සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට ඔහු අවදිවන්නට ද පෙර ඔහු වෙත යන්නට සකීට සිතුණේ මධ්‍යම රාත්‍රියේ දී ය.
“මං මේ හැම එකටම හා කියන හින්දා හොඳයි ඉතින්.”
අවදි වී තරප්පු පෙළ බැස ආ අහස්ට නිම්නා කියන්නේ මවාගත් කෝපයකිනි.කෙදිනක හෝ හමුවී ඡායාරූපයක් ගන්නට පෙරුම් පිරූ කෙනෙක් තමන්ගේ සහෝදරයා බවටද පත් වී ඔහුගේ නිවසට විත් ඔහුට නගරං පාන්නට ලැබීම නිම්නාට ඇතැම් විට විශ්වාස කරන්නටත් බැරි තරමේ අපූර්ව සිදුවීමකි.නමුත් දෛවය එවැනි අපූර්ව සිදුවීම් නිර්මාණය කරන්නට සමත් බව නිම්නා දන්නී ය.
“මේ ගේ අපි තුන්දෙනාට විතරයි කියලා හැදුවට සෑහෙන දෙනෙක්ට ඉන්න ඉඩ තියෙනවා.ඔය ළමයටත් සකී නැතුව ඉන්න තනි වගේ හිතෙන කාලෙකට ඇවිල්ලා ඔන්න ඔය කාමරේක පදිංචි වෙන්න පුලුවන්.”
අහස්ගේ කතාවට සිනා පහළ වන්නේ සකීට ය.
“එතකොට ගෙදර තියෙන වැඩකට අත්උදව් දීලා උයලා පිහලා රෙදි හෝදලා ගෙවල් අස් කරලා ඉන්න ඔය නෝනට බැරියැ.”
අහස් එසේ කියමින් උස් හඬින් හිනැහේ.පාලනය කරගත නොහැකි ඔහුගේ සිනාවට සැබෑවටම සිනාවක් ඉපදීමට ආවත් නිම්නා බොරු කෝපයක් මවා ගනී.
“එතකොට මේ නෝනා ඉන්නේ මොකටද? ඉලංගසිංහ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නද?”
සකී ඉවතට හැරෙන්නේ අහස්ගේ වචන ඇයට විශ්වාස නැති හන්දා ය.ඕනෑම කාරණාවකට කියන්නට ඔහුට බොහෝ කතා තිබෙන බව ඇය දන්නේ ඔහුගේ පෙම්වතිය වූ හන්දාම නොවේ.අතීතයේ පටන් ඔහු සහභාගී වන සෑම සම්මුඛ සාකච්ඡාවක් නැරඹීමෙන් පසුව ය.
“මට උඹට කියන්නනම් පුලුවන්.උඹ මගෙ නංගි නිසා කියන් නෑ හැබැයි.”
අහස් එසේ කියද්දී නිම්නාට ඔහු ගැන උපදින්නේ සැබෑ ආදරයකි.තමන්ගේම සහෝදරයෙකු සිටීම මොනතරමට සතුටක් සහ ආරක්ෂාවක්දැයි ඇයට වටහා දුන්නේ අහස් ඉලංගසිංහ ය.ඔහු එතරමට ඇයට සමීප සහෝදරයෙකු වෙමින් සිටියේ ය.ලේ බැඳීම් පරදවන්නට හදවතේ බැඳීම් වලට හැකි බව නිම්නා ඉගෙන ගත්තේ මේ කාලයේදී ය.
“ඇත්තටම මට අද ඔයාලගේ වෙඩින් එක ගන්න කොයි කාලෙද කියල? මාත් මෙහෙම හපුටි වගේ ඉඳලා බෑනේ ලෑස්ති වෙන්න ඕන.”
දෙවැනි මනාලිය වන්නට එක හිතින් සූදානම් වී සිටින නිම්නා අහස්ගෙන් අසන්නේ තරවටුවක ස්වරයෙනි.
“අපේ කොල්ලො කියලත් ලස්සන නෑනෙ ඔක්කොම අව්වට පිච්චිලා කළු වෙලා ඉන්නේ.උන් එක්ක බැලුවම ඔයා ලස්සනයි.ඒ නිසා වැඩිය කලබල වෙන්න එපා.”
සැලසුම් සම්බන්ධයෙන් කිසිවක්ම නොකියා සිටීමේ ප්‍රීතිය අත්විඳිමින් අහස් පැවසී ය.මව්වරුන් දෙදෙනා සමඟ ඇති කරගත් ගිවිසුමක් ඔහුට වේ.ඔහුව පිළිගන්නට අකමැති වූ සකීගේ අම්මා දැන් තමන්ට ආදරය කරන්නේ ඇගේම පුතෙකුට පරිදි වීම අහස්ට සතුටකි.
නමුත් ඊට වඩා සතුට සකීගෙන් සඟවන රහසක් තිබීම ය.ඒ රහස ඇයට කියන්නට මඟ බැලීමේ ප්‍රහර්ෂය ය.
“මටත් හිතුණොත් සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරනව එදාට.”
නිම්නාගේ මුල් වචන කිහිපය අසා අහස් තිගැස්සී ගිය ද ඇය පවසන්නේ විවාහ උත්සවය දවස ගැන බව සිහිව ඔහු ඒ තිගැස්ම සඟවා ගත්තේ ය.ඔහු සකී බලන්නට පැමිණි ත්‍යාගය ගෙන එන්නට කාමරයට ගියේ ඒ නිසා ය.දෑස් වලින් රහස් අල්ලා ගන්නට සකී සමත් බව ඔහු දනී.
“මට හිතුණොත් එදාට දෙවැනි අම්මා නුඹයි මගෙ ලෝකෙ කියලා අඬනව.”
සරදමක ස්වරයකින් සරදමක් නොවන කතාවක් පැවසූ නිම්නා සකීගේ අත අල්ලා ගත්තා ය.සකීට කියන්නට තිබුණේ නිම්නා හඬවන කාරණාවකි.
“දෙවෙනි අම්මෙක් වගේ අක්කා කෙනෙක් ඉන්න එක හරි අපූරු දෙයක් නිම්.ඒ උනාට ඒ වගේ යාලුවෙක් ඉන්න එක ඊටත් වඩා අපූරු දෙයක්.මං ඔයාට අක්කෙක් තරමවත් වෙලා නැති වුණාට ඔයා මගේ අක්කා වුණු වෙලාවල් වැඩි.ඒ නිසා තමා ඇත්තටම මං ඔයාට ආදරේ.මං ආදරේ අය හරිම පොඩ්ඩයි.ඒ හැමෝම මට කොච්චරක් නම් වටිනවද?”
නිම්නාට ඒ ගීතයේ පද කිහිපයක් සිහි විණ.සකී මේ නිවස සන්තෝෂයෙන් පුරවන බව නිම්නාට විශ්වාස ය.සකී නිවසට මේ තියෙන්නෙ මොහොතේම නිවස අපූරු ආලෝකයකින් පිරී යන බව අහස්ගේ අම්මා පවසා තවම එතරම් වෙලාවක් ගෙවී නැත.
“සකී,මල් වත්තක් වගේ පිපිලා ඉන්න.ඔයාට පුලුවන්.ඔයා එහෙම ඉන්නවා.අහස් මොනවම හරි හැංගුවට ඔයා හරිම ඉක්මනට මේ ගෙදරට අයිති වෙනවයි කියලා මට හිතෙනවා.පුදුම සන්තෝෂයකින් පිපිලා ඉන්න ඔයාට පුලුවන්.මට ඒක විශ්වාසයි “
නිම්නා හැඟීම්බර වෙමින් සිටියදී අහස් නැවත පැමිණියේ ය.ඔහුගේ විදේශ මිතුරා ඔහුට සූරියකාන්ත මල් ඇට එවා තිබේ.ඒ පැළ කරන මට්ටමේ ඒවා ය.
“මට මේවා අදම හිටවන්න ඕන වුණා.”
සකී කියන්නේ උද්යෝගිමත් ව ය.සූරියකාන්ත පැළ මල් පල දරන්නට මාස හතරක පමණක් කාලයක් මට වන බව ඇය කියවා තිබේ.ප්‍රේමයක් ඇති කරන්නට හේතු වූ කාරණාව සමඟ ප්‍රේමවන්තයින්ට රැඳෙන්නට ඉඩ සලස්වා නිම්නා අහස්ගේ අම්මා සොයා ගියා ය.
“අපි දෙන්නා හීනෙන් දැක්ක සූරියකාන්ත මල් යාය මේ මිදුලේ හදන්න මං ආසයි.”
සකී කියන්නේ පුදුමාකාර සන්තෝසයකිනි.එතරමකට මේ නාගරික ගෙඋද්‍යානයේ ඉඩ නැතත් අහස් ඇයව අසා සිටියා ය.
“මගේ වෙඩින් එකේ මල්වලට මේ පැළෙන් මල් ගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන මං මේ පැළ හිටවන්නෙ.මේ ගෙදරට ආවට පස්සෙ හැමදාම මට මලක් දකින්න ලැබෙන්න ඕන.”
සකී කුඩා මල් ඇට පැළ කරන අතර පැවසුවා ය.අහස් ඇගේ මුව දෙස බලා සිටියේ රහසින් අර්ධයක් කිව යුතුදැයි සිතමිනි.
“සමහරවිට සකී අපිට ඒක කරන්න බැරි වෙයි.මීට වඩා මොකුත්ම නොකියා ඉන්න මට වෙනවා.ඒ මම මටම වෙච්ච පොරොන්දුවක්.”
ඔහුට රසවත් සිහිනයක් තිබේ.සියල්ලම ඔහු හිතන අන්දමට ඉටු වේ නම් ඔහු සකීට ඒ රහස කියන්නේ එදිනට ඒ ආකාරයෙනි.