සුහදිනි – 50

සකී නින්දට වැටුණේ අහස් ගැන සිතමිනි.ඇය ගැන සිතන්නට තිබූ වෙලාව ඔහු වෙනුවෙන් වැය වෙමින් පවතින බව ඇය දනියි.නමුත් ප්‍රේමය ඉවසිලිවන්ත බවත් කැප කිරීම් කරමින් ඉදිරියට යා යුතු බවත් දැන් ඇය අවබෝධ කරගෙන සිටියි.

“අපි දෙන්නගෙ අතර ඉස්සරහටත් ප්‍රශ්න ඇති වෙයි.”

අහස් එසේ පැවසූ අන්දම ඇය සිහි කළා ය.නින්දට වැටෙන තුරු ඔහු පැවසූ දේ සිහි කිරීම දැන් ඇයට සතුටකි.

“රණ්ඩු වෙවී ඉන්න බෑනෙ.”

සකී මුහුණ නාළු කර ගනිද්දී අහස් හිනැහී ය.

“මං හරියට විශ්වාස කරනව අපි දෙන්න ට්වින් ෆ්ලේම් එකක් තියන අය කියල.ට්වින් ෆ්ලේම් එකක් තියනකොට ජීවිතේ පහසුයි වගේම අමාරුයි.”

ජීවිතය කොහොමටත් අභියෝගයන්ගෙන් පිරුණු එකකි.ආත්මීය සහකරුවන් ට ඒ අභියෝග තරමක් වැඩි වශයෙන් ඇති බව අහස් පැහැදිලි කළේ ය.

“අපි වගේ අය මුණගැහෙන එකම පුදුම සුන්දර දෙයක් තමයි.ඒ උනාට ජීවිතේ ඉස්සරහට අරගෙන යනකොට අභියෝග කියන දේවල් එනවා.”

ඔහු එසේ කියද්දී සකීට තවත් පැනයක් තිබිණ.ආත්මීය සහකරුවන් සියයට සියයක් ගැලපිය යුතු අය වේ.එවැන්නන් වෙනුවෙන් ජීවිතය පරීක්ෂණ ඉතුරු කිරීම පුදුම සහගත දෙයකි.

“පොඩ්ඩක්වත් නොගැලපෙනකොට වගේම ඕනවට වඩා ගැලපෙන කොටත් ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්.ඒක සොබාදහමින් කරනවා ඇත්තේ නොගැලපෙන අය ඈත් ම කරල දාන්න වගේම ගැළපෙන අයව ගොඩක් ළං කරන්න.”

සකී ඒ සියල්ල අසා සිටියේ දැඩි කල්පනාවකිනි.පසුගිය දින කිහිපයේ සිදු වූ දේවල් ඕනෑවටත් වැඩි බව ඇය සිතුවා ය.තවදුරටත් පරීක්ෂණ වලට මුහුණ දෙන්නට ඇගේ සිතට ධෛර්යයක් නො වේ.

“අපි බලමු සකී.අනිත් අයට තරමට එකට ඉන්න අපට වාසනාවක් නැති උනත් අපි කවදාවත් වෙන් වෙන්නේ නෑ කියල මට නම් සහතිකයි.”

අහස් ඕනෑවටත් වඩා පීඩන දරා ගන්නෙකි.රැකියාව ඔහුගේ විනෝදාංශය හන්දා ඔහු සකීටත් වඩා එයට ප්‍රිය කරන බව ඇය දැන සිටියා  ය.නමුත් ඒ රැකියාව හිතේ නිදහසින් කරන්නට ඔහුට ඉඩක් නොවේ.ප්‍රසංසාවට වඩා ඔහු ලබන්නේ නින්දාව ය.

“ජීවිතේ සමහර කාලෙ ඒ වගේ තමයි.අපි කොච්චර හොඳ කරත් අපිට ලැබෙන්නේ ම නින්දා අපහාස විතරයි.ඒව මොනවම හරි අපේ පෙර ආත්ම පවක් කියලා හිතා ගත්තා ම ජීවත් වෙන්න ලේසියි.”

අහස් එසේ කියන්නේ හිත හදා ගන්නට විය හැකි බව සකී සිතුවා ය.ඕනෑවට වඩා පීඩනයෙන් ජීවත් වීම වෙනුවට ඔහු සියල්ල කර්මයට භාර දී හිත හදාගෙන සිටිනවා වන්නට ද පුළුවන.

“ඔයාට ගොඩක් ස්ට්‍රෙස් නම් ඔයාගේ ඩොක්ටව මීට් වෙන්න හොඳද?”

සකී ප්‍රේමයෙන් ඔහුව ගිවිස්වා ගත්තා ය.තවත් අය විසින් සිදු කරන මානසික පීඩා හන්දා කෙනෙකුට බෙහෙත් පෙති ගිලින්නට සිදුවීමත් නොකඩවා වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්නට සිදුවීමත් මොන තරමට අවාසනාවක් දැයි සකී සිතා තිබේ.මිනීමැරුම නීතියෙන් විශාල වරදකි.කෙනෙකු කායික වශයෙන් ඝාතනය නොකර මානසික වශයෙන් අඩපණ කර දැමීම ද එතරමට වරදක් වන්නේ නම් මැනවි යැයි ඇය අනන්ත වාරයක් සිතන්නට වූවා ය.

කෙනෙකු මානසිකව අඩපණ කර දැමීම තරමට පාපයක් නොවේ!

සකී සිහිනයට පිවිසුණේ රාත්‍රියේ වඩා ගැඹුරු නින්දට පිවිසුණු විට ය.විල්ලුව අතුරුදහන් වී තිබේ.නව යෞවනියක කාලයේ පටන් ඇය සිහිනයෙන් දුටු විල්ලුව අතුරුදහන් වී තිබේ.අනතුර පෙනෙන තෙක් මානයේ වත් නැති තරම් ය.නිදහසේ එහෙමෙහෙ සරන ඇය සිටියේ අප්‍රමාණ නිදහස් හැඟීමකින් ය.අහස් පෙනෙන්නට නැති බව ඇය දුටුවා ය.ඔහු කොහෙන් හෝ මතුවන තුරු සූරියකාන්ත මල් යායෙන් ඔහු වෙනුවෙන් මල් මිටක් නෙලන්නට ඇයට සිතිණි.

පුදුමයකි!

මල් සියල්ලම මැලවෙමින් තිබේ!

සූරියකාන්ත මල් පිපෙන්නේ ට හිරු කිරණ අත්‍යවශ්‍ය බව ඇය දැන සිටියා ය.නමුත් කුඩා කාලයේ පාසල් පෙළ පොත ක  කවියක තිබූ පරිද්දෙන් “ඉර කොහේදෝ හැංගී” තිබේ.සකී වියවුලෙන් හාත්පස බැලුවා ය.ඔහු වෙනුවෙන් මල් මිටක් නෙළිය යුතු ව තිබේ.නෙළා ගන්නා සෑම මලකම පෙති හැලී යද්දි සකී වඩා භ්‍රාන්තියට පත් වන්නට වූවා ය.

ඈ නින්දත් නොනින්දත් අතර පිවිසෙමින් සිටියා ය.ඔහු බොහෝ අනතුරුවලින් බේරා ගන්නට මන්තරයක් සේ ඇය දැන සිටියේ සූරියකාන්ත මල ය.අහස් ඇගේ අත අත මානයේ නොරැඳෙන කාලයේ පවා ඈ ඔහු වෙනුවෙන් සූරියකාන්ත මල් චිත්‍රයට නැඟුවා ය.සූරියකාන්ත මල් යායක ප්‍රීතිමත්ව ඇවිද යන යෞවනයා ඊළඟ දිනයේ බොහෝ ජයග්‍රහණ අත් කර ගන්නා බව ඇය හොඳින් දැන සිටියා ය.නමුත් දැන් ඔහුට ප්‍රීතිය නෙළා දුන් මල් යාය අතුරුදහන් වෙමින් පවතී.සකී අවදි වන්නට උත්සාහ කළා ය.එහෙත් සිහිනය අතරට අහස් පිවිසෙන අන්දම ඇයට දැනිණ.මැළවෙමින් තිබුණේ මල් යාය ය.නමුත් ඔහු නැවුම් සූරියකාන්ත මල් කළඹක් ගෙනවිත් ඇය අත තැබී ය.එහි ප්‍රීතිමත් කහ පැහැය හදවත සොම්නසට පත් කරද්දී සකී අවදි වූවා ය.

තවදුරටත් මේ සිහිනය ඇගේ සිහිනයක් පමණක් කරගන්නට නොසිතිණ.එය කුමක් හෝ ඉඟි පළ කරමින් සිටී.සියුම් සහ නිම්නාට මේ කතාව කියන්නට සකීට දැනෙන්නේ දෙගිඩියාවකි.කිසිම හේතුවක් මත මේ ප්‍රේමය ඇරඹෙන්නට හේතුව අහස් කරදර කරදර වලින් ආරක්ෂා වීම බවට ඔවුන් සිතිය යුතු නොවේ.ඔවුන් එවැනි වැරදි අවබෝධ වලට පිවිසෙනවාට සකී අකමැති ය.

“සමහරවිට හීනෙන් මට දැන් කියනවා ඇත්තෙ මට ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ කියලද? නැත්නම් මට සතුට ගෙනල්ලා දෙන්න පුළුවන් ඔයාට විතරයි කියලද? එහෙමත් නැත්නම් දැන් ඔයාට ඔයා ගැන බලාගන්න පුළුවන් කියන එකද?”

මොනවා නැතත් ඔහු ප්‍රීතියෙන් සිටි බව ඇයට පැහැදිලි ය.එහෙත් ඒ ප්‍රීතිය සදාකාලික එකක්දැයි සකීට ඇතිවූයේ සැකයකි.

(සකීගේ හීනය ගැන ඔයාලා මොකද හිතන්නෙ? දිගම දිග කොටසකටත් අවම ප්‍රතිචාර දැක්වූ නිසා අද කතාව ඒ තරම් දිගු නෑ.මේ කතාව තවත් කියවන්න කැමතිද?ඉක්මනින් අවසන් විය යුතු ද කියලත් කියන්න) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles