නිබ්බුත ගීත – 05

ලෝචන මදුරාපුර ඒ තරම් උස යයි ඊට පෙර මගේ අවධානයට ලක්ව තිබුණේ නැත. තද පැහැති සමත්, කළු රාමුව සහිත ඇස් කණ්ණාඩිත්, පැත්තට පීරා නළලට වැටෙන දීප්තිමත් තද කළු පැහැති කොණ්ඩයත් සහිත කෙට්ටු උස කොල්ලා සඳනි වාගේ හැඩකාර කෙල්ලක ගේ හදවත උමතු කිරීම ගැන පුදුම විය යුතු නැති බව මගේ සිත මට කොඳුරා කියන්නට විය.

“පොතක් ගන්නකොට මේ කබඩ් එකේ තිබිච්ච ස්ටැච්‍යු එකක් බිම වැටිල කුඩු වුණානෙ. මට කොස්ස දෙන්නකො මං අතු ගාල දෙන්න”

ගල් පිළිමයක් සේ මා බලා සිටියදී යළිත් ලෝචන හඬ අවදි කළේ ය. මා ඔහු ගේ කාමරය තුළට එන්නට දෙගිඩියාවෙන් පසු වෙනවා යි ඇතැම් විට ඔහු සිතන්නට ඇත. 

“ම්..මං අතුගාන්නං බබා”

කොස්ස දිගු කර ගෙන වහා කාමරයට ඇතුළු වන ගමන් මම කලබලයෙන් කීවෙමි. ලෝචන හයියෙන් සිනහ වූයේ ය.

“බබා…මාව බබෙක් වගේ පෙනුණෙනං ඔයාටම විතරයි”

ඒ සිනහව අතරේ ම ඔහු කීවේ ය. මගේ හදවත අනවරත ගැස්මක පසු විය. මම ඉක්මනට බිඳුණු පිළිමයේ කැබලි ටික අතු ගා කසල බඳුනට ගෙන කාමරයෙන් පිට ව ආවෙමි. හිතේ තිබූ අසාමාන්‍ය කලබලය නිසා සඳනි ගැන ඔහු ට කීමට ලැබුණු හොඳ ම අවස්ථාව මගෙන් ගිලිහී ගියේ ය.

“අයියෝ…ඔයානං මහ මැටි මෝලක් නිබා. අතට ලැබිච්ච ටොපිය කටේ දා ගත්තෙ නෑනෙ”

හැඬුම් බර ස්වරයකින් සඳනි ගතු කීවා ය.

“අනේ සොරි සඳ…ඒ වෙලාවෙ මං පුදුම විදිහට බය වුණා. මං බබා කිව්වහම ලෝචන බබා හිනා වෙච්ච විදිහට…කියන්න හිටිය දේ මට අමතකම වෙලා ගියා”

“මොකටද ඒ අලියට බබා කියන්න ගියේ…ඒකනෙ ඔය ඔක්කොම”

ඇය තව තවත් නෝක්කාඩු වූවා ය. මා තුළ අති මහත් පශ්චත්තාපයක් ඇති වන්නට වූයේ ය. වරද සම්පූර්ණයෙන් මගේ ය. ඒ වරද ඉතා ඉක්මනින් නිවැරදි කරන්නට ඒ මොහොතේ මම තදින් සිතා ගතිමි.

“ඊළඟ සෙනසුරාදාට මං ශුවර් එකටම කියන්නං සඳූ”

“හැබැයි ඔන්න මේ සතියෙ විතරයි බලන්නෙ හරිද…වැඩේ කළේ නැත්තං මට මේ යාළුකමත් ඕන්නෑ”

මා වඩාත් බිය වූයේ අන්න ඒ අන්තිම වාක්‍යයට ය. මට ඇති ලොකු ම වත්කම ඇගේ හිතමිතුරු කමයි. ශිෂ්‍යත්වය සමත් ව බාලිකාවට යන්න පටන් ගත්තාට පස්සේ බස් නැවතුමේ දී හමු වූ පුංචි මිතුරිය නිසාවෙන් එදා සිට මේ වන තුරු ද ගෙදරට අඳින්නට මට ඇඳුම් වල හිඟයක් වූයේ නැත. ඇගේ ඇඳුම් මගේ ඇඟට තරමක් ලොකු වී ද මා විළි වසා ගත්තේ ඇයට පින් සිදු වන්නට ය. හැම වසරාරම්භයක ම පාසල් යාමට අලුත් බෑග් සපත්තු ගන්නා ඇගේ පාවිච්චි කරන ලද උපකරණ වලින් මට පිරිමසා ගත හැකි විය. වසර ගණනක් නො නැසී පවතින්නට ඒ තරම් මට උදව් කළ ඇගේ මිතුරු කම අහිමි කර ගැනීම ගැන මට සිතා ගන්නට වුව නුපුළුවන. එනිසාවෙන් ඊළඟ සති අන්තයේ හමු වන ප්‍රථම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මම තදින් සිතා ගතිමි.

මා ඔවුන් ගේ මන්දිරයට යන විට මධාරා අක්කා සිටියේ දුරකතන ඇමතුමක ය. ඔවුන් ගේ නිවස යනු ගමේ ගෘහස්ථ දුරකතන තිබූ ගෙවල් අතළොස්ස අතරින් එකකි. කවිච්චියක හිඳ සිනහ වෙමින් මධාරා අක්කා කා එක්ක ද මන්දා කතා කරමින් සිටියා ය. ඔවන් ගේ මවු පෙනෙන්නට සිටියේ නැත. කොහොමටත් ගෙදර සිටිය ද ඇය වැඩිපුර එළි මහනේ නො ගැවසුණ අතර වැඩිපුර කාලය ගත කරන්නේ උඩු මහලේ වන පුස්තකාල කාමරයේ බව අම්මා කියා තිබේ. මම හොර ගල් අහුලමින් ලෝචන ගේ කාමරය පැත්තට ගියෙමි. මා ඒ ආසන්නයට යත්දී ම ඔහු කාමරයේ දොර හැරි අතර මා තිගැස්සී යන්නට ඇත. දිය නෑමෙන් පසු ඔහු ලොකු සළුවකින් හිස පිසදමමින් පිටතට එන්නට සූදානම්  වූයේ ය. නමුත් කාමරයේ දොරකඩ සිටි මා නිසා ඔහු ගේ දෙපා නවතින්නට ඇත. මගේ හද ගැස්ම කොයි තරම් වේගවත් වී තිබුණාද කියා මා දන්නේ නැත. නමුත් හුස්ම වැටීම ඉතා ඉක්මනින් සිදු වූ බව මට මතක තියේ.

“බබාට පණිවිඩයක් කියන්නයි ආවෙ”

ඒ පැත්තෙන් ප්‍රශ්නයක් නැගෙන්නට පෙර මම කීවෙමි. ලෝචන ගේ මුහුණේ ගිය ඉරිදා තිබුණ සිනහව දැකිය හැකි වූයේ නැත. ඇතැම් විට ඒ විදිහට මා එතැන සිටීම ගැන කුතුහලයකින් ඔහු විපිළිසර ව ඉන්නට ඇත.

“ඔව් කියන්න නංගි”

“සඳනි..”

මම හිතට දිරි ගෙන කියා ගතිමි. අපේ පන්තියේ ළමයින් ප්‍රේමය විෂයේ කෙතරම් හුරුබුහුටි දැයි මම දැන සිටියෙමි. සමහරු පෙම්වතියන් වී සිටියහ. සමහරු ඒ ප්‍රේම කතා වලට උදව් කළහ. එසේ උදව් කරන අය ද ලොකු සතුටකින් හා ආත්ම අභිමානයකින් සිටියහ. පෙම්වතියක වීමේ සුදුසුකම් නැතිවා වී ද මගේ ම මිතුරිය වෙනුවෙන් කළ යුතු යුතුකමක් තිබියදී එය කළ යුතු මොහොතේ දී මම හිත ධෛර්යමත් කර ගෙන අවස්ථාවට මුහුණ දෙමින් සිටියෙමි. මේ ඇසිල්ලේ මා හදිසියේ වැඩිහිටියෙකු වූ බවට හැඟීමකින් ද මම දෝරෙ යන්නට වූයෙමි.

“ඔව් සඳනි…”

“සඳනි…බබාට කැමතියි. එයා බබා ගැන හුඟක් හිතනව”

ඒ වාක්‍ය දෙක කියා ගන්නට කැලරි කොපමණක ජවයක් වැය වන්නට ඇත්ද? කෙසේ වතුදු එය කියා නිම කිරීමෙන් පස්සේ මට දැනුණේ මහා පුදුම සැනසීමකි. මම එය කළෙමි!

“කවුද දැන් ඕක කියන්න කියල ඔයාට කිව්වෙ…සඳනිද…”

මම ඔව් යි හඟවන්නට හිස සැළුවෙමි.

“හරි මං සඳනි එක්ක කතා කරන්නං”

ඔහු එසේ කීවේ දැන් මා එතැනින් නික්ම යා යුතු යයි හඟවන්නට මෙනි. ජාතික මෙහෙවරක් කළා වන් සාඩම්බරයකින් මම නික්ම ගියෙමි. එදා පන්ති නිම වූ ගමන් මා ගියේ සඳනි හමු වන්නට ය. ඔවුන්ගේ ගේට්ටුව ළඟ සිට කතා කරනු මිස මුල සිට ම මම වැඩිපුර ගෙතුළට නො ගියෙමි. ගේ ඇතුළට වඩා පාර අපට පහසු විය. 

“තෑන්ක් යූ නිබ්බූ”

කියමින් ඇය තදින් මා වැළඳ ගත්තා ය. මම ලොකු හුස්මකින් පපුව පුරවා ගනිමින් නිවුණේ වූයෙමි. නමුත් ඉරිදා  දහම් පාසල නිම වී එන ගමන්  සඳනි මට කීවේ මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ කතාවකි.

“පිස්සුද මෝඩයො කියල මගෙ ඔළුවට ටොක්කක් ඇන්න. අර අහිංසක පොඩි ළමයව ඔය වගේ දේවල් වලට පාවිච්චි කරන්න එපා හරිද කියලත් කිව්ව”

“ඒ කියන්නෙ එයා ඔයාට කැමති නෑ කියලද…”

“හ්ම්. කරන්නංකො මං හොඳ වැඩක්. එයාට පේන්නම යාළු කර ගන්නව වෙන කොල්ලෙක්ව. ශුවර් එකටම කැම්පස් එකේ කෙල්ලෙක් ඇති. තේරෙයිනෙ අපේ අගේ පස්සෙ”

සඳනි ගේ ඇස් වල කඳුළක දිළිසුම වූයේ ය. ඇයට වඩා රිදුණේ මගේ හිත බව දිව්රා කිව හැක. ලෝචන සඳනි ට කැමති නොවීම මගේ වරදක් සේ බාර ගන්නට තරමට මම ඒ සිදුවීමෙන් කණගාටු වූයෙමි. 

“ඔයා මොනා කරන්නද…”

සඳනි මගේ අතින් අල්ලා ගෙන සිනහ වූවා ය. නමුත් ටික දවසක් යන තුරු ඒ සාංකා හැඟීම මගේ මනසින් පහ කළ හැකි වූයේ නැත.

මා ඒ ඔබට කීවේ ලෝචන මදුරාපුර ගැන මුලින් ම මගේ හිතේ සමීප මතකයක් ඇති කළ සිදුවීම ගැන ය. ටික දිනක් යන තුරු සඳනි හිතේ අමාරුවෙන් කියවූවා ය. පුළුවන් තරම් මම ඇගේ හිත හදනා උත්සාහයක් ගතිමි. ලෝචන අභියසට ගොස් සඳනි වෙනුවෙන් ඉල්ලා සිටීමක් කරන්න තරමට විටෙක මා ඈ ගැන දුක් ගත්ත ද සඳනි ඊට කැමති වූයේ නැත.

“එච්චර එයා ඉස්සරහ වැඳ වැටෙන්න ඕන නෑ”

ඇය එහෙම හිත දැඩි කර ගත්ත ද ප්‍රථම ප්‍රේමයෙන් ප්‍රතික්ෂේප වීමේ රිදුම වරින් වර එහිතේ හිස එසවූ බව හා ඒ ප්‍රහාරයන් වල තරම මා තරම් හොඳින් දන්නා වෙන කෙනෙකු නැත.

එම සිදුවීමෙන් පසු ඔවුන්ගේ නිවසේ දී ද මම ලෝචන මගහැර සිටියෙමි. මට ඔහු ගැන තිබුණේ කේන්තියකි. සඳනිට අකමැති වෙන්නට හේතුවක් ඔහු ට නැත!

යළිත් වතාවක් ලෝචන හා බැඳුණු සමීප සිද්ධියක් සිදු වන්නේ මා එකොළහ වසරට ප්‍රවේශ වූ අලුත ය. එතකොට සඳනි සාමාන්‍ය පෙළ විභාගය ලියා ප්‍රතිඵල එනතුරු ගෙදර ඉන්නා කාලය ය. ඇගේ පැරණි සියලු පොත් පත් බෝතල් පත්තර කාරයෙකුට ගෙන යන්නට දී ඇය කාමරය අස් කළ දවසක මට එහි එන්නට කීවේ අවශ්‍ය පොත පතක් වී නම් තෝරා ගන්නට ය. අතිරේක කියවීම් පොත් කිහිපයක් සමග, ගෘහ ආර්ථික විද්‍යාව විෂය වෙනුවෙන් ඇය රැස් කර ගෙන තිබූ විසිතුරු නූල්, රිබන්, පබළු වැනි දේවල් බහා ලූ පෙට්ටියක් මම තෝරා ගතිමි. කුඩා කල පටන් ම එවැනි විසිතුරු දෑ කෙරේ මගේ විශේෂ ඇල්මක් වූයේ ය. ගෘහ ආර්ථික විද්‍යාව විෂය නිසා ම සඳනි විසින් සති පතා මිල දී ගන්නට යෙදුණු කාන්තා පුවත් පතක් මා ඇගෙන් ඉල්ලා ගෙන කියවන්නට පුරුදු වී සිටියෙමි. එහි වූ විශේෂාංග අතරින් වඩාත් මගේ සිත් ගත්තේ අත්කම් හා මල් සැකසුම් වැනි දෑ ය. පාට පොලිතීන් කොළ වලින් ද රෙදි වලට කැඳ හා වර්ණ දමා ද මල් සැදීම අත් හදා බැලීම මගේ ලොකු ම විනෝදාංශය වූයේ ය. නමුත් ඒ ආශාව දිග දුර දිගට යා නො හැකි වූයේ අපේ ගෙදර තිබූ අඩුපාඩු නිසාම ය. නියමිත තත්වයෙන් ඒ අත්කම් කිරීම සඳහා අවශ්‍ය කරන ආම්පන්න හා අමුද්‍රව්‍ය ගෙදරින් සපයා ගැනීම පහසු වූයේ නැත. වෙළෙඳ පොළෙන් ඒවා මිල දී ගන්නට තරම් මිල මුදල් අපට වූයේත් නැත. නමුත් මම උත්සාහයන් ද අත් නො හැරියෙමි. පොලිතීන් කොළ වෙනුවට, බඩු අසුරා වෙළෙඳ පොළේ වන පොලිතීන් බෑග් මම මහ ගෙදර කුණු ගොඩෙන් සොයා ගමි. ආච්චි මමීට වැඩක් කොට දී, රෙදි වලට කැඳ දාන්නට සව් ටිකක් ඉල්ලා ගමි. මල් ගවසන සිහින් කම්බි සොයා ගැනීම දුෂ්කර වූ වෙලා වල මම ඉරටු වල මල් ගවසා ඇත්තෙමි. මල් බඳුන් නොවූ අපේ ගෙදර, මා ඒ මල් දැමූයේ කොහෙන් හෝ ඇහිඳ ගත් බෝතලයක ය. පත්තරයේ අත්කම් පිටුවේ වූ ඡායාරූප වල ප්‍රමිතිය මා සැදූ මලක නොවූ බව මම දනිමි. නමුත් පහසුකම් තිබුණා නම් ඊටත් වඩා හුරුබුහුටි ලෙස මට එය කළ හැකිව තිබූ බව  වඩාත් හොඳින් මම දනිමි.

මධාරා අක්කා තිලිණ කළ සිහින පෙරණය දකින හැම වතාවක ම එවැන්නක් සෑදීමේ ආශාවක් මා තුළ ඉපදිණ. සඳනි ගේ නූල් පෙට්ටියේ තිබූ සුදු ගෙතුම් නූල් බෝල දුටු විට මා පිනා ගියේ ඒ සිහිනය සැබෑ කර ගත හැකි වන බැවිනි. අවශ්‍ය තරම් පබළු වර්ග ද එහි වූයේ ය. වැදගත් ම දේ නම් ඇගේ අඩුම කුඩුම අතරේ එම්බ්‍රොයිඩර් රාමුවක් ද තිබීමයි.

ගෙදර පැමිණි ගමන් මම මල්ලී ට කියා සුදු පරෙවි පිහාටු ටිකක් එකතු කොට ගතිමි. වටේ ම ගෙවල් වල පරෙවි කූඩු තිබුණේ ය. ඒ නිසා පිහාටු සෙවීම ඉතා පහසුවෙන් කළ හැකි වී ද අමාරු වූයේ සුදු පිහාටු ම සෙවීමයි. නමුත් මට ඕනෑ වූයේ සුදු පිහාටු ය. මට ඕනේ කීවොත් කොතැනක හෝ තිබෙනවා නම් කෙසේ හෝ එහි ගොස් මල්ලී එය මට ගෙනැවිත් නොදී ඉන්නේ නැත!

දින කිහිපයක් ම වැය කොට, සුදු ගෙතුම් නූල් ද සුදු පබළු ද සුදු කුරුලු පිහාටු ද යොදා ගෙන මම ඉතාමත් අලංකාර සිහින පෙරණයක් සාදා නිම කළෙමි.

“මේව හැදුවනං විකුණල අපිට සල්ලි හොයා ගන්න පුළුවන් නේද සුදූ…”

මල්ලී මා ළඟට වී හිඳ බෝ වෙලාවක් කල්පනා කිරීමෙන් පසු නැගූ පැනය එයයි. ඒ වෙලාවේ මා දුරට දිගට ඒ ගැන නොසිතුවේ, පන්ති යන විට මගේ අතින් නිර්මාණය කරනා ලද සිහින පෙරණය ගෙන ගොස් මධාරා අක්කාට තිලිණ කරන්නට හිතේ තිබූ නො ඉවසිල්ල නිසා ය.

මා යත්දී ඇය ආලින්දයේ සිටියා ය. අම්මා එක්ක එහි යත්දී මා ගෙට ගොඩ වූයේ කුස්සියේ දොරෙන් වී ද මධාරා අක්කා මට එසේ කරන්නට නොදී ඉස්සරහා දොරෙන් ම ගෙතුලට කැඳවන්නී ය. 

සිහින පෙරණය තිබුණේ මගේ පොත් ගොඩ මත රුවා ගෙන ළයෙහි තුරුලු කර ගෙන ය. ඉතින් ඇය දුටු වන ආලින්දයේ වෙන කිසිවෙකු හෝ නො දුටු බැවින් මම එය අතින් ගෙන එල්ලෙන සේ ඇය වෙත පෑවෙමි.

“වාව්…හරිම ලස්සනයි”

ඇගේ මුහුණ සතුටින් පිරුණේ ය.

“මං හැදුවෙ”

“ඇත්තටමද නිබ්බුතා…”

“ඔව්. අක්ක දීපු එක බලං ටිකක් වෙනස් කරල හැදුව. මේක අක්කට දෙන්නමයි මං හැදුවෙ”

“අනේ…තෑන්ක් යූ නිබ්බුතා තෑන්ක් යූ සෝ…මච්. මං ඒකට ගොඩා…ක් ආසයි. තනි සුදු…ඔයාගෙ හිත වගේම ලස්සනයි පිරිසිඳුයි. මං ඒක මගෙ රූම් එකේම තියා ගන්නව”

ඇය ඒ තරම් එය අගයත්දී මගේ පුංචි සිතට එය කෙතරම් නම් සතුටක් වූවා ද? නමුත් ඒ සතුට පැවතුණේ තවත් තත්පර කිහිපයක් පමණි. කොහේ සිට ද මන්දා එතැනට කඩා වැදුණු ලෝචන, මධාරා අක්කා ගේ අතින් එය උදුරා ගෙන දිව්වේ ය.

“මේක හොඳ මට”

ඒ දුවන අතරේ ඔහු කීවේ ය. මධාරා අක්කා ඔහු පසු පස පන්නා ගියා ය. හදිසියේ ම එතැන රඟ දක්වන්නට ගත් නාට්‍ය ජවනිකාව දෙස මම කිසිත් සිතා ගත නො හැකි ව අයා ගත් මුවින් බලා සිටින්නට වීමි.

“දෙනව ඕක. නිබ්බුතා මටයි ඕක හදං ඇවිත් තියෙන්නෙ”

මධාරා අක්කාට වෙට්ටු දමා ලෝචන ඔහු ගේ කාමරයට පැන ගත්තේ ය.

“ඒ වුණාට මේක අයිති වෙන්න ඕන මටනෙ”

කියමින් ඔහු දොර වසා ගත් අතර මධාරා අක්කා අත් දෙක ඉණට තබා ගෙන බලා සිටින්නට වූවා ය.

“මං අක්කට වෙන එකක් හදල ගෙනත් දෙන්නං”

මම ඇය සමීපයට ගොස් මිමිණුවෙමි. ඇය ට එය අහිමි වීම ගැන කේන්තියක් වෙනුවට ඒ වෙලාවේ මගේ මුවග මායාවී මඳහසක් වූයේ කෙසේ ද කියා අදත් මම සිතමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles