ප්‍රේමයේ අභිමන් 40

කඳුළක් දෙකක් වැටුණාට අපරාජිතා ඉක්මනින් ම සන්සුන් වූවා ය. ගැහැනු ඇස් වලට කඳුළු එන්නේ දුකක් වාගේ හැඟීමකට විතරක් ම නොවේ. ඔවුහු සතුටට ද ස්නේහයට ළඟ හැඟීමෙහිදී ද කඳුළක් හලති. එය වූ කලී ගෑනු ගතිය ය. මේ වෙලාවේ වැටුණ කඳුළට හේතුව හෝ එහි තේරුම හෝ අපරාජිතා දැන සිටියේ නැත. ඇතැම් විට පෙර කී සියල් හැඟුමන් වල මුහුවක් එහි වන්නට ඇත. 

ඇය සන්සුන් වන්නට ගත වන කාලය පුරා සසංක හිටියේ ආනන්තරීය පාප කර්මයක් කර ගත් පව්කාරයෙකු ගේ බැල්මකිනි. ඔහු ලිහිල් වූයේ ඇය සිය දිගටි අතැඟිලි වලින් කොපුලේ තැවරුණ කඳුළු පැල්ලම් මකා ඔහු දෙස බලා හිනැහෙත්දී ය. ඒ සියුමැලි දිගැටි ඇඟිලි වල ලා දම් පැහැයෙන් ආලේප ගැල්වූ කොට ද නැති දිග ද නැති, ගාණට කැපූ නියපොතු විය.

“ඔක්කොම ගෑනු කුවේණිල තමයි සසංක”

ලා හසරැල්ල අතරින් ඇය මිමිණුවා ය. විජයල දන්නෙ කුවේණි හිත් රිද්දන්න තමයි. ඒක මේ ලෝකෙ බිහි වුණ දා ඉඳලම වුණ දෙයක් වෙන්නැති. ලෝකෙ පවතින්න ගෑනුන්ගෙ හයිය ඕන නිසා වෙන්නැති විජයල මවල ඒ හයිය එළියට ගන්නෙ. ආදරේ කියන්නෙ කුවේණිලට කවදාවත් තේරුං කරල දෙන්න බැරි වුණ දෙයක්. විජයල තේරුං ගත්තෙත් නැති දෙයක්. ආදරේ හොය හොයා කුවේණිල ඉබාගාතෙ යද්දි විජයල හිතුවෙ තමන්ගෙ වංශෙ රකින්න පුළුවන් ගෑනියෙක් අග බිසව කර ගෙන තමන් කැමති පරිවාර ගෑනු පිරිසකුත් වටේට තියා ගන්න එක ගැන. ඒ වගේ රජෙක්ගෙ අග බිසව වෙනවට වඩා ආදරේ ගැන හීනයක් මවා ගෙන තනියම ඉන්න එක හොඳයි කියල හිතන කුවේණිල කවදාවත් මේ ලෝකෙ නැති වෙන එකක් නෑ සසංක”

“ඒ කවියට ඔයා කැමති වෙයි කියල හිතුව නිසා විතරයි මං පෙන්නුවෙ”

අපරාජිතා බිම බැලුවා ය. එ කවිය ගැන තව දුරටත් කතා කරන්නට ගිය හොත් ඔහු ට යමක් ඉව වැටෙන්නට හැකි නිසා අපරාජිතා කර බා ගත්තා ය. 

නිර්ණාමික ලියන්නී නමින් ලියන්නේ තමන් බව ඔහු ට නො කියා ඉන්නට හේතුවක් අපරාජිතා ට වූයේ නැත. නමුත් එහෙම කියන්නට හේතුවක් ද නැතිවා යයි ඇය සිතුවා ය. කොහොමත් කෙනෙකුට එක්වර මුළුමනින් නිරාවරණය වෙනවාට වඩා තරමක් දුරට සංවෘත ව හිඳිනා එක හොඳ යයි ඇයට හැඟේ. ඔහු නිර්ණාමික ලියන්නී ගේ අකුරු සමග පෙමින් බැඳී හිඳිනවා නම් ඒ අකුරු වල හිමිකාරිය කවුදැයි දැන ගත යුතු ම නැත.

“මං පිරිමියෙක් නිසා පිරිමින්ගෙ පැත්ත ගන්නව කියල හිතන්න එපා. සමහර විට…රිද්දන්න හිතනව නෙවෙයි පිරිමි රිදෙයි කියල හිතන්නැතුව දේවල් කරනව. කොහොමත් පිරිමි කැමතියි මොකක් වෙයිද කියල හිතන්නෙ නැතුව එවෙලෙට හිතෙන දේ කරන්න. සමහර වෙලාවට එහෙම දුර දිග බලන්නෙ නැතුව කරන දේකින් ඉකිරි වෙන්නෙ පසුතැවිල්ලක් විතරයි. හැබැයි තමං පසුතැවෙනව කියල පෙන්නන්නත් පිරිමි කැමති නෑ. එහෙම ඉන්න මිනිහෙක් දිහා බලල ගෑනියෙක් නරුමයෙක් කියල හිතන එක ගැන පුදුම වෙන්න ඕනත් නෑ”

අපරාජිතා ගෘහස්ථ පැලෑටි කිහිපයක පත්‍ර ඇඟිලි තුඩින් පිරිමැද බැලුවා ය. එක් එක් පත්‍රයෙහි වයනය එකිනෙකට වෙනස් ය. මිනිස් ජීවිතත් එබඳු ය යන සත්‍යයට මුුහුණ දීම අසීරු වී ද කිසිවෙකු හට ඒ ලෝක සත්‍යයයෙන් පලා යා නො හැකි ය. 

“මිනිස්සු ඒගොල්ලොංගෙ ජීවිත වලින් සෑහෙන කාලයක් ජීවත් වෙන්නෙ හරියට කිසි දෙයක් නොදැන. සමහර විට ජීවිතේ කියන්නෙ මොකද්ද කියල හොය හොය..පරීක්ෂණ කර කර…ඒ අතරෙදි ඕන තරං මිස්ටේක්ස් වෙන්න පුළුවන්. මන්නං හිතන්නෙ එහෙම නොවුණොත් පුදුම වෙන්න ඕන. වැරදි වලින් තමයි මිනිස්සු ඉගෙන ගන්නෙ ඒක වැරදියි කියල. ඇවිදින්න පුරුදු වෙන කාලෙ ළමයෙක් වැටෙද්දි තමයි ඉගෙන ගන්නෙ බැලන්ස් එකක් කියල දෙයක් තියෙනව කියල. ඒ වැරදි වලට ඉඩක් නැත්තං..ඒ වැරදි හදා ගන්න ඉඩක් නැත්තං මේ ලෝකෙං ඇති වැඩකුත් නෑ. සිදුහත් කුමාරය වුණත් එක පාරට බුදු වුණාද…නෑ. වැරදි වැරදි පාර හොයා ගෙන ගියා. මිනිහෙක්ට ආදරේ කියන්නෙ මොකද්ද කියල තේරුං ගන්න සමහර විට ගෑනු කීප දෙනෙක් හරහා යන්න වෙනව. කලබල වෙලා ඉක්මනට මැරි කළහම වෙන්නෙ ඒ හරි කෙනා නෙවෙයි කියල තේරුණත් කට්ට කාගෙන ඒ සම්බන්ධය ඇතුළෙ ඉන්න වෙන එක. සමාජෙට බයට. සමාජෙ ගැන හිතන්නැතුව තමුන්ට ඕන දේ කරන එකාට මිනිස්සු ගල් ගහනව. හැබැයි කවුරුත් ගැන හිතන්නෙ නැතුව තමන්ගෙ ඉරණම ලියා ගන්න මිනිහ තමයි ජීවිතේ සම්පූර්ණයෙන් ජීවත් වෙන්නෙ”

අවුරුදු දහ අටකට පස්සේ හෝ සිය ඉරණම ලියා ගන්නට තමන් තුළ ඇති වූ ධෛර්යය ගැන අපරාජිතා ට සතුටක් දැනිණ. සසංක ට ඕන වී තිබුණේ සමින්දි යනු සිය දිවියෙහි අතරමග හමු වූ ජීවියෙකු පමණක් බව අපරාජිතා වෙත අවධාරණය කරන්නට ද? 

වැඩිපුර කතා කළේ සසංක වී ද ඒ කතා බහ අපරාජිතා ට ඉතා දැඩි ව අවශ්‍ය වී තිබූ දෙයක් සේ ඇය සන්තෘප්ත වූවා ය. වැඩිපුර නිහඬ මිනිසුන්ට ද හෘදයාංගම වූ කතා බහක් අවශ්‍ය වන්නේ ය. සිය හදවත් වල කාලයක් තිස්සේ ප්‍රශ්න සේ ඉතිරි ව තිබූ හිස් තැන් පුරවාගෙන යන කතා බහක් අවශ්‍ය වන්නේ ය. හ්ම් මිටි තැබීමකින් විතරක් සම්බන්ධ වී ද එවන් සන්නිවේදනයක් විශාල ආත්ම තෘප්තියක් ඇති කරන්නේ ය. සසංක කියන්නේ එහෙම කතා කර කර සිටිත හැකි මිනිසෙකි. 

අපරාජිතා ගේ කෝපි කෝප්පයකින් උණුසුම් වී පහළ මහළට පැමිණි ඉක්බිති ද සසංක ගේ සිතිවිලි කුණාටුව හමා ගොස් නිම වී තිබුණේ නැත. හෙට ඔහු යළිත් රැකියාවට යාමට නියමිත ය. නමුත් ප්‍රබල වෛරස් ප්‍රහාරයකට ලක් ව හිස ඔසවා ගත නො හැකි ව උන් දින පහ හයක කාලය ලෙහෙසියෙන් අමතක කළ නො හැකි ය. තනි ව ජීවත් විය හැකි යයි මිතුරන් සමග තර්ක කළ ඔහු ට වෛරසය පාඩමක් උගන්වා ගියේ ය. නැගිට ගන්නට බැරි විදිහට පංචස්කන්ධය ඇඳ මත සැතපවීමෙනි ඒ. අපරාජිතා නො හිටින්නට ඒ සටන කිරීම කිසි සේත් පහසුවක් නොවන බව දැන් ඔහු පසක් කර ගෙන තිබේ. කායික අවශ්‍යතා වෙනුවෙන් උවමනා ම නම් ගැහැනියක මුදලට ගත හැකි යයි සිතනා බොහෝ මිතුරන්ට කියා දෙන්නට පාඩමක් දැන් ඔහු උගෙන සිටී. ජීවිතයට සහකරුවෙකු අවැසි වන්නේ යහනට පමණක් නොවේ. ජීවිතය උහුලා දරා ගන්නට ය. බොහෝ දුෂ්කර සන්ධිස්ථාන පවා තරණය කර ගන්නට උනුන්ට වාරුවක් වන්නට ය. ඇති යයි කියා නතර වෙන්නට සිතෙනා විට පවා ජීවිතය ඉදිරියට තල්ලු කරන්නට ය.

දෙතුන් වතාවක් ම සසංක මරණීය වේදනාව යනු කුමක් දැයි අසිහියෙන් සේ දැක හැඳින ගත්තේ ය. පුපුරා යතැයි සිතූ හිස බදා ගෙන ඔහු වේදනාවෙන් මිරිකෙත්දී අපරාජිතා සිය ස්ත්‍රීත්වයේ  නයිටීන්ගේල් දෑතින් බාම් ගල්වා ඔහු ගේ නළල දෙපස සම්බාහය කළා ය. ඇඟිලි තුඩගින් ජීවිතාශාව තවරමින් හිස කේ අතරින් හිස පිරිමැද්දා ය. දරනු නො හැකි ඇඟ පතේ වේදනාවෙන් පෙළෙත්දී උනු දියේ පෙඟවූ සලුවකින් සන්ධි තැවුවා ය. මරණය පෙනි පෙනී සිටිනා මිනිසෙකු පවා සිය අතකින් අල්ලා ජීවිතය වෙත කැටිව එන්නට ගැහැනියකට පුළුවන. එසේ කළ හැකි එක ම ගැහැනිය අම්මා බවත් අවශේෂ ස්ත්‍රීන් මැවෙනුයේ පුරුෂාශාවන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් බවත් ඇදහූ මිනිහෙකුට කනේ පහරක් දෙන්නට ඇය සමත් වී තියේ. දුර ඈත කොහේදෝ සිට අම්මා සිනහ වී බලා සිටිනා සෙයක් සසංක ට දැනිණ.

සතියකට පසු යළි රැකියාවට යන විට සසංක සිරුරෙන් තරමක් කෘෂ වී සිටියේ ය. වෙහෙසක් හා ශ්වසනයෙහි යම් අපහසුවක් තව දුරටත් ඔහු අතැර නොයා ගොස් තිබිණ. ඇස් යට ගිලී ගිය මුත් යමක් ප්‍රත්‍යක්ෂ කර ගත් පරිනත පෙනුමක් ඔහු වෙත ඇති වී තිබිණ. නො කැපූ රැවුල ඒ පෙනුම වඩාත් තීව්‍ර කරවනා ලදී.

“මට අපරාජිතාව බඳින්න ඕන”

ඔහු අසේලට කීවේ ය.

“උඹට පිස්සුද…”

මිතුරා කඩා පැන්නේ ය. 

“පස්සෙ ඩිවෝස් කරන්න හරි මුලින් ලස්සන පොඩි කෙල්ලෙක් බැඳල හිටාං. හරක් මස් කන්න ඕන වුණා කියල හරක් ඇති කරන්න ගන්නෑ කියල උඹ දන්නවනෙ”

“ජීවිතේ කියන්නෙ එහෙම දෙයක් නෙවේ බං. ආදරේ කියන්නෙත් ඔය උඹ කිව්ව වගේ සරල දෙයක් නෙවේ”

“උඹ හිතන්නෙ ආදරේ තියෙන්නෙ දික්කසාද වෙච්ච ගෑනියෙක් ළඟ කියලද…මං හිතුව ඔය ගෑනිට උඹ අහු වෙයි කියල. මචං ඩිවෝස් වෙච්ච එකියක් බලන්නෙ තුත්තිරි කරලක් වගේ කාගෙ හරි සරමක එල්ලෙන්න. කර ගහන්න හදන්නනං එපා පුතෝ”

“කසාද නොබැන්දට අපි සිල් රැකපු මිනිස්සු නෙවේනෙ බං…”

“ඉතිං…මං කියන්නද…ලොකූ අමාරුවක වැටෙන්න කලින් කී මනී දීල ඇනෙක්ස් එක ෆ්‍රී කර ගනිං. ලෙඩ වෙච්ච වෙලාවට බත් ටිකක් කන්න දෙනව කියන එක ගැන ඔච්චර හිතන්න එපා මචෝ. අනිත් එක ගෑනියෙක් උයන කෑම වලට වහ වැටිච්ච එකාට ඒ ගෑනිගෙං ගැලවීමක් නෑ කියනවලු. ඕනනං ආං අර දේශිකාව බැඳපං..අවුලක් නෑ”

අසේල සමග තව දුරටත් මේ ගැන කතා කොට පලක් නැකි බව සසංක ට ඉවෙන් වාගේ වැටහිණ. තමන් තුළ වන හැඟීම පදරුත් පසිඳා ඔහු ට කියන්නට සසංක දන්නේ ද නැත. එය අසේල කියනවා වාගේ ලෙඩට සාත්තු කිරීම නිසා හෝ ඇය පිසිනා ආහාර වල රසයට වසඟ වීම නිසා හෝ ඇති වූ හැඟීමක් හෝ බැඳීමක් නොවේ. ජීවිතයේ ඉතිරි අර්ධයේ දී ලෙඩ දුක් කරදර හා තනි නොතනිය වෙනුවෙන් ගමන් සගයෙකු අවශ්‍යය කියනා පටු අදහස මත ගත් තීරණයක් ද නොවේ. නමුත් ඔහු ට ඇය අවශ්‍යයි සේ දැනේ. බරපතල ලෙස අවශ්‍යයි සේ දැනේ. ඉතා තදින් ඇගේ අත අල්ලා ගෙන යා යුතු ගමනක් සම්පූර්ණ කිරීමට ඇති බවට හැඟීමක් දැඩිව ඔහු ට දැනේ.

“මේ මූ මට බණිනව තමුසෙට ගෙදරට යන පාර කිව්ව කියල”

අසේල බලහත්කාරයෙන් කතා කොට වාගේ සමින්දි ව එතැනට ගෙන්වා ගත්තේ, මිතුරෙකු වශයෙන් මේ වෙලාවේ සියතින් ඉටු විය යුතු යුතුකම එය සේ සලකා ගෙන ය. ඇය සරාගී දෑසකින් බලා සසංක ඉදිරියේ නතර වූවා ය. 

“මෙයාගෙ හොර අහු වෙනවනෙ එතකොට”

අසේල නො දැනුණා සේ එතැනින් නික්මුණ ද ඒ ඇනුම් පදයෙහි තිබිය හැකි යටි පෙළ අරුත ඔහු ට ඉවෙන් වාගේ දැනිණ. 

“හොර…”

සසංක සමච්චලයට කට ඇද කළෙි ය.

“කවුද එතකොට ඒ බැල්කනි එකේ හිටිය ගෑනු දෙන්නගෙං  ඔයාගෙ දුක සැප බලන කෙනා…”

“කතා කරන කැත”

ඔහු පිළිකුලකින් ඉවත බැලුවේ ය. සමින්දි සසංක ඉදිරියේ වන අසුන ඇද හිඳ ගත්තා ය. 

“ඒකනෙ දැං අපිව මගාරින්නෙ”

“මේ සමින්දි. මගඅරින්න මං ඔයාව අල්ලගෙන ඉඳල නෑ. ඔයා හොඳටම දන්නව මං ඔයා එක්ක අෆෙයා එකක් තියාගන්නව කියලවත් මැරි කරමු කියලවත් නෑ. ඔයා මං ගැන එහෙම හිතා ගත්තට මට කරන්න දෙයක් නෑ”

“එහෙනං මොකටද දන්නෑ හොටේල් රූම්ස් වල මීට් වුණේ..”

“ඒකත් මගෙ උවමනාවටම වුණ දෙයක් කියන්න එපා. ඔයාගෙ පෙළඹීම නිසයි එහෙම දෙයක් වුණේ. අනික මේ ඔයා ඒ චෝදනාව මට දාන්න කලින් මතක් කරල බලන්න ඔයාගෙ හිස්ට්‍රි එක. මට කාගෙවත් පර්සනල් ලයිෆ් එකකින් වැඩක් නෑ. හැබැයි වැදගත්ම දේ…සෙක්ස් කියන්නෙ ආදරේට නෙවෙයි. ආදරේ කියන්නෙ ඊට වඩා හුඟාක් උඩින් තියන දෙයක්. ලිංගික බෙලහීන මිනිහෙක්ගෙ ළඟ වුණත් රැඳෙන්න පුළුවන් හැඟීමක් ආදරේ කියන්නෙ. ගොට් ඉට්…”

“විකාර”

කියාගෙන සමින්දි අසුනින් නැගිට ගියා ය. තමුන් වෙනුවෙන් ඉටු විය යුතු යුතුකමක් වූවා සේ සසංක ට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles