සුහදිනි -67

“ඇයි අම්මා?”

අහස් ඇසුවේ පුදුමයෙනි.සමහර වෙලාවට ජොතිශ්‍යවේදී  ජීවිත උස්සා පොළොවේ ගසනා තැන් වේ.මේ එවැනි මොහොතක් නම් එයට මුහුණ දෙන ආකාරය ගැන අහස්ට වූයේ කැළඹීමකි.

“ඔය දේවල් ඕනවට වඩා විශ්වාස කරාට අම්මේ..”

අහස් එසේ කියද්දී අම්මා අත ඔසවා ඔහු වැළැක්වූවා ය.ඇයට කියන්නට කතාවක් තිබේ.අහස්ට පසුව කතා කළ හැකි ය.

“මේවා විශ්වාස නොකර ඉන්න අමාරුයිනෙ පුතේ.”

අම්මා එසේ කියා කේන්දර ද්විත්වයම ඇගේ අත් බෑගයෙන් පිටතට ගත්තා ය.කියන්නට වටිනා කතාවක් අම්මා සතු වේ.

“ඔයාගේ කේන්දරේ ප්‍රතිබිම්බය තමයි සකීගේ කේන්දරේ.චන්ද්‍රසේන මහත්තයා එහෙම කිව්වා පුතේ.මට ඒක ඇත්තටම තේරුණෙත් නෑ.”

එසේ කියා ඇය අහස්ගේ කාමරයේ වූ කැඩපතට එක් කේන්දරයක් දිගු කළා ය.ඒ ප්‍රතිබිම්බය අනෙක් කේන්දරයෙන් පෙනේ.එය ඉතා දුර්ලභ සිදුවීමක් බව ජොතිශ්‍යවේදියා පැවසූ අන්දම ඉලංගසිංහ මහත්මිය හෙළි කළා ය.

“මෙහෙම වෙන්නේ සංසාරේ පතාගෙන ආපු අය කියලයි චන්ද්‍රසේන මහත්තයානම් කියන්නෙ පුතේ.ඔයාට සකී දැක්කම මොකද ඉස්සරලම හිතුණේ.”

ඉලංගසිංහ මහත්මිය අහස්ගේ යහන මත ඉඳ ගන්නා අතර ඇසුවා ය.අහස්ට පැහැදිලි සිනාවක් නැඟිණ.ඔහු අම්මා දෙස බලා සිටියේ අපහසු කඩුල්ලක් දවා ගත් තරමේ සන්තෝසයකිනි.

“මං අවුරුදු දාහතරේ පහළොවේ ඉඳන් සකීව දන්නව අම්මේ.”

ඉලංගසිංහ මහත්මිය පුදුමයට පත් වූවා ය.එසේ දැන සිටියානම් සාරණ්‍යා සහ තවත් අටෝරාසියක කෙල්ලන් සමඟ අහස් සම්බන්ධතා හදා ගන්නට හේතුව ඇයට තේරුම් ගන්නට අසීරු ය.

“ඒත් හීනෙක දකින ගෑනු ළමයෙක් ඇත්තටම ඇස් ඉස්සරහට ආවම..අනිත් එක මම ඒ හීනවල එයාගේ කටහඬ ඇහුවයි කොණ්ඩේ දැක්කයි විතරයි අම්මෙ.”

අම්මාට නොකියා සඟවා ගත් රහස් අහස්ගේ ජීවිතය තුළ ඕනෑතරමට වේ.නමුත් මේ කතාව අම්මාට කියන්නට ඔහුට ඕනෑ විය.අහස් සිහිනයක රැඳි ආදරය ගැන අම්මාට කියන්නට පටන් ගත්තේ ය.එය දිගු කතාවකි.නමුත් අම්මා පුතුට සවන් දුන්නා ය.අම්මා කෙනෙකුට දරුවෙකුට සවන් දෙමින් ඕනෑතරම් වෙලා ගෙවා දමන්නට හැකි ය.

“මං සකීලගෙ අම්මට කතා කරන්න ඕන පුතේ.ඔයාලට නැකැත් ඕන පදමට තියනව.ඕනනම් හෙට වුණත්.ඒ වුණාට ඉතින් තාත්තයි මායි පුලුවන් තරම් ඉහළින් මේක කරනව.”

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්නා ඉලංගසිංහ පවුලට විවාහ උත්සවයක් කියන්නේ එවැන්නකි.නමුත් සකීගේ පවුලට බරපතල මට්ටමේ විවාහ උත්සවයක් කළ හැකිදැයි අහස්ට සිතිණ.ඔවුන් අනිවාර්යයෙන් ම දියණියගේ විවාහ උත්සවයට මුදල් වෙන් කරන්නට ඇත.එහෙත් එය ඉලංගසිංහ පවුලට ගැළපෙන තරමේ උත්සවයක්දැයි කියන්නට අහස් නොදනී.ඔහු ඒ හන්දා දෙගිඩියාවට පත් වූයේ ය.

“අපි මේ හැමදේම වියදම් කරලා කරන්න ඕන පුතේ.ඒ වගේ දරුවෙක් අපි රැජිනක් වගේ අරගෙන එන්න ඕන.”

අහස්ගේ තිගැස්ම බිඳී ගියේ ය.අම්මා ඔහු කියවාගෙන තිබේ.අහස් ප්‍රශ්නයක් අසන්නට සිතුවේ ය.

“අම්මා සකී ගැන මෙච්චර හිතන්නෙ ඇයි? එයා සංකර නැති උගත් ළමයෙක් හින්දද?”

ඉලංගසිංහ මහත්මිය අලුත් පරම්පරාවේ ගැහැනියකි. රූපලාවණ්‍යගාරයට ගොස් සැලකිය යුතු මොහොතක් ගෙවා දමන ගැළපෙන විලාසිතා කරන්නට පසු නොබසින ඇය සකී තරමේ චාම් දැරියකට කැමැත්ත පළ කරන්නට සාම්ප්‍රදායික හේතු ඉස්සර වීම ම පුදුමයකි.

“ඒ දරුව ඔයාට පණටත් වඩා ආදරෙයි.මට ඉතින් ඊට වඩා හේතුවක් නෑ.අනිත් හැම දේම ඔයාගේ ඇහැට පේන දේවල්.ඒත් පුතේ මට වැදගත් වෙන්නේ සකී ඔයාට දෙන ආදරේ.”

සෑම මොහොතකම මනස අවුල් කර දමන ගැහැනියක අහස් ගේ ජීවිතයේ ඇල වී නොසිටීම ඔහු කුඩා කාලයේ පටන් දුටු සිහින සැබෑ කර ගන්නට හේතුවක් වෙන බව ඉලංගසිංහ මහත්මිය විශ්වාස කළා ය.කණ්ඩායම් සඟයන් ගේ ජීවිතවල බොහෝ දේ සිදු වේ.එවැනි කතාන්දර පැතිරෙන මොහොතක් පාසා අනෙක් අයගේද ජීවිත අවුල් විය හැකි බවට පළවන මත එකක් පාසාම ඉලංගසිංහ මහත්මිය සමාජ මාධ්‍ය ජාලා හරහා කියවන්නී ය.ඒවා  සරදම් ම නොවේ.එවැනි දේ සිදු වෙන වෙන අවස්ථාද තිබේ.නමුත් සිහිනයකින් වත් අහස්ව සැක නොකරන ඔහුගේ ප්‍රේමය කෙරෙහි විශ්වාසය තබන යුවතියක ඔහු සමග සිටීම ම අම්මෙකුට මහත් ශක්තියකි.

“අම්මලා කේන්දර බලලා ගෙදර ආවම ඒ කේන්දර ගැලපෙන්නේ නෑ කියලා ගෑනු ළමයිව බය කරන එක කොල්ලන්ගෙ පුරුද්ද.ඒ පව්කාර වැඩේ එහෙම කරන්නේ නෑ හරිද?”

අම්මා කාමරයෙන් පිටවෙන්නට පෙර අහස්ට තරවටු කළා ය.

“ඇයි? ලොකු සර් ඔයාට එහෙම කළා ද? තාම අම්මා හිටපු ගමන් පුම්බගෙන ඉන්නේ ඒ පරණ ඇරියස් මතක් කරගෙන නේද?”

අහස්ගේ උස් හඬින් නැගෙන සිනාව අසන්නට සකි තරමටම ඉලංගසිංහ මහත්මිය ඇලුම් කරන්නී ය.නමුත් ඇය ඇගේ සිනාව ආයාසයකින් වළක්වාගෙන පුතුට රැවුමක් පා කළා ය.

“කියන්න තියෙන ලස්සනම ආරංචි මුලින් බය කරලා පස්සේ ඇත්ත කියන එකේ කිසිම තේරුමක් නෑ.ඒවා ඔයාලට සර්ප්‍රයිස් වෙන්න ඇති.ඒත් එව්වා ඇත්තම සර්ප්‍රයිස් නෙමෙයි.කියන්න තියෙන ලස්සන දෙයක් කියන්න ඕනේ ලස්සනට.”

අම්මා පවසන කතාව මොන තරමට සත්‍යයක්දැයි අහස්ට සිතිණ.එහෙත් ඔහු සැහැල්ලුවෙන් හිනැහුණේ එය ඒ තරමට ගණන් ගත්තේ නැති මුහුණකින් ය. 

“ඉතින් අපි ඔයාලට මැච් දිනවල දෙන්නෙත් එහෙමනෙ.මුලින් හාට් ඇටෑක් හදවලා,අනිත් ටීම් එකට නිකාං ලකුණු පූජා කරලා..අන්න එහෙමනෙ”

පුතුගේ කාමරයේ දොර වසා දමන්නට පෙර කියන්නට දෙයක් අම්මාට තිබිණ.

“මම  මේ කසාදෙ ඉක්මනට කරලා දෙන්නයි පුතේ කැමති.ඒ වුණාට මට ඔයාට කියන්න ලොකු කාරණාවක් තියෙනවා.ජීවිතේ කියන්නේ නම් මැච් එකක් නෙමෙයි.ඒ නිසා ජීවිතේ ඇතුළේ සෙල්ලම් කරන්න එපා. ජීවිතේට මූණ දෙන්න.”

අහස් අම්මා නික්ම ගිය පසු වට කිහිපයක් කැරකුණේ ය.කඩුල්ලක් ලබාගත් පසු පිටිය පුරා දිව යන තරමේ සන්තෝසයකින් කාමරය පුරා දුව යන්නට ඔහුට සිත් වේ.මේ ප්‍රේමය කේන්දර එකට ලඝු කරන්නට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැත.නමුත් ප්‍රතිබිම්බ කේන්දර කතාවත් සංසාරය පුරා පැතූ ප්‍රේමයක කතාවත් ඔහුට ගෙන එන්නේ වචන කර ගන්නට බැරි තරමේ ආනන්දයකි.සකීට ඇමතුමක් ගන්නට කල්පනා කළ ඔහු දුරකථනය අතට ගෙන නැවත ඒ අදහස අත් හැර දැමුවේ ය.

මේ දුරකථනයෙන් කිව යුතු කතාවක් නොවේ.

(සකී වෙනුවෙන් ආදරය තියා යන්න.)  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles