(අ)හිමි සිහින -202

මට ඊට පසුව දා සුධාරක බලන්නට යන්න අවසර ලැබුනා.ගාන්නට ලැබුණත් නොලැබුණත් කමක් නැතැයි කියා මම හොඳම තල තෙල් බෝතල් දෙකක් ද රැගෙන ආවේ ඔහුගේ වියලී ගිය හමේ ආලේපකිරීමෙන් ඔහුට යම් සහනයක් ලැබේ ය කියා සිතමින්. ඔබ කීවාට විශ්වාස නොකළත් සුධාරක මා ළඟ සිටියදී ඔහුගේ නියපොතු කැපුවේ කන් ශුද්ධ කළේ ද මා විසින්. වැඩුණු මිනිසෙකුගේ කන ශුද්ධකිරීම ටිකක් අමුතු දෙයක්.මොකද එය අවධානම් සහිත වියහැකි නිසා කිසිවකු එය වෙන අයෙකු ලවා කරවා ගන්නේ නැති දෙයක්. ඒත් සුධාරක කීවේ මා එය කරන විදිහ ඔහුට සනීපයක් ගෙනෙන බවයි. මා ඔහුගේ කනට හානියක් නොකරන බව ඔහුට තිබූ විශ්වාසයයි.මා ඔහු බලාගත්තේ කුඩා දරුවෙකු බලාගන්නා ලෙස යැයි මා කියන්නේ ඒ නිසායි.ඉඳහිට ඒ දිනවල මට ඔහු

“මැණිකෙට මගේ රූපලාවන්‍ය ගැන කිසිම ගානක් නෑ.ගෑනු ලමයි බලයි කියල ද කොහෙද” කියා මහ හඬින් සිනා සුණු අන්දම මම තෙත් දෑසින් සිහි කරන මතකයක්.

හෙට සුධාරක බලන්නට ලැබෙන සතුටින් ඉන්නා අතරතුර ඔහුගේ වෛද්‍යවරයා දිනක් පැවසූ දෙයක් මට සිහි වුණා.

“මිසිස් අනුරාධා ආයෙ දවසක සර් ව බලන්නට එනවා නම් මට කියන්න.මම කැමතියි සර් ඔබතුමියට respond කරන හැටි බලන්න.එතකොට අපිට ඔබට සර්ව බලන්න දෙන්න කියල ඉල්ලීමක් හරි කරන්න පුලුවන්ද බලන්න”

මා ඔහුගේ වෛද්‍යවරයා අමතා මා ඊට පසුදා පැමිණෙන බවත් ඔහුට හැකිනම් එන ලෙසත් දන්වා සිටියා.

ඊටත් පැය කිහිපයක් පසුවෙන විට සුධාරකගේ ආයතන ප්‍රධානී උසස්ම නිලධාරියාගෙන් මට ඇමතුමක් ලැබුණා.

“අනුරාධා ඔයා කාට හරි හෙට සුධාරක බලන්න යන බව කිව්වද”

මා ඔහුට වෛද්‍යවරයා හා මා කතාකරගත් දෙය කීවා.

“ඒකනේ ඒ doctor දන්නෙ නැතූව ඒක වාට්ටුවේ අයට කියලා තියෙනවා. සුධාරක ළඟ ඉන්න අර ලමයි දෙන්නා ඒක කතාකරලා අර රට පැන්න ගෑණිට කියලා.ඒ ගෑණි මට කතාකරලා කියනවා කසාද අයිතිය නැතුව ඔයාට බලන්න දෙන්නෙ කොහොමද කියලා.මම ඒ ගෑණිට හොඳටම බැන්නා.එක්කෝ එයා ලංකාවට ඇවිත් මේ ලෙඩා ගැන බලන්න ඕන .නැත්නම් අපිට කරගන්න දීලා කට වහගෙන ඉන්න ඕන. ඒ ගෑණි තමයි මේ ඔක්කොම අවුල් කරන්නේ.හැබැයි දැන් මට හෙට ඔයාට යන්න දෙන්න බැරිවෙනවා.ඕවා නීති ගැටලු වලට ආවම අපිට දෙන්න උත්තරත් නෑ නෙ.I’m so sorry”

නොසිතූ වෙලාවක හෙණයක් පාත් වුණාම ඒ වගේ වෙන්නැති කියලා මට හිතුණා.මගේ සතුටු සිත කැඩී බිඳී විසිරී යන්නට ගියේ තත්පරයකටත් අඩු කාලයක්.අනේ මට සද්ද නැතිව සුධාරක බලන්න යන්න තිබුණේ.ඒත් මම කරන්න හැදුවේ ඔහුට හොඳක්.අර ළමයි දිල්හානිට කේලම් කියාවි යැයි මා සිතුවේ නෑ වෛද්‍යවරයා සිතන්නටත් නෑ.

එදින මගේ වාසනාව ගිලිහී ගිය පසු මට සුධාරකව බලන්නට අවකාශ නොලැබී ගියා.ඒ රෝහල නැවතත් කොවිඩ් වසංගතය නිසා වසාතැබීම එයට හේතුව වුණා.

එසේ තවත් මාසයක් පමණ ගෙවී ගියා හදිස්සියේම මට දුරකථන ඇමතුමක් ආවේ සුධාරකගේ සමීප නිලධාරියෙකුගෙන්

“මැඩම්. සර්ව රණවිරු සෙවණට අරන්යන්න හදනවා.”

මගේ හදවත කඩා වැටුණා.ඔහු රණවිරු සෙවණට ගෙනියන්නේ ඇයි.

“අනේ සර්ව රණවිරු සෙවනට ගෙනියන්නේ ඇයි.සර්ව මේ ගෙදරට ගේන්න.මේක සර් දුක්මහන්සියෙන් හදාගත්ත සර්ගේ ගෙදර.සර්ව බලාගන්න මං ඉන්නවා.සර්ව කොහේවත් යවන්න ඕන නෑ. මගේ පණ තියෙනතුරු මං එයාව ආදරෙන් බලාගන්නවා”

වේදනාවත් කෝපයත් මුසුවූ හඬින් මා වේගවත් ස්වරයෙන් පැවසුවා මට අද වගේ මතකයි.

“අනේ මන්දා මැඩම් මේ මොනවා වෙනවද කියලා අපිට නම් තේරෙන්නේ නෑ.සර් සිහියෙන් හිටියානම් කිසි දවසක කැමති නොවෙන දේවල් තමයි දැන් වෙන්නේ.”

“මට ගෙදර ගේන්න දෙන්න බැරිනම් ඇයි සර් ගේ බාරකාරයෝ කියාගත්ත එවුන් කෝ. විවාහ සහතිකය දික්කරන එවුන් කෝ. උන් මැරිලද.”

බොහෝවිට සුධාරක දැන් ගෙදර ගෙනියන්න හැකියාවක් ඇතැයි වෛද්‍යවරු නිර්දේශ කරන්නට ඇති.ඒත් දේපලට විනා ඔහුගේ අගයක් නොදත් ඒ තබා මනුස්සකමක් වත් හදවතේ නොතිබූ ඒ අධම මිනිසුන් ඔහු බාරගන්නට බැහැයි කියන්න ඇති.අම්මා කියන ගැහැනිය නම් කොහොමත් හිටියේ ඇගේ ලෙඩ දුක් අඳෝනා කියාගත් ගමන්මයි.ඒකත් කමක් නැතැයි සිතමු.එතකොට නීතියේ අයිතිය කියාගත් එවුන්.සහෝදරකම නමට තියාගත් එවුන්. ඇයි දෙයියනේ මිනිස්සු මෙහෙම?මනුෂ්‍ය කියන වර්ගය තුලත් තිරිසන් ම ගති ඇති එවුන් මා ඒ දැක්කාමයි.

සුධාරක කාත් කවුරුවත් නැතිව රණවිරු සෙවනට යවනවාට විරුද්ධව මා හැම තැනටම සහ හැම දෙනාටම පැමිණිලි කළා. ඔහු බලාගන්නට කෙනෙක් නැත්නම් මට බාරදෙන ලෙසද මා ඉල්ලීමක් කළා. ඒ අතරම සුධාරකගේ පවුලේ අයටද ඇතිපදම් දෙස් දෙවොල් තියමින් ඔවුන්ට ඒවා දැනගන්නට සැලැස්සුවා.සතියක පමණ සංග්‍රාමයකින් පසුව මොනයම් හේතුවකට හෝ එය වැලකී ගියා

කාලය මෙසේ අවිනිශ්චිතව හා අවිවේකීව ගෙවී යන්නට වුණා.මම තවමත් ගිණිගොඩේ පසු වුණා.ඒත් මා කරගෙන ආ සටන් එලෙසම කරගෙන ගියා. දිනපතා ඔවුන් සුධාරක බලන්නට නොපැමිණෙන බවත් නිල රථයේ රවුම්ගසන බවත් ඉහලට දැන්වූවා.එනිසාම ඔවුන්ටද සිතූ සිතූ සේ සැපසේ ඉන්නට හැකි වූයේ නෑ. එසේම මා කතන්දරයෙන් ඉවත්ව නැති බවත් ඔහුට කරන සියලු දේ ගැන මා පරික්ෂාකාරී සිටින බවත් මම එලෙස දැනෙන්නට හැරියා.

මේ කාලයේ මා නීතියේ පිළිසරණ සෙවීම වගේම බෝධිපූජා බාරහාර ආදියට කැප වුණා. කවුරුන් හෝ සුධාරක සුවකරගන්නට,ඔහුගේ අපල දුරුවන්නට කියා යම් පූජාවක් තබන්නට කීවොත් ඒ සියල්ලද කළා.ඒ තබා මා ඒ දිනවල දිනපතා මධ්‍යම රාත්‍රිය පසුවී ගිය පසු ස්නානය කර තෙත කොන්ඩය පිටින් විශ්ණු දෙවියන්ට පහනක් පත්තුකර ඔහුට ජීවිතය යැද්දා.ඒ දේවල් වල සත්‍ය අසත්‍ය භාවය ඇත්තටම මට එවේලේ වැඩක් තිබුණේ නැහැ.ඔහුට සුව වේ යැයි කවුරු හරි යම් වතාවන් ගැන කීවාද මා ඒ සියල්ල කළා.

මෙසේ තවත් මාසයක් එකහමාරක් පමණ යන්නට ඇති. මා දිනක් සුධාරකගේම සහෝදරියක් වන් යෙහෙලියක අත අටපිරිකරයක් රෝහල වෙත යැව්වේ ඔහුට එය අතගස්සවාගෙන පැමිණ පූජාකරන්නටයි. නමුත් එය රැගෙන ගිය සොහොයුරියට ඔහු බලන්නට අවසර දී තිබුණේ නෑ.

” මේක හරි වැඩක් නේ.මේ ලෙඩා අසාධ්‍ය ලෙඩෙක්. පිරිකරයක් අතගස්සවලා පූජාකරනවා කියන්නේ මොනතරම් පිනක් ද.මෙහෙම කරලා ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ”

ඇය පාලනාධිකාරියෙන් විමසා සිට ඇත්තේ ඇගේ ද යම් දැන හැඳිනකම් මතයි.එවිට ඔවුන් පවසා තිබුණේ

“මෙහෙමයි මැඩම් අපිට හරියට බලපෑම් තියෙනවා.සැරින්සැරේ ලියුම් දෙනවා.අද එක නෙවෙයි හෙට. සර් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වලා පිරිත් ටිකක් කියන්න පවා අපි ගෙදර අයගෙන් අවසරගත්තේ හරිම අමාරුවෙන්”

මේ ලෙස හිරකරගෙන ඉන්නට කිසිදු හේතුවක් නැතත්. සුධාරකගේ ඉරණම එසේ ලියවෙමින් තිබුණා.මේ වනවිට ඔහු ගේ සිරුර ඉතාමත් වැහැරී කෘෂ වී ගොස් තිබුණා. සැබවින්ම ඒ සිරුර දිරාගිය මහලු මිනිසෙකු ගේ මෙන් ඇටකටු පෑදී ජරාජීර්ණය වෙමින් තිබුණා.මා මේ කියන කාලය වනවිට ඔහු ගිලන් වී මාස අටක්. මා ඔහු නොදැක ගෙවුණු දීර්ඝතම කාලය එය වුණා. මාස තුනක් පමණ මට ඔහු බලන්නට යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඔහු සුවකරගන්නට වෛද්‍යවරුන් සෙවීම මා නතරකලේත් නැහැ.ඒ නිසාම මගේ ඉල්ලීමට ඔහුගේ උසස්ම නිලධාරියා සිංහල වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඔහුව යොමුකරන්න සිය කැමැත්ත පලකර එය සිදුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටියා.

මේ සියල්ල එසේ සිදුවෙමින් පවතින අතරතුර සීතල දෙසැම්බරයේ එක්තරා දවසක සුධාරක ගේ සමීපතම නිලදරුවෙක් දුරකථනයෙන් මා ඇමතුවා.

ඒ ගැන අපි හෙට කතාකරමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles