ප්‍රේමයේ අභිමන් -39

දේශිකා ගෙන් දොස් අසා ගත් දා රාත්‍රියේ අරවින්ද සිය නිවසේ කුඩා ස්කාගාර කොටසේ ස්ටූල් එකක හිඳ තනිව මී විත තොල ගෑවේ ය. එය කුඩා වූවද දුර්ලභ හා වටිනා වර්ග වල මධු විත එකතුවකි. ලෝකයේ විවිධ රට වල ව්‍යාපාරික සංචාර සඳහා ගොස් එත්දී ඔහු මේ වගේ හොඳ වර්ග වලින් බෝතල කිහිපයක් ගෙන විත් තැන්පත් කර ගන්නේ ය.

දෙහිවල වෛද්‍ය පාරේ නිවසට ද මෙවන් කොටසක් එක් කරන්නට ඔහු ට ඕනෑ වී ද ඒ කාලේ අපරාජිතා ඊට ඉඩ දුන්නේ නැත. ඇය ඒ වාගේ සුඛෝපභෝගී හා සංකීර්ණ ජීවන රටාවකට කවදත් රිසි නොවූවා ය. මත් පැන් එකතු කරන්නට ඔහු රුචි වත්දී ඇය ආශා වූයේ මල් පැල හා පොත් එකතු කරන්නට ය. ඔවුන් දෙදෙනා ගේ පරස්පර විරෝධී රුචිකත්වයන් හැමදාමත් ගමන් කළේ රේල් පීලි යුගලක් සේ සමාන්තර ව ය. මේ මත ගැටුම් වලින් වෙහෙසව දිනන්නට ඕන වුණ දාක ඇගේ පතොක් වර්ග වල එකතුවක් ඔහු විසින් මිදුලට විසි කොට චප්ප කොට දැමූ හැටි අරවින්ද ට දැනුත් සිහි කර ගත හැක. ඒ වෙලාවේ අපරාජිතා ගේ මූණේ තිබුණේ දුකක් නොව කේන්තියකි. ඒ කේන්තියෙහි අධිෂ්ඨානයක් ද පැටලී තියෙන්නට ඇත. ඒ කවදා හෝ ඈ පතනා විමුක්ති මාර්ගයට අවතීර්ණ ව ඔහු හා වන බැඳීමෙන් ද ඒ නිවසෙන් ද අභිනිෂ්ක්‍රමණය කරනා බවයි. අවසන ඇය සිය විමුක්තිය සොයා ගත්තා ය. ඔහු ජීවිත පඹ ගාලෙහි තව තවත් පැටළුණා සේ අරවින්ද ට දැන් දැනේ.

ඔහු මේ නිවස තනවන්නට ගත්තේ වෛද්‍ය පාරේ ඉන්නා ගමන් ම ය. ඒ බව දැන ගත් අපරාජිතා අවඥා සහගත සිනහවක් හෙළුවා ය. ඔහු ට ගෙවල් දෙකක් අවශ්‍ය වන්නේ ඇයි දැයි ඇය දැන සිටියා ය.

“මේ කාලෙ වියදං කරල ඕව කර ගත්තොත් තමයි. ඉස්සරහට මේ රටේ ගෙයක් දොරක් හදා ගන්නව කියන එක ලේසි වැඩක් වෙන්නෑ”

අරවින්ද අනාගත වාක්‍යයක් ද කීවේ ය. ඒ අනාවැකි මේ වෙත්දී කෙතරම් සත්‍ය වී ඇත්දැයි ඔහු සිතුවේ තමන් කෙරේ උපන් ආඩම්බරයෙනි. දක්ෂ ව්‍යාපාරිකයෙකුට අනාගතය දිවැසින් දැකිය හැකි ය!

නුගේගොඩ හයිලෙවල් පාරට යාබදව කිරුලපන දෙසට වන්නට මේ ඉඩම ගෙන නිවස ඉදි කරත්දී අරවින්ද ගේ යටි සිත්හි ඊට වඩා රහසිගත අනාගත සැලසුමක් තිබිණ. ඒ රොෂෙල් ව ඒ ගෙදර පදිංචි කරවා ඇයට ද පවුලක් හා ජීවිතයක් ලබා දීම ය. ඔහු ගේ ව්‍යාපාර මේ තත්වයට ගෙන එනු වස් විශාල මෙහෙයක් කළ හා ඔහු ගේ සතුට වෙනුවෙන් සියල්ල කැප කළ ඇයව වවුල් හපයක් සේ ඉවත ලන්නට ඔහු කිසි දා සිතුවේ නැත. ඇය මෙහි පදිංචි වූ පසු ඔහු ට ගෙවල් දෙකෙහි ම මාරුවෙන් මාරුවට සිටිය හැක. ඒ ගැන කිසිවෙකුට ප්‍රශ්න කළ නො හැකි ය. අපරාජිතා නඩු කියා දික්කසාදය ඉල්ලා සිටිතැයි අරවින්ද බලාපොරොත්තු වූයේ ම නැත. දරුවෙකු සමග වෙන් වෙනවාට වඩා බොහෝ ස්ත්‍රීන් කරන්නේ ඇස් කන් පියා ගෙන පති කුලයෙහි ප්‍රධාන චරිතය රඟපාන එක ය. ඒ දරුවන්ගේ අනාගතය හා කා බී සිටින සිය පැවැත්ම ගැන සිතා ය. සැමියා ගැන බොහෝ කාරණා දැනගෙන වී ද ඔවුන් රඟන්නේ ඒ කිසිවක් නොදන්නා ගානට ය. අපරාජිතා ද එසේ කරනු මිස ඊට වඩා පියවරක් ඉදිරියට තබන්නට තරම් ධෛර්යමත් වනු ඇතැයි ඔහු නො සිතුවේ ය. කෙසේ වතුදු ඇය දික්කසාදය ඉල්ලා සිටි වෙලාවේ ඔහු ක්ෂණික සැනසුමක් ද ගින්දරක් ද කියන දෙක ම අත්වින්දේ ය. සැනසුම ලොකු බරකින් නිදහස් ව ඔහු ගේ ලෝකය ගොඩ නගා ගත හැකිය යන හැඟීමයි. ගින්දර අනන්‍යා ගෙන් සේ ම අපරාජිතා ගෙන් ද වෙන් වන්නට වෙනවා ය යන හැඟීමයි.

අපරාජිතා අහිමි වීම ගැන දැන් ඔහු ට තියෙන්නේ ලෝබ කමකි. ඇය ඒ තරම් එඩිතර ව සිය හුදෙකලා ජීවිතය භාර ගනු ඇතැයි අරවින්ද බලාපොරොත්තු වූයේ නැත. රොෂෙල් ට සාපේක්ෂව බලත්දී අපරාජිතා වාගේ ගැහැනියක සමග ජීවත් වීම කෙතරම් පහසුවක් දැයි දැන් ඔහු ප්‍රායෝගික ව අත්විඳිමින් සිටින්නේ ය. ඒ සියල්ලට වඩා සසංක වාගේ කඩවසම් තරුණයෙකු ගේ අවධානය ඇය වෙත යොමු ව ඇතැයි දැන ගැනීම ඔහු ගේ ඊර්ෂ්‍යාකාරී හැඟීම් අවුළුවාලන හේතුවක් වී තිබේ. 

“ඔහේ හිතං ඉන්නෙ සීගිරි කාෂ්‍යප කියලද…ගෑනු දෙතුන් දෙනෙක් එක පාර තියා ගෙන මාළිගේට වෙලා ඉන්න…”

දේශිකා ගේ පිහි තුඩු වන් අවඥාවෙන් භරිත ඒ වදන් දැනුත් අරවින්ද  ගේ සවන් තුළ පිළිරැව් දේ. ඔහු වට පිට බලා රොෂෙල් අසලක නොවන බව සැක හැර දැන ගෙන අපරාජිතා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. ඇය පිළිතුරු දුන්නේ එසේ කරනවා ද නොකරනවා ද කියා ඇගේ හිතින් ම කිහිප වර ප්‍රශ්න කිරීමෙන් අනතුරු ව ය.

“ප්ලීස් ලයින් එක කට් කරන්න එපා අපූ. මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ. හිතේ තියෙන මේ දේවල් මට කියන්න පුළුවන් ඔයා එක්ක විතරයි අපූ”

ඔහු මඳ පමණ මී විතෙන් සප්පායම් වී ඇති බව ඒ වචන වල වන රිද්මය අනුව අපරාජිතා අනුමාන කළා ය. ඔහු වෙනුවෙන් ඇගේ හිතේ තෙතමනය වියළී ගිහින් තිබුණේ කාලයකට පෙර ය. නමුත් පිටස්තරයෙක් හෝ දුකයි කියන විට දුක අසා සිටීම මිනිස් කමක් බව ඇය අදහයි.

“කියන්න තියන දෙයක් කියන්න අරවින්ද. හැබැයි මේක මෙතනින් නවත්තන්න. ඔයා මේ විදිහට සැරෙන් සැරේ මට කතා කරන එක රොෂෙල්ට ප්‍රශ්නක් වෙනව අනිවාර්යෙන්. මේ පවුලත් අවුල් කර ගන්න එපා”

ඉතා කරුණාවෙන් වී ද අපරාජිතා කතා කළේ ඉතා තදිනි. දුගඳ හමනා කුණු ගොඩ වලින් ඈත් ව සිටිනවා විනා කලත කලතා ඒ දුගඳ පතුරවන්නට ඈ රිසි නොවූවා ය.

“රොෂෙල් තේරුං ගන්නෑ අපූ. මට ඔයා ගැන හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්න පුළුවන්. ඒත් අනන්‍යා මගෙ දුව. රොෂෙල් ඒක තේරුං ගන්නෑ. මං අනන්‍යා ට ආදරේ කරන එකත් එයා නිසා නතර කරන්න ඕනද…එයාට බැරි ඇයි මේ දේවල් ගැන ටිකක් මානුෂික විදිහට හිතන්න…”

අපරාජිතා මුව මඳක් හැර ලොකු සුසුමක් ගත්තා ය. මේ සදාකාලික ජීවන අර්බුධ වලට විසඳුම් සොයා ගත යුත්තේ බාහිර ලෝකයෙන් නොව තමන් තුළින් ම ය. රොෂෙල් අරවින්ද කෙරේ සානුකම්පිත නොවෙන තාක්  ඔහු තව තවත් අතීතය හා වර්තමානය අතරේ ගැඹුරු අගාධයෙහි ගිලී යනවා මිස ගොඩ ඒමක් නොවන බව අපරාජිතා ට ඉවෙන් වාගේ වැටහිණ. හිතේ අමාරුවට ඔහු කියවූ සියල්ල අසා උන් ඕ ඒ කතා බහ අවසාන කළේ ඇයට යළිත් ඔහු නිකරුණේ කතා නො කළ යුතු බව සිහිපත් කිරීමෙනි. එසේ ම රොෂෙල් සමග නිදහසේ කතා කළ යුතු ය කියා ද ඇය සිතා ගත්තා ය.

“අපරාදෙ අම්මි…ඔය දෙන්නට වෙන් නොවී ඉන්නයි තිබුණෙ”

ඒ කතා බහෙන් පස්සේ අපරාජිතා ගේ ගෙලෙහි එල්ලී ගෙන අනන්‍යා ශෝකී ස්වරයකින් කීවා ය. අපරාජිතා ගේ පපුවේ දැවීමක් ඇති විය.

“එහෙම ඉන්න පුළුවන් කමක්වත් ඕන කමක්වත් තිබුණනං මං වෙන් වීමක් ගැන හිතන්නෙ නෑ පුතේ. මේක තමයි වෙන්න තිබුණ හොඳම විදිහ. ප්‍රශ්නෙ තාත්ති එදත් එයාව තේරුං ගත්තෙ නෑ අදත් තේරුං ගන්නෙ නෑ. එයා බලාපොරොත්තු වෙන විදිහට මුළු ලෝකෙම පවතින්න එයා ලෝක පාලක දෙවියො නෙවේනෙ”

අරවින්ද ගැන අනුකම්පාවක් ඇති කරවනු  වෙනුවට ඔහු ගේ හැසිරීම තව තවත් ඈ තුළ ඔහු ගැන වූ නොපහන් හැඟීම තීව්‍ර කරන්නට සමත් විය. අනන්‍යා මේ තත්වය දැන්වත් වටහා ගෙන ඊට ගැලපෙන සේ ප්‍රතික්‍රියා කළ යුතුය කියා ද ඇය විශ්වාස කළා ය. අරවින්ද ගේ ජාන සංයුතියෙහි ඇතැම් දුර්වල ලක්ෂණ අනන්‍යා ද උපතින් ම ගෙනැවිත් සිටින්නී ය. නමුත් බුද්ධිමත් වීම තුළින් ජාන ලක්ෂණ යටපත් කර ගත හැකි විය යුතු යයි අපරාජිතා සිතුවා ය. 

“තාත්තියි ඔයයි සැරෙන් සැරේට ඇති කරන මේ මෙස් එක මට කොච්චර නරක විදිහට බලපානවද කියල ඔය දෙන්නම හිතන්නෙ නෑ. දරුවො මේක දියුණු ලෝකයක්. අම්මයි තාත්තයි දෙන්නම එක්ක ළමයින්ට හැදෙන්න පුළුවන්නං හුඟක් හොඳයි. ඒක නිසා තමයි ඔයාට අවුරුදු දාහතක් වෙනකල්ම මං මාව අමතක කරල හිටියෙ. ඒත් ලෝකෙ දියුණු රටවල පවුල කියන යුනිට් එක එක්ස්ප්ලේන් කරන්නෙ අම්ම තාත්ත දරුවො විදිහට විතරක් නෙවෙයි අනන්‍යා. දරුවො අම්ම හරි තාත්ත හරි එක්කෙනෙක් එක්ක ඉන්න පවුල් ගැනත් ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලත් එක්ක දරුවො හැදෙන පවුල් ගැනත් කතා කරනව. ඒ විතරක් නෙවෙයි අලුත් ට්‍රෙන්ඩ්ස් වල හැටියට තාත්තල දෙන්නෙක් හරි අම්මල දෙන්නෙක් හරි එක්ක දරුවො හැදෙන පවුල් තියෙන්න පුළුවන් කියලත් එයාල පොඩි ළමයින්ට උගන්නනව. ඔයා ලොකු  ළමයෙක්. ඔයා මේක තේරුං ගන්න. අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න තිබුණනං කිය කිය මනෝ ලෝකෙක ජීවත් වෙන්නෙ නැතුව ප්‍රායෝගික ඇත්තට මූණ දෙන්න. ඔයාට ඉස්සරහට ඔයාගෙ වැඩිහිටි ජීවිතේ වුණත් කොයි වගේ තීරණ ගන්න වෙයිද කොයි විදිහෙ ලයිෆ් එකක් ගෙවන්න වෙයිද කියන්න බෑ. වට් එවර්…සතුටෙන් ඉන්න එකයි වැදගත්. සතුටෙන් ඉන්න හේතු හොයන එකයි වැදගත්. පරණ කුණු ගොඩවල් කූරු ගගා දුකෙන් ඉන්න හේතු හොයන එක නෙවෙයි කරන්න ඕන. අපිට අතීතෙන් අනාගතේට යන්න වෙනව. ජීවිතේ කියන්නෙ ගමනක්”

අපරාජිතා ටිකක් තදින් කතා කළේ අනන්‍යා යළිත් විදෙස් ගත වන්නට පෙර ඇය ව මේ මායාමය සිහින ලෝකයෙන් බිමට බස්වා යැවිය යුතුයයි සිතා ගෙන සිටි නිසාම ය. තාත්තා හා දුව අතරේ සම්බන්ධය බිඳ ගත යුතු නැති වී ද දික්කසාදයකින් වෙන්ව ගිය දෙදෙනෙකු යළි යළි නිරන්තර අන්‍යෝන්‍ය වශයෙන් සමීප සබඳතා පැවැත්වීම අනවශ්‍ය ය යන්න ඇගේ අදහසයි. 

රාත්‍රියේ ඇති වූ ඒ කතා බහෙන් පසු අනන්‍යා තරමක් මෙල්ල වූවා සේ ය. පසු දා ඇය සිය යෙහෙළිය ධනූ හමු වන්නට ගිය අතර, ඊට පසු දිනයේ යෙහෙළියන් එක්ව හොරණ පැත්තේ හෝටලයක දවස ගත කරන්නට යොදා ගෙන තිබිණ. එය අලංකාර හරිත පරිසරයකින් ද පිහිනුම් තටාකයකින් ද සමන්විත වූවක් බැවින් ද යෙහෙළියන් සමග විනෝද වන එක ඇගේ මානසික සෞඛ්‍යයට යහපත් ව බලපෑ හැකි නිසා ද අපරාජිතා ඊට අවසර දුන්නා ය. 

ටික දිනක් තිස්සේ අනන්‍යා ඇයත් සමග ඇනෙක්ස් එකේ ජීවිතය බෙදා ගත්තා ය. අපරාජිතා ඊට හුරු වෙමින් සිටියා ය. එහෙයින් ම අනන්‍යා උදයෙන් ම නික්ම ගිය පසු ඇයට යම් පාළුවක් දැනුණේ ය. ජීවිතය කියන්නේ එක එක පුද්ගලයන්ටත් එක එක දේ වලටත් සිදු වෙන ඇබ්බැහියක් හෝ පුරුද්දක් නොවේ දැයි ඇය සිතුවා ය. නමුත් උදේ වරුවේ පිටපතක් ලියා ගන්නට ඇයට නිදහස ලැබී තිබිණ. ඉන් පසු බැල්කනියේ බිම හිඳ ගෙන ඕ සිය මල් පැල දෙස බලා හිඳින්නට වූවා ය. කුඩා ප්ලාස්ටික් බඳුන් වල වන කැක්ටස් හා සක්චුලන්ට් පැළ ද වෙනත් ගෘහස්ථ විසිතුරු පැළ ද දැන් දලු නගා වැඩී ගෙන එයි. ඒ හැම එකට ම ඊට ආවේණික වූ සුන්දරත්වයක් තිබේ. එක එක ශාක වල පත්‍ර වෙනස් හැඩයන් ගෙන් ද වර්ණයන් ගෙන් ද යුක්ත ය. ඒවා යේ නාරටි පත්‍රය පුරා විහිදී යන ආකාරය ද පත්‍ර නටුව කඳ ට සවි යන වින්‍යාසය ද එකකින් එකකට වෙනස් ය. මුළු විශ්වය ම කෙතරම් නම් විචිත්‍ර වූ සොබා දමේ නිමැවුමක් ද? 

ඇය විසිතුරු පැළ සමග පෙමින් වෙලී සිටිනා ආකාරය දෙස, පිය ගැට පෙළ නැග විත් ප්‍රවේශයෙහි සිට ගත් සසංක මුණිවතින් බලා සිටියේ ය. ඔහු ගේ අතේ ටැබ් එක තිබිණි. සසංක ආවේ අපරාජිතා ට යමක් පෙන්වන්නට ය. පසු ගිය දින කිහිපය පුරා සිදු වූ විවිධ ඇබැද්දි නිසාවෙන් ඇය ට එය පෙන්වීම පසුවට කල් ගියේ ය. 

“අනේ…කතා කරන්නැතුව ඉඳල. මං නිකං හෙවනැල්ලක් වගේ දැක්ක නිසා බැලුවෙ”

එක මොහොතක හැරී බැලූ අපරාජිතා දැරියක සේ සිනහවෙන් විකසිත වූවා ය. සසංක හෙමිහිට විත් ඇය ආසන්නයේ බිමින් හිඳ ගත්තේ ය.

“කවියක් පෙන්නන්න ආවෙ. මේක දැක්කහම මට ඔයාව මතක් වුණා. ඒත් පෙන්නන්න බැරි වුණා”

ඔහු ටැබ් එක ඇය වෙත හැරවූයේ ය. අපරාජිතා අකුරු පේළි දිගේ දෑස් දිවවූවා ය. ඒ නිර්ණාමික ලියන්නී පිටුවට අවසාන වශයෙන් ඈ ලියූ කවිය ය.  

කුවන්නා,

මට ඇහෙනවා මේ වැස්ස අතරින්

ඔබේ ඉකි හඬ

හෙණ හඬක් සේ පතිත වෙයි

සක්වලක් සසැලූ විලාපය…

දැදිරි වී ඉරි තලා ගිය ළමැද

අන්තිම ම ලේ බිඳත් කිරට හළ

දිසාලාවරු මතුත් උපදවන

කුවන්නා ඔබ ය මම…

කුවන්නා,

එක ම කුලකයක ගැහැනුන් ය අප

ජීවිතේ මහා පොදු සාධකය

ආදරය කියා තවමත් හිතන…

හදවත් පේෂි පෙරළී ගෙන භූමි කම්පාවක් සේ නැගී එන සෙයක් අපරාජිතා ට දැනිණ. ඇගේ අකුරු ඇගේ ඇස් වලට කඳුළු ගෙනාවා නොව මේ තේරුම් ගත නො හැකි ජීව රසායනය ඇය කළඹවන්නට සමත් වී තිබිණ. සසංකත් ඇයත් අතරේ සන්නිවේදනය වන්නා වූ යමක්, ඉතා සියුම් වූ හා ඉතා තියුණු වූ යමක් ඇහැට ඇඟිල්ලෙන් ඇන තිබිණ. ඇගේ ඇසින් ගිලිහී වට කඳුළක් ටැබ් එක මතට ‘ටක්’ ගා වැටිණ. සසංක ට හීල්ලෙනු අපරාජිතා ට හොඳට ම ඇසිණ.

“සො…රි…”

ඔහු ට කියැවී තිබිණ. අපරාජිතා දෑස් පියන් පත් ඔසවා සසංකගේ ඇස් මත්තේ තබා විවර කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles