විවාහ සහතිකයකට පමණක් නෙවෙයි, උප්පැන්න සහතිකයකට පමණක් ද මාපිය දරුවන්ගේ ආදරය හෝ බැඳීම වලංගු වන්නේ නැහැ.ඔබ උප්පැන්න සහතිකයම විවාහ සහතිකයම විශ්වාස කරන, එයට වටිනාකමක් දෙන අයෙකු නම් ඒ විශ්වාසය අභියෝගයට ලක් කරන සත්‍ය සිදුවීම් මගේ ජීවිත කතාව තුල එමට දකින්නට ලැබේවි.නෛතික බැඳීමක් තුළ හැමවිටම මිනිසෙක් හෝ ගැහැණියක් සුරක්ෂිත වන්නේ හෝ සැනසීමක් ලබන්නේ යැයි මම හිතන්නේ නැහැ.ඒ නිසා කොතැනක හෝ නෛතික බැඳීමක් නැති තැනක බැඳෙන මානුෂික බැඳීම් වලට නින්දා අපහාස කරන්නට පෙර එක්වරක් දෙවරක් නොවේ සිය දහස් වාරයක් හිතන්න.
ඊටපසු මා සුධාරකගේ පොඩි නංගී ඇමතුවේ මේ සංවේගදායී පුවත දැනුම්දෙන්නටයි.
“අක්කා අනේ මගේ සුධාරක දැන් ටිකකට කලින් මාව දාලා ගියා”
ඇය අපේ කතාව හොඳින්ම දන්නා නිසාත් පවුලේ මිනිස්සුන්ගේ හිතක් පපුවක් නැති කපටි වැඩ නිසා ඔහු සාපරාධී ලෙස විඳවා මරණය දුටු බව ඇයත් මමත් හොඳින්ම දන්නා නිසා මා ඉකි ගසමින් හැඬුවා.
“අයියෝ ඇත්තද”
ඇය පැවසුවේ එපමණයි.ඉන් එහා හැඬීමක් තබා සුසුමක් හෝ ඇගේ මුවින් පිටවූයේ නෑ. මා ඒ ගැන පුදුම වූයේ ද නෑ. ඇයට ඔහු ගැන හැඟීමක් තිබුණා නම් තමන්ගේ සහෝදරයා බලන්නට නොදෙන ලැයිස්තුවට තම නම ඇතුලත් කොට තිබූ බව දැනගත් දා එයට එරෙහිව නීතිය හමුවට හෝ යන්නට තිබුණා.ඒ නිසා යුතුකමක් සේ සලකා මා ඇය දැනුවත් කළා යැයි මම හිත හදා ගත්තා.
ඊට පසු මට මූලින්ම මතක්වූයේ සුධාරක වෙනුවෙන් පොලිසි යන්නට පවා නොපැකිලුණු ඔහුට පණ සේ ආදරය කල පාසැල් සගයන්.මම එයින් ද සුධාරකට වඩාත්ම ආදරය කළ ඔහු බලන්නට නොදෙන බව දැන දැනම ගේට්ටුව ලඟින් හැරී යන්නට හෝ තම හිත හදාගන්නට දිනපතා සුධාරක බලන්නට ගිය රෝහණ අයියාට කතා කළා.වයඹ පළාත කෙළවරක පිහිටා තිබූ මධ්‍ය මහා විද්‍යාලයක කෙළිදෙලෙන් ගත කළ දවස් ගැන මා සමඟ බෙදා ගනිමින් උස් හඬින් හිනැහෙන රෝහණ අයියා මා මගේ වැඩිමහල් සහෝදරයාගේ තනතුරේ තැබූ මිනිසෙක්.
“රෝහණ අයියා…අනේ ගියා ගියා.අපිව දාලා ගියා”
මට කීමට හැකිවූයේ එපමණයි. ඒ වැඩුණු පිරිමියා කුඩා දරුවෙකු සේ විලාප තබමින් හඬන්නට වුණා.සුධාරක විශාල හදවත් ගොන්නක ජීවත්වෙන්නට පින් කළ නමුත් ඔහු මහා අකුසලයක් කර තිබුණා තමන්ට බිඳක් හෝ ආදරයක් නැති උන් ළඟ ඉපදී වැඩෙන්නට. සහෝදරකම ලෙන්ගතුකම ඇත්තේ එක බඩවැල කඩාගෙන ආ පමණින් නොවන බව රෝහණ අයියාගේ හැඬුම් හඬ අසමින් මම සිතුවා.
දන්නා සියලු දෙනාට මෙය පවසන ලෙස ඉල්ලා සිටි මම ඒ වනවිටත් මගේ දුරකථනයට නොකඩවා පැමිණෙමින් තිබූ ඇමතුම් වලට පිළිතුරු දෙන්නට පටන්ගත්තා.නමුත් එය ඒ මොහොතේ පහසු වූයේ නම් නෑ.
සුධාරකගේ ගුණ සමුදායත් ඔහුගේ නිර්භීත බවත් දක්ෂකමත් අභිබවා ඔහුගේ මනුස්සකම හා අවංකකම ගැන හැම මුවෙන්ම මට ඇසුණේ හද පාරවමින්.මේ තරම් මානුෂික මිනිසෙකු ගිලන්ව ඇද වැටුණු පසු ඔහු ඉත්තෙකු කරගෙන තම පටු අදහස් මුදුන් පමුණුවාගන්නට මාන බැලූ හැමෝටම ඒ හදවත් වලින් නැගුණේ සාප කිරීම් පමණයි. ඒත් ඒ සියල්ලම මැද මගේ ජීවිතය නතර වී අවසන්. කය මිස ආත්මයක් නැති ලෙස මගේ මුලු ජීවිතයේම හිස්බවක් මට දැනෙමින් තිබුණා. නොකඩවා ගලා එන ශෝක පණිවිඩ විමසන අතරම මම නැවතත් සුධාරකගේ ප්‍රධානියා ඇමතුවා.ඒ යහපත් ප්‍රතිචාරයක් ප්‍රාර්ථනා කරමින්.
ඒ ගැන අපි හෙට කතාකරමු.