සුහදිනි -49

සකී නින්දට වැටුණේ බියෙනි,සැකයෙනි.සංග්‍රාමයක් ඇරඹී තිබේ.ඒ සටන අහස්ට දිනුම දෙන සටනක් ද නැතිනම් ඔහුව මානසිකව ඇද වට්ටවන සටනක්දැයි ඇයට තිබුණේ බියකි.ඇය කලබලයෙන් කල්පනාවට වැටුණේ නින්ද අහකටම විසි කර දමමිනි.

“උඹලට වැඩ නැද්ද බං.එකියක් එකොළහ වෙනකොට නිදාගන්න ලෑස්තිය.අනිත් එකී ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙනවා.එක්සෑම් කිට්ටු වෙනකොට ස්ට්‍රෙස් වෙලා පිස්සු නටන් නැතුව වැඩක් කරනවලකො හරියට.”

නිම්නා නාන කාමරයේ සිට පැමිණියේ එසේ කියමිනි.සකී කිසිවක්ම නොකියා සිටියද රන්මිණි වහා කට හඬ අවදි කළා ය.

“ෆේස්බුක් එකේ වලියක් බලනවා.අඩෝ මේ කමෙන්ට්ස් වලින් මරාගන්නවා බලන එකත් හරි ආතල් නේද?”

නොදන්නා මිනිසුන් කිහිපදෙනෙක් පැටලෙනවා බලා සිටීමේ ඇති විනෝදය කුමක් දැයි නිම්නා සැරෙන් විමසුවා ය.රන්මිණි ඔය තරමට විනෝද වන්නේ කුමක් සම්බන්ධයෙන්දැයි සකීට සැකයක් විය.ඇය දෑස් පියා ගත්තා ය.

“අහස් ඊළඟ ඉන්දියන් ටුවර් එකෙන් අයින් කරන්න කියලා හෙනම කැම්පේන් එකක් යනවා.එක අතකට ඔය යකා ටීම් එකේ හිටියා කියලා ලොකු වැඩකුත් නැහැ නේද? වෙලාවකට මෙලෝ රහක් නෑනෙ. එක්කෝ අන්ඩක් කඩාගන්නව.එහෙව් එකේ මම හිතන්නේ වෙන කවුරුහරි ගත්තනම් හරි.”

සකී දෑස් පියාගෙන සිටිය ද මේවායින් ඇගේ සිත රිදෙන තරම නිම්නා හොඳින් දනී.

“ඉස්සර නම් මේ වගේ දේවල් කිව්වහම එක්කෙනෙක් කඩු දුනු අරගෙන සටනට බැස්සෙ.අන්තිමට අහස්ට හිටිය ලොකුම ෆෑන් කොල්ලෙක් සෙට් කරගත්ත හින්දා දැන් අපිට සැනසිල්ලේ එයාට අපහාස කරන්න පුළුවන්.”

රන්මිණි සකීව වාදයට පටලා ගන්නට උත්සාහ කළද සකී දෑස් විවර කර බැලුවේවත් නැත.ඇගේ ප්‍රේමය ඒ තරමට ප්‍රබල බවත් දැන් ඇයට කැමති කොල්ලන් වෙනුවෙන් හඬ අවදි  කළ නොහැකි බවත් රන්මිණි සරදමට පවසන්නට වූවා ය.

“හරි එයාව පැත්තකින් තියමු.ෆෑන්ස්ලා වෙනස් වෙන්න පුලුවන්.ඔයා මට කියන්නකො අහස් මොකටද ටීම් එකෙන් අයින් කරන්නේ කියලා “

දැඟලීම හැරුණු විට ඔහුගෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැතැයි රන්මිණි ව්‍යක්ත කියද්දි නිම්නා මහ හඬින් හිනැහුණා ය.

“නිකං මිනිස්සුන්ගෙ කැම්පේන්වලට පැත්තෙන් සපෝට් කරන්න එපා ඔයාට කිසිම වාසියක් නැතුව.”

නිම්නාගේ කටහඬ පිරී ඇත්තේ සරදමින් නොවේ, අවලාදයෙනි.

“අපේ ෆැකල්ටි එකේ තුමලි අර රියැලිටි ස්ටාර් එකට ගියපාර මතකද? ඒ ළමයා අන්තිම තුන්දෙනාට සිලෙක්ට් වෙන්න තියෙද්දි  අඳින ඇඳුම් වල වැරදි කිය කිය මහ මඩ කැම්පේන් එකක් ගියානෙ.මට ඉතිං මතකයි උඹලා සමහරකුත් ඕවට හොරෙන් සපෝට් කරා.අද තුමලි ඉන්න තැන බලනවකො.ඩිග්‍රි එක ඉගෙන ගන්න ඕනෙ හින්ද ස්ටඩීස් කලාට තුමලි දැනටත් ලක්ෂ ගණන් හම්බ කරන කෙල්ලක්.ඒ වුණාට කැම්පේන් එකක් කරලා තුමලි ට මඩ ගහලා තුන්වැනියට ගිය යුනේෂා පාරක තොටක දැක්කත් අඳුනන්න බෑ.ඔය සෝෂල් මීඩියාවල හිටි ගමන් මඩ ගහන්න ගන්නෙම කවුරුහරි කරන කැම්පේන් එකක්.අපි දන්න කියන අපේ අයගේ ඉඳලා ස්ටාර්ස්ලට වෙනකම්ම මිනිස්සු මඩ ගහනවා නම් ගහන්නේ මොනවමහරි ඇරියස් වලට.”

නිම්නා එසේ කියමින් වතුර වීදුරුවක් හිස් කළා ය.ඇගේ කියවීම ඉක්මනින් නොනවතින බව දැනගත් රන්මිණි ඕපාදූපය ආපසු ඇද ගන්නට නොහැකිව තැවෙන්නට වූවා ය.

“මට සකී එක්ක මොකක් හරි තරහක් ඇති වෙනවායි කියමු.මම මොන මගුලටද සකීට ෆේස්බුක් එකෙන් හින්ට් පෝස්ට් ලියලියා නටන්නේ.සකී ටැග් කරගෙන හෑලි ලියන්නෙ.මට පුලුවන් වෙන්න ඕන සකීගෙ මූණට ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න.සකී එක්ක තවදුරටත් ඉන්න බෑ වගේ නම් එක්කො එයාට මෙහෙන් යන්න කියන්න.නැත්නම් මට පුළුවන් වෙන්න ඕන බඩු ටිකත් පැක් කරගෙන යන්න.ඒ කිසිම දෙයක් නැතිව ඇරියස් පියවන්න සෝෂල් මීඩියා තියාගෙන වැඩක් නෑ මං නම් ඒක තේරුම් අරගෙන ඉන්නේ.” 

නිම්නා කියාගෙන යද්දී රන්මිණි ප්‍රතිතර්කය ඉදිරිපත් කළා ය.මේ කියන්නේ දන්නා හඳුනන පුද්ගලයන් ගැන නොවේ.අපට සෘජුව ගනුදෙනු කළ නොහැකි අය ගැන ය.එවැන්නන් විවේචනය කළ යුතු වන්නේ සමාජ මාධ්‍ය හරහා ය.

“ඔව් ඒක ඇත්ත.කෙනෙක් විවේචනය කරන්න වටින වැඩක් කරල නං අපිට එයාව විවේචන කරන්න තියෙන එකම මාර්ගය සෝෂල් මීඩියා නම් අපි ඒක කරන්න ඕන.අහස් කියන්නේ දිගටම ෆේල් වෙන කිසිම තේරුමක් නැති ප්ලේයර් කෙනෙක් නම් අපිට අදහසක් ප්‍රකාශ කරන්න තිබුණා.ඒත් ඒ මනුස්සයා අවශ්‍යම තැන්වලදී ටීම් එක වෙනුවෙන් ලොකු දේවල් කරපු කෙනෙක්නෙ.මෙතන විවේචනය වෙන්නෙත් අහස්ගෙ ටැලන්ට් එක නෙවෙයි.ඒ මනුස්සයාගේ ස්ටයිල් කිරිල්ලයි,අෆෙයාස් ගාණයි,කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගත්තු එකයි,මිනිසුන්ට උදව් කරන්න සෝබනේට කියන එකයි වගේ විකාර ටිකක්නෙ.හරි මනුස්සයව ටීම් එකෙන් එළවලාම දැම්මා තමයි කියමුකො.අහස් ගිහින් තාත්තගෙ වාහන ගෙන්වන බිස්නස් එකට හවුල් වෙයි.ඒත් එයාගෙ ස්ටයිල් කිරිල්ලයි,කාට හරි ආදරේ කරන එකයි මිනිස්සුන්ට උදව් කරන එකයි නවතින්නේ නෑනේ.ඉතින් අපි මොකටද එයාගෙ විදිය වෙනස් කරන්න උත්සාහ කරන්නෙ? “

මෙසේ කතා කරන්නට සිතුණු සැබෑ හේතුව පසුගිය දින කිහිපයේ අහස් අතිශය සමීප මිතුරෙකු වීම නොවන බව නිම්නා සිතුවා ය.කෙනෙකුට වරදක් පෙන්වා දීම යහපත් දෙයකි.එය ඈ අදහන බුදු දහමේ පවා කතා කරන කාරණාවකි.නමුත් කෙනෙකු මානසික වශයෙන් පහතට ඇද දැමීමට පෞද්ගලික කාරණා කිසිම විටෙක හරස් කර ගත යුතු නැති බව නිම්නා සිතුවා ය.අනෙක් අතට කෙනෙකුට වට වී පහර දීම තරම් පාපයක් නොවේ.

“ගිහින් වොෂ් එකක් දාගෙන එනවා.මෙතන ගඳ ගස්ස ගස්ස ඉන්නෙ.එහෙන් කුණු බාල්දිය ඇදගෙන ගඳ ගස්සනවා.මෙහෙන් වොෂ් එකක්වත් නොදා හපුට්ටෙක් වගේ ඉන්නව.”

රන්මිණිගෙන් විනාඩි කිහිපයකට නිදහස් වන්නට සිතා නිම්නා කියද්දී රන්මිණි එය පිළි ගත්තා ය.ඇය නාන කාමරයට වැදුණේ කුසීත මුහුණකිනි.ඇයට යන්නට හැර සකී දෑස් විවර කළා ය.

“තෑන්ක් යූ.”

ඇගේ දෙතොල් මත මඳහසක් ඇඳී තිබිණි.

“මල විකාර! මං මේ එයා මගේ අලුත් අයියා වෙච්ච පලියට ඕවා කියන්න ගියේ නෑ.මං කිව්වේ මට තේරෙන ඇත්ත කාරණාව.අහස්ව ගැලපෙන්නෙ නැත්තං ඒක තීරණය කරන්න මිනිස්සු ඉන්නවනෙ.ඒ මිනිස්සු සැලරි එකක් අරගෙන රස්සාවට කරන දේ අපි ඔළුවේ වෛරයයි ඉරිසියාවයි පුරවගෙන නිකං කරන්න ඕන නෑනෙ.අනේ මන්දා බං මේ රටේ මිනිස්සු.පොඩ්ඩක් එන්ටර්ටේන් වෙන්න තියන දේවල් බලලා එක්කො ක්‍රිකට් කෝච්ලා වෙලා ලේ පුච්චා ගන්නවා.නැත්නම් රියැලිටි ජජ්ලා වෙලා යක්සයා වැහිලා නිදා ගන්න යනවා.නැත්තං බැන බැන ඩ්‍රාමා ස්ක්‍රිප්ට් ලියනවා.හැබැයි රටේ ප්‍රශ්නයක් කතා කරන්න එකෙක්වත් නෑ.වෙන්න තියෙන හැම නරකක්ම රටට වෙද්දිත් ඇහැ කන පියාගෙන ඔහේ බලාගෙන ඉන්නව.මට නොතේරෙන දේ සතුටක් ගන්න තියෙන දේවල් විවේචනය කරලා විවේචනය කරලා ලේ නරක් කරගෙන පාලකයො කරන දහ ජරා වැඩ වලින් එන්ටර්ටේන් වෙන සූත්‍රේ.”

ජීවිතයත් සමාජයක් ගැන ගැඹුරින් සිතන මිතුරියක සිටීම ගැන සකීට දැනුණේ සතුටකි.

“ඔය මඩවලින් මොකුත් වෙන් නෑ.අහස් ඉන්දියා යනව.ඒ ගිහිල්ලා ඇවිල්ලා තව මාස දෙකකින් වර්ල්ඩ් කප් එකටත් යනව.”

ඇය විශ්වාසයෙන් කොඳුරන්නට වූවා ය.

“ගිහිල්ලා මදි.වර්ල්ඩ් කප් එක දිනන්නත් ඕනි.මේ කැප්ටන් වර්ල්ඩ් කප් එකක් ගන්නව බලල මං මැරුණත් කමක් නෑ.”

නිම්නා කියන්නේ පපුව මත අතක් තබාගෙන ය.

“ඒ මනුස්සයා බැඳලා ඉන්නෙ.”

සකී හිනැහුණා ය.

“කමක් නෑ.උඹේ වෙඩින් එක දාට දත් ඔක්කොම පෙන්නලා හිනා වෙලා සෙල්ෆියක් ගන්නව.ඊටපස්සෙ තමයි මැරෙන්නෙ.”

ඉතා ගැඹුරු කාරණා ගැන බොහෝ ව්‍යක්තව කතා කර තත්පරයකින් යුවතියන්ට ආවේණික ළඳ බොළඳ දේ කතා කරන මිතුරිය මොනතරමේ මානසික නිදහසක් ගෙන එන්නියකදැයි සකී සිතුවා ය.ඇය නෙත් පියා ගත්තේ ඒ සැනසීමෙනි.

අද සිහිනය දැකිය යුතුම එකකි. 

(අහස්- සකී වෙනුවෙන් ඔබේ අදහස් SmartLady ෆේස්බුක් පිටුවේ කමෙන්ට් කර යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles