(අ) හිමි සිහින -211

මම අකමැතිම වුවත් ඒ දවස ඒ මොහොත කෙමෙන් ලඟාවෙමින් තිබුණා.නමුත් කාලයට මගේ කැමැත්ත අකමැත්තෙන් ඵලක් වූයේ නෑ.

මම දුව සුධාරකත් මමත් සිටි ගෙදරට ගෙන්වාගත්තා.හැමෝම කිව්වේ දුව එක්කගෙන යන්න එපා කියලා.නෑ.එහෙත් ජීව විද්‍යාත්මක බැඳීමක් නොවුණත් ඒ මගේ දුවට පියෙකුගේ සෙනෙහස දුන්න මිනිසායි.එසේම ඇයගේ ආදරය පෙරළා ඔහුට නොඅඩුව දුන් ඒ නොදරුවා මේ භවයේ නැති වූවත් කුමන හෝ භවයක ඔහුගේ දරුවෙකු වී ඉන්නට ඇති.ලේ බැම්මක් කියා විශේෂ බැම්මක් මට නම් පෙනෙන්නේ නැහැ.එසේ නම් සූධාරක උප්පැන්නයට පියා යැයි නම දුන් දරුවන් ඔහුට එසේ සලකන්නේ ද නැහැ.හදවතින්ම උපදින බැඳීම් තරම් ලේ බැඳීම් පවා ශක්තිමත් නොවන අවස්ථා මම ඒ ඇස්දෙකට දැක තිබෙනවා.ඒ නිසා මගේ දුව ඔහුගේ මළගමට යා යුතුමයි.

සුධාරක ගේ දේහයේ අවසන් කටයුතු එදින සවස 3.30 ට පමණ සිදුකරන්නට නියමිතව තිබුණා.දේහය තබා තිබු තැනින් ඔසවා හමුදා ගෞරවාචාර දැක්වීම සඳහා භාරදීම දහවල් 1.00 ට පමණ කරන්නට නියමිතව තිබූණා.එතැන් පටන් පෙලපාලියකින් දේහය සුසාන භූමියට ගෙනගොස් ආචාර වෙඩිමුර සහ හමුදා ගෞරව තබා ආදාහනය කරන්නට නියමිතව තිබුණා. එක් තැනක එසේ සැලසුම් සැකසෙමින් තිබියදී අනුරාධාටත් එවැනිම සැලසුම් තිබුණා.

මම විශාල රතු රෝස මල්වඩමක් ගෙන්වාගත්තා.ඒ රතු රෝස ආදරයේ සංකේතය වූ නිසා නොවෙයි.නමුත් අප දෙදෙනාට රතු රෝස වලට ඊට වෙනස් කතාවක් තිබෙනවා.මෙයට දශක ගනනකට මත්තෙන් මා සූධාරක හා ආලයෙන් වෙලී සිටියදී එක්තරා දවසක උදේ පාන්දර ගෙදර දොර හැරිය මගේ පියාට දක්නට ලැබී තිබුණේ විශාල රතු රෝස මල් පොකුරක් හා කාඩ් එකක් සමග කේක් එකක්.එදා දවසේ හොඳටම ගුටි කන්නට එය මගේ දෛවයේ හේතුවක් වී තිබුණා.
ඒත් මේ ලෝකයේ වැලන්ටයින් කියා දිනයක් ඇතිබව මා දැනගත්තේ එදායි.එවකට දියතලාවේ සිටි සූධාරක දියතලාවෙන්ම මිලදීගත් විශාල රතු රෝසමල් පොකුර හා තෑගි මට එවා තිබුනා.එය මගේ දොරකඩට ආ විදියත් බොහොම ත්‍රාසජනක බව ඔබටත් මතක ඇති. රතු රෝසමල් පොකුරත් අද ඔහු වෙනුවෙන් මට ගන්නට සිදුවූ මල් වඩමත් ගන්නට වූයේ හේතු දෙකක් වෙනුවෙන් වුණත් ඒ හදවත් දෙකෙහිම තිබුණේ එකම හැඟීමක්.ඒ තමා එකිනෙකා වෙනුවෙන් නැගී සිටින්නට අපට ශක්තිය දුන් කොන්දේසි විරහිත ආදරය.එය සුදානම් කරගෙන මා දහවල් එකට පමණ සුසාන භූමියට ගොස් සිටින්නට තීරණය කර තිබුණා.

මා මගේ ජීවිතයේ ඒ ඒ අවස්ථාවන්ට අනුව තනි කැමැත්තට තීරණ ගත් කෙනෙක්. අනුන් කියන දේ අසා මා තීරණ ගත්තා නම් අද දුක්වන්නටත් ඉඩ තිබුණා.ඒත් හරිගියා හෝ වැරදුනා මම ජීවිතය ගැන අදටත් සුභවාදීව දකිනවා මිස බිඳක් හෝ දුක් වන්නේ නැහැ.ඒ නිසා මේ අවස්ථාවේදී ද මා ගනිමින් සිටියේ මගේ හදවතට එකඟ තීරණයි.

අවසානම මොහොතේ සුධාරකට මගේ ගෞරවය දැක්වීමට කියා හෝ ආදරයක් තබා මනුස්සකමක් හෝ පපුතුරේ නොතිබූ දිල්හානිගේ නිවසට මා යන්නේ නැහැ.සුධාරක ඕනෑම අභියෝගයකට මුහුණදෙන්නට ඉදිරියට සිංහයෙකු සේ ගියානම් මා ඔහුගේ මලකඳ උදෙසා හෝ ඔහුගේ හිස නොනැමුණු තැනකට මගේ හිස නමන්නේ නැහැ.

මේ රටේ යුද්ධය පැවති කාලය පුරාම රට වෙනුවෙන් ජීවිතය දුන් රණවිරුවන් කීදෙනෙකුගේ දේහයන් සීල්කර තැබූ පෙට්ටි වලින් එන්නට ඇතිද?රණවිරුවන් කීදෙනෙක් නම් අතුරුදහන් වන්නට ඇත්ද.ඒ විරුවන් ගේ සමීපතමයන් ඒ වේදනාව කෙසේ දරාගෙන එන්නට ඇත්ද.මටත් ඇත්තේ ඊට නොදෙවෙනි වේදනාවක් වුණත් මම කුඩාකල සිට රණවිරුවෙකුට පෙම් බැඳි ගැහැණියක්.ඔහු මගෙන් බලාපොරොත්තුවන්නේ මා සිංහධේනුවක සේ අභීතව නැගීසිටිනවා මිස මා නිවට නියාලු කොටලුදෙනක් ලෙස ජීවිතයට මුහුණදීම නොවේ. ඔහුගේ මරණය මතින් වත් මා එවැනි දෙයක් කලොත් මා එය ඔහුට කරන අගෞරවයක්.හැරත් ඔහුගේම සමීපතමයන් එකතු වී ඔහුට ඒ වනවිටත් ඇති තරම් නින්දා අපහාස ගෙනැවිත් තිබුනා. ඒ නිසා ඒ නිවසට මා යන්නේ නැහැ.නමුත් ඔවුන් කොයි මොහොතක හෝ දේහය ගෙදරින් එලියට ගතයුතුයි.මා හැමදාම අවශ්‍ය වෙලාව එනතුරු ඉවසීමෙන් සිටි ගැහැනියක්

මලවුන්ගේ බිම කිසිවෙකුට තහංචි දැමීමට හැකි තැනක් නොවේ.එය මලවුන්ගේ හා රජයට අයිති දේපලක් ඒ නිසා මා මගේ සුධාරකට සමුදෙන්නට සුසානයට යනවා.එයයි මගේ අන්තිම තීරණය.

මගේ තීරණය මා වටා සිටි අයට පැවසූ විට ඔවුන් මට එසේ නොයන ලෙස බැගෑපත්වන්නට වුණා.

“අනේ ඔයා යන්න එපා.උන් මහ නරුම මිනිස්සු.ඔයාට කරදරයක් කරයි”

“ඔයා සුධාරක වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කළා.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.හිත හදාගන්න.ඔය ගමන යන්න එපා.ඔතනට තනියම ගිහින් මොනවා හරි කරදරයක් වෙයි”

නැහැ මම යනවා.ඒකයි මගේ අවසාන තීරණය.සුධාරක මා වෙනුවෙන් සෑම මොහොතකම සිටියා.නින්දා අපහාස කිසිවක් කනකට ගනන් නොගෙන රැකියාවටත් තර්ජනයක්ව තිබියදී මා ඔහුගේ බිරිඳ ලෙස මට දියයුතු ගෞරවය හා තැන දුන්නා.ඔහු කිසි විටෙකත් ලෝකයාගෙන් මා වසන්කර තබන්නට උත්සාහ කලේ නැහැ.එහෙව් ආදරයක අවසාන ගමනට ඔහුට බුහුමන් දක්වන්නට අපායට වුණත් මා යනවා යැයි මම පැවසුවා.

මට විරුද්ධව සැඟවී සිට නින්දා අපහාස කලාට ඔවුන් කිසිවෙකුට මා හා මුහුණට මුහුණ ලා ගනුදෙනු කරන්නට කශේරුකාවක් හෝ හයියක් තිබුණේ නැහැ.හොරෙන් අගුලු මාරුකරනවා විනා ගෙදර දොරේ යතුරු මගෙන් ඉල්ලන්නට ඔවුන්ට හයියක් තිබුණේ නැහැ. සුධාරක සුව කරගන්නට සටන්කල මා නවතන්නට බොරු accounts හදා මට අපහාස කලා විනා වෙන දෙයක් කරන්නට ඔවුන්ට හැකියාව තිබුණේ නැහැ.ඒ නිසා ඒක හැමදාටම වලංගු දෙයක් බව මා දන්නවා.

මෙසේ සිතමින් ඉන්නා අතරතුර උදෙන්ම ආවේ හිතවතෙකුගේ දුරකථන ඇමතුමක්.

“මැඩම් මෙතන මොනවා හෝ කුමන්ත්‍රණයක් වෙනවා. මරණය ගන්න තව වෙලා තියෙනවා.ඒත් මෙතන කට්ටිය කසු කුසු ගානවා.මොකක්හරි ආයේ ප්ලෑනක් ද දන්නෙ නෑ”

ඔහු පැවසුවා.

“හරි මට බලලා කියන්න.අවධානයෙන් ඉන්න.

එසේ කියා වැඩි වේලාවක් ගතවූයේ නැහැ නැවතත් වෙනත් නිලධාරියෙකගෙන් දුරකථන ඇමතුමක්.ඉතාම කලබලයෙන් ඔහු කතා කළා.

” මැඩම්..මැඩම්…ඉක්මනට එන්න.මෙන්න දැන් පාංශුකූලය දෙන්න හාමුදුරුවෝ වැඩියා. මේගොල්ලෝ කියපු වෙලාවල් මේ දැන් වෙනස්කරලා මේවා කොහොම කරනවාද මොකට කරනවද කියලා තේරෙන්නෙ නෑ.මං හිතන්නෙ මැඩම් එයි කියලා බයෙන් ඉන්නෙ.ඉක්මනට කරනදෙයක් කරන්න”

ඒ වනවිට උදෑසන නවයයි.මේක පාංශුකූලයක් දෙන වෙලාවක් ද? එය නම් තවත් සැලසුමක්.

සුදානම් කරගෙන තිබූ සුදුසාරිය හැඳගත් මා ලමාසාරියකින් දියණිය ද අන්ඳවාගෙන සුසානයට යන්නට පිටත් වුණා.සුධාරක වෙනදාට මා ලස්සනට හැඳ පැලඳගෙන යනවා ආසාවෙන් බලා සිටියා “මැණිකේ ඔයා ඔය සාරියට හරි ලස්සනයි. මං ඔයා එක්ක යන්න හරි ආසයි” යැයි වෙනදාට නිතර කීවා.අද ඔහුගේ මැණිකේ ඔහු වෙනුවෙන්ම අඳින සුදු සාරියේ හැඩ බලන්නට ඔහු මා ලඟ නෑ.ඒත් මා ලඟ මේ දැනුත් හිඳගෙන ඔහු මා දෙස බලා ඇති.හිතින් හිතන්නටත් ඇති.

“මං දන්නවා මැණිකේ ලෝකේ පෙරලුනත් ඔයා එනවා කියලා. මං ඔයා ගැන දන්නවා”

අනුරාධාට වෙලාවට යන්න පුලුවන් වුණද? මලවුන්ගේ භූමියට ඇතුළුවීමට ඉඩ ලැබුණාද? ඒක අපි හෙට බලමු.(

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles