නිබ්බුත ගීත – 40

නිබ්බුතා ගෝතමී ලෙස නම් ලද මා නිවීම කියන දේ කවදා හෝ වින්දා නම් ඒ ලෝචන මදුරාපුර පෙමින් මා ළඟ රැඳී උන් සමයේ දී පමණකි. බාහිරයෙන් නිවී උන්නාට මගේ ඇතුළාන්තයේ බොහෝ විට නිවීමක් වූයේ නැත. කුඩා කල පටන් ම මම අම්මා බර උහුලන තරම ගැන සිතමින් විඳවූයෙමි. මල්ලී කුස ගින්නේ අඬන හැටි දකිමින් විඳවූයෙමි. ඉගෙන ගෙන රැකියාවක් කොට ඔවුන් එදුකින් මුදවනා හැටියක් ගැන සිහින මවමින් කල් ගත කළෙමි. එකල්හි හිතේ නිවීමක් වූවා කියා කියන්නේ කොහොමද?

මා ඒ අරමුණු වලට ළඟා වෙමින් සිටියදී ලෝචන අතුරුදන් වූයේ ය. යළිත් වරක් නිවීම මගෙන් දුරට ගියේ එලෙස ය. 

මගේ වයසේ ගෑනු ළමයෙකුට සිය ප්‍රේමය උන් හිටි ගමන් අහිමි වෙනවා කියන්නේ හදවතට වදින්නා වූ දරුණු පහරකි. ඇතැම් විට එය මරු පහරක් විය හැක. එය හරියට ගැඹුරු දියකට බලාපොරොත්තු නොවූ මොහොතක වැටෙනවා වන් දෙයකි. ගැඹුරු දියකට වැටීම කෙතරම් දුෂ්කර අත්දැකීමක් ද කියා දන්නේ එසේ වැටුණ මිනිසා ය. එක්කෝ ඒ දියෙහි ගිලී මිය යා යුතු ය. නැතහොත් නො ගිලෙනු වස් ගොඩ බිමක් සොයා පිහිනිය යුතු ය. ගිලෙනවාට වැඩිය පිහිනීම පහසු බව දියට වැටුණෙකු මිස වෙනකෙකු දන්නේ නැත.

මම ද ප්‍රේමය නමැති ගැඹුරු අගාධයට වැටී සිටියෙමි. මා ඉදිරියෙහි විසඳුම් දෙකක් විය. එකක් ඒ දරුණු වේදනාවෙන් අගාධ පත්ලෙහි උන්මන්තක වීම ය. නැතහොත් අසීරුවෙන් මුත් ගොඩ විත් ජීවිතය දිග ඉදිරියට යාම ය. මම ඒ දෙකෙන් දෙවැන්න තෝරා ගන්නට සිතුවෙමි. නමුත් විටින් විට අගාධයේ පත්ල සිඹ එන එක කාලයක් යන තුරු ම මුළුමනින් වළකා ගත හැකි වූයේ නැත!

මම වැඩිපුර වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාරයේ නතර වන්නට වීමි. ගෙදර ඇවිත් මතක පාරා ගන්නවාට වඩා එසේ ඈතක සිටීම තරමක පහසුවක් දැනවී ය. නමුත් මතක තිබෙන්නේ හිතේ බව මා නො දැන සිටියා නොවේ. කෙසේ වෙතත් නේවාසිකාගාරය තුළ වූයේ වැඩිපුර අධ්‍යයන කටයුතු කෙරේ පොළඹවාලන පසුබිමකි. ඉහළ ලකුණු ලැබ අවසාන විභාගය නිමා කොට වෛද්‍යවරයෙකු වෛද්‍යවරියක ලෙස කලඑළි බහින්නට බලා ගෙන ඔවුහු කය හා මනස යන දෙක ම අතිශය වෙහෙසවමින් සිටියහ. වෙහෙස වී පිහිනනවාට වඩා රැල්ලත් එක්ක ගහ ගෙන යාම පහසු ය!

අපට කොහෙත් ම හුරු පුරුදු නොවන නගරයකින් මල්ලී නිවසක් කුළියට ගෙන තිබිණ. එය ව්‍යාපාරික නිවසකි. උඩු මහලේ නිවස ය. පහළ මහල ව්‍යාපාරික ස්ථානයක් සඳහා නිම කළ අවකාශයකි. එහි සුබ පැතුම් හා තෑගි භාණ්ඩ ද පොත් ද අලෙවි කරනා සාප්පුවක් ඇරඹීම ඔහු ගේ සැලසුම විය. මල්ලී සිය සිහින වලට පියවර නගා යනු දකින මගේ සිතේ අපමණ සතුටක් විය. සැබවින් මේ කාලයේ මට සතුටකට කියා තිබුණේ එපමණකි.

මධාරා අක්කාට ගෙයි යතුර බාර දීමට මල්ලී සමග මම ඔවුන්ගේ ගෙදර ගියෙමි. එදා ගැබ්බර ඇය දුටු මා තුළ අසීමිත ස්නේහයක් ඇති විය. අවශ්‍යම කාලයේ මට ඇගෙන් දුරක ඉන්නට වීම ගැන සියුම් සන්තාපයක් ද දැනිණ.

“මට මේ ගේ ආයෙ ගන්න කිසිම හදිස්සියක් තිබුණෙ නෑ නිබ්බුතා. ඒත් රාහුල් දියුණු වෙන එක ගැන හරිම සතුටුයි. ඔයාල දවසක අහසෙ තරු වගේ බබළන්න ඕනෙ. පොළොවෙ ඉඳගෙන ඒ දිහා බලා ගෙන සතුටු වෙන්න අපිට පුළුවන්”

“අපි දන්නව අක්කෙ ඔයාල කවුද කියල. ඕගොල්ලො හිටියෙ නැත්තං මෙතනට අඩිය තියා ගන්න එක අපිට හීනයක් විතරයි. ඒ හැම දේකටම ස්තූති කරන්නවත් පින් දෙන්නවත් බෑ. ගිය ආත්මෙක හරි අක්කල අපේම අය වෙලා ඉන්න ඇති”

මේ අත් භවයේ අපට එසේ කළ හැකි වූයේ නැත. අපි ඒ ගැන සඳහනක් හෝ නොකළෙමු. ලෝචන මදුරාපුර අපේ කතා බහේ තහනම් මාතෘකාව වූවා සේ ය. ඔහු ගැන කතා නොකර අපි අනිත් දේවල් කතා කළෙමු. එය පුදුම දුකකි. ඒ දුක මා සේ ම මධාරා අක්කා ද විඳින්නට ඇත. කෙසේ වෙතත් අපි උනුන්ට අපේ දුක සඟවා ගෙන සිටියෙමු. 

ලෝචන කවදාවත් ම මට පෙම් නොකළේ වී නම් හොඳ යයි ඒ වෙලාවේ ප්‍රථම වතාවට මට සිතිණ.  එහෙනම් අපට අපේ ළමා වියේ මතකයන් සමග ම ඒ හිතවත්කම් ජීවිතය පුරා පවත්වා ගෙන යා හැකි වනු ඇත. අතර මගකදී අපේ ජීවිත වල කාර්ය බහුලත්වයන් අතරේ හමු විය නොහැකිව ඈත් ම වී ගිය ද ඒ ළමා වියේ මතක සිහි කොට සිනහවක් නගා ගන්නට පුළුවන් කම ඉතිරි වනු ඇත. අද අපට ඒ සියල්ල ම අහිමි ව ගොස් තිබේ!

අම්මා මදුරාපුර නිවසේ සේවයට යාම නතර කළ දින වල ම මදුරාපුර යුවළ විදෙස් ගත වන්නට ඇති බව සඳනි කීවා ය. ඒ නිවස වසා දමා ඇති බව ද ඇය වැඩි දුරටත් පැවසූ අතර ඇය ද මහ ගෙදරින් වෙන් වී විවාහයෙන් පසු ඉසුරු සමග වෙනත් නිවසක පදිංචි වී සිටියෙන් ඊට වැඩි තොරතුරක් දැන සිටියේ නැත. මදුරාපුර යුවළ කොහොමත් සිය පෞද්ගලික තොරතුරු අසල්වැසියන් සමග කතා කරනා මට්ටමකට ඔවුන්ව ඇසුරු කළේ නැත. උන් හිටි ගමන් ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි මට සිතා ගත හැකි වූයේ නැත. ඒ ගැන දුරට දිගට හිතන්නට දැන් මා තුළ ඇත්තේ බියකි!

මල්ලි ගේ සිහින සාප්පුව මට සතුට ගෙනාවේ ය. අපි ඊට ‘සුබ ප්‍රාර්ථනා’ යන නම තැබුවෙමු. මගේ සුබ ප්‍රාර්ථනා කාලයේ උඩු සුළඟට හසුව ගසා ගෙන ගියේ ය. නමුත් මල්ලී ගේ දිවිය ම සුබ ප්‍රාර්ථනා වලින් පිරී යා යුතු  ය!

සුබ ප්‍රාර්ථනා සාප්පුවේ සිහින පෙරණ කිහිපයක් එල්ලී ගෙන තිබිණ. ඒවා දකිත්දී මගේ හිත අතීතයේ යම් තැනක අතරමං වෙයි. සුදු පරෙවි පිහාටු එල්ලී ගත් සුදෝ සුදු සිහින පෙරණයක් මගේ මනැස් ඉදිරියේ සැලෙයි. 

“දෙනව ඕක. නිබ්බුතා ඕක මට ගෙනත් තියෙන්නෙ”

“ඒ වුණාට මේක අයිති වෙන්න ඕන මටනෙ”

මරණ මංචකය තෙක් මට අමතක නොවෙන කට හඬවල් දෙකක් සවන් තුළ දෝංකාර දෙයි.  තුරුණු ලෝචන මදුරාපුර ඒ සිහින පෙරණය ගෙන දිව ගොස් කාමරයේ දොර වසා ගනී. කර හැලෙන- සඳනි ගේ ගවුමක් හැඳ උන් නව යොවුන් වූව ද ළමා සිරුරක් ඇති නිබ්බුතා ඇස් කුඩා කර ගෙන මඳහසකින් බලා හිඳී. 

මගේ පපුවේ පේෂියක් තන්තුවක් ස්නායුවක් ගානේ රිදුම් දෙයි. සිරුරේ හැම සියුම් රුධිර කේෂ නාලිකාවක් පවා පුපුරා යයි. මම ටික වෙලාවක් අතීතය තුළ මරණීය වේදනාවක් විඳිමි. 

ඒ සිහින පෙරණය ඉන් පසු හැම දාකම ලෝචන ගේ කාමරයේ ජනේලයෙහි එල්ලී ගෙන තිබිණ. දැනුත් එය තිබෙනවා ඇත්ද? ඉන් පසු එයට කුමක් සිදු වෙන්නට ඇත්ද?

සෙලැවෙන දතක් දිවෙන් ඒ මේ අත හොලවා මිහිරි රිදුමක් ලැබීමේ අත්දැකීම ඕනෑ ම මිනිසෙකු ලබා තිබේ. සුබ ප්‍රාර්ථනා හිදී මාත් විඳින්නේ එහෙව් මිහිරි රිදුමකි. සුළං සීනු, විවිධ හැඩ වල මල් බඳුන්, පින්තූර රාමු, චිත්‍ර…මට ලෝචන ගේ ඡායාරූප ප්‍රදර්ශනය හා ‘නිබ්බුත ගීත’ ලෙසින් නම් කරනා ලද සේයා රුව සිහි වේ. මධාරා අක්කා ගේ පෙම්වතා මුලින් ම මදුරාපුර මැදුරට ආ දිනය, ඇය මට මිල දී ගෙන දුන් කහ පාට ගවුම සිහි වේ. ඔවුන් ගේ මිදුලේ පොකුණ ළඟ වැවී තිබි මල් වැල් එල්ලෙන ඇහැල ගහ පවා මට සිහි වේ. 

මදුරාපුර මැදුරට ගොස් පැමිණිමේ දොළක් මා තුළ උපන. මම ඒ මැදුරට කුඩා දැරියක කාලේ පටන් ම ආදරය කළෙමි. ඒ බැඳීම ලෙහෙසියෙන් මුලිනුපුටා දැමිය නො හැකි ය. මල්ලී ට ඒ ගැන කිව හොත් එය ඔහු ට චිත්ත පීඩාවක් විය හැකි බව දැනුණෙන් මම සඳනි ට ඒ ගැන කීවෙමි.

“මමත් ගෙදර ගිය වෙලාවල ගේට් එක ළඟට ගිහින් ඇවිත් තියනව. මුකුත් හෝඩුවාවක් දැන ගන්න බෑ”

ඇය එසේ කීවේ මා තුළ එහි යාම ගැන වූ උනන්දුව මරා දැමීමේ අරමුණකින් විය හැක. නමුත් එසේ වූයේ නැත. අවසන ඇයට මාත් සමග එහි යන්නට සිදු විය. 

මදුරාපුර මැදුරේ ගෙමිදුල මල් වසා ගෙන වල් වැවී තිබිණ. ගස් වලින් වැටුණ කොළ හාත්පස ඉහිරී ද, ගස් දිග එතී වල් ඉහළ ගොස් ද තුරු වියන ඝණ ව වැඩී මිදුල අඳුරු වී තිබිණ. කලෙක මහත් කල එළියෙන් විරාජමාන වූ මදුරාපුර මැදුර ද අඳුරට හැරුණ එකේ මගේ හිතේ පැතිරෙන අඳුර ගැන කුමක් කියමි ද? මගේ ලුංචි අත් දෙකෙන් ඒ ගේ අතු ගා පිරිසිඳු කළ තරම් කිසි දා අමතක කළ නො හැකි ය. අපේ දර මඩුවේ ගෙදර කටු සිමෙන්ති පොළොවේ හිඳ ගෙනත් විල්ලුද බිමක් ඇති නිවසක ජීවත් වෙනවා කියා මා හිතින් මවා ගෙන සිටියේ මදුරාපුර මැදුරේ ටෙරාසෝ බිම මා චමත්කාරයට පත් කොට තිබූ නිසාවෙනි.

සඳනි හා මා කාලයකට පස්සේ ගමේ පාරවල් දිගේ ඔහේ ඇවිද ගියෙමු. ළමා වියේ මතක සිහි කරමින් අප දෙදෙනා ම සිනහ වී ද මගේ හිතේ ඉකි බිඳුමක් වන බව සඳනි දැන සිටින්නට ඇත. ඒ කඳුළු මගෙන් ඈතකට පලවා හරිනු පිණිස ඇය බොරුවටත් එක්ක සිනහ වූවා ය. 

අපව දන්නා කෙනෙක් මග හමු වී නතර වී කතා කළහ.

“දෙන්නව දැක්ක කල්. තාම ගම අමතක වෙලා නෑ එහෙනං…”

අපි පුංචි කාලේ වගේ අතිනත් අල්ලා ගෙන සිනහ වීමු.

“නිබ්බුතා දොස්තර විභාගෙ ඉවරද දැන්…”

“නෑ තව මාස කීපයක් තියෙනව නැන්දෙ”

“අම්ම එහෙම මහ ගේ දිහා එනවවත් දැක්කෙ නෑ. රාහුල්ටනං දැන් සරුලු නේද…මොකද නිබ්බුතා මදුරාපුරල රට ඇරල ගිහිං තියෙන්නෙ…ඔය ළමයටත් කැමැත්ත දීල නේද හිටියෙ…”

“ලෝචන පිටරටක එංජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනව නැන්දෙ”

කියා කීවේ සඳනි ය. ඇගේ ප්‍රශ්න වලට ඔව් නෑ බෑ පිළිතුරක් දී අපි සමු ගෙන ගියෙමු. ගුරු පාර දිගේ ඇවිද ගොස් අපේ ගේ තිබුණ තැන නතර වෙත්දී නම් මට ඉකි ගැසී හැඬුණේ ය. ගින්නෙන් විනාශ නොවූ බිත්ති හතරට උඩින් වහලක් ගසා නැවතත් එහි දර පොල් කොළ පුරවා තිබේ. මහ ගෙදර ඇත්තන් ගේ අකරුණාවන්ත කම් වලින් පාගා චප්ප කොට දැමිය නො හැකි වූ තාරුකා මල් ගස් කිහිපයක් තැන් තැන් වල මල් දරා ගෙන සිටියේ ය. 

“ඕකනෙ මං මෙහෙ එන්න අදි මදි කළේ…මොකට ආයෙ ආයෙම ගින්දරට පිච්චෙනවද…තුවාල පාර ගන්න එක නෙවෙයි වැඩේ..හෙමි හෙමිහිට හරි තුවාල සනීප කර ගන්න එකයි”

සඳනි මගේ අතකින් ඇද්දා ය. නමුත් එතැනින් හිත අරගෙන යන එක පහසු වූයේ නැත. වයසට තරම් නොවන කමිස කොටයක් ඇඟ ලා ගත් මල්ලී ලෝචන සමග ගුරු පාරේ එතැන ක්‍රිකට් ගසනු මට මැවි මැවී පෙනිණ. දොරකඩ තිබූ බංකුවේ හිඳ ගෙන පොතක් පාඩම් කරමින් මා ඔහු දෙස හොරෙන් බැලූ ලස්සන දවස් වල මතකය හදවතට ගිනි අවුළුවාලී ය. ඇස් වලින් කඩා හැලෙනා කඳුළු නතර කර ගැනීම පහසු වූයේ නැත.

“අවන්තට සිද්ද වෙච්ච අපරාදයක්. අවුරුදු දෙකක් දැන් ඉතින් හිරේ ලගින්න එපැයි”

මගදී හමු වූ තවත් කෙනෙක් කීවේ ය. අවන්ත මත් ද්‍රව්‍ය සම්බන්ධ කාරණයකට හිරේ වැටී ඇති බව අප දැන ගත්තේ ඒ වෙලාවේ ය. ඒ ආරංචිය කිව යුතුව නොතිබිණි නම් මා ඒ පැත්තේ ගිය බවක් අම්මා හෝ මල්ලී දැන ගන්නේ නැත.

“මොකටද සුදූ එහෙ ගියෙ…”

මල්ලී ගේ හඬ තානය අනුව මට දැනුණේ අවන්ත හිරේ වැටුණ බවත් මා කියන්නට පෙර ඔහු දැන සිටි බව හා එය ඔහු ට අලුත් ආරංචියක් නොවන බව ය. ඔහු අම්මා ට හෝ ඒ බවක් නො කියා ඉන්නට ඇත්තේ හිතා මතා ම ය. 

“සඳී එක්ක එයාලගෙ ගෙදර ගියා..නිකමට ඉතිං පාරවල් වල ඇවිදින්න ගියා. අපේ ගෙයි දැන් දර දානව…”

මගේ හඬ බිඳී ගෙන ආවේ ය. අම්මා ත් මල්ලීත් ඒ කතාව එතැනින් නතර කළේ මා අතීතය මත යළිත් හිත පාරා නො ගත යුතු යයි සහජ ඉවකින් විය යුතු ය. නමුත් අලුතෙන් පෑරෙන්නට ඉඩක් හිතේ වූයේ නැත.

අම්මා දැන් කායික වශයෙන් අතීතයේදීට වඩා පිරිපුන් ව සිටියා ය. සැබවින් දැන් ඇයට සැපෙන් සතුටෙන් සිටිත හැකි ය. උයා පිහා ගේ පිරිසිඳු කර ගත් පසු මුලු දවසම ඇය විවේකීව ගත කරයි. ඒ වෙලාවට පහල සාප්පුවට විත් අවශ්‍ය නම් මල්ලී ට උදව්වක් කරයි.

මල්ලී සුබ පැතුම් පත් මුද්‍රණය කරවන්නට ද පටන් ගෙන සිටියේ ය. ඔහු ගේ සුබ ප්‍රාර්ථනා පැතුම් පත් වලට රට වටෙන් ම හොඳ ඉල්ලුමක් තිබිණ. අතින් සාදන නිර්මාණශීලී කාඩ් පත් පිළියෙල කරන්නට ඔහු සේවිකාවන් දෙදෙනෙකුව වැටුප් ගෙවා ලබා ගත්තේ ය. ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට තබමින් මල්ලී ෆිනෑන්ස් පහසුකම මත වෑන් රියක් මිල දී ගත්තේ මේ දින වල ය. ඒ සියල්ල අතරේ මහ ගෙදර අම්මාට උරුම කොටස ලබා ගැනීම වෙනුවෙන් දැමූ නඩුව අපට වාසි සහගත අතකට හැරී තිබුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles