අහස්ගේ ලෝක කුසලාන තරග ඇරඹෙන්නට වැඩි දවසක් නොවේ. සකීට ද පැමිණෙමින් තිබුණේ අතිශය කාර්යබහුල කාලයකි.ඒ කාලය ඇරඹෙන්නට පෙර ඇයට ගෙදර යන්නට ඕනෑ විය.
“මං ගිහින් දාලා එන්නං.”
අහස් වහා ඉදිරිපත් වූයේ ය.සකී ඔහුගේ අතකට සෙමින් පහරක් එල්ල කළා ය.
“ඔයාට වැඩ නැද්ද ඇයි? මට යන්න පුලුවං තනියම.මොකද මං මෙච්චර කල් ගියේ තනියම නෙවේයැ.”
ඇගේ කතා අසන්නට අහස් සතුටු නොවේ.ඔහු ඇය වෙනුවෙන් ඕනෑවට වඩා මුදල් වියදම් කරයි.සමහර විලවුන් වර්ග ද ඇඳුම් පැළඳුම් ද තමන්ට ඕනෑවට වැඩියැයි කියන සකී අහස්ගෙන් බැනුම් අසන්නේ වරක් දෙවරක් නොවේ.
“මම ඇත්තටම කියන්නේ.මම තාම කැම්පස්නෙ.රස්සාවක් කරන කාලෙට ලස්සනට ඉන්න පුලුවන්.”
සකී එසේ කියද්දී අහස් ඊට එරෙහි වේ.ඇය ඕනෑවටත් වඩා සතුටින් හිඳීම තරම් වෙනත් දෙයක් ඔහුට නොවේ.ඇයට සෑම හොඳ දෙයක්ම ලබා දීම අහස්ට ලෝක වාර්තාවක් තැබීම තරම් සතුටකි.
“ඔයා ඇත්තටම ඔයාගෙ මහන්සියෙන් සෑහෙන දේවල් ලබාගෙන තියනවා.ඒ සල්ලි ඕනෑවට වඩා මට වියදම් කරනවට මම ආස නෑ.”
සකී එසේ පැවසූ දිනක අහස් මුහුණ එල්ලා ගත්තේ විරාට් කෝලි අතින් සෑම පන්දුවකට ම හයේ හතරේ පහරවල් ලබා ගත් දිනක වාගේ ය.නමුත් සකී ඇගේ අදහස වෙනස් නොකළා ය.
“මම දන්නව ඔයා උදව් ඕනම අයට සෑහෙන්න උදව් කරනව කියල.ඔයාගෙ මොනවහරි ගොසිප් එකකට තාර බාර දාලා ලියන කිසිම කෙනෙක් ඒවා නොලියා හිටියත් මං ඒ ගැන දන්නව.මගේ තාත්තාගෙ අසනීපෙට වුණත් මං ඔයාගෙ වෙලා නොහිටියත් ඔයා උදව් කරාවි.මං දන්නව ඒ ඔයාගේ හොඳ හිත කියලා.”
සකී කියවාගෙන යයි.එහෙත් මුහුණේ අඳුරු වළාකුළු අහකට දමන්නට අකමැති අහස් මුහුණ පුම්බාගෙන ඇයව අසා සිටියේ ය.
“ඒ වුණාට ඔයා මට වැඩිය ඕනෑ නැති දේවල්වලට සල්ලි වියදම් කරනවට මං ආස නෑ.සමහර ගෑනුළමයි ඉන්නව තමයි බ්‍රෑන්ඩඩ් අඳින්න ආසයි,බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්වලට ආසයි.මාත් එහෙම තමයි.ඒත් ඉඳහිට තෑග්ගක් ලැබුණාම ඇති.ඒවා අනිවාර්යය නෑ.අනිවාර්යය එකම දේ ඔයාගේ ආදරේ විතරයි.”
එහෙත් අහස් ඒ කතාවට එකඟ වූයේ නැත.සකීට උවමනා එකම දෙය ඔහුගේ ආදරය නම් මේ ඔහුගේ ආදරය පෙන්වන ක්‍රමය ය.ඒ ක්‍රමයට එරෙහි වන්නට ඇයට නොහැකි ය.ඒ තර්කය ඉදිරියේ අසරණ වූ සකීට ඔහු වරින්වර ලබා දෙන ත්‍යාග බාර නොගෙන ඉන්නට හැකි වූයේ නැත.ජීවිතය වෙනස් වෙමින් පැවති අතර මේ ජීවිතය බාර ගත යුතු බව සකී තේරුම් ගත්තා ය.
“දැන් මේ කියන්නේ සල්ලි වියදං වෙන කතාවක් නෙවෙයි.කාලය ගැන කතාවක් හරිද? ඔයාට මේ වෙලාවේ කාලය වටිනවා සෑහෙන්න.ඒ හන්දා මාත් එක්ක පාරට කාලෙ නාස්ති කරන්නනම් දෙන්න බෑ.”
සකී සමඟ මහනුවර යන ගමන අහස් අකමැත්තෙන් අත හැරියේ ඒ කතාවට එකඟ වන්නටම සිදු වූ හන්දා ය.මේ ඔහුගේ ජීවිතයේ වැදගත් කඩඉමකට සැරසෙන කාලයකි.සකී කියන ලෙසටම කාලය රන්වලටත් වඩා වටින බව ද සැබෑවකි.ඒ නිසා අහස් සකීට ඇහුම්කන් දෙන්නට තීරණය කළේ ය.
“බයෙන් බයෙන් ගෙදර යන්න වුණානං මං සමහරවිට මේ නිවාඩු දවස් ටික නිම්නලගෙ ගෙදර යන්නත් තිබුණා.ඔයාට අම්මාත් කැමතියි කියන එකම මට පුදුම සහනයක්.”
සකී අහස්ගෙන් සමු ගන්නට පෙර එසේ පැවසුවා ය.සැබෑවටම ඇය සිටියේ පුදුමාකාර සතුටකිනි.අම්මා අහස්ට අවසර නොදුන්නානම් හිත ගල් කරගෙන ගන්නට සිටි සමහර තීරණ ගැනීම කියන තරමට පහසු නොවන බව සකී දන්නී ය.
“පාඩම් කරන්න තියන දවස් නිසා පුතා එන එකක් නෑ හිතුණා.”
අවසන් වතාවට සමු ගනිද්දී අම්මාගේ මුහුණේ තිබූ කළු වළාකුළු දැන් පෙනෙන්නට නැත.ඒවා නැති කර දමන්නට තරම් සිරිමත් හැසිරීමක් තමන් දැක්වූ බව අහස් කියද්දී සකී උස් හඬින් හිනැහුණද ඔහුගේ හැසිරීම පවා අම්මා කරන්නට හේතුවක් වූ බව ඇයට විශ්වාස ය.අම්මා පසුගිය දුරකථන ඇමතුම් කිසිවක අහස් ගැන සඳහන් නොකළා ය.අම්මා එසේ කරන්නේ මුණගැසී කතා කල යුතු මාතෘකා බව සකී දන්නී ය.කුමක් හෝ හේතුවක් නිසා ඇයට ඒ සම්බන්ධයෙන් බියක් නොදැනේ.ජීවිතය තුළ හටගන්නා වල් පැළ ගලවා දමන්නටත් මල් පැල වලට පොහොර වතුර යොදන්නටත් ඇය අහස්ට පිළිණ දී තිබේ.ඉතින් අම්මාගේ හදවතේ හටගෙන ඇති මල් පැල වලට පොහොර යොදා වල් පැල ඉවත් කිරීමට සකී ධෛර්යමත් වී හමාර ය.
වෙනත් බොහෝ කාරණා කතා කරමින් සකීට කන්නට බොන්නට දේ පිළියෙළ කළ අම්මා මාතෘකාවට එළඹුණේ රාත්‍රියේ ය.තාත්තා ප්‍රවෘත්ති බලමින් හිඳියි.හවස හතේ සිට රෑ දහය වෙනතුරුම සෑම නාලිකාවකම ඇති ප්‍රවෘත්ති බලමින් දේශපාලකයින්ට බැන වැදුණාට තාත්තාට ලැබෙන දෙයක් නැතැයි අම්මා පැවසුව ද පලක් නොවේ.ඒ තාත්තාගේ දෛනික රාජකාරියකි.
“ඉලංගසිංහ නෝනා කතා කරා පෙරේදා.ඔයාගේ කේන්දර කොපියක් ලෑස්ති කරන්න කිව්ව.එයාලා ළඟදී දවසක මෙහෙ එනවා කිව්වා.”
දියණියක වෙනත් දෑතකට පවරද්දී හැම අම්මා කෙනෙකුගේම මුහුණේ ඇදෙන වේදනා වළාකුළු හැරුණු විට අම්මාගේ මුහුණේ දොම්නසක සේයාවන් නොවේ.සකී අම්මා වෙත හැරුණේ හැඟීම් පිරුණු මුහුණින් ය.අම්මා සකීගේ හිස අතගාමින් කියවන්නට වූවා ය.
“කේන්දර නොගැලපුනොත් මේ කටයුත්ත නොකර ඉන්න එයාලගේ අදහසක් තියෙනවද නම් මම දන්නෙ නෑ.ඒ උනාට ඕවගේ වැඩිය ඇත්තක් නෑ.ඒත් එයාලගෙ එකම දරුවනෙ.කොහොමටත් ඒ නිසා ඒවට අපිට මොකුත් කියන්න බෑ.”
ඉර හඳ තාරකාවලට ඊළඟ ඉරණම තීරණය කරන්නට ඉඩ දිය වේදැයි සකී සසැලුණා ය.එහෙත් ඇයට ඊට කලින් අසන්නට ප්‍රශ්නයක් වූවා ය.