නිබ්බුත ගීත – 46

 යළි කවදා හෝ ලෝචන මදුරාපුර මගේ ඇසින් දැක ගන්නට ලැබේවි ද මගේ අතින් ස්පර්ශ කරන්නට ලැබේවි ද කියා මා නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත. කාලය දීර්ඝ ලෙස ගෙවී යත්දී, යන්තම් එවැනි බලාපොරොත්තුවක ආලෝක පුංජයක් දැල්වෙමින් තිබුණා වුණත් එය නිවි නිවී යන්නට ඇත. එනමුත් එක මොහොතකට හෝ හදවතේ ඔහු නිවී නො ගිය බව ඉඳුරා කිව හැක. මා හුස්ම ගත්තේ ඔහු ව පපුවේ ජීවත් කරවමිනි. 

ජීවිතය අහම්බයක් බව ඇත්ත ය. නමුත් ජීවිතය මත්තේ මෙහෙව් අහම්බ සිදු විය හැකි බව මේ මොහොත වන තුරු මම විශ්වාස කළෙම් ද?

ලෝචන මදුරාපුර විසින් අඩවන් කොට අල්ලා ගෙන සිටින ලද දොර තල්ලු කර ගෙන මම ගෙතුළට, ඔහු වෙතට පැන ගතිමි. මගේ දෑතින් දැඩිව ඔහු වැළඳ ගතිමි. ඒ සියල්ල සිදු වූයේ ඉතා ඉක්මන් තත්පර කිහිපයක් ඇතුළත වේගයෙනි. කොයි තරම් හයියෙන් කෑ ගසා මා හැඬුවේ ද කියා මතක් කර ගත නොහැක්කේ මගේ උමතු බව තුළ මා මඳ අසිහියක් ද අත්විඳි නිසා කියා සිතමි. ලෝචන ගේ දෑත් මගේ හිස ද පිට ද පිරිමදිනා බවක් ටික වෙලාවකට පස්සේ මට දැනෙන්නට විය. ඉකිබිඳුම සන්සුන් වන තෙක් ම ඔහු එසේ කළේ ය.

“මොකද්ද මේ වුණේ…ඇයි මට කිසි දෙයක් නොකියා හිටියෙ…”

අවසාන ඉකිබිඳුම් සර අතරේ මට මුමුණා ගත හැකි විය. එසේ අසමින් හිස නගා මම ඔහු ගේ මූණ බැලුවෙමි. ලෝචන ගේ කම්මුල් දිගේ ගලා ගිය කඳුළු රේඛා මගේ පපුව දවාලන්නට විය. 

“කොහොමද මාව හොයා ගත්තෙ…ම්…කොහොමද…”

“ඉරණම හොයල දෙන්න ඇති. මෙතනට…ඔයා ඉස්සරහට අරං එනකල් ම මං ඉරණම දිහා ඉවසීමෙන් බලන් හිටිය. අන්තිමට…අන්තිමට මට පිටුපාන්න ඉරණමට බැරි වෙන්නැති”

ලෝචන මදුරාපුර සිය වියළී, රැලි වැටී, කෘෂ වී ගිය අතැඟිලි වලින් මගේ කොපුල් වල කඳුළු පැල්ලම් මකා දැමුවේ ය. මම ඒ මුහුණත්, දෑත් හා පපුවත් පිරිමැද බැලුවෙමි. ඒ සිරුර අස්ථි පද්ධතිය හා චර්මය විසින් දරා සිටියා මිස සිරුරේ මාංශ පේශි හෝ රුධිර ධාතුව සුළු වශයෙන් හෝ එහි තිබේද කියා මට සැක සිතුණ තරමි. කම්මුල් ගිලී ගොස් කොපුල් ඇට පෑදී ය. ඉල ඇට එක පෙළට ගණන් කළ හැකි තරම ය. උපැස් කාච තුළින් පෙනුණ ගිළුණ ඇස් වල පරණ ආදරය නම් නො වෙනස් ව එලෙස ම විය. විශේෂඥ පුහුණුව සඳහා පැමිණි මොහොතේ පටන් සිදු වූ සියල්ල, තාරකා මල් බඳුන දැකීමේ පටන් සියල්ල මම ඔහු හා පැවසුවෙමි.

“මට ලියුකේමියාව කියල දැනගත්තට පස්සෙ මං තීරණේ කළා නිබ්බුතා…ඔයාගෙන් ඈත් වෙලා මැරෙන්න”

ඒ හඬ දරා ගත නො හැකි කම්පනයක් මා තුළ දනවමින් බිඳී ගියේ ය. සමනොල සිරස හිස ගසා මියැදෙන සමනලියක සේ මම ඒ පපුතුර හිස ගසා ගතිමි. ඔහු මා වත්තන් කොට ගෙන ම සෝෆාවක අසුන් ගත්තේ ය. 

“ලියුකේමියාව කියන්නෙ ජීවත් කරවන්න පුළුවන් අසනීපයක් නෙවෙයි කියල මං හොඳට දැනගෙන හිටිය. අපි ඒ ලෙවල්ස් කරද්දි අපේ ග්‍රේඩ් එකේ කොල්ලෙක් නැති වුණා. අපේ ෆිසික්ස් ටියුශන් ක්ලාස් එකට ආපු හරිම බ්‍රයිට් ගර්ල් කෙනෙක් නැති වුණා. ඩොක්ටර් කෙනෙක් වෙයි කියල දන්න අය හුඟක් හෝප්ස් තියං හිටිය ගර්ල් කෙනෙක්…කැම්පස් එකේදිත් තර්ඩ් ඉයර් කොල්ලෙක් නැති වුණා. ලියුකේමියාව ගැන මට තිබුණ දරා ගන්න බැරි කම්පන ඒ. මටත් ඒ ලෙඩේ තියනව කියල දැන ගත්තෙ ඔයා සෙකන්ඩ් ඉයර් එනේදි. සඳනිගෙ වෙඩින් එක කිට්ටුව”

මසිත ඒ අතීතයේ දවස් වෙත පියඹා ගියේ ය. ඒ දින වල ඔහු ට නිතර උණ හැදුණේ ය. උණ කියමින් මා හමු වන්නට නියමිත දින වලද හමු වන්නට නෑවිත් හිටියේ ය. 

“බෙහෙත් ගන්නකො”

කියා කිහිප වර මා පැවසුවා ද මතක ය.

“සැරෙන් සැරේ උණ නගින්නෙ බහින්නෙ මොකද බලන්න බ්ලඩ් ටෙස්ට් එකක් කළාම තමයි දැන ගත්තෙ ලියුකේමියාව කියල. මට ඉස්සල්ලම මතක් වුණේ ඔයාව. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඒ වගේ ලෙඩක් ගැන මං අමුතුවෙන් ඔයාට කියන්න ඕන නෑ. මං දන්නව මං අත්ඇරල දැම්මොත් හිත හදාගන්න ඔයාට ලේසි වෙයි මට ලියුනේමියාව කියල දැන ගන්නවට වඩා. මරණ වරෙන්තුවක් අතට ගත්ත මිනිහෙක් විදිහට මට ඔයාගෙ ජීවිතෙත් එක්ක සෙල්ලං කරන්න හිත දුන්නෙ නෑ නිබ්බුතා. මට සමා වෙන්න”

කඳුළු අලුත් වෙමින් ගලා බැස්සේ ය. අසන්නටත් දැන ගන්නටත් දේවල් ඕනෑ තරම් මගේ හිතට ආවේ ය. නමුත් ඇසිල්ලකින් ඒවා අමතක ව ගියේ ය.

“ලියුකේමියාවෙන් මං ටික දවසකින් මැරෙනව කියල ඔයා හිතන්නෙ වුණත් කොහොමද…ඊට පස්සෙ ඔයා ජීවිතේට මූණ දෙන්නෙ කොහොමද…මං දැනං හිටිය ඔයා කොහොම මට ආදරේ කළාද කියල…මං ළඟදිම මැරෙනව කියල දැන ගත්තම ඔයාගෙ ලෝකෙ ගිනි ගනී කියල මං බය වුණා නිබ්බුතා. ඔයා විභාගෙත් අවුල් කරගෙන හැම දේම එපා කර ගනී කියල මං බය වුණා. ඔයාව දාල ගිහිං මැරෙන්න මට බෑ. ඔයාගෙ අනාගතේ අවුල් කරල ගිහිං සැනසීමෙන් මැරෙන්නවත් මට බෑ”

“අනේ ලෝචන අයියෙ”

මම හඬාගෙන ලෝචන ගේ පපුව බදා ගතිමි. මේ ලොව පුදුම ය. ආදරය ඊටත් වඩා පුදුම ය.

“මදාරා අක්කවත් මට මුකුත් කිව්වෙ නෑ”

“මට මගෙ පවුලෙ අයගෙන් කරන්න තිබුණෙ එක ඉල්ලීමයි. ඒ මං ලියුකේමියාවෙන් මැරුණා කියලවත් නිබ්බුතාට දැන ගන්න තියන්න එපා කියන එක. මං මැරිච්ච ලෝකෙක ඔයාට ජීවිතයක් නැති කරන්න මට බැරි වුණා නිබ්බුතා. මං මැරුණා කියල දැන ගත්තොත් ඔයත් මැරි මැරි ජීවත් වෙයි කියන බය තදින් මට දැනුණා. ගෙදර අයගෙන් මං කරපු අන්තිම ඉල්ලීම. ඒ ඉල්ලීම අමාරුවෙන් වුණත් එයාල කඩ කළේ නෑ. මට වගේම ඔයාටත් අම්මයි අක්කයි දෙන්නම හුඟක් ආදරේ කළා”

ඒ කෙබඳු දුකක්ද කියා ඔබට වචන වලින් පහදන්නට කිසි දා මට නො හැකි වනු ඇත. මා වූ කලී වෘත්තියෙන් වෛද්‍යවරියකි. විශේෂඥ වෛද්‍යවරියක වීම සඳහා පුහුණුව ලබනා වෛද්‍යවරියකි. ජීවිතයත්, මිනිස් කය රෝග වල ගොදුරක් බවට පත් වීමත්, මරණයත් කියන කාරණා ගැන මම ඉතා මැනවින් දැන ඉගෙන ඇත්තෙමි. අත් දැක ඇත්තෙමි. දෑසින් දැක ඇත්තෙමි. මේ අත් දෙකෙන් මම බොහෝ රෝගීන් පරීක්ෂා කොට ඇත්තෙමි. ඔවුන් ගේ දුක් ගැනවිලි වලට කන් දී ඔවුන් සුවපත් කරනු වස් ඖෂධ නියම කොට ඇත්තෙමි. නමුත් මා බෙහෙවින් ආදරය කරන මගේ අය ගිලන් වේවියි හිතන්නට කිසි දාක මා පෙළඹී නැත. අම්මා ගේ කය දුර්වල වූවද ඇය බරපතල රෝග වලට ගොදුරු නොවීම මට සැනසිල්ලක් වූයේ ය. එවන් අනාගතයක් ගැන සිතෙනා එක මම උවමනාවෙන් ම පාලනය කර ගෙන සිටියෙමි. 

ලෝචන ලියුකේමියා රෝගියෙකු වී සිටිනා බව එදා දැන ගත්තේ වී නම් මට කුමක් සිදු වනු ඇත්ද? ඒ ප්‍රශ්නයට පිළිතුරක් ගලපා ගත නො හැකි ය.

“ස්පෙශලිස්ට් කිව්වෙ ලංකාවෙ ට්‍රීට් කරල  ලියුකේමියා පේශන්ට් කෙනෙක්ගෙ ජීවිතේ බේර ගන්න ඒ වගේ ස්ටේජ් එකකදි අමාරුයි කියල. අම්ම එවෙලෙම ඩිසයිඩ් කළා මාව මෙහෙ රෝයල් මාර්ස්ඩන් හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරන්න. ඇත්තටම මං ජීවිතේ ගැන බලාපොරොත්තු අත් ඇරල හිටියෙ නිබ්බුතා. හැබැයි අම්ම අත් ඇරියෙ නෑ. එයා මහ පුදුම අම්ම කෙනෙක්. එයා යකඩ ගෑනියෙක්”

ඇය කොයි වාගේ ගැහැනියකද කියා මම ඉතා මැනවින් දන්නෙමි. ඇය සිය යෝධ චිත්ත ශක්තිය ලෝචන සුව කර ගැනීම කෙරේ යෙදවීම ගැන පුදුමයක් මට නැත. විශේෂයෙන් ම දරුවෙකු ගේ රෝගයකදී බොහෝ අම්මලා ගේ දුර්වල හිත් යකඩ සේ ශක්තිමත් වෙනයුරු මම මගේ ඇස් දෙකෙන් දැක ඇත්තෙමි. එහෙව් එකේ මදුරාපුර මැතිණිය ගේ චිත්ත ධෛර්යය ගැන කවර කතාද? 

“අම්ම මාව සනීප කර ගන්න නොකරපු දෙයක් නෑ. එහෙ ජොබ් එකෙන් අයින් වෙලා අම්මයි තාත්තයි දෙන්නම ඊපීඑෆ් ඊටීඑෆ් පවා අරගත්ත. එයාල ඉතුරු කර ගත්ත සල්ලියක් තිබුණනං ඒ සේරම අරගෙන…තාත්ත අරං දාල තිබුණ ඉඩං වගේකුත් විකුණල තමයි මෙහෙ ඇවිත් මගෙ ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තෙ. ඊට පස්සෙ ඒ දෙන්නම මෙහෙ ජොබ් හොයා ගත්ත. ඒ මට ට්‍රීට්මන්ට්ස් වලට වියදං කරන්න සල්ලි හොයන්න. ලංකාවෙ අපේ ගේත් විකුණුව කියල දැන ගත්ත වෙලාවෙ මට මාර දුකක් දැනුණ. මං යන්නෙ එයාලට තිබුණ හැම දේම නැති කරගෙන නේද කියන හැඟීම මට වද දුන්න. ඒත් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කියන්නෙ මහ පුදුම කෙනෙකුට නිබ්බුතා. දරුවෙක් වෙනුවෙන් එයාලට කැප කරන්න බැරි දෙයක් නෑ”

“ලංකාවෙන් එන්න කලින් මං සඳ එක්ක ගියා මදාරා අක්කට යනව කියන්න. ඒත් ගේ රෙන්ට් එකට දීල එයාලත් රට ගිහිං කියල එවෙලෙයි මං දැන ගත්තෙ”

“අක්ක ආව. තනියම එහෙ දුක් විඳිනවට වඩා වෙන දේකට එකට මූණ දෙන එක හොඳයි කියලයි එයා ආවෙ. අක්ක කිව්ව ඔයා බැන්දා කියල ආරංචි වුණා කියල”

මගේ පපුවේ හිර වීමක් දැනිණ. මම ඔහු ගේ මූණට එබුණෙමි. ලෝචන ගේ ඇස් වල මන්දහාසයක් මිස ශෝකයක් හෝ වෛරයක් වූයේ නැත.

“මං බැන්දා…”

“රාහුල් කිව්ව කියල ගමේ කවුද මගදි හම්බ වුණ වෙලාවක කිව්වලු”

නඩුව දින වල ඔහු එහෙම කතාවක් කී බවක් මල්ලී කීවා මට මතක ය. නමුත් ඔහු එසේ කියා තිබුණේ මා හා ලෝචන ගැන විමසන ගම්මුන් ගේ ඕපාදූප දැන ගැනීමේ පිපාසය සන්සිඳුවන්නට ය.

“තාම මට බඳින්න ඕන වුණෙ නෑ අයියෙ. කෙනෙක් හිතේ විතරක් නෙවෙයි ඇට මස් ලේ වලට පවා කාවැදිල ඉද්දි…ගෑනියෙක්ට ලේසි නෑ වෙන පිරිමියෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න”

එවර ලෝචන මදුරාපුර ගේ අත් දෙක අතරේ හිර වී යන්නට මට සිදු විය. ඔහු ගේ ඇසින් වට කඳුළක සීතල මගේ පිටට දැනිණ. 

ඔහු ගේ රෝගී තත්වය ගැන කිසිත් විමසන්නට මට සිත් වූයේ නැත. එය කෙසේ වී ද දැන් මට ඔහු හමු වී තියේ. ආයේ කිසිවෙකුට හෝ කිසිවකට ඔහු මගෙන් ඈත් කරන්නට මා ඉඩ නොදෙනු ඇති බව පමණක් මම දැන සිටියෙමි.

“ඒ හරි පුදුම අවුරුදු තුන හතරක් නිබ්බුතා. මං මැරුණෙ නැත්තෙ ට්‍රීට්මන්ට්ස් වල හොඳකම නිසාද නැත්තං මට ආයෙ මේ විදිහට ඔයාව මුණගැහෙන්න තිබුණ නිසාද කියන්න මං දන්නෑ”

මම ඔහු ගේ වියළි දෙතොල් මත මගේ දබර ඇඟිල්ල තබා ඒ කතාව වහා නතර කළෙමි. මරණය කියනා ගැඹුරු සාගරයෙන් පැන නැගී වෙරළට ඇදී එන පෙණ පිඬක් සේ ආදරය ගැන සිතන්නට මට ඕනෑ වූයේ ම නැත. මරණය කවරක් වීද එය අපගේ පාලනයෙන් මුළුමනින් තොර වී ද මේ මොහොතේ මට ඕන වී තිබුණේ ලෝචන මදුරාපුර එක්ක ජීවත් වෙන්නට ය. ජීවිතය ඊළඟ මොහොතේ දී අයිති මට ද ඔහු ට ද කියන්නට අපි නො දනිමු. ඔහු ලියුකේමියා රෝගයෙන් පෙළුණ ද නිරෝගී තැනැත්තියක ලෙස සිතා සිටිනා මා ඊළඟ මොහොතේ ජීවිතය අතැර යන්නට නියමිත විය හැක. එහෙයින් වඩා වැදගත් වන්නේ ජීවත් වෙන මොහොත ය. ඒ මොහොතේ සතුට ය.

“ඔයා කොහොමද ඒ තාරකා මල් ගහ මෙහෙදිත් බලා ගත්තෙ…”

මගේ හදවත ප්‍රීතිමත් කළ ඒ කහ පාට කාරකා මල් ගස ගැන කතාව ඔහු ගේ ඇස් වල ප්‍රභාව දෙතුන් ගුණයකින් තීව්‍ර කරවී ය. 

“මං ඒ තාරකා මල් ඇට ටික එනකොට ගෙනාවෙ ජීවත් වෙලා ඉන්නකල් ඔයාව මතක් වෙන්න පැළ කර ගන්න. මට හරි පුදුමයි…සමහර විට ජීවත් වෙන බලාපොරොත්තුව දවස ගානෙ වැඩි කරල මේ වෙනකලුත් මාව ජීවත් කරවන්න ඇත්තෙ ඒ තාරකා මල් ගස්…එකක් මැරී ගෙන යද්දි මං ඇට ටිකක් ඒ පොට් එකටම දාල අලුත් පැළයක් දෙකක් හදා ගත්තා. තාරකා මල් පිපෙනකොට ඔයා දුරයි ඉන්නෙ කියල මට දැනුණෙම නෑ. ඔයා මං ළඟම හිටිය නිබ්බුතා”

ඔහු මගේ අතක් අල්ලා ගත්තේ ය. මගේ අත මත ඒ අත කෙතරම් වැහැරී ගොස් ඇත්ද කියා බැලූ බැල්මට සිතා ගත හැකි විය. 

“ඔයත්…මට දැනුණෙ මං ළඟ ඉන්නව වගේ. මගෙ දිහා බලං ඉන්නව වගේ…මට ඒ තාරකා මල් පැළේ ළඟට යන්නෝන ලෝචන අයියෙ…මට එයාට තෑන්ක් කරන්න ඕන. එයා එතන හිටියෙ නැත්තං මට ආයෙ කවදාවත් ඔයාව හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑ”

ලෝචන හෙමිහිට අසුනෙන් නැගිට මගේ අතින් අල්ලා ගෙන ඔහු ගේ කාමරය වෙත මා කැටිව ගියේ ය. ජනේලය ඇතුලු පැත්තෙන් සුදු පාට සිහින පෙරණය එල්ලා තිබිණ. එදා මා මගේ අත් දෙකෙන් හදා ගෙන ගොස් මධාරා අක්කාට තිලිණ කළ, ඔහු ඇගේ අතින් උදුරා ගත් සිහින පෙරණය!

“මල්ලා දෙනව ඕක…නිබ්බුතා ඕක ගෙනාවෙ මට”

“ඒ වුණාට මේක අයිති මටනෙ”

අතීතයේ යම් තැනකින් මට ඒ හඬවල් ඇසෙන්නට විය. තාරකා මල් හිස ගවසා ගෙන කහ පාට ගවුමෙන් සැරසී මා මදුරාපුර මැදුරේ පොකුණ ළඟ සිටියදී ලෝචන විසින් ගෙන තිබූ සේයා රුව, ‘නිබ්බුත ගීත’ ඔහු ගේ යහනට පෙනෙන ලෙස ඒ බිත්තියෙහි ගසා තිබුණේ ය. මගේ උගුර දිගේ ගිනියම් කළ ඊයම් බරුවක් කිඳා බසිමින් තිබිණ. ලෝචන ඒ ජනේලය විවර කළේ ය. තාරකා මල් සීතල සුළඟේ වුව සිනහ වෙමින් සිටියේ ය.

දෙවියනි, එක හුස්මකට වුව අපට අප අමතක නොවී, එක තොරතුරකුදු නැතිව අප උනුන් වෙනුවෙන් බලා සිටියේ ඇයි?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles