නිබ්බුත ගීත -39

දීර්ඝ වූ ගිම්හානයකට පසු මදිවියට උදා වූ මල් පිපෙන වසන්තය ඒ තරම් ඉක්මනින් ගෙවී යාවියි මා බලාපොරොත්තු වූයේ නැත. ලෝචන මදුරාපුර ට මා කෙතරම් තදින් බැඳී සිටියේ ද යත් ඔහු නැති ජීවිතයක් ගෙවන්නට නියමිත බවක් සිතා ගැනීමටත් නො හැකි විය. අප අතරේ බිඳීමක් වූවා නම්, නො ගැලපීමක් හෝ වෙන් වීමකට වෙන යම් හේතුවක් විණි නම් එයට මුහුණ දීම මේ සා දුෂ්කර ව්‍යායාමයක් නො වන්නට තිබිණ. ගහෙන් ගෙඩි එන්නා සේ උන් හිටි ගමන් ඔහු ට ඒ වාගේ අදහසක් පහළ වූයේ ඇයි?

එසේ සිතත්දී ය මට සිහිපත් වූයේ එය එක් වර සිදු වූවක් නොවන බව.  ටික කලක සිට ඔහු මගෙන් ඈත් වෙමින් සිටියේ ය. බොහෝ දුරට එය සිදු වූයේ මට නොදැනෙන තරම් සියුම් ලෙසට ය. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මගේ වූ කාර්ය බහුලත්වයත්, රැකියා කටයුතු කෙරේ ඔහු ගේ කාර්ය බහුලත්වයත් යන දෙකට මුවහ වී ගෙන ඉතා සියුම් ලෙස ඔහු ඒ දුරස් වීම සැලසුම් කළ බව මට අවබෝධ වන්නට වූයේ මා හැර දමා ඔහු දුර රටක සැඟවී ගිය ඉක්බිති ය. ටික කලක සිට ඔහු මගෙන් ඈත් වෙමින් සිටියේ ය!

මධාරා අක්කා උදයෙන් ම ආවා ය. ඇය වැළඳ ගෙන මම ඉකි බිඳ බිඳ හැඬුවෙමි. 

“මොකද්ද අක්කෙ එයා මෙහෙම මාව අත් අරින්න හේතුව…මට ඒක විතරයි දැන ගන්න ඕන. ඒක දැන ගත්තට පස්සෙ ලෝචන අයියට හදවතින්ම ආශිර්වාද කරල පැත්තකට වෙන්න මට පුළුවන්. දරා ගන්න බැරි මේ කිසි දේකට හේතුවක් හිතා ගන්න බැරි එක. මං දුප්පත් අසරණ කෙල්ලෙක් කියල එයා දැනං හිටිය. ඒ නිසා ඒ පවුලට මාව වැද්දගන්න විදිහක් නෑ කියලත් මං දැනං හිටිය. ඒත් පුදුම විදිහට මැඩම් මාව බාර ගත්තට පස්සෙත් එයාට මාව අත් අරින්න තිබුණ හේතුව මට හිතා ගන්න බෑ. අනේ මට ඒක විතරක් කියන්න අක්කෙ. මං කවදාවත් ලෝචන අයියට වෛර කරන්නෙ නෑ. අපේ අම්ම කියනව වගේ ඇස් වලින් ඇත්තටම දැකපු දෙවිවරු ඕගොල්ලො. මං මේ දුක උහුල ගන්නං. මං මේකට මූණ දෙන්න හිත හදා ගන්නං. ලෝචන අයියට හොඳක් වෙනවනං මං එක වචනෙකින්වත් එයාට දොස් කියන්නෙ නෑ. ඒත් එයා කියල ගිහිං තියන හේතුව මට පිළිගන්න බෑ. ලෝකෙ කොහේ රස්සාව කළත් මට එයා වෙනුවෙන් බලං ඉන්න පුළුවන් කියල එයා දන්නවනෙ අක්කෙ. ඒක නිසා ජොබ් එක නිසා මාව දාල යනව කියන එක මං විශ්වාස කරන්නෙ නෑ  වෙන හේතුවක් ඇති. වෙන ලොකු හේතුවක් ඇති. එයා බොරුවක් කරන කෙනෙක් නෙවෙයි. මං ලෝචන අයියව දන්නෙ පොඩි කාලෙ ඉඳලනෙ අක්කෙ. ඔයා මට ඒ හේතුව විතරක් කියන්න. ඊට පස්සෙ ආයෙ එක සැරේකටවත් මං ඔයාගෙන් එයා ගැන අහන්නෙ නෑ. එයා සතුටෙන් ඉන්නවනං එච්චරයි මට ඕනෙ. අනේ අක්කෙ එයාට මොකක් හරි අසනීපයක්ද කියලවත් මට කියන්නකො. අපිට බැරිද ඕනම දේකට එකට මූණ දෙන්න…”

මධාරා අක්කා ද කඳුළක් පිස ගත්තා ය. දරුවෙකු කුස දරා හිඳිනා ඇය  එහෙම දුකකට නිරාවරණය වීම සුදුසු නැති බව ඒ අව් අස්සේ ද මට සිහි විය.

“නිබ්බුතා මේ අහන්න. එයා ඔයාට කියල තියනවට වැඩිය දෙයක් මාත් දන්නෙ නෑ. මං දන්නෙ එක දෙයයි. එයා තීරණ වෙනස් කරන කෙනෙක් නෙවෙයි. මොනා වුණත් නොක්යාම යන්නෙ නැතුව අඩු ගානෙ යනව කියල එයා ඔයාට කියල ගියානෙ. ජීවිතේ ඔය විදිහ තමයි නිබ්බුතා. අපි නොහිතන නොපතන දේවල් පුදුම විදිහට සිද්ද වෙන තැනක් ඒක. ඒවට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ. ඒක නිසා ඔයා හිත හදා ගන්න..මේ කිසි දෙයක් නිසා ඔයා කඩා වැටෙන්න ඕන නෑ. පටන් ගත්ත ගමන කෙළවරක් වෙනකල් ම යන්න. ඔයාට මිනිස්සු වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියනව. ඔයා ඉපදිලා ඉන්නෙ ඒ වෙනුවෙන්. මල්ලාගෙත් උවමනාව ඔයා මේ ගමන එක හිතින් යන එක. ඒ ඉල්ලීම ඉෂ්ට කරන එක විතරයි දැන් ඔයාට එයා වෙනුවෙන් කරන් පුළුවන්. හමු වෙන එක වගේම වෙන් වෙන එකත් ජීවිතේ නියත ධර්මයක්. ඔයා හිත හදා ගන්න ඕන නිබ්බුතා. ඔය දෙන්නට උරුම වෙලා තියෙන්නෙ ජීවිත දෙකක්නං…අපිට ඒක වෙනස් කරන්න බෑ. ඉරණම දෙන දෙයක් අපිට බාර ගන්න වෙනව. ඕන වෙලාවක මං ඔයා වෙනුවෙන් ඉන්නව කියන එක මතක තියා ගන්න. හැමදාමත් ඔයා මගෙ නංගිනෙ”

ඇය මගේ හිත හදා යන්නට බෝ උත්සාහ කළා ය. නමුත් එහිත යළි කිසි දාක පිරියම් කොට මුල් තත්වයෙන් සැකසිය නො හැකි බව මම ඉඳුරා දැන සිටියෙමි.

මධාරා අක්කා අම්මා අත මාස හයක වැටුප් තබා යළි මදුරාපුර මැදුරේ රැකියාවට පැමිණිය යුතු නැතැයි දැනුම් දුන්නා ය. අම්මා ශරීර ශක්තිය අතින් දුර්වල ව සිටින නිසා හොඳ ම දේ විවේක ගැනීම බව ද ඇය කීවා ය. ආර්ථික වශයෙන් මල්ලී දැන් යම් පදනමක් දමා ගෙන සිටිය ද අම්මා මදුරාපුර මැදුරේ සේවයට යාම නතර නොකළේ අපේ උසස් මනුස්සකම් නිසා යයි ඔවුන් දන්නා බව ද ඇය වැඩි දුරටත් කීවා ය. 

මධාරා අක්කා යළි නික්ම ගියේ මගේ ආත්මය එහෙම පිටින් ම හිස් කොට තබා ය. එය කෙතරම් හිස් බවක් ද යත් මට අරමුණක් කියා දෙයක් වූයේ ම නැත. බලාපොරොත්තුවක් කියා දෙයක් දැනුණේ ම නැත. අපට ඔවුන් වෙත සමීප විය හැකි සියල් මං පෙත් අවහිර වී තියේ. කුමක් කළ යුතුද කියා කිසි සේත් මම නො දැන සිටියෙමි.

ඒ මහත් අවිනිශ්චිත දින කිහිපයකි. කාලයේ තැවරී තිබුණේ දරා ගත නො හැකි මූසල බවකි. අතීරණාත්මක බව හැරෙන්නට වෙන යමක් හිතේ නොවී ය. මට ලෝචන සොයා ගැනීම වෙනුවෙන් කරන්නට දෙයක් තිබුණේ නැත. සත් සමුදුරු තරණය කොට හෝ සිය ප්‍රේමය සොයා යන පෙම්වතුන් පෙම්වතියන් ගැන කලා නිර්මාණ වල මා කොතෙකුත් දැක තිබුණ ද සැබෑ ජීවිතය තුළ එවැන්නක් ගැන සිතීම හෝ ප්‍රායෝගික නොවන බව මම දැන සිටියෙමි. එහෙව් හිස් බවක් තුළ සිදු වෙන්නට නියමිත යමක් සිදු වෙන්නට හැර බලා සිටිනු මිස වෙන කරන්නට දෙයක් නැත්තේ ය. දෛවයේ අකාරුණික බව තුළ මම එවන් වූ අවාසනාවක ගොදුරක් බවට පත් ව සිටියෙමි. 

“ලෝචන හේතුවක් නැතුව මෙහෙම දෙයක් කරන්නෙ නෑ”

මල්ලී බෙහෙවින් කල්පනා කිරීමෙන් පසු කීවේ ය.

“පොඩි නෙවෙයි ලොකු හේතුවක් ඇති. ඒක මොන විදිහෙ හේතුවක් වුණත් ඔයා දැන ගන්න ඕන නෑ කියලනෙ එයා හිතන්නෙ. එයාට යන්න වුණත් අපේ අන්තිම මොහොත වෙනකල්ම අපි දෙන්න ඔයා එක්ක ඉන්නව සුදූ. ඔයා හයිය වෙන්න. ඔයාගෙ හයියෙන් තමයි අපි මෙචචර දුරක් ආවෙ. ඔයා විතරක් නෙවෙයි අපිත් මෙකට මූණ දෙනව. අපිටත් හරි අමාරුයි මෙහෙම දෙයක්. අපේ හයිය මනින්න ඉරණම කවදාවත් ලේසි පරීක්ෂණ අපිට දුන්නෙ නෑනෙ. මේකටත් එකටම මූණ දෙමු. වැටෙන්නෙ නැතුව හයියට මූණ දෙමු. හරිද…”

ඒ පොඩි කොල්ලා නොවන්නට ඉරණමේ මේ පරීක්ෂණයෙන් නම් මා අසමත් වෙන්නට තිබිණ. ලෝචන පවසා ඇතිවා සේ යම් දිනෙක අප හමු වන්නට නියමිත ව ඇත් ද කියා නො දැන සිටියා වීද මට තිබූ එක ම බලාපොරොත්තුව ඒ ය.

“මොනා වුණත් මේක මධාරා අක්කගෙ ගේ. අම්ම වැඩට එන්නත් ඕන නෑ කියල එයාල තීරණේ කළේ අපිත් එක්ක තියන සම්බන්ද නතර කරන්න ඕන නිසානෙ. සමහර විට ඒ සුදූ ට ලෝචනව අමතක කරල හිත හදා ගන්න ලේසි කරන්න වෙන්නත් ඇති. අපි ඉක්මනට මේ ගේත් බාර දීල කොහෙන් හරි ගෙයක් අරන් යමු”

මල්ලී පොඩි කමට ලොකු තීරණ ගන්නට පටන් ගෙන සිටියේ ය. ඒවාට මැදිහත් වීමට තරම් පැහැදිලි මනසක් මේ දින වල මට තිබුණේ නැත. ඒ නිසා ඕනෑ ම දෙයක් ඔහු රිසි පරිදි කර ගන්නට හැර මම නිසල වීමි.

මධාරා අක්කා ද ලෝචන ද සඳනි ද ළමා වියෙහි පටන් මගේ ජීවිතයට ආශීර්වාද කළ මිනිසුන් ය. වැටෙන්නට නොදී යම් යම් තීරණාත්මක මන්ධිස්ථාන වලත් තදින් මා අල්ලා ගෙන සිටි අය ය. තමන් ගේ කියනා මිනිසුන් ද අකුල් හෙළත්දී ජීවිතය දිග ඉදිරියට යා යුතු යයි මට බල කොට සිටි අය ය. දැන් ඒ ආදරණීය අත්වැල් වලින් එකක් හෝ මා අස නැත. ඔවුන් ඈතින් ඈතට ගොසිනි. අම්මා හා මල්ලී නොවන්නට මා තනි වී තියේ. මට කවුරුන්වත් නැති වී තිබේ. එහෙව් තනි කමක් තනි හිතකින් දරා ගැනීම පහසු නැත. මා සඳනි ඇමතූවේ එබැවිනි. ඇය රැකියා ස්ථානයෙන් වරු නිවාඩුවක් ලබා ගෙන මා හමු වීමට දිව ආවා ය. මිතුරන් කියන්නේ එහෙම අය බව යළි යළිත් ඇය පසක් කොට සිටියා ය. පැරණි ම මිතුරන් කියන්නේ ලේ බැඳීමක් නැති තමන්ගේ ම අයට ය.

“කාලෙට ඉඩ දෙමු නිබ්බු. අපි මේකට ෆේස් කරමු”

මා තදින් වැළඳ සිටීමෙන් ඉක්බිති ඇය කීවා ය. 

“ඇයි සඳ එහෙම වුණේ…ඇයි ඉතිං එයා මට හේතුවක් නො කියා ගියේ…”

“ඒකට ලෝචනගෙ පැත්තෙන් සාධාරණ හේතුවක් ඇති නිබූ…ඒක දරුණු තුවාලයක් කියල මං දන්නව. ඒ තුවාලෙ පාර පාර හිත රිද්දගන්න එපා කියලයි මට ඔයාට කියන්න තියෙන්නෙ”

“මං වෙන මොනා කරන්නද සඳ…”

“එහෙම පාර ගත්තා කියල ලැබෙන දෙයක් නෑ. මං ඒක විඳල තියන දෙයක්. කාලෙ හුඟක් තුවාල සනීප කරනව නිබූ. අපි එහෙම වෙන්න ඉඩ අරිමු. මන් දන්නෑ ඉරණමට ඕන මොනාද කියල. හැබැයි ඔයා වගේ කෙල්ලෙක් තෝරගෙන එයා දරුනුම වැරැද්දක් කරයි කියල මං හිතන්නෑ”

“මීට වඩා දරුනු දඬුවමක් ඇත්ද සඳ…”

“ඒ කොල්ල ඇත්තටම ඔයාට ආදරෙයි. මෙහෙම යන්න ගියා කියල එහෙම නෑ කියන්න අපි කාටවත් බෑ. එයාටත් එයාගෙම වෙච්ච හේතුවක් ඇති. ඒක ඔයාටවත් කියන්න බැරි වුණ හේතුවක් වෙන්න ඇති. එයා මොන හේතුවක් නිසා වෙන් වෙලා ගියත්…ලෝකෙ කොතනක ජීවිතේ ඉතිරි කාලෙ ජීවත් වුණත් ඒ ආදරේ මේ විශ්වයෙ පා වෙවී තියනව නිබ්බුල ඒක තමයි ඇත්ත. ඒක නිසා එයා නැති වුණා කියල දුක් වෙන්න එපා. ලෝචනව අයිති වුණත් නැතත් ආදරේ කියල දෙයක් මේ ලෝකෙ තියෙනවනං ඒක ඔයාට අයිතියි. තේරෙනවද මං කියන දේ…”

මා ඇදෙස බලා සිටියේ දේව මෙහෙයකදී වසඟ වී ගෙන දිව්‍ය භාෂිතය ශ්‍රවණය කරනා බැතිමතියක් වාගේ ය. ඒ වචන මගේ සිරුරේ ඇට මස් ලේ නහර විනිවිද යනු මට දැනිණ. දේව වදන් වලින් ප්‍රබෝධමත් වන බැතිමයක තුළින් විද්‍යමාන විය හැකි ප්‍රභාව මගේ සිරුර දිග කිරණක් ව ගමන් කරමින් තිබුණේ ය.

“ආදරේ සින්නක්කර ලියා ගන්න ඕනමයි කියල එකක් නෑ නිබ්බු. එක මොහොතකට හරි හම්බ වෙන්නයි ඕනෙ. එක මොහොතකට නෙවෙයි ජීවිත කාලෙකට ඇති වෙන්න ඔයාට ඒක ලැබුණා. ඇත්ත ආදරේ කියන දේ ඔයා වින්දා. ඒ තෘප්තිය ඇති ඔයාට ජීවිත කාලයක් ජීවත් වෙන්න. මං කියන්නෙ බොරුද…ඔයා ඔයාගෙ හිතට තට්ටු කරල අහල බලන්න. ඔයාට ආදරේ හම්බුණා. හිමිකම කියන්නෙ ඇත්තටම මායාවක් වගේ දෙයක්. ඒත් මං විශ් කරනව…දවසක ඒ ආදරේ ඔයාට හිමි වෙන්න කියල. බලන් ඉන්න නිබූ…ඉවසීමෙන් බලන් ඉන්න. ඔයා හෙව්වෙත් සදහටම හොයන්නෙත් ඒ ආදරේම විතරයිනං…ඔයාට එයා හම්බ නොවී ඉන්න විදිහක් නෑ”

“අනේ සඳ…”

“කාලෙත් එක්ක ඔයාට එයාව අමතක වෙලා වෙන ආදරයක් හිතට එනව වගේනං ඒකට ඉඩ දෙන්න. ජීවිතේට ඉඩ දෙන්න නිබූ…අපිට හිමි දේ තමයි දවසක අපි ළඟ නතර වෙන්නෙ. හැබැයි ආදරේ හිමි නොවුණට කමක් නෑ. හමු වුණානං එච්චරයි”

මම සඳනි ගේ උර මඬලේ හිස තියා ගතිමි. කඳුළු වියළී ගිහින් කම්මුල් මත කඳුළු පැල්ලම් නලියනු දැනෙන තෙක් ඇය මට උරහිස දී ගෙන සිටියා ය.

“කවුරුත් ඔය දෙන්නව වෙන් කළා නෙවෙයිනං…මේක ලෝචනගෙම තීරණයක් නං…ආදරේ වෙනුවෙන් ඔයා ඒක දරා ගන්න. මතක විතරක් ඔයා ළඟ තියා ගන්න”

ඇයත් එක්ක කළ කතා බහෙන් පස්සේ දුර්වල ව කඩා වැටී තිබි හිත දිය ලද මලානික ගසක් සේ පණ නැගී ආවේ ය. දුකින් පදම් වීම කියන්නේ හිතක් එවන් තත්වයකට එළඹීමටය කියා මම සිතමි. ලෝචන ට පෙම් කරන්නට ඔහු අත පොවන මානයක සිටිය යුතු නැති බව මගේ යටි හිත මතක් කර ගත්තේ සඳනි ගේ සමාගමය නිසා ය. කොහේ කොතැන කොහොම ඔහු උන්නද පෙම් කරන්නට මට බැරි ඇයි?

ඒ වෙලාවේ හිතට ආරූඩ වූ ඒ ශක්තිය දිගට ම එක ම ස්වභාවයකින් නියත ව පැවතියා නොවේ. ඇතැම් අවස්ථා වල මම කඩා වැටිය හැකි උපරිමයෙන් මනසින් කඩා වැටුණෙමි. ඒ තත්වයේ ඔහේ බලා හිඳීම තුළ යළිත් මට ප්‍රකෘතියට පත් විය හැකි විය. සන්තාපය කියන්නේ දිය යට ඔබා ගෙන ඉන්නා රබර් බෝලයක් සරි වූයේ ය. නමුත් ඒ උත්සාහය මට ධෛර්යය දෙන ලදී. මම යළිත් ඉස්සර දර මඩුවේ ගෙදර දුකත් එක්ක ඔට්ටු වූ නිබ්බුතා ගේ තත්වයට පත් වන්නට වීමි. ලෝචන විදෙස් ගත වූවාට පස්සේ මගේ මුහුණ මත මඳහසක් නැති වන්නේ නැතැයි වෛද්‍ය සිසුවියෝ පැවසූහ. මම වැඩි වැඩියෙන් අධ්‍යයන කටයුතු වලට නැඹුරු වන්නට වීමි. දැවැන්ත පොත් වල ගැඹුරේ ගිලී ගියෙමි. මතුපිටින් මා අරමුණක් හඹා යන්නට ඇත. නමුත් ආත්මීය වශයෙන් මම තව තවත් මා තුළට ම නැඹුරු වූවා කියා සිතමි. එහැම විටෙක මගේ හද තුළ ජීවමාන වූ එක ම පිළිරුව මදුරාපුර මැතිණියයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles