්ට උදව් කිරීමට උවමනාව ඇද්දැයි මම කල්පනා කළා.
නීතිය වුණත් මේ රට තුල සංශෝධනය විය යුතු මට්ටම ඉක්මවා ගොස් ඇතැයි මම පෞද්ගලිකව හිතනවා.නීතියෙන් රිංගායන්න පුලුවන් තැන් සහ නීතිය අභියෝගයට ලක් කරන තැන් ද එමටයි. නමුත් මේ කිසිවක් ඔබටවත් මටවත් අත පෙවිය හැකි මානයක නැහැ.
අනිත් කාරණාව අප ආදරය කරන මිනිසුන් අතරින් හැබෑවටම අපට ආදරේ කරන්නා මිසක අන් කවරෙක්වත් අප සමඟ අසරණ වූ මොහොතක නොරැඳෙන්න ට පුළුවන්.ඔබ කෙතරම් දක්ෂ අවංක රැකියාව අවංකව ඉටුකල කෙනෙකු උනත් රැකියා ස්ථානයට ඔබ තවත් එක සේවකයෙක් පමණයි. මිතුරන්ට නෑයන්ට වුණත් ඔබෙන් පලක් නැතැයි සිතෙන දවසට ඔවුන් ඔබ තනිකර යන්නට දෙවරක් සිතන්නේ නැහැ.ඔබටත් ඔබය කියන පුද්ගලයාට පමණක් ආදරය කරන කෙනෙකු නොසිටිදාට ඔබට ඉන්නේ ඔබ පමණයි. එයත් සිතේ තබාගෙන ජීවත්වෙන්න.
මට සුධාරක බලන්නට රෝහලට යන්නට නොලැබුණත් මගේ හදවතින් සිතුවිල්ලෙන් මා සිටියේ ඔහු අසලමයි.ඔහුට උවටැන් කළ රෝහලේ සිටි නිලධාරීන් කාටත් හොරා ඔහුගේ තොරතුරු ඡායාරූප මට එවන්නට අමතක කලේ නැහැ.මේ අතර මම අපට ආදරය කල අප ගැන වේදනාවෙන් සිටි අය කියන වතාවත් පූජාවන් පවා කරන්නට පසුබට වුනේ නැහැ.මේ මොනවා හරි දේකින් සුධාරක යලි නැගිටුවාගන්නට පමණයි මට උවමනා කළේ
මා වෛද්‍යවරු හාමුදුරුවරු සොයා නුවර,බදුල්ල වැනි දුර බැහැර පලාත්වල පවා ගියා.මා මේ සියලු තැන්හි ගියේ කොරෝනා වසංගතය රටේ උග්‍රව පැවති කාලයේ.ඔබ කිසිවෙකුත් පාරට වත් බහින්නට බිය වූ කාලයේ. එන්නත් කරනවා තබා එන්නතක් ගැන අදහසක් හෝ නොතිබූ කාලයේ.එවකට අවුරුදු හතක් වූ මගේ පුංචි දියණියද එල්ලා ගෙන සංසාර ගනුදෙනුවකට හදවතට ආ ආදරයක් සහ මිනිසෙක් රැකගන්නට මම මහා සටනක් කරමින් හිටියා.
මගේ දියණිය ඉතාම අහිංසක ආදරණීය කරුණාවන්ත හිතක් ඇත්තියක්. අත්තටු නැති සුරංගනාවියක් මට දියණියක වී ලැබී තිබෙනවා.මේ කතාව පුරාවට ඔබ ගැහැනු චරිත බොහෝ දකිනවා ඒ හාත්පසින්ම එකිනෙකට වෙනස් චරිත තිබූ ගැහැණුන් ඒ ගැහැනු චරිත සියල්ල අභිමුවේ වඩාත්ම අගතියකට පත්වුනානම් ඒ මගේ දියණිය පමණයි. සුධාරක ගේ දියණියන් තිදෙනා ගැන මට මුලදී එවන් අදහසක් තිබුණත් මේ වනවිට ඒ සියල්ල ගිලිහී ගොස් තිබූණා.
අම්මාගේ කීමට හෝ පියා තමා අපයෝජනය කරන්නේ යැයි වැඩුනු දැනුම් තේරුම් ඇති දරුවන් කිසිදා කියාවි යැයි මා සිතන්නේ නැහැ.එසේ නම් ඔවුන්ට වඩා බෙහෙවින් කුඩා මගේ දියණිය තම පියා නොවන බව දැන දැන අප්පච්චි යැයි කියා සුධාරකට පණ සේ ආදරය කරන්නේ නැහැ. තමා සියලු සැප සම්පත් දී උසස් පාසැලකට දමා ඉගැන්වූ තම දියණියන් ගේ මුවින්ම තමා ඔවුන් දූෂණය කරනවා යැයි මවගේ කීමට හෝ කියන විට ඒ තාත්තාගේ කඩා වැටුනු මනස මා දුටුවා.ඒ ඇසින් ගැලූ කඳුලු මා දුටුවා.ඒ බිඳුනු හදවත සුවපත්කල පින ඇත්තේ මගේ දියණියටයි.
ඔබ කිසිදා එවන් පාපකර්මයක් කරන්නට එපා.දෙමාපියන් අතර කුමන තත්වයක් තිබුණත් දරුවන්ට විෂ පොවන්නට එපා.දෙමාපියන්ට එකට ඉන්නට නොහැකිව වෙන්වීම කවදාහෝ ඔවුන් වැඩුණු දවසක තේරුම් ගන්නට පුලුවන්. ඒත් තමන්ගේ වාසියට කිසිදා මපියන් කෙරෙහි දරුවන් බිඳවන්නට එපා.එය කිසිදා යලි නිවැරදි කළ නොහැකි වරදක්.
කුමක්හෝ හේතුවකට වේවා අම්මා ගත් තීරණයට මා සමගම එක ගමනක් යන්නට ආ මගේ පුංචි දුව සුධාරක වෙනුවෙන් මා කළ සියල්ල දකිමින් සිටියා.මගේ කතා මගේ හැසිරීම අධ්‍යයනය කරමින් සිටියා.අම්මා ආදරයක් වෙනුවෙන් සටන්කරන බව ඒ පුංචි හිත වටහාගනිමින් සිටියා.අදත් ඇය මට ඒ ගැන පවසන හුරතල් කතා වලින් මට වැටහෙන දෙයක් තිබෙනවා.
ආදරයක් දිවිහිමියෙන් රැකිය යුතු බවත් ආදරෙයි නම් මැරෙන තුරා අත්නොහැරිය යුතු බවත් කවදා හෝ මරණයෙන් මතු එය දරාගෙන යා යුතු බවත් ඇය ඉගෙනගෙන තිබෙනවා.කවදාහෝ මම ඇයට මගේ ජීවිතකතාව කියනවා.ඔව් මා කළ සියලු දේ අකුරක් නෑර ඇයට කියනවා.ඇගේ හදවතේ උසාවියෙන් ඇය අම්මා ගැන ගන්නා තීරණයට මම කිසිදා කිසිවෙකුට හෝ කිසිවකට නොනැමුණු මගේ හිස නමනවා.
ගැහැණියකගේ ජීවිතයට කඳුලත් සිනහවත් විතර බද්ධ වූ දෙයක් තවත් නැහැ.වේදනාබර දවස් ඉදිරියටයි.අපි හෙටත් මුණ ගැසෙමු.