ප්‍රේමයේ අභිමන් -35

අපරාජිතා ට අසුනෙන් නැගිටවිණ. ඇය පිය ගැට පෙළ දිග දිව යමින් සිටියේ සිතන්නට කාලයක් ගෙන නොවේ. නුවර එළියේ වාගේ සිහින් පොද වැස්සක් ඉහිර යමින් තිබුණේ ය. ඇය ඔහු වෙතට යන විට සසංක ගෙදොර යතුර දමන්නට උත්සාහ කරමින් සිටියේ ය. නමුත් ඔහු ගේ මනසෙහි වූ මතින් ව්‍යාකූල ස්වභාවය නිසා එය පහසු වූයේ නැත. යතුර අගුලු මුවට නො වැටී එහෙ මෙහෙ වූයේ ය. අපරාජිතා ළඟට ගිය විට ඇදෙස බලා සිනහ වූ ඔහු යළිත් සිය කාරියෙහි අසාර්ථක ලෙස නියැළුණේ ය.

“කෝ දෙන්න කී එක”

බලා සිටින්නට බැරි තැන අපරාජිතා කතා කළා ය.

“මට පුළුවන්”

සසංක අමුතු මාන්නයක් ඇති කර ගන්නට උත්සාහ කරන සෙයක් පෙනිණ. යතුර දමා ගන්නට තබා සීරුවට කෙලින් සිට ගෙන සිටිනට හෝ ඔහු ට නො හැකි බව අපරාජිතා මනා සේ දුටුවා ය. තවත් බලා ඉන්නට බැරි තැන ඇය ඔහු ගේ අතින් යතුර උදුරා දොර හැරියා ය. සසංක අපරාජිතා ගේ දෑස් මගහැර ගෙට ගොඩ වන්නට ගිය අතර පය පැකිළී ඔහු විසි වෙන්නට ගොස් අල්ලා ගැනුණේ අපරාජිතා අතිනි.

“මොකද ආ මේ…”

තමන් ගේ ස්වරය එහෙම තරවටු ස්වභාවයක් ගන්නට හේතුව කුමක්දැයි ඒ තත්පරයේ ම ඇගේ හිතේ එක් අර්ධයක්  ප්‍රශ්න කරමින් සිටියේ ය.සිතේ අනිත් අර්ධය හිතා මතා ම ඒ ප්‍රශ්නය මගහැර ගියේ ය.

අපරාජිතා විසින් අල්ලා ගැනුණ සිය අත දෙස සසංක ගේ ඇස් යොමු වී තිබිණ. ඝණ රෝම සහිත ඔහු ගේ අත් බාහුව, ඇගේ කහ පාට සියුමැළි සිහින් ඇඟිලි වලින් තද කොට අල්ලා ගෙන තිබේ. එහෙම ම නැවී ඒ අත සිප ගන්නට තරම් හිතුවක්කාර සිතිවිල්ලක් සසංක තුළ ඇති විය. නමුත් එහෙම කළොත් ඇය මේ පලාතේ පස් නො පාගනු ඇති බව පැටලෙන සිහිය අතරේ ම ඔහු ට කල්පනා වූයේ ය.

“චුට්ටක්…චූටි ඩ්‍රිංක් එකක් ගත්තා අපූ”

පොඩි දරුවෙකු වාගේ නිවැරදි වීමේ තැතක් දරමින් සසංක අවිහිංසක ලෙස කීවේ ය. 

“චූටි තමයි. බලන්න. හිටං ඉන්නත් බෑ. එච්චර ඩ්‍රිංක්ස් අරං කොහොමද ඔයා ඩ්‍රයිව් කළේ…මොකක් හරි උනානං එහෙම…”

සිය ගැහැනු හද තුළ ඇති ව තිබෙන බරක් වාගේ හැඟීමට කියනා නමක් ගැන අපරාජිතා දැන සිටියේ නැත. මත් බවින් යුතු වී ද ඔහු ගේ දෙතොල් පෙති ලිහී නැගෙනා සිනහව ඇය ව උමතු කරවනු ඇති බව නම් හිතේ ඈත ම කොනක් මුමුණා කීවේ ය. අපරාජිතා එය නෑසුණා සේ සිටියා ය.

“හැප්පිල මං මැරුණත් මොකද…මට කවුද ඉන්නෙ…නේද…මගෙ කියන්න කවුද ඉන්නෙ…පෙට්ටිය ළඟ ඉඳන් අඬන්න හරි කවුද මට කියල ඉන්නෙ…”

සසංක සෝෆාව මත හිඳ හිස අසුනට බර කර ගත්තේ ය. අපරාජිතා පහත් වී ඔහු ගේ සපත්තු ගලවා දැමුවා ය.

“ඔයා විතරක් නෙවෙයි පාරෙ ඉන්න අහිංසක මිනිස්සු කී දෙනෙක් අනතුරේ ද මෙහෙම ඩ්‍රින්ක්ස් අරං ඩ්‍රයිව් කරනකොට…දෙයියනේ…පොලිස්සියට අහු වෙන්නයි තිබුණෙ”

ඇය එහෙම කියා ගෙන සසංක ගේ ගෙන් පිට වූවා ය. මීට පෙර කිසි දා ක ඔහු මෙහෙම ගෙදර එනවා ඇය දැක නැත. ඉස්සර තාත්තා මිතුරන් සමග සාද දමා මත් ව ආ දාක අම්මා මත සිඳෙන්නට කියා හිසෙහි හා පතුල් වල දෙහි ගල්වා අයිස්ක්‍රීම් කන්නට දෙන හැටි අපරාජිතා ට සිහි විය. අරවින්ද නම් එහෙව් තත්වයකින් කිසි දා ඇය දැක නැත. ඔහු ට මත් පැන් කියන්නේ ආගන්තුක දෙයක් නොවේ. පොහොසතෙකු වූ පසු ඔහු සතුව නිතර ම මිලාධික මත් පැන් වර්ග තිබුණේ ය. ව්‍යාපාරික මිතුරන් සමග ඔහු නිතර සව්දිය පිරුවේ ය. නමුත් අරවින්ද ට කිසි දා මේ විදිහට සීමාව පැන  නැත්තේ ඔහු පමණ දැන බිව් නිසා ම නොව කෙතරම් බීවත් ඔරොත්තු දෙන නිසා යයි ඔහු ගේ මිතුරන් වෙතින් ම අපරාජිතා අසා තිබේ.

කුඩා ශීතකරණය හැර දෙහි ගෙඩියක් ගන්නා ගමන් අපරාජිතා අනන්‍යා ට කතා කළා ය. නමුත් වරක් කතා කළ පමණින් ඇහෙනා නින්දක නොවේ ඈ සිටියේ. අපරාජිතා යහන ළඟට ගොස් මොහොතක් දියණිය දෙස බලා සිටියා ය. ඇය මඳක් හඬ නැගෙන සේ හුස්ම ගනී. අනන්‍යා ගැන මහත් ස්නේහයකින් ඇගේ ළය බර වෙමින් තිබිණ. ඕ පහත් වී අනන්‍යා ගේ හිස යන්තමින් සිප ගත්තා ය. 

දෙහි ගෙඩිය බෑ දෙකක් වන සේ කපා ගෙන ගිය අපරාජිතා, ඒ වන විටත් සෝෆාවේ වැතිර ගෙන සිටි සසංක ගේ හිසෙහි ඉන් එක බෑයක්  ඇතිල්ලුවා ය. ඇස් හැර බැලු ඔහු යළි ඇස් වසා ගත්තේ ය. මේස් දෙක ගලවා දමා ඇය ඉතිරි දෙහි බෑය ඔහු ගේ දෙපා වල ඇතිල්ලුවා ය. සසංක සිටියේ ඒ සියල්ල ගැන සිහියෙනි. ඔහු ගේ පිරිමි පපුවේ ආදරය කියා ඔහු නිර්වචනය කර ගෙන සිටි හැඟීමක් පිටාර ගලා ගෙන ආවේ උතුරා පෙණ නගිනා කිරි මුට්ටියක් මෙනි. ප්‍රේමය හා ශෘංගාරය යනු එකක් නොව දෙකක් බව සසංක හැම දා ම විශ්වාස කළේ ය. ඔහුත් එක්ක කෙටි කාලීන සබඳතා වලට පිවිසි, ඇතැම් විට වතාවක් දෙකක් යහන් ගත වීමකට පමණක් සීමා වූ කිසිදු ස්ත්‍රියකට පෙම් කළේ නැති බව ඔහු සිය හද උසාවියෙහි දිව්රා ප්‍රකාශ කර සිටියේ ය. ඒවා හුදෙක් ශෘංගාරාත්මක ආකර්ෂණයන් හෝ ඇතැම් විට ආකර්ෂණයකින් ද තොර ලිංගික ගනු දෙනුවක් පමණකි. 

ජීවිතයෙහි මෙවන් පැතිකඩක් වෙත විවෘත වීම පෙරදිග ලෝකයෙහි ස්වභාවය නොවේ. නමුත් වැඩුණු නිරෝගී පිරිමියෙකු හෝ ගැහැනියක සතුව ලිංගික ජීවිතයක් පවතීය යන්න අහම්බයක් නොවන බව සසංක විශ්වාස කළේ ය. කිසිදු රටක ලිංගික සබඳතා යනු නීතියේ තහනමකට ලක් වූ දෙයක් නොවේ. විවාහකයෙකුට වුව සිය වෛවාහක ස්ත්‍රිය හෝ පුරුෂයා සමග මිස වෙනකෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්විය නො හැකි යයි තහනමක් නීතියෙහි නැත. එය වෛවාහක අනිත් පාර්ශවයට ගැටළුවක් නම් ඒ බව ඔප්පු කොට දික්කාසය ලබා ගැනීමට නීතියෙන් අවකාශ සලසා තිබේ.

කෙසේ වෙතත් එවැන්නකට ප්‍රේමයක් ගෑවී හෝ තිබිය යුතු නැති බව සසංක අදහයි. ප්‍රේමය කියන්නේ වෙනම ම හැඟීමකි. ඔහු ට අපරාජිතා ගැන දැනෙමින් තිබෙනවා වාගේ පවිත්‍ර හැඟීමකි. ප්‍රේමයක් ඇති තැන, එය නැති තැනට වඩා ශෘංගාරය වඩා සොඳුරු වනු ඇත.

“තව ටික වෙලාවකින් ඔය ගතිය අඩු වෙයි. ඊට පස්සෙ ඇඳුම් මාරු කරල වොෂ් දාං නිදියන්න. මෙහෙම මෙතනම නිදියන්න එපා. දොර වහගන්න”

අපරාජිතා යන්නට සූදානම් ව කීවා ය. ඇගේ අතේ මැණික් කටුව ළඟින් අල්ලා වහා නතර කර ගන්නට සසංක ට සිතුණේ ය. ඇය ව ඔහු වෙත ඇද ගෙන ළයෙහි හොවා තදින් සිප ගන්නට ඔහු ට ඕන වුණේ ය. ඇයට පෙම් කරන්නට සිය හදවත පටන් ගෙන ඇති බවක් කියන්නට ඔහු ට ඕන වුණේ ය. නමුත් ඒ සියල්ල අවාසනාවන්ත ලෙස කණපිට හැරිය හැකි බවත් ඔහු ට සිතුණේ ය. එ් ඔහු බීමතින් එසේ හැසිරෙනවායි ඇය සිතිය හැකි බැවිනි. බීමත් සල්ලාලයෙකු සේ අපරාජිතා විසින් ඔහු ව දකිනු ලබන්නට සසංක ට කිසි සේත් ඕනෑ නොවිණ.

“අපූ”

නමුත් ඇය ට යන්නට හරින්නට ඔහු ගේ හිත ඉඩ දුන්නේ ද නැත. පිටව යන්නට අඩියක් පෙරට තබා උන් ඕ නතර ව හැරී බැලුවා ය.

“තව ටිකක් ඉන්න”

පපුව පිච්චී ගිය සංවේදනයක් දැනුණේ ඇයි කියා අපරාජිතා නො සිතුවා ය. 

“මෙතනිං ඉඳ ගන්න”

ඔහු දක්වා සිටියේ ඔහු වැතිර උන් සෝෆාවේ සිරස දමා තිබූ පස ඇන්ද ය. අපරාජිතා හෙමිහිට ඒ වෙත සමීප වූවා ය. 

“අනන්‍යා කෝ…”

“එයා නිදි”

“අපරාදෙ ඔයා දෙහි ගෑවෙ”

ඔහු හිතුවක්කාර සිනහවක් පෑවේ ය. ඒ පිරිමි පාට සිනහවේ, අපරාජිතා හිතේ හැටියට ගිළුණේ ඔහු ට ඇය නො පෙනෙන නිසා ය. 

“මිනිස්සු බොන්නෙ සිහිය නැති කර ගෙන හැම දේම අමතක කරන්න. එහෙම මිනිහෙක්ගෙ ඔළුවෙයි…යටිපතුල් වලයි…දෙහි ගාන එක වැරදියි. හරි අසාදාරණයි”

අපරාජිතා ගේ මුවට ක්ෂණික සිනහවක් නැගුණේ ය. ඔහු ගේ හිස් මුදුණේ කෙහෙ රැල් අතරේ දෙහි රේණු පැටලී තිබේ. අපරාජිතා ඇඟිලි තුඩගින් ඒවා පොඩි කරමින් හිස් මුදුණේ යුෂ ගැල්වෙන්නට හැරියා ය. ඇගේ දිග ඇඟිලි තුඩු හිසෙහි තැවරෙත්දී ඔහු ට දෑස් පියවෙන සුවයක් දැනිණ.

සසංක උදේ ඇඳ ගෙන ගිය සුදු අත් දිග කමිසයේ අත් දැන් අපිළිවෙලට ඉහළට නැවී ඇති බව අපරාජිතා දුටුවා ය. නග්න ඒ අතක් අල්ලත්දී එය බෙහෙවින් සීතල ව තිබි බව ඇය ට මතක ය. සසංක වූ කලී අඩි හයක පමණ උසකින් යුත් ඒ උසට සරිලන දේහ ධාරියෙකි. මීට පෙර කිසිදු අවස්ථාවක ඔහු අන්‍යයන් ගේ අවධානය මේ ආකාරයෙන් තමා වෙත යොමු වන සේ හැසිරී නැත. ඔහු ට කදිම පිරිමි පෞරුෂයක් තිබේ. එය බිඳ වැටෙන්නට සසංක කිසිදු ඉඩක් නො තබයි. ඔහු ඇඳුම් පැළඳුම් කරනා ආකාරයෙහි ද හිස කේ විලාසිතාවෙහි ද වචන උසුරුවන රටාවෙහි ද, වෙනකක් තබා ඔහු ළඟින් හමනා විලවුන් සුවඳෙහි ද ඉහළ සමාජ ස්ථරයක් නියෝජනය කරනා උගත් හා නිර්මාණශීලී තරුණයෙකු සිටියි. ඒ සියල්ල වියවුල් කර දමන්නට ඇල්කොහොල් සතු ප්‍රබලත්වය ගැන අපරාජිතා සසංක දෙස බලා ගෙන සිතුවා ය.

“මට දැං වෙරි නෑ හරිද…මං මේ බීල අසිහියෙන් නෙවෙයි”

හිස හරවා බලමින්, අපරාජිතා ඔහු වෙතට හෙළා ගෙන හිඳිනා බැල්ම දැක කදිම සිනහවක් නගා ගනිමින් සසංක කීවේ ය.

“පේනෝ පේනෝ ඒක. කෙල්ල බඩගින්නෙ…ඇහැරෝල කන්න දෙන්න ඕන. වෙරි නැත්තං නැගිටල දොර වහගන්න. මං යනව”

තවත් ඔහු පාලනය කර ගන්නට සසංකට නුපුළුවන් වූවා නොව එහෙම කරන්නට ඔහු ට ඕන වුණේ නැත. නිමේශයක දී අසරු වේගයෙන් අසුනෙන් බිමට බට හෙතෙම අපරාජිතා ට හුස්මක් ගන්නට හෝ අවකාශයක් නො තිබියදී අනපේක්ෂිත ලෙස ඇය ව තදින් වැළඳ ගත්තේ ය. හුස්ම එහෙම ම නවතා ගෙන අපරාජිතා මඳක් සන්සුන් ව සිටියා ය. ඔහු ගේ උරයට මත්තෙන් ඇගේ දෑස් දැල්වී තිබිණ. මේ මොහොත තුළ කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු දැයි ඇය ඉක්මනට සිතුවා ය. නිව්ටන් ගේ නියමයකට අනුව සෑම ක්‍රියාවකට ම සමාන හා ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තිබේ. ඔහු ගේ ස්පර්ශයෙහි ස්වභාවය මත සිය සුරතින් ඔහු ගේ කම්මුල ස්පර්ශ කොට එතැනින් නික්ම යන්නට අපරාජිතා ට ඕන වුණේ නැත. නමුත් දෑස් අඩවන් කොට ඔහු ගේ උණුහුමේ ගුලි වන්නට තරම් අඳුරක ගිලෙන්නට ද සූදානමක් ඇය වෙත නො විණ. සිය දෑත් තවමත් සංක ගේ සිරුර ස්පර්ශ නොකොට තිබෙන බව ඇය ට දැනිණ. අපරාජිතා දෑත් මිට මොලවා ගත්තා ය. කෙසේ වෙතත් සසංක ඒ ග්‍රහණය ලිහිල් කළේ විනාඩි කිහිපයකට පස්සේ ය. 

ඔහු ගේ දෙතොල් මත ජයග්‍රාහී දඩබ්බර මඳහසක් විය. හුස්ම වැටෙන්නට ගත්තේ ඒ ග්‍රහණයෙන් මිදුණාට පසුව සේ අපරාජිතා ට දැනිණ. එකෙනෙහි ඇය ට ඕන වුණේ එතැනින් වහා පලා යන්නට ය. අපරාජිතා ඉක්මනින් හැරුණා ය. නමුත් දෙඅඩියක් තබන්නට පෙර සසංක ‘අපූ’ කියා කතා කළේ ය. ඇය එහෙම ම නතර වූවා ය. අපරාජිතා පසු කොට ඉදිරියට ගිය සසංක කෙලින් ම ඇය ට සම්මුඛ ව නතර වී ඒ මුහුණට එබුණේ ය. මුළු සිරුර ම සීතල වී ඇති බවක් අපරාජිතා ට දැනිණ. ඇගේ දෙකම්මුල් වලට පහළින් ගෙල දෙපසින් ඔහු ගේ දෑත් රැඳිණි. සසංක ගේ අතැඟිලි සිය කන් පෙත්තක වදිනවා දැනී, හිරි වැටීමක් සිරුර පුරා දිව යන හැටි ඇය බලා සිටියා ය. ඊළඟ මොහොතේ දඩබ්බර දෙතොලක් ඇගේ සිනිඳු කම්මුලක තදින් තෙරපිණ. අපරාජිතා බිම බැලුවා ය. ඊළඟට ක්ෂණයෙන් හැරී වැහි පින්නේ ම දිව ගියා ය. 

ඔහු ගේ තොල් පෙති ලිහී සිනහව පිටතට පැන ගත්තේ ය. සසංක හෙමිහිට දොර වසා දැමුවේ ය.

අපරාජිතා හති හලා ගෙන බැල්කනියේ වේවැල් පුටුවට වැටුණා ය. මහා තිත්ත කළුවරක් පරිසරය වෙලා ගෙන ඇති සෙයක් ඇය ට පෙනිණ. වැහි පින්නේ ම කණාමැදිරි තිත් දෙක තුනක් අඳුර කැපීමේ උත්සාහයක් දරයි. 

“අම්…මි…කී සැරයක් කතා කළාද අනේ මං…ඇහෙන්නැද්ද අප්ප”

අනන්‍යා දොරකඩ සිට නෝක්කාඩුව ද නිදිමත ද මිශ්‍ර හඬකින් චෝදනා කළා ය. අහසින් පොළොවට වැටුණා සේ අපරාජිතා ව්‍යාකූල ව සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles