මා දුරකතන ඇමතුම දී අඩ හෝරාවක් ගත වන විට ලෝචන අපේ ගෙදරට පැමිණ සිටියේ ය. නමුත් ඒ වෙත්දීත් මහ ගෙදර ගිය අම්මා පැමිණ සිටියේ නැත.
“මොන එහෙකට එහෙ ගියාද…කකුල් දෙක ළඟ වැඳ වැටිල බැගෑපත් වෙන්නද ගියේ…”
අම්මා මහ ගෙදර යාම ගැන ලෝචන සිය අප්‍රසාදය පළ කළේ එසේ ය.
“අනේ අයියෙ…මල්ලිව කොහොම හරි ගෙදර ගේන්න ඕන..ඒ අහිංසකයට ගහයි දෙයියනේ..”
දෙතුන් වතාවක් ම මා කියවූයේ එයයි. සුනිමල් මාමාව පොලීසියෙන් ගෙන යනු වළකන්නට අම්මා ඔහු ව ආරක්ෂා කළ හැටි මට මතක ය. නමුත් ඔහු ගේ පුතා වෙනුවෙන් ඔවුහු අම්මා ගේ පුතා ව පොලීසියට අල්ලා ගෙන යන්නට සැලැස්වූහ.
ලෝචන කිහිප දෙනෙකුට ම දුරකතන ඇමතුම් ගත්තේ ය. සමහරු කෙලින් ම පොලීසිය හා සම්බන්ධ අය ය. තවත් සමහරු පොලීසියේ ඉහළ නිලධාරීන් හා සම්බන්ධතා පවත්වන අය ය. ඒ සියලු දෙනා කියා සිටියේ හැකි උපරිමයෙන් යමක් සිදු කරන බවයි. මම බලාපොරොත්තු දල්වා ගෙන සිටියෙමි. අම්මා ආවේ බලාපොරොත්තු සුන් කර ගෙන හිස් අතිනි.
“මහ ගෙදර යුද්දයක් වගේ. මං වැන්දෙ නැති ටික විතරයි උන්ට. අවන්තට තුවාලයිලු. ඒක නිසා අපේ එකාට පාඩමක් උගන්නන්න ඕනලු”
“අපි යං පොලිස් ස්ටේශන් එකට”
අප වෙනුවෙන් හිටියේ ලෝචන විතර ය. මින් පෙර කිසි දාක අත් නොවිඳි ඒ වාගේ දරා ගත නො හැකි සිදුවීමක දී කළ යුතු දේ නිවැරදි ව සිහි කළ හැකි මනා සිහිය අවුල් වී යන්නේ ය. මා සේ ම අම්මා ද ඉන්නට ඇත්තේ එවන් තත්වයක ය. එහෙව් පසුබිමකදී ලෝචන මනුස්ස වෙසින් ආ දෙවියෙකු සේ අප වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ ය. අම්මා ගෙදර සිටියදී අපි දෙදෙන පොලිස් ස්ථානය වෙත ගියෙමු.
මහ ගෙදර අය අවන්ත ව රෝහල් ගත කොට තිබිණ. මල්ලී ව ඇප මත මුදා ගෙන එන්නට මග හරස් කොට තිබුණේ එයයි.
“පැමිණිල්ල කරල තියන කෙනා හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ඉද්දි අපිට මෙයාට ඇප දෙන්න බෑනෙ. ඒක නීති විරෝදීයි”
ලෝචන දන්නා කියන අය කිහිප දෙනෙකු ම දුරකතන ඇමතුම් දී විස්තර දන්වා තිබුණෙන් අපව පොලිස් ස්ථානාධිපති වෙත යොමු කෙරිණ. නමුත් ඔහු ගේ කතා බහෙන් කියවුණේ අප වෙනුවෙන් ඔහු ට යමක් කළ නො හැකි බවකි.
“මේ රෑ ටික විතරනෙ. උදේට උසාවියෙදි ළමයව ගන්න බලන්න..පැමිණිලි කරපු අය ඥාතීන්නං ඒගොල්ලො එක්ක කතා කරල ගොඩින් බේර ගන්න බලන්න. ළමයට මෙහෙදි කරදරයක් වෙන්නෑ මිස්ට ලෝචන. ඒ ගැන බය වෙන්න එපා”
ලෝචන කෙතෙක් උත්සාහ කළ ද මල්ලී වෙනුවෙන් ඇප ලබා ගත නො හැකි වූයේ ය. මහත් ආත්ම පරාජිත හැඟීමක් මට දැනිණ. නීතිය ඉදිරියේත් දිනන්නේ බලය ඇති පාර්ශවය ය.අසරණයාට යුක්තිය ඉටු කරන්නට නීතිය ද පසුබට වෙන අවස්ථා තිබේ.
පපුව පැලෙන්නට රිදුණත් මා මල්ලී දකින්නට පොලිස් කූඩුව වෙතට ගියේ හිත හයිය කර ගෙන ය. ආත්මය ඇතුළේ පොකුණක් තරම් කඳුළු තිබුණත් මා ඉන් බින්දුවකට හෝ ඇස් තෙමන්නට දුන්නේ නැත. මල්ලී පොලිස් කූඩුවේ කම්බි කූරු වල එල්ලී බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන අප දෙස බලා සිටියේ ය. මගේ පපුව හෝස් ගා දැවිණි. මම ඔහු ගේ අතක් තද කොට අල්ලා ගතිමි.
“මොකද වුණේ සුදූ…”
“මෙහෙං ගන්න බෑ රාහුල්”
මා වෙනුවෙන් ඉදිරිපත් වූයේ මට පිටුපසින් උන් ලෝචන ය. එය මට සහනයක් විය. මෙහෙම හිත හයිය කර ගෙන හිටියාට කතා කරන්නට ගියේ වී නම් මට හැඬෙන්නට තිබිණ. නමුත් කඳුළු කියන්නේ හිත සැලීමේ සංකේතයකි. මල්ලී ට ඒ බවක් පෙන්වා ඔහු ගේ හිත දුර්වල කළ යුතු නැත.
“අවන්තය හොස්පිට්ල් ඇඩ්මිට් වෙලාලු. එතකොට පොලිස්සියෙං ඇප දෙන්නෑ. හෙට උදේ උසාවි දාල තමයි ගන්න පුළුවන් වෙන්නෙ. බය වෙන්න එපා කොල්ලො. මං දන්න කීප දෙනෙක්ම මෙහෙට කතා කරල තියෙන්නෙ. ඒක නිසා අවුලක් වෙන්නෑ හරිද…දැන් කාපං. අපි උදේම එන්නං සුදු ශර්ට් එකකුත් අරං. බය වෙන්නෙපා. මගෙ යාළුවෙක් ඉන්නව ඒ උසාවියෙ. මං ඌට කතා කරන්නං දැං. ම්…”
අප සමු ගෙන එන්න හැරෙත්දී මල්ලී “ලෝචනයියෙ” කියා කතා කළේ ය.
“ගෙවල් පැත්ත පොඩ්ඩක් බලන්න”
පපුව පැලී යන පීඩනයක් ද සමග ඇස් වලින් කඳුළු පිට පැන්නේ ය. මම වහා ඉදිරිය බලා ගෙන මල්ලී ගෙන් මුහුණ සඟවා ගතිමි. මා ඉකි බිඳ හැඬුවේ රියට ගොඩ වූ පසුවයි.
“හිත හයිය කර ගන්න නිබ්බුතා. කරන්න පුළුවන් හැම දේම මං කළා. කියන්න පුළුවන් හැම කෙනාටම කතා කරල උදව් ඉල්ලුව. ඒත් අපිට වඩා චුට්ටක් හරි උන් කපටි කමෙන් ඉස්සරහ ඉන්නව. රාහුල්ට ගහන්නෙ කරන්නෙ නෑ කියල මට ශුවර්. තව පැය කීයද…ඒක ගත කරමු. ම්…”
ලෝචන මගේ හිස ද හිත ද පිරිමදිමින් මා සනසනා උත්සාහයක් ගත්තේ ය. නමුත් එය වූ කලී පහසුවෙන් සමනය කළ හැකි වේදනාවක් නොවේ. පොඩි එකාට පොලිස් කූඩුවේ තපින්නට වූයේ මා නිසා ය යන පසුතැවීම දරුණුවට මා පෙළී ය. තාත්තා කෙනෙකු වාගේ ඔහු මා ගැන වගකීම් කර මතට ගත්තේ ය. අප ව දුර්වල කළ හැකි ප්‍රබල ම නිලය අම්මා ගේ ඥාතීන් විසින් අල්ලා තිබේ.
ගේට්ටුව අයිනට කොට රිය නතර කළ පසු ලෝචන මාව සිය පපුතුර රුවා සිප වැළඳ ගත්තේ ය. එහෙම වාරුවක් දැඩි ලෙස ආත්මය ට අවැසි වී තියෙන්නට ඇත. මම මොහොතකට ඇස් දෙක පියා ගෙන නිවීමක් සෙව්වෙමි.
“මං ඉන්නවනෙ…ම්…”
හිස සිඹ ඔහු මා ලිහිල් කළේ එසේ කියමිනි.
“අම්මට මොනාද දෙයියනේ කියන්නෙ මං…”
“අපි මේකටත් මූණ දෙමු මැණික”
අප දෙදෙනා හිස් අතින් පැමිණෙනු දුටු අම්මා ගේ දෑස් මළානික වූයේ ය. බලාපොරොත්තු සුන් වීම කියන්නේ අප වාගේ මිනිසුන්ට අලුත් යමක් නොවන බව ඒ ඇස් දුටු මට යළි යළිත් ප්‍රත්‍යක්ෂ විය. හිතේ ප්‍රශ්න පෝලිම් ගැසී තිබුණත් අම්මා වාචික ව කිසිත් නො විමසා සිටියේ කාලයක් තිස්සේ ජීවන අත්දැකීම් විසින් උගන්වා ලූ ඒ පාඩම නිසා වන්නට ඇත.
“රාහුල්ව එළියට ගන්න වෙන්නෙ හෙට උදේට තමයි නන්දනී අම්මෙ. අවන්ත ඉස්පිරිතාලෙ නතර වෙලා නිසා රාහුල්ව ගන්න බැරි වුණා”
“අපේ එවුං එහෙනං හිතා මතාම මගෙ කොල්ලට පොලිස් කූඩුවෙ ලගින්න වැඩ සිද්ද කළා”
“මල්ලිව උදේට ගන්න පුළුවන් අම්මෙ”
මම අම්මා සනසනු වස් කීවෙමි. නමුත් මගේ හඬ බිඳී යන හැටි මට ම දැනිණ. ලෝචන සිය දෑස් බැල්මෙන් මා විනිවිද දකිමින් සන්සුන් වන ලෙස මට ඉඟි කළේ ය. මම පුළුවන් තරම් දරා ගෙන සිටියෙමි. කෙසේ වෙතත් හිතට යෝධ ශක්තියක් ලැබෙමින් තිබි බව විශ්වාස ය. ඒ මිනිස්සු හැමදාමත් කළේ අප පාගා දමන්නට බලනා එක ය. අපේ දිළිඳුකම් ඔවුන්ගේ පොහොසත් කම් හා සසඳමින් සතුටු වෙන එක ය.
“දවසක දොස්තර නෝනා කෙනෙක් වුණත් මට තාම මතකයි දවසක් නිබ්බුතා හාල් හුණ්ඩුවක් ඉල්ලගෙන ඇවිත් අපේ දොර උළුවස්සට මුවා වෙලා හිටිය”
මා වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූ වෙලාවේ ආච්චි මමී කීවා ය. මිනිසෙකු තව මිනිසෙකුට හාල් හුණ්ඩුවක් දෙනවා කියන්නේ කාලයක් තිස්සේ මතක තියා ගන්නට තරම් දෙයක් නොවේ. නමුත් ඔවුන් ඒවා සඟවා තබා ගෙන ඉන්නේ යම් දිනෙක අප ඉස්මතු වුවහොත් පහර දිය හැකි ආයුධ වශයෙනි. ඒ මිනිසුන්ට අප මේ විදිහට හිස ඔසවා ගැනීම බලා ඉන්නට බැරි ය. දරා ගන්නට බැරි ය.
මල්ලී ආ ගමන් කන්නට දෙන බලාපොරොත්තුවෙන් අම්මා රෑට බතක් උයා ගෙන සිටියා ය. නමුත් ඔහු නැතිව එ් රැයේ අප කිසිවෙකුට කුසගිනි දැනුණේ නැත. ගින්නක් කුසෙහි පමණක් නොව මුළු ආත්මයේ ම තිබිණ. බුර බුරා නැගුණා වූ ඒ ගින්න නිවාලන්නට ගිනි නිවන හමුදාවකට වුව නො හැකි වනු ඇති බව මම දැන සිටියෙමි. නමුත් ලෝචන පිරිත් පැන් දෝතක් සේ ඉහෙත්දී දැනුණා වූ ශාන්තිය සදා කල් අමතක ව නොයන්නකි.
මේ වගේ ව්‍යසනයකදී තනි වෙන්නට හිතක වන්නේ මහත් භීතියකි. එය වූ කලී මිනිස් ස්වභාවයක් කියා මම සිතමි. අප කොයි තරම් දැන උගත් හා වයසින් මෝරා වැඩුණේ වී ද එම දුර්වලතාවය මිට මොලවා ගෙන මරණය තෙක් ම යන්නෙමු. කෙනෙකු මිය ගිය විට නෑ හිත මිතුරන් ඒ ගෙදර අය තනි නොකොට අඩු තරමින් සත් දිනක්වත් ඔවුන් හා රැඳී සිටින්නේ එබැවිනි. මරණය යනු නියත ජීවිත දහමක් බව ඉඳුරා දැන සිටිය ද සමීපතමයෙකු මරණය සමග නික්ම ගිය කල තනි වීම ගැන ලොකු බියක් අපව වෙළා ගනී. එමතු නොව ලෙඩක් දුකක් හෝ මෙවන් විපතක් වුව තනි වීම ප්‍රතික්ශේප කරන්නකි. මා ඉල්ලා සිටියේ නැති වී ද ලෝචන මගේ හිත වටහා ගෙන හිඳිනට ඇත. ඔහු ට සේ ම මල්ලීට ද හිතවත් ව සිටි ගමේ තරුණයින් දෙතුන් දෙනෙකු ද සමග ලෝචන මැදියම් රැයක් වන තුරු ම අපේ ගෙදරට වී සිටියේ ය. තනි වෙන්නට ඇති බිය, ඒ සමාගමය මහත් ලෝභකමකින් වැළඳ ගෙන සිටියා කියා මම සිතමි.
“එක අතකට පොලීසි උසාවි කියන්නෙත් අපි ඔය තරමට බය වෙන්න ඕන තැන් නෙවෙයි ලෝචනා. ඕව මිනිස්සුන්ට සාධාරණය ඉල්ලගෙන යන්න තියන තැන්. ප්‍රශ්නෙ ඒ තැන් වලින් වුණත් බලයක් නැති මිනිස්සුන්ට අසාධාරණයක් වෙන එක තමයි. රාහුල් ට මේක මාර එක්ස්පීරියන්ස් එකක් වෙයි. මිනිහ තව තව හයිය වෙයි. ඒක නිසා ඔයත් මේක ජීවිතේට ලැබිච්ච අලුත් අත්දැකීමක් විදිහට පිළිගන්න. ජීවිතේ කියන්නෙ උදේට නැගිටල කාල බීල රෑට නිදියන එකම නෙවේනෙ. අපි මේ ලැබෙන අවස්තාවල් එක්ක ෆයිට් කරමු”
කෙසේ වී ද අවසන ලෝචන ඇතුළු තරුණයන්ට ගෙවල් වලට යන්නයි කීවේ මා ම ය. හෙට දවසේ අවදි වීම වෙනුවෙන් ඔවුන්ට නින්දක අවශ්‍යතාව වූ බව පෙනිණ.
“එහෙනං දොරවල් හොඳට වහගෙන පරිස්සමට නිදා ගන්න. මං උදේම එන්නං. මල්ලිට ඇඳුම් දීල අපි එහෙමම උසාවියට යමු”
ගේට්ටුව ළඟ දී ඔහු කාටත් හොරෙන් මගේ උරහිස වටා වමත යවා මගේ සුරත් බාහුව පිරිමැද්දේ ය. මිදෙන්නට බැරි ලෝබ කමක් හිතේ කඳවුරු බැඳ ගත්ත ද මම සන්සුන් ව හිටියෙමි.
ඉතිරි හෝරා කිහිපයෙහි ඇස් දෙක පියවුණාද කියා මා දන්නේ නැත. මල්ලී පාසලට අඳින සුදු කමිසයක් ද කලිසමක් ද බෑග් එකක ඔබා ගෙන ලෝචන එන තුරු නො ඉවසුම් ව සිටි මම ඔහු රියෙන් බසින්නටත් පෙර ගොස් එහි ගොඩ වීමි. මල්ලී දකින තුරු තත්පරයක් හෝ අපතේ යවන්නට මට ඕනෑ වූයේ නැත.
රිය පැද යන ගමන් ලෝචන මගේ අතැඟිලි පටලා ගත්තේ ය. ප්‍රේමයේ මිහිර නොව පපුව පුරා වූයේ සන්තාප සුසුම් කුණාටුවක බර ය.
“දැන් ඉතින් දුක් වෙන්නෙපා”
ඔහු හද බිත් හි තුවාල මත ප්‍රේමයේ ඔසු ගල්වන ස්වරයකින් කතා කළේ ය. මම මඳහසක් නගා ගතිමි.
” ඔයත් දුක් විඳිනව අයියෙ. මං නිසා…”
“අපි එක ගමනක් යන්න තීරණේ කළාට පස්සෙ…ඔයා නිසා උහුලන්න වෙන ඒව මාත්…මං නිසා උහුලන්න වෙන ඒව ඔයත් විඳ දරා ගන්නම වෙනව. ඒ ගැන අපිට තැවෙන්න දෙයක් නෑ”
“ඔයා නොහිටියනං මේ වෙලේ…”
“මං නොහිටියනං සමහර විට මෙහෙම දේවල් වෙන එකකුත් නෑ. එහෙනං ඔයා අවන්තට කැමති වෙලා හැම දේම මීට වඩා වෙනස් විදිහට වෙන්නත් තිබුණා. ඒක තමයි ජීවිතේ. අපි මේ අපිට ලැබෙන දේවල් බාර ගමු. මූණ දෙමු..ම්…”
ඉස්සර මා පොඩි කෙල්ලක කාලේ මදුරාපුර මැදුරේදී දුටු අහංකාර කොල්ලා තුළ ඒ වගේ ආදරයක් හෝ රැකවරණයක් සැඟව තිබුණායි මා දන්නේ මේ සිදුවීමේදී ය. සමහර විට ඉරණම අප ඉදිරියට පමුණුවන්නා වූ සියල්ලට හේතුවක් තිබේ. අප ජීවිතය තේරුම් ගන්නේ ඒ අත්දැකීම් වලට මුහුණ දෙමින් යන මාර්ගයේ දී ය.
ඒ මා උසාවියකට ගිය ප්‍රථම වතාවයි. හද ගැස්ම ඒ තරම් උත්සන්න ව තිබුණේ ඇයි කියා නිර්වචනය කළ නො හැකි ය. මම ලෝචන ළඟින් අසුන් ගෙන සිටියෙමි. මල්ලි ගේ නඩුව විමසෙන වෙලාවේ කියවුන කිසිවක් මගේ මනසේ රැඳී සිටියේ නැත. ඒ වෙලාවේ මා හිටියේ හැබෑවත් මායාවත් අතරේ ය. කොටින් ම ඒ පියවි ලෝකය නොවේ. පියවි සිහිය ද නොවේ. ලෝචන ගේ මිතුරු නීතීඥවරයා මල්ලී වෙනුවෙන් යුක්තිය ඉටු කර ගන්නට වෙහෙස වන බව පෙනෙන්නට තිබිණ. ඒ නිසා මම පියවි සිහියෙන් ඈත් වී ඉන්නට ද රිසි වීමි. අවන්ත වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ට ඕනෑ වූයේ ම මල්ලීට දඬුවම් පමුණුවන්නට ය. මට ඒ කිසිත් මතක තබා ගන්නට ඕනෑ වූයේ ම නැත. මම මහ ගෙදර මිනිසුන්ට හිතින් ශාප කරමින් සිටියෙමි.
මා පියවි සිහියට එළඹියේ නඩු තීන්දුව ලැබී උසාවිය විසිර යන්නට ගත්දී ය.
“ඇයි…”
මම වික්ෂිප්ත දෑසකින් ලෝචන දෙස බලා විමසීමි.
“සති දෙකකට රාහුල්ව රිමාන්ඩ් කරනව නිබ්බුතා. අවන්ත හොස්පිට්ල් එකේ නිසා උන්ගෙ ලෝයර් කොහොම හරි ඒක කළා”
“ඒ කියන්නෙ මල්ලිව හිරේ දානවද…”
එය කොයි තරම් ලොකුවට පුපුරා ගිය බෝම්බයක්ද කියා මට ඔබට නිවැරදිව ම පැහැදිලි කළ නො හැකි ය. මම සුන් බුන් ගොඩක විසඥ වන්නට ඔන්න මෙන්න ව සිටියෙමි.
“සති දෙකකින් ආයෙ නඩුව කතා කරනව. එතකල් රිමාන්ඩ් එකේ තියන්නෙ”
“අනේ මල්ලි…”
ඔහු ව බන්ධනාගාර බස් රථය වෙත ගෙන යමින් සිටිනු මා දුටුවේ සිහිනයකින් සේ ය. මම මල්ලී වෙත දිව ගියෙමි. ඔහු එක සෙනෙහෙබර බැල්මක් පමණක් හෙළා බස් රියට ගොඩ වූයේ ය.
“මල්…ලි”
මම හැකි වෙර යොදා උසාවි පරිශ්‍රය දෙදරා යන හඬකින් කෑ ගැසුවෙමි. ලෝචන මා සිය සිරුරට සමීප කොට අල්ලා ගත්තේ ය. ඒ හැරෙන්නට මගේ කඳුළු වලට හෝ ළය පුපුරා දැමීමට තැතනූ සහෝදර හැඟීමට වෙන කිසිවෙකුගෙන් වටිනාකමක් ලැබුණේ නැත.