මා හද තුළ ඔබ 28

නින්දට පෙර සේදුම් පිරිසිඳු කිරීම් අවසන් කොට පැමිණි රන්මුතු කණ්ණාඩි මේසයේ කැඩපත ඉදිරියෙහි හිස කේ පීරමින් සිටියා ය. තඹරු කැඩපතින් පෙනෙන අම්මා ගේ රුව දෙස යහන මත හිඳගෙන බලා සිටියා ය. අම්මාත් දුවත් හැමදාම නින්දට යන්නේ ගෙදර සියලු කටයුතු අවසාන කොට, යළිත් පහළට ගොස් ගේට්ටුව අගුලු දමා විදුලි පහන් නිවා විත් ය. වෙනදාට මේ කැඩපතින් ම දකින අම්මා ගේ පිළිබිඹුව ට වඩා අද ඇය වෙනස් ය කියා තඹරු ට සිතේ. වෙනදාට නොවන නිවූණු බවක් ඇගේ උවන මත අද වැතිරී ගෙන ඇත. උපදේශන සැසියෙන් පසු ඇය වඩාත් නිහඬ හා කල්පනාබර වූ බවක් තඹරු නිරීක්ෂණය කළා ය. නමුත් තදින් අල්ලා ගෙන සිටි බරක් අත්හැර දැමුවා වන් ශාන්තිමත් සැනසිලිදායක බවක් ඇය වෙත පැමිණ නවාතැන් ගෙන ඇතිවා මෙනි.

“කවුන්සලින් සෙශන් එක ගැන මොනාද හිතන්නෙ අම්ම”

තඹරු ඒ ගැන ප්‍රශ්න කළේ දවසේ පළමු වතාවට ය. සැසිය අවසානයේ සමනල් ගේ රියෙහි යළි මත්තේගොඩ පැමිණෙන අතරේවත් ඔවුහු ඒ ගැන වචනයක් හෝ කතා නොකළහ. කැඩපත ළඟින් නැගී සිටි රන්මුතු දියණිය වෙත විත් යහන මත හිඳගත්තා ය.

“තාත්ති පව් කියල හිතුණ. අපිට තව එක අවස්ථාවක් හම්බුණ එකත් ලොකු දෙයක් කියල හිතුණ. ඇත්තටම තාත්ති ඒ ලේඩි එක්ක සම්බන්දයක් තිබිල නෑ කියන එක විශ්වාසයි දැන්. ඒත් එයා මාත් එක්ක ශෙයා කරගත්තෙ නැති රහසක්…ඒ කියන්නෙ වෙන ගෑනු කෙනෙක් ගැන එයාගෙ හදවතට ළඟ දෙයක් තිබිල තියනව කියන ඇත්තෙන් හැංගෙන්න බෑ. බබූ…ඒ දුක මගෙ හිතේ කොතනක හරි හැමදාමත් තියේවි. ඒත් මං ඒක අමතක කරන්න ට්‍රයි කරනව. කවුන්සලර් කිව්ව වගේ…අපිට තියෙන්නෙ පොඩි ජීවිතයක්. දේවල් වල එල්ලිලා ලොකු කාලයක් ගත කරනකොට ජීවිතෙන් බාගෙකටත් වැඩිය ගෙවිල ඉවරයි. මට පුළුවන් විදිහට ඉස්සරහට එන කාලෙ තාත්තිට තනිකමක් නොදැනෙන්න එයා ළඟින් ඉන්නව. කාලයක්ම අපිට අපි මිස් වුණා. එයා තනි නෑ කියල එයාට දැනෙන්න අරින එක තමයි දැන් මට කරන්න ඉතුරු වෙලා තියන දේ…”

රන්මුතු ගෙන් සුසුමක් ගිලිහිණ. නමුත් ඇගේ මුහුණ මත වූයේ පසුතැවීමක් නොවේ. ඇය තවමත් තරුණ පාට ය. මූණ සඳක් වාගේ පිරිපුන් ය. දුඹුරු වර්ණ ගැන්වූ හිස කේ, ඇය නූතන ගැහැනියක බව කියයි. ඒ සියල්ලට වඩා ඇගේ කරුණාවත් දෑස් ආදරයේ ප්‍රතිමූර්තියකි.

“යං. පහළ ලයිට් නිවල එමු නිදියන්න”

රන්මුතු යහන මතින් නැගිටින්නට ගියා ය. “අම්මි” කියා අතින් අල්වා තඹරු ඇය වැළකුවා ය.

“මං පහළ වහළ එන්නං. කොහොමත් ටික වෙලාවක් මිදුලට වෙලා හුළං ටිකක් වැදෙන්න ඉඳල එන්න හිටියෙ. අම්ම ගිහින් තාත්තගෙ රූම් එකේ නිදියන්න”

රන්මුතු ගල් ගැසුණා සේ ය. ඇය පිරිමි උණුහුමකින් තොර ව නිදන්නට පුරුදු වී දශකයක් ද ඉක්මවා තිබේ. මුලින් දරු දෙදෙනා දෙපසින් ද පසුව තඹරු ළඟින් ද සිටි නිසා ඇගේ පාළුව යම් තරමකට තුනී වූ බැව් සැබවි. නමුත් වෙහෙස වී ඇවිත් නෙතු පියවනා හැම රාත්‍රියක ම හුරු පුරුදු වේදනා ගුලියක් පපුවේ හිර වූ හැටි ඇයට මතක ය. යන්තම් පපුව පිරිමැද ඒ වේදනා ගුලිය තුනී කොට යවත්දී ඇස් පියන් ඇතුළේ ඉසිහින් කඳුළු පටලයක් බැඳුණු වාර අනන්ත ය. යළි කිසි දාක උදා නොවෙනා වසන්තයක මතක තුරුලු කොට ගෙන ඇය දීර්ඝ වූ ශිශිරයක නිද්‍රෝපගත ව ශිශිර තරණය කරමින් සිටියා ය. තඹරු නින්ද යනකල් ම ඇසුණේ අම්මා ගේ සුසුම් වැල් වල පැටළුණ නිහඬ විලාපයයි.

“තාත්තටත් කියන්න දේවල් හුඟක් ඇති. මෙච්චර කල් ඕගොල්ලො කතා කළේ නෑනෙ. ඒක නිසා අම්මටත් තාත්ත එක්ක කියන්න දේවල් ඇති. දැං ඉතිං ඈත් වෙලා හිටිය ඇති අම්මි. ගෑනුන්ට වගේ දේවල් දරාගන්න පිරිමින්ට හයිය නෑ. මං ඒක ඔය දෙන්න දිහා බලං ඉගෙනගෙන තියන දෙයක්. තාත්තිට ඔයාව ඕන අම්මි. හිත ගලක් කරං හිටියට ඔයාටත් එයා ඕනෙ. අපිට ඔය දෙන්නම ඕනෙ. අපේ ජීවිත වලට ආයෙ සතුටක් කියල දෙයක් එනවනං ඒ ඔය දෙන්න සතුටෙන් ඉන්නව දකින කාලෙක. තාත්ති වරදක් කළේ නෑ කියනවනං අපි අපිටම අවස්ථාවක් දීගෙන බලමු. හාද…”

රන්මුතු දෙතොල් පෙති තද කරගෙන සිනහ වීමේ උත්සාහයක් දැරුවා ය. තඹරු අම්මාගේ කොට්ටයත් පොරෝනාවත් ගෙන ඇගේ භාරයට පත් කළා ය.

“යන්න යන්න”

“ඒත් බබූ…ඔයාට තනියම..”

“මට මොන තනියක්ද අනේ..අනික ඔයත් එක්ක හිර වෙලා නිදාගෙන මට ඇති වෙලා හිටියෙ. දැන් ඉතින් දෙයියනේ කියල මට අතපය දික්කරල නිදියන්න පුළුවන්. යන්…න ඉතිං…මං පහළට යනව”

තඹරු හෙමිහිට පහළට ආවා ය. කැෆේ එක මිදුලේ කහ පාට විදුලි පහන තිබියදී ඇය ලයිට් බෝඩ් එක නිවා දැමුවා ය. කැෆේ එක ඇතුළේ ද එක ම එක කුඩා එළියක් ඉතිරි කොට අනිත් පහන් නිව්වා ය. ඇතුළත උණුසුම දැඩි වී ද පිටත සෞම්‍ය ය. තඹරු මිදුලේ කුඩා රවුම් මේසයක් ළඟ අසුන්ගත වූවා ය. මත්තේගොඩ නගරය පුරා දැල්වෙන විදුල් පහන් එළි, කදෝකිමි තිත් සේ ඈතින් දිස් වේ. ඝණ අන්ධකාර නැති, ලා සුදක් තැවරි ගුවන් ගැබ පාළු ය. තැන් තැන් වල අතරමං වූ තරුවක් දෙකක් ඉඳහිට හොරැහින් බලයි. තඹරු ගේ ලවන් අතරේ මන්දස්මිතයක් සරැලි නැගුවේ ය. ඇය ට සැහැල්ලුවක් දැනේ. එය සැනසීමෙහි වෙස් වලාගත්තකි.

වැඩිපුර රථ වාහන නොමැති මාර්ගයෙහි හෙමිහිට ඇදී ආ මෝටර් රථයක් කේක් ඇන්ඩ් කොෆී ඉදිරියෙහි නැවතිණ. බෝඩ් එකේ විදුලි එළිය ද නිවූ බව සහතික කරගත් තඹරු ඇස් කුඩා කොට වඩා හොඳින් බැලුවා ය. රිය දොර ඇරී වැසිණ. කිසිවෙක් ග්‍රිල් ගේට්ටුව වෙත පැමිණියහ.

“මං කෝල්ස් දෙකක් ගත්ත..ෆෝන් එක ආන්සර් කළේ නෑනෙ. නිකමට මෙතනදි ස්ලෝ කළේ”

ගේට්ටුවට පිටතින් සිටියේ සමනල් ය.

“මේ වෙලාවෙ…”

තඹරු ගේ ස්වරයෙහි විශ්මයක සේයා විය.

“අද රෑ වෙලා ජිම් එකට ආවෙ. මං හිතුව ඔයා නිදි කියල”

“රස්නෙ නිසා එලියට වෙලා හිටිය ටිකක්…ෆෝන් එක ඇඳ උඩ”

ඇය ගේට්ටුව විවර කළේ මඳ කලබලයකිනි. සැබවින් මේ මොහොතේ ඔහු දකිනා හීනයක් හෝ හිත දැක තිබුණේ නැත. සැහැල්ලු කළු පාට ටී බැනියමකින් ද අළු පාට බොටම් කලිසමකින් ද සැරසී උසට උසේ ඈ ඉදිරියේ උන් යෞවනයා, තඹරු ගේ හිතේ තුනී ගැස්මක් ඇති කරමින් සිටියේ ය. කලබලයක් ලෙස ඇගෙන් බැහැර වූයේ ඒ ගැස්ම විය යුතු ය. කුඩා මිකී මවුස් ලා සිත්තම් වූ සුදු පාට වෙලෝනා පිජාමා ඇඳුම් කට්ටලයකින් සැරසී උන් යුවතිය වෙතින් දිස් වූයේ හුරතල් පොඩි දැරියක ගේ විලාශයකි. මල් සුවඳක් හමා ආවේ ය. සමහර විට ඒ පන්සල් බිමෙන් සොරා ගන්නා ලද මල් හා සුවඳ දුම් සුවඳක් වන්නට ඇත. සමනල් දිවයුරු රණසිංහ අනාරාධිතව ම පුටුවක් ඇද හිඳ ගත්තේ ය. සැහැල්ලු ලෙස හර බරි ගැසී, වම් කලවය මතට සෙරෙප්පුව ගැලවූ දකුණු කකුල ගෙන වමතින් ඒ කකුල අල්වා ගත්තේ ය. ඒ යටිපතුල දෙස තඹරු හොරැහින් බැලුවා ය. ඒවා කිරිගරුඬ පාට ය. ඇය යාබද පුටුවකට බර වූයේ රොබෝවරියක මෙනි.

“ඉතිං…”

උගුර යටින් මතු වූ ගැඹුරු පිරිමි හඬ ගැහැනු ආත්මයක් වසඟ කරගන්නා එකකි. ඉසිහින් සරාගයක්, ඒ අකුරු තුනේ වචනය තුළ තැවරී නො තිබුණා ම නොවේ. තඹරු ඔහු දෙස බැලුවේ පෙර ගැස්මෙන් ම ය. අඳුරු සෙවනැලි අතරින් ඒ මුහුණේ එක් අර්ධයකට පමණක් කහ පාට විදුලි එළිය වැටී කැපී පෙනේ. උගුරු දණ්ඩෙහි මතුපිටට නෙරූ අස්ථිය මත ඇගේ ඇස් නතර වී තිබිණ. ආලෝකය හා අඳුර එකට හමු වන තැන දී රේඛා වඩාත් තීව්‍ර ය. පෙර නොදුටු වක්‍ර හා හැඩතල ඉස්මතු වී පෙනෙන්නේ ය.

“ඔයාට කොහොම තෑන්ක් කරන්නද කියල මං දන්නෑ. අවුරුදු දහයකටත් එහා කාලෙකට පස්සෙ අම්මි අද තාත්තිගෙ රූම් එකට ගියා නිදියන්න”

තඹරු ගේ ඇස් වලට තෙතමනයක් දැනෙන්නට විය. ඇය මන්දහාසයකින් දෙපා ඈතට කොට දෑත් පපුව මත බැඳ ගත්තා ය. ඉහලට කොට දමා තිබි පෝනිටේලය නිසා ඇගේ ගෙල අඳුරු සෙවනැලි අතරින් වඩා හොඳින් පෙනිණ. අක්බඹර රොදක් ඒ සුසුදු ගෙලෙහි ඇලීගෙන තිබෙනයුරු සමනල් ගේ ඇසට හසු විය. ඔහු මොහොතක් ඇස් මුදා ගන්නට අමතක වී සිටියේ ය.

“ඉතිං…ඔයා සතුටෙන්ද…”

“හ්ම්”

“එහෙනං එච්චරයි තඹරු. වෙන තෑන්ක් කිරිල්ලක් ඕන නෑ”

“මගෙ අම්මිටයි තාත්තිටයි ආයෙ ජීවිතයක් දීල කරපු පිණෙන්…ඔයාට ඔයාගෙ අම්මව හම්බ වෙන්න ඕනෙ”

සමනල් පිළිවදන් දෙන්නට ගියේ නැත. ගිය තැනෙක සිට, ඉන්නා තැනෙක සිට අම්මා ට ඔහු ඕනෑ වූවා නම් කතා කරන්නට ඕනෑ තරම් කාලය තිබිණ. ඒ ගැන දැන් බලාපොරොත්තු මාත්‍රයක්වත් ඔහු ගේ සිත්හි ඇත්තේ නැත.

පිය ගැට පෙළෙහි ඉක්මනින් ගැටුණ පියවර හඬ නතර වූයේ සඳැස් ගේ රුවත් එක්ක ය.

“කාමරේ දොරත් ඇරල මෙයා නැති නිසයි මං බැලුවෙ. සොරි”

ඔහු ආපසු හැරෙන්නට ගියේ ය.

“කොහෙද යන්නෙ මෝඩය එනව”

තඹරු වහා ඔහු වලකමින් නැගී සිටියා ය.

“මං මෙතෙන්ට වෙලා හිටිය සනීප නිසා. මිස්ට සමනල් ජිම් එකට ගිහින් යන ගමන් දැකල නතර වුණේ”

“හරි ඉතිං ඕගොල්ලො කතා කරල එන්න. මං පාඩං කර කර හිටියෙ”

“මාත් එහෙනං යන්නං තඹරු”

“ඉතිං අපි කොෆී එකක් බීල යං. මං ටක්ගාල දාං ඒන්නං”

“හරි හරි එහෙනං දානව”

කියමින් සඳැස් ද ප්ලාස්ටික් පුටුවක් ඇද හිඳ ගත්තේ ය. තඹරු ඉක්මන් කොට කෝපි මැෂිමෙන් කෝපි දැමුවා ය.

“අපි කතා කළේ අම්මයි තාත්තයි ගැන සඳැස්”

සමනල් ගේ ප්‍රකාශයට සඳැස් ගේ ප්‍රතිචාරය වූයේ අවඥාසහගත සිනහවකි. තඹරු ඒ දුටුවා ය.

“පණ්ඩිතය..ඔහොම හිනාවුණාට කමක් නෑ අම්මගෙවත් තාත්තගෙවත් හිත රිදෙන්න මොනාත් කියන්නෑ හරිද…”

“අපේ අම්මටත් පිස්සු අප්ප”

“එහෙම කියන්න එපා බං. උඹලෑ අම්මට වෙන කෙනෙක්ගෙන් සතුටක් හොයන්න ඕන වුණානං ඒකට මෙච්චර කාලයක් බලං ඉන්න ඕන නෑනෙ. ආන්ටිගෙ ජීවිතෙයි ජීවිතේ සතුටයි දෙකම තියෙන්නෙ අංකල් ළඟ”

“තාත්ත වරදක් කළේ නෑ කියල අම්මට විශ්වාසනං එච්චරයි. තමුසෙ තාම පොඩි එකා. පැහෙන්නැතුව ඉන්නව. මේ කොෆී එක බීල ගිහින් පාඩං කරනව. තමුසෙ තාම මොනාද මිනිස්සුන්ගෙ සම්බන්දකං ගැනයි හැඟීම් ගැනයි දන්නෙ”

තඹරු සඳැස් ට තරවටු කරමින් කෝපි බඳුන් තුන මේසය මතින් තබා හිඳගත්තා ය. සමනල් ගේ කට කොනකට සිනහවක් ආවේ ය. ඇය ඇස් කුඩා කොට ඔහු දෙස බැලුවේ ඒ සිනහවේ අරුත කුමක් දැයි අසන්නා සේ ය.

“ඔය කිව්වට ඒව ගැන මෙයා දන්නෙත් නෑ ඉතිං”

සමනල් අත දිගු කොට කෝපි බඳුන ගත්තේ වචන වලින් තඹරු ට ප්‍රහාරයක් එල්ල කරමිනි. කන් අගුලු වැටුණා සේ ඇයට දැනිණ. ඔහු ගේ ඒ වචන ද ඒ අඩ සිනහව තුළ තැවරී ගත් ඇනුම්පදය ද ඇගේ හද මඬල තුළ පිළිරැව් දෙන්නා සේ විය.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles