“තාත්තගෙ ඔපරේෂන් එක මොනතරම් හොඳට කෙරුණත් අවුරුදු හය හතකින් ආයේ අසනීප වෙන්න පුලුවන් කියනවනෙ පුතේ.”
සකී අම්මාව ඉවසීමෙන් අසා සිටියා ය.ඇය ඒ කාරණාව දැන ගත්තේ තාත්තාගේ සැත්කම නිමා වූ දිනයේම ය.අහස් තාත්තා වෙනුවෙන් දුන් වටිනාකම හන්දා තව අවුරුදු හත අටකටවත් තාත්තා සුරක්ෂිත වීම ඈ දරා ගන්නට ඉටා ගත්තා ය.නමුත් අම්මාට එසේ සිතන්නට නොහැකි ය.ඇය වහවහා පිටතට ගනිමින් සිටියේ ආසියාතික අම්මාගේ සාමාන්‍ය ස්වරූපය ය.
“පුතේ,”
ඒ ආමන්ත්‍රණය ඊළඟට පවසන කතාව සකී තේරුම් ගත්තා ය.ප්‍රශ්නයට හොඳින් මුහුණ දිය යුතු වේ.අහස් ලෝකයේ හිඳින හොඳම වේග පන්දු යවන්නෙකුට මුහුණ දෙන තරමේ ධෛර්යයකින් සකී අම්මාට මුහුණ දෙන්නට සිතුවා ය.
“ඔයා කාවහරි හොයා ගන්න ඕන පුතේ.නැත්නම් අපි හරි හොයන්නද? මට හරි බයක් දැනෙනවා තාත්තා ආයේ අසනීප වෙන්න කලින් ඔයාගෙ වැඩ ඉවරයක් කරන්න බැරි වෙයි කියලා.”
මෙවැනි තැනක දීමට සරල පිළිතුරු දෙකක් ඇති බව සකී දන්නී ය.එක් පිළිතුරක් කෙටි නමුත් ගැඹුරු අදහසක් ඇති එකකි.අම්මා හෝ තාත්තා රෝගී වීම නිසා ගැහැනු ළමයෙකු විවාහය ඉක්මන් කළ යුතු නොවේ.ඒ කතාව කියන්නට සකී දෙවරක් සිතුවා ය.ඒ මොනතරමට සත්‍යයක් වුව ද අම්මා එයට වහා කෝප ගන්නට ඉඩ තිබේ.දෙවැන්න ද සරල පිළිතුරකි.නමුත් ගැටුමක ආරම්භයකි.සකී එය තෝරා ගන්නට සිතුවා ය.
“මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව අම්මෙ.”
අම්මාගේ මුහුණ පිපී ආයේ බලා හිඳියදී ය.ඒ කවුදැයි දැන ගන්නට ඇයට ඕනෑ විය.සකී වචන පිට කරන්නට හදිසි නොවී ඉවසීමෙන් මොහොතක් රැඳුණා ය.තාත්තා ආලින්දයට වී ඉන්දීය – ශ්‍රී ලංකා ක්‍රිකට් සටන නරඹන හඬ ඇසේ.සකී එතැන නොරැඳුණේ ම තාත්තා ඇගේ දෑස් කියවා ගන්නට ඉඩ ඇතැයි බියෙනි.අහස් එතරමට තමන්ගේ තරම පෙන්වමින් හිඳියි.
“ඒ අහස්.”
සකී අම්මා දෙස බැලුවා ය.අම්මාගේ මුහුණ පිම්බුණු බැලුමක් මෙන් ඇකිළී ගිය නමුත් සකී දිගටම කතා කරන්නට සිතුවා ය.
“අහස් පහුගිය මැච් එකකදී ග්‍රවුන්ඩ් එක මැද්දෙම ස්තූති කරේ මට අම්මේ.අපි ආදරේ කරන්න අරන් ටික කාලයක්.හිතවත්කමට නෙවෙයි එයා අපිට සල්ලි දුන්නෙ,ඒ මගේ තාත්තා නිසා.”
කපුටු පිහාටුව කපුටන් හතකගේ මරණයක් කරන්නට හපන් ප්‍රවෘත්ති නිවේදකයන් කට රවුම් කරමින් කියන සමහර ප්‍රවෘත්ති සකීගේ අම්මා තත්පර කිහිපයක් ඇතුළත සිහි කළා ය.අහස් ඉලංගසිංහ කියන්නේ කොහොමටත් හොඳ මිනිසෙකු නොවේ.ඔහු ගැන දියණිය කියන දෙයට වඩා සියල්ල දන්නා මාධ්‍යවේදීන් කියන දේ විශ්වාස කිරීමට ඇය තීරණය කළා ය.
“ඒක වෙන්නේ නෑ.මං මාසයක් ඇතුළත් ඉඩමක් කඩමක් විකුණල සල්ලි හොයලා දෙන්නම්.ඒක ඔය මනුස්සයට දෙන්න ඕන.”
සකී අම්මාට කිසිවක්ම නොකියන්නට තීරණය කළා ය.අම්මා බනින්නේ කුටුකුටුවෙනි.තාත්තාව කලබලයට පත් නොකර සියළුම ප්‍රශ්න විසඳිය යුතු බව දැන් ඇය තරයේ විශ්වාස කරයි.ඒ හන්දාම ජනප්‍රිය සෙල්ලක්කාර තරුණයෙකුට හසු වී විනාශ වන දියණියට ඇය බොහෝ දොස් කීවා ය.
“පිටින් බලලා දේවල් තීරණේ කරන්නෙ කොහොමද අම්මේ?”
සකී අසන්නේ වේදනාවෙන් ය.අහස් කියන අන්දමට ඔහුවත් නොදන්නා තරමට පෙම්වතියන් ඔහුගේ ජීවිතයට සම්බන්ධ කළේ මාධ්‍ය නාලිකා ය.එහි අසත්‍යයක් නැති බව සකී දැන් දනියි.නමුත් අම්මාට එය තෝරා දීම උගහට ය.
“මං මනමාලයෙක් හොයනව.බොරු සුරංගනා ලෝක නැතුව ඒකට කැමති වෙන්න ඕන.ඔය මිනිහා තමන්ව බඳී කියල හිතනවද? බැන්දත් අවුරුද්දක්වත් පවුල් කන්න ඔහොම මිනිස්සුන්ට බෑ.පේනවනෙ අහන්න දකින්න වෙන ඒවා.”
අම්මාගේ ආවේගය කෙළවරක් නැතුව පුපුරා යයි.ඇගේ අකමැත්තක් නොවේ නම් විවාහ උත්සවයක් ඉතා ඉක්මනින් සිදු කරන්නට අහස් නොපැකිලෙන බව නොකියා සකී නිහඬව සිටියා ය.
“අම්මේ,මං දැන් ලොකු ළමයෙක්.මගේ ජීවිතේ ගැන තීරණ ගන්න කලින් මාත් ගොඩාක් හිතනව.මේ තීරණේ වෙනසක් නෑ.අම්මා කිව්ව වගේ ආසාවටවත් රැවටිල්ලකටවත් ඇස් අන්ධ වෙලා මොලේ විකාර වෙලාවත් නෙවෙයි මං අහස්ව තෝරා ගත්තෙ.මට ගැළපෙන්නේ එයා කියල මං දන්නව.”
සකී ආලින්දයට ආවේ අම්මා දෙස නොබලා ය.ආලින්දයට පිවිසෙද්දීම කඩුල්ලක් දවා ගත් සතුටින් පෙරළි කරන අහස්ගේ සන්තෝෂය පිරුණු මුහුණ ඇගේ දෑසේ හැපිණ.ඔහු සතුටිනි.ඇය ඔහු ලබා ගන්නට සටන් කළ මොහොතේ ඔහුට ද ඔහුගේම සටනක් තිබී ඇත.සකී සතුට දෑස් මත තබා තාත්තා දෙස බැලුවා ය.
“මේක නම් දිනනවා පුතේ.”
තාත්තා කියන්නේ සකීගේ සතුට ගැන වැරදි අවබෝධයකිනි.
“දිනන්නම වෙනවා තාත්තෙ.”
සකී සිතට ආ අවංක අදහස පැවසුවා ය.තාත්තා අහස් වර්ණනා කරන්නට පටන් ගත්තේ ය.ලෝකයේ ඉහළම ක්‍රීඩා විචාරකයන් ඔහු වර්ණනා කරන අන්දම ඇසෙද්දී දැනෙන සතුටට වඩා ඉහළ සතුටක් සකීට දැනෙන්නට විය.ඇගේ ප්‍රථම සහ ඉහළම ප්‍රේමය විසින් ඇගේ ආත්මීය ප්‍රේමය වර්ණනා කරමින් හිඳියි.දෙදෙනාට ඇති ආදරය කිසිදා කිරා නොබලන්නට සකී තීරණය කළා ය.ඇයට කුඩා ඉලංගසිංහලාට උපත දෙන්නට හැකි වේදැයි කිව නොහැක.නමුත් රූපවාහිනි තිරයේ පෙනෙන උද්‍යෝගිමත් තරුණයාත් ඔහුව වර්ණනා කරන වියපත් තාත්තාත් ඇගේ ජීවිතය තරයේ අල්ලා ගත් පිරිමි දෙදෙනා ය.ඇයට ඔවුන් දෙදෙනා තරමට කිසිවක්ම වටින්නේ නැත.
“අහස් පුදුමතරම් දක්ෂ වෙලා.මිනිහා පහුගිය දවසක ගෑනු ළමයෙක්ට ස්තූති කරා නේද? ඒ ළමයා කොල්ලව ගොඩ දානව වගේ.”
තාත්තා කියන්නේ සැහැල්ලු හඬකිනි.හොඳ වැඩක් කළ වහා තාත්තාගේ හොඳ නම ගන්නට ඔහු වටා කැරකෙන කුඩා දැරිය සකීට සිහි විණ.ඇය යමක් කරන්නට පෙර දෙවතාවක් නොසිතයි.
“තාත්තේ”
සකී තාත්තා ඇමතුවේ ඔහු දෙස සෘජුව බලමිනි.තාත්තා දියණිය දෙස පුදුමයෙන් බැලුවා ය.