අමන්දා කියූ පරිදි චිරායුට තමාව මතක් වෙන්නට ඉඩ දීම තමාව දවන මේ ප්‍රශ්නයට විසඳුමක් වෙතැයි තාරා සිතුවාය.
“මම හිතන්නෙ මේ වෙලාවෙ උඹ කරන්න ඕන හොඳම දේ චිරායුට උඹව මිස් වෙන්න දෙන එක”
අමන්දා එසේ කිව්වේ තාරාගේ කෑම පෙට්ටියේ තිබූ සොසේජස් කැබැල්ලක් ගැරැප්පුවෙ අමුනා ගනිමිනි.දවල් කෑම වේලාව ඉතින් කාට කාටත් ඕපදුක, දුක් සංකා කතා කරන්නට ප්‍රයෝජන ගනී.
අමන්දා කියූ දේ ගැන හරියාකාර අදහසක් තාරාට ඇත්තටම තිබුනේ නැත. තමන්ට චිරායුව මිසක් චිරායුට තමන් ව මිස් වී නැත. චිරායුට තමන්ට අමතක වී පමණකි.
තාරා ෆ්‍රයිඩ් රයිස් හැන්දක් මුව තුල රුවාගනිමින් අමන්දා දෙස බැලුවේ ඒ කුතුහලය දෙනෙත් අස්සේ රඳවාගෙනය.
කෑම කාමරය පුරාම විවිධාකාර සද්ද බද්ද වලින් පැතිර තිබුනි. කෑම කන්නට පැමිණ හිඳින විවිධ අංශ වල ගැහණුන් පිරිමින් එකිනෙකා හා කතා බස් කරමින් ඒ සද්ද බද්ද වලට දායකත්වය සපයද්දි අමන්දාත් තාරාත් අතර තිබුනේ පුදුමාකාර නිහඬ බවකි. ෆ්‍රයිඩ් රයිස් සමග සොසේජස් මුසු කරගනිමින් බත් හැන්දක් මුව රුවාගනිමින්ම තාරා අමන්දා දෙස බැලුවේ ඒ නිහඬතාවය බිඳින්න යැයි නිහඬවම ඇරයුම් කරමිනි.
“දැන් උඹ ගෙදර ගිහින් ඌ එනකම් ඉන්නව. කෑම හදනව. රෙදි හෝදනව. තනියම කල්පනා කරනව. අඬනව. ඒ උනාට චිරායු එක මොහොතකවටත් ඒ ගැන කතා කරාද? වෙනස් උනාද නෑනෙ?
එහෙම බලද්දි උඹට චිරායුව හොඳටම මිස් වෙලා තියෙනව උනත් චිරායුට උඹව මිස් වෙල නෑ. උඹට දැනෙනවා චිරායුව උඹට මිස් වෙලා කියල මොකද උගෙ හැසිරීමෙ වෙනසක් වෙලා තියෙන හන්ද. ඒ උනාට චිරායුට උඹව මිස් වෙලා නෑ මොකද උඹ ඒකට ඉඩක් තියල නෑ.
චිරායු වෙනස් උනා කියල උඹ වෙනස් උනාද? නෑ. චිරායු වෙනුවෙන් කරන වැඩ වල වෙනසක් උනාද?නෑ.
කුස්සියෙ කෑම හැදෙන එක නතර උනාද? නෑ. ගෙදර අස්පස් වෙන එක නතර උනාද? නෑ.
ඉතින් චිරායුට උඹව මිස් වෙන්නෙ නෑ. එයාගේ ජීවිතේ කොහොමත් ගෙවිච්ච විදියටම ගෙවනවා. මොකද වෙනසක් වෙලා නෑනෙ. ඔයා වෙනසක් ඇති කලොත් විතරයි ඌට ඒක තේරෙන්නෙ. ආයෙම චිරායුගෙ ඇටෙන්ශන් එක ගන්න නම් උඹ චිරායුට උඹව මිස් වෙන්න ඉඩ තියපන්.
උඹ වෙනස් වෙලා, උඹ නැතුව මේ ජීවිතේ මේ විදියට ගෙවන්න බෑ කියල ඌට දැනෙන්න ඉඩ ඇරපන්. එතනින් චිරායුට උඹව මිස් වෙන්න ඉඩක් ලැබෙයි. එතකොට ඌට ආපහු හැරෙන්න හිතෙවි. එහෙම නැතුව මේ ගොන් ගහ වගේ අඬ අඬ ඉන්නයි, ඩිවෝස් වෙනව කියන්නයි යන්න එපා. ඔය වගේ ට්‍රික් එකක දාලා බලන්න. මට හොඳටම ශුවර් චිරායු කාරයා ඕකට අහුවෙනව”
අමන්දා එසේ කියමින් හිස් කෑම පෙට්ටිය රැඟෙන අත සෝදාගන්නට සින්ක් එක වෙත ගියාය. තාරා උන්නේ අමන්දා කියූ දේවල් ඔස්සේ බොහෝ දේ කල්පනා කරමිනි. අමන්දා කියන ආකාරයට චිරායුට තමන්ව මිස් වෙන්නට ඉඩ දීම ඔහුව තමා වෙත ලං කරන මාර්ගයක් වේද නොඑසෙනම් තව තවත් එකිනෙකා ඈත් කරන දෙයක් වේද යන කුකුසත් බියත් සිත අස්සේ නොතිබුනා නොවේ.
“ඔයා එහෙම කිව්වට මට බයයි එහෙම කරල චිරායු මාව සදහටම අමතක කරල දාවි කියල”
තාරා අමන්දාට කියුවේ කෑම කාමරයේ සිට නැවත වර්කින් ඩෙස්ක් වෙත යන අතරවාරයේය.
“මෙහෙමයි බං ප්‍රශ්න වලට විසඳුම් නැත්තෙ නෑ. සමහර වෙලාවට උඹේ ප්‍රශ්නෙටත් එහෙම විසඳුමක් ඇති. හැබැයි ඒ විසඳුම අරගන්නවද නැද්ද කියල තීරනය කරන්න ඕන උඹ. මම කියන්නෙ නෑ මම කියන දේම කරන්න කියල. ඒ උනාට ඉතින් ඕකෙන් ගොඩයන්න උවමනා නම් මොකක් හරි කරන්න වෙනවා.
එහෙම නැත්තං ඉතින් කරන්න තියෙන්නෙ මෙච්චර දවස් කර කර ඉඳපු එකම තමයි”
අමන්දා එසේ කිව්වේ කාර්‍යාල කාමර වෙත යන්නට දොර හැරගනිමිනි. තාරා දොර භාගෙට හැරගෙන තමා දෙස තීක්ෂන දෙනෙතින් බලා හිඳින අමන්දාගේ නෙත් අස්සට එබුනාය. ඒ ඇය කියන්නට තනන කතාව තේරුම් ගන්න බලාපොරොත්තුවෙනි.
“මොකද්ද?”
“චිරායු හෙට වෙනස් වෙයි අද වෙනස් වෙයි කියල ඉවසගෙන ඉන්න එක” එසේ කියූ අමන්දා එතනින් නික්ම ගොසින් බොහෝ වේලා යන තුරුත් තාරාගේ දෙසවන තුල ඒ වචන එලෙසින්ම රැඳී තිබුණි. අමන්දා එසේ කියුවේ සමච්චල් සහගතව නොවන නමුත් තාරා එය භාරගත්තේ සමච්චලයක් ලෙසිනි. අනෙක් අතට අමන්දා කියූ කතාවේ ඇත්තක් නැතිද යන්න ගැනත් තාරා නැවත නැවත සිතුවාය. චිරායුගේ පැත්තෙන් අබමල් රේණුවක තරමේවත් හැඟීමක් නොමැතිව ඔහු වෙනුවෙන් උයා පිහා තැබීමෙන්, ගෙවල් දොරවල් අස්පස් කර තැබීමෙනුත් තමාවිසින් කරන්නේ තමන්ගේම සිත සනසවා ගැනීමක් බව තාරා නොදැන උන්න නොවේ. එහෙත් ආදරය වෙනුවෙන් එය තමා විසින් කල යුතු බවට තාරා හදවතට කීවාය.
රැකියාවේ වැඩ කටයුතු අවසන් වී යද්දීත් අමන්දා පැමිණ තාරා හා කතාකලාය. මොන දේ කිව්වා කරා උනත් එකම කාර්‍යාලයේ එකට කන බොන මිතුරිය සිත් වේදනාවෙ ඉද්දි එබව නොසිතා හිඳීම මිතුදමට කරන වරදක් බව අමන්දා සිතුවාය.
“මං ඉස්සෙල්ල කිව්ව ඒව ගැන තරහවෙන්න එපා. ඔයා හැම තිස්සෙම අවුලෙන් ඉන්න නිසයි මම එහෙම කිව්වෙ. අයෑම් සොරි හිත රිදුනනම්”
අමන්දා පහසුවෙන් මෙසේ කතා කරන්නියක බව නොදන්නා නිසා මේ සැබවින්ම ඇය හිත රිදවාගෙන හිඳින බව තරා තේරුම් ගත්තාය. එවෙලේ හිත රිදුනත්, දුක හිතුනත් ඇය කියූ එකදු වචනයක හෝ බොරුවක් නොවූ බව තාරාට විශ්වාසය.
“තරහවෙන්න ඕන උඹ බොරුවක් කිව්ව නම් නේ. උඹ බොරුවක් කිව්වෙ නෑනෙ බං. කිව්වෙ ඇත්ත. මම තරහ වෙන්න ඕන මට ඇත්තට මූණ දෙන්න හයියක් නැත්තම්”
අමන්දා දිග සුසුමක් හෙලුවාය. ඒ කුමක් හේතුවක් කරගෙනද කියා නොදත් නමුත් ඒ සුසුමට තමන්ගේ සුසුමන් එක්කරන්නට හැකියාවක් තාරාටද තිබුනි. ඒ සුසුම්වල එකිනෙකා විසින් හඳුනාගත් අනෙකාගේ වේදනාවකුත්, ඒ වේදනාව තවන සනසන මිතුදම් හැඟීමකුත් තැවරී තිබුනි.
“මම කිව්වෙ ඇත්තටම මම උඹ වුනානන් කරන දේ.”
“මමත් හිතුවෙ එහෙම කරල බලන්න”
“උඹ ඔය කියන්නෙ ඇත්තටම නං, මං තරහ වෙයි කියල හිතල නෙවෙයිනං ඔව් එහෙම කරන්න. හැමදාම ඔෆිස් එකේ වැඩ ඔලුවෙ පුරවගෙන උඹව අමතක කරල ඉන්න චිරායුට බත් තම්බන්න ගෙදර යන්න එපා. එලියට යන්න. එලියෙන් කන්න. ඒ වෙනස චිරායුට වගේම උඹටත් හොඳක් වෙයි.නැත්තම් උඹ තනියම ගෙදර ගිහින් කල්පනා කර කර ඉඳල අන්තිමේ වෙන්නෙ පිස්සු හැදෙන එක. ඒ නිසා හවස එලියට පලයන්. ෆිල්ම් එකක් බලන්න, පොතක් ගන්න, මොනවහරි කන්න යන්න. චිරායුට උඹව ඕන බත් උයාගන්න විතරක් නම් ඉතින් ඒකට ඌට සර්වන්ට් කෙනෙක්ව ගන්න පුලුවන්නෙ”
තාරා එදින හවස වැඩ ඇරී නිවස බලා යද්දිත් අමන්දා විසින් කියන්නට යෙදුන ඒ වචන සිහිකරමින් උන්නාය.
ඒ හැඟීම්, සිතුවිලි පාර ඉදිරියේ ඇදී ආ වාහනයට සමගාමීව තාරා පාර අයිනේ තිබූ කැෆේ එකක් ලඟ නතර වූයේ ඉබේම මෙනි. “චිරායු නැතිව මෙහෙම යන එක හරි ද?” කියා ප්‍රශ්නයක් හිත අස්සේ පොරකමින් තිබිද්දිත්, තනිව මෙවන් ගමනක් යන්නට පැකිලෙමින් හිඳිද්දීත් තාරා වාහනය වාහන අංගනයේ නතර කර තුරුලතා වලින් වැසී තිබුන කැෆේ එකට ගොඩ වූවාය.
වයිබ්ස් කැෆේ එක තිබුනේ පාර අයිනේ වුවත් තුරුලතා අතරින් එහි ඇතුලේ මවා තිබුනේ පාරාදීසයකි. බම්බලපිටිය ප්‍රදේශයේ අතුරු පාරක සකසා තිබුණද එහි සුන්දරත්වය සහමුලින්ම පාහේ නාගරිකත්වයෙන් මිදුනකි. බිමට මුහුදු වැලිත්, ගල් කැටත් දමා සකසා තිබූ බිම තාරාට මතක් කලේ මහගෙදරය මිදුලය. ඒ වැලි මිදුලේ තැනින් තැන වවා තිබූ උඳුපියලියත් ඔහේ වැවෙන්නට ඉඩ දී තිබූ කහ පාට තාරකා වැනි මල් පෙලත් සොඳුරුය.
ඒ මොහොත වෙද්දිත් සතියේ මැද දිනයක් නිසාදෝ අවන්හල සම්පූර්නයෙන් පිරී තිබූ නැත. තැනින් තැන පනවා තිබූ මේස කිහිපයක තරුණ පෙම්වතුන් යුවලක් දෙකක්, ලැප්ටොප් පරිගණක දිග හැරගෙන උන් වැඩිමහල් කතුන් දෙදෙනෙක් හැරෙන්න වැඩි හරියක් තිබුනේ පාලුවය. එහෙත් ඒ පාලුව සිත ඇඳ බැඳගන්නා පාලුවක් මිස සිත දවන්නක් නොවේ.
තාරා සෙමෙන් ඇවිද අවුත් අසුනක වාඩි වුනාය.
සිනාමුසුව එහි පැමිණි වේටර්වරයෙකු පිලිගැන්වූ මෙනු පතින් වර්ජින් මොහිතෝ වීදුරුවක් ඇනවුම් කරාය.
පුටුවේ පැත්තට අසුන් ගෙන තුරුලතා පිරුණු වැලි මිදුලත් ඉන් ඉහල අහසේ හිරු බැස යන සොඳුරු දසුනත් බලා ඉන්නට වූවාය.
ඒ දසුනෙන් නිවෙන්නට තැනුවාය. ඒ හැඟීම දෙගුන තෙගුන කරමින් ඇදී ආ මිහිරි ගී රාවය නතර වූයේ හදවතේය.
“සරසන්න මල් පෙති
දේදුන්නකින් පාට තවරලා
සනසන්නම් කන් පෙති
තව හාදුවක් දවටලා”
තාරා හැරී බැලුවේ ඒ සොඳුරු හඬේ හිමිකරු කවුදැයි කියා දැනගන්නය.
දෙනෙත් පැටලුනේ නොසිතාය. ඔහුගේ මුවේ සිනහවකුත් තාරාගේ දෙනෙතේ විස්මයකුත් සටහන් වෙද්දී මැවුම්කාර හැඟීමක මිහිර්‍යාව අවන්හල පුරා පැතිර යමින් තිබුණි.