නිබ්බුත ගීත -47

ඒ ජනේලය ළඟට ලන්ඩන් නුවර කාර්ය බහුල වීදි වලින් කොටසක් ද මහල් නිවාස සංකීර්ණයේ ඇතැම් කොටස් ද පෙනේ. මා මේ තාරකා මල් බඳුන දුටුවේ ඒ කොතැනක සිට දැයි මෙතැන සිට බලා හරියට ම කිව නොහැකි ය. කොතැන සිට හෝ අපට අවශ්‍ය දේ හඳුනා ගැනීමේ ඉව අප සතුව පැවතිය යුතු බව මම අලුතෙන් ඉගෙන ගනිමින් සිටිමි. අපට අවශ්‍ය කරන දේවල් අප ඉදිරියට පැමිණවීම ස්වභාව ධර්මයේ හාස්කමකි. නමුත් බොහෝ අවස්ථා වල අපට ඒ සලකුණු හැඳින ගත නො හැකි වීම නිසා ඒවා අප වෙතින් ගිලිහී යයි. සොබා දහම කියවා ගැනීමේ ලා කිසිදු පාඩමක් හෝ ඉගැන්වීමක් මිහි මත වේ ය කියා මම නොසිතමි. එය අපේ හදවත හා බැඳුණු කාරියකි. සොබා දහම කියවා ගත හැක්කේ තනිව ය. කිසියම් සංඥා මගින් ඒවා අපට දන්වා සිටීම එහි කාරියයි. සංඥා හැඳින ගන්නට තරම් අරමුණ කෙරේ සංවේදී බවක් හා ඉවක් අප විසින් වර්ධනය කර ගත යුතුව තිබේ.

ලෝචන මදුරාපුර ව එංගලන්තයේ ලන්ඩන් නුවර බියමවුන්ට් අපාට්මන්ට් එකේ නිවසක් තුළ සිටියදී මට සොයා ගත හැකි වූයේ සොබා දහම විසින් ඉඟි කොට සිටි ඒ සංඥාව ලුහු බැඳ යාම නිසා ය. 

තාරකා මල්! 

පාර සොයා ගන්නට මට මග හසර කී තාරකා මල්!!

“තෑන්ක් යූ අයියෙ”

උහුලා දරා ගත නො හැකි හැඟුම් සමුදායකින් මම ලෝචන මදුරාපුර ව නැවත ද වරක් බදා වැළඳ ගතිමි. ඒ ඇයි කියනා පැනය ඔහු ගේ හිතේ නැගී සිටින්නට ඇත.

“මේ තාරකා මල් පැළේ හැදුවට…මං මෙහෙට එනකල්ම ඒක පරිස්සං කළාට…”

සමහරක් මොහොත වල වචන කතා කරන්නට මැළි වේ. ඒ වෙලාවට දොඩමළු වෙන්නේ හැඟීම් ය. මේ ද එහෙම මොහොතකි. අවුරුදු ගණනක් තිස්සේ හොය හොයා හිඳ හමු වූ වසතුවක් ආයේ නැති වේවි යන බියෙන් තදින් බදා ගෙන සිටිනා දැරියක සේ මම ඔහු හයියෙන් අල්ලා ගෙන සිටියෙමි.

“මං ඔයාට කෝපි එකක් හදන්නං”

ලෝචන ටික වෙලාවකට පස්සේ මන්ද්‍ර වූ පෙම්බර ස්වරයකින් මිමිණුවේ ය. මම මගේ ග්‍රහණය මඳක් ලිහිල් කරමින් ඔහු දෙස බැලුවෙමි. ඒ ඇස් වල බලාපොරොත්තු නොවූ මොහොතක පැමිණි සුබ පැතුමක් ගෙන ආ සතුට දෝරෙ ගලමින් තිබිණ.

“මං හදන්නං”

“හා එහෙනං. කාලෙකින් නිබ්බුතා හදපු තේ එකක් බිව්වෙ නෑනෙ”

ඔහු මට නවීන මුළුතැන්ගේ කොටසට පාර පෙන්නුවේ ය. ලෝචන සිටියේ උනන්දු බවකිනි. කෘෂ වූ සිරුර හැරෙන්නට රෝගී බවක ලක්ෂණයක් හෝ ඔහු වෙතින් මට දැකිය හැකි වූයේ නැත. ඔහු ගේ සියලු වෛද්‍ය වාර්තා පිරීක්සා බැලීමේ උවමනාවක් ඉතා තදින් මට දැනුණ ද මම ඒ ගැන කතා කිරීමේ අදහස යටපත් කොට ගතිමි. වතුර උතුරගෙන එත්දී ඒ ගැන කතා කිරීම ඇරඹුවේ ඔහු ම ය.

“මට හැදිල තිබුණ ලියුකේමියා එක හොඳ කරන්න ලේසි එකක් නෙවෙයි. ලංකාවෙනං ඒකට කොහොමවත් ට්‍රීට්මන්ට්ස් නෑ කියල තමයි ඩොක්ටර් කිව්වෙ. මෙහෙදි වුණත් එක පාරට සනීප කර ගන්න පුළුවන් කියල ලොකුවට හෝප්ස් තිබ්බෙ නෑ. හැබැයි ඒක එහෙම වෙන්නම ඕන කියන තැනට ඩොක්ටර්ස්ලවත් තල්ලු කරගෙන ගියේ අපේ අම්ම කියලයි මට හිතෙන්නෙ. හරි හෙමිහිට ඒක කන්ට්‍රෝල් වුණේ. කෑම කන්න ඇපටයිට් එකක් නැති වුණ එක තමයි නරකටම හිටියෙ. රිපෝට්ස් වල තත්වෙ එන්න එන්න හොඳයි කියල තමයි ඩොක්ටර් කියන්නෙ. හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ට්‍රීට්මන්ට්ස් කරපු කාලෙට වඩා මෙහෙම ගේ ඇතුළට වෙලා ඉන්න පුළුවන් වුණ කාලෙ සැනසීමයි. ඒත් නිතරම චෙකප්ස් වලට හොස්පිට්ල් එකට යන්න ඕන”

“සනීප වේගෙන එන නිසාවත් මට පණිවිඩයක් දෙන්න තිබුණනෙ”

ඒ ආදරය පිරි නෝක්කාඩුවකි. ඔහු අසම සම ආදරයකින් මදෙස බැලුවේ ය.

“එහෙම කරන්න හිතුන වාර ගණන ගණන් කරන්න බැරි තරං නිබ්බුතා. ඒත් එ්කට මට පස්ස ගහන්න වුණ හේතු කීපයක් තිබුණා. එකක්…තාමත් මට ශුවර් නෑ සම්පූර්ණයෙන්ම සනීප වෙයිද කියල. මාව කණ්ණාඩියකින් දැක්කත් මං ගැස්සිල යනව. ඒක නිසා මගෙ රූම් එකේ කණ්ණාඩියක් තියා ගත්තෙවත් නෑ මං. අනික ඔයා මැරි කරල කියල අක්ක දීපු ආරංචිය…ආයෙත් සැරයක් ඔයාගෙ ජීවිතේ පැත්තෙ ගිහිං ඔයාව අවුල් කරල එන්නෙ මොකටද කියල මං මටම කියා ගන්න ඇති ලක්ෂ කෝටි වාරයක්”

“අපේ රටේ විදහස් සෞඛ්‍ය කියල දෙයක් තිබුණට අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කොච්චර දුප්පත්ද කියන එක ගැන තමයි මගෙ සීනියර් ඩොක්ටර් ශාම් හැම තිස්සෙම කියවන්නෙ. ඇත්තටම සමහර ලෙඩ වලට අපිට කර කියා ගන්න දෙයක් නැති වෙන්නෙ ඒව සනීප කරන්න බැරි නිසා නෙවෙයි. අපිට ඒවට ඕන කරන පහසුකම් නැති නිසා. ඒ වගේ වෙලාවල ඩොක්ටර් කෙනෙක්ගෙ පපුවට දැනෙන බර ගැන කියන්න තේරෙන්නෑ අයියෙ. මේ වගේ රටකට ඇවිත් එහෙම වියදං කරල ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන් අය කී දෙනාද අපේ රටේ ඉන්නෙ…ඒ අතින් ඔයා පුදුම තරං වාසනාවන්තයි. මැඩම් වගේ හිත හයිය අම්ම කෙනෙක් ලබපු ඔයා විතරක් නෙවෙයි…ඔයාව නැති කර ගන්න තරං පව්කාර නොවිච්ච මාත් වාසනාවන්තයි”

ඒ තරම් සතුටකින් හා බලාපොරොත්තුවකින් යුතුව මා කාලයකට පස්සේ පිළියෙල කළ තේ එක ලෙස එය මගේ මතක ඉතිහාසයට එක් වනු ඇත. ආලින්දයේ අසුන් ගතව අප තේ පානය කරමින් සිටියදී ප්‍රධාන දොර විවර වී හුරු පුරුදු රුවක් ඇතුළු විය. මදුරාපුර මැතිණිය! කොයි වෙලේ හෝ ඇය දැක ගන්නට ලැබෙතැයි බලාපොරොත්තුවක් සිත වී ද ඇය දකිත්දී ඒ තරමින් මගේ දෙපා වෙව්ලා යතැයි මම නො සිතුවෙමි. ඉස්සරම දවස් වල මදුරාපුර මැදුරේ දී ඇය දකිත්දී වෙව්ලා සීතල වී යන දෙපා වල වූ බර ගතිය මේ මොහොතේත් මම නො වෙනස් ව අත් වින්දෙමි.

“නිබ්බුතා”

එක සිනහ පොදක් නැති ඇගේ මුහුණ මත වූයේ බිරාන්ත බවකි. මම අසීරුවෙන් මුත් අසුනෙන් නැගිට ගතිමි.

“මැඩම්…”

“ඔයා මෙහෙ…”

“ඔව් මැඩම…අන්තිමට මට එන්න පුළුවන් වුණා”

ඇස් තෙත් වෙන්නට තැතනු බව ඇත්ත ය. නමුත් මීට ටික වෙලාවකට කලින් මම ඇති තරම් හඬා සිටියෙමි. මේ අවුරුදු තුන හතර තුළ නො හඬා රඳවා ගෙන සිටි තරම් කඳුළු, ඉකුත් පැය දෙක තුළ මගේ ඇස් වලින් ගලා යන්නට ඇත. තවත් හැඬීමේ ඕනෑ කමක් හෝ තවත් හඬන්නට කඳුළු මා වෙත නොවූ බව කිව හැකි තරමි. සැබවින් ඊළඟ කඳුළු වාරය උදා වී තිබුණේ මා වෙත නොව මදුරාපුර මැතිණිය වෙත ය. මධාරා අක්කා විවා පත් ව ඇය වෙතින් නික්ම යන දිනයේ හෝ කඳුළක් නො පෙන්වූ ඕ තොමෝ වක්කඩ කැඩුවා සේ හඬන්නට පටන් ගත්තා ය.

“අනේ මැඩම්…”

මා වන් කුරු කුහුඹු කෙල්ලකට ඒ අසීමිත පෞරුෂයෙන් හෙබි සිරුර වත්තන් කර ගත නො හැකි ය. එහෙයින් ම මා ඇගේ අතක් යන්තම් පිරිමැද්දා පමණ ය. මදුරාපුර මැතිණිය හඬා ගෙන ම සෝෆාවට බර වූවා ය.

“ඔයාට එහෙනං මටත් වැඩිය හයියක් තිබුණා නිබ්බුතා…මොන ප්‍රශ්න තිබුණත් දවසක තමන්ට තදින්ම දැනෙන ආදරේ හොයාගෙන යන්න තරං හයියක් ඔයාට තිබුණා…”

මම ඇයට සමීප ව හිඳ ඇගේ හිස පිරිමැද්දෙමි. මඳ වෙලාවක් තදින් කඳුළු සැලීමෙන් පසු ඕ තොමෝ සන්සුන් වූවා ය. 

එදා අප රාත්‍රී ආහාර ගත්තේ එකට ය. එය මහත් බලාපොරොත්තු දැල්වූ කදිම භෝජන සංග්‍රහයක් විය. කෑම පිළියෙල කළේ මදුරාපුර මැතිණිය හා මා එක්ව ය. අපට කතා කරන්නට පුද්ගලික වූ යමක් වන බව දැනුණ නිසාදෝ ටික වෙලාවකට පසු ලෝචන අපට තනි වන්නට ඉඩ දී කාමරයට ගියේ ය.

“මං මට කරන්න පුළුවන් දේ කළා නිබ්බුතා. ෆයිනල් මෙඩිකල් රිපෝට් එක ලැබෙන්නෙ නෙක්ස්ට් වීක් එකේ. ලෝචනගෙ සිටුවේශන් එක එන්න එන්න හොඳ අතට හැරිච්ච හැටියට…මට හිතෙනව එයා සම්පූර්ණයෙන් සනීප වෙයි කියල. ඒකට අවුරුදු තුන හතරක් තිස්සෙ අපි වින්ද දුකක්…”

මට ඒ දුකෙහි ළඟින් සිටි හවුල්කාරියක විය නො හැකි වූයේ ය. ඇසින් දුටු සාක්ෂි කාරියක විය නො හැකි වූයේ ය. නමුත් හැම මොහොතක ම ලෝචන ගේ හදවත අස මගේ ආදරයත් ආශිර්වාදයත් තිබෙන්නට ඇත. කිසිවෙකුට නො පෙනෙන නො දැනෙන අවකාශයක් තුළ අපේ ආත්මයන් සංස්පර්ශීය ව තිබෙන්නට ඇත. අප තදින් අපේ අත් අල්ලා ගෙන සිටිනා බවක් ඇතැම් මොහොතක සජීවී ලෙස මට දැනී තිබේ. ඔහු මදෙස බලා ඉන්නා බවක් නින්දෙන් පවා දැනී තිගැස්සී මා අවදි වී තිබේ.

“නිබ්බුතාව එහෙම අතරමං කරල එන්න වුණ එක මට දරා ගන්න බැරි වුණා. මං වගේම තවත් ගෑනියෙක් ලෝකෙට බිහි කරන්න මාත් දැන දැනම උදව් කළා නේද කියන වරදකාර හැඟීම හැම වෙලේම මට වද දුන්නා. ඒත් ලෝචන වෙනුවෙන් ඕන දෙයක් දරා ගෙන සද්ද නැතුව ඉන්න පුළුවන් තරමට අම්මා කියන තනතුර මාව හයිය කරල තිබුණා නිබ්බුතා”

“මැඩම් එක්කවත් ලෝචන අයිය එක්කවත් මදාරා අක්කා එක්කවත් ඒ ගැන මට තරහක් දැනිල නෑ කවදාවත්. මට කියාගන්න බැරුව අසරණ වුණ හේතුවක් ඔයාලට ඇති කියලමයි මං හිතුවෙ. ඒත් එ්ක සමහර වෙලාවට ඉවසගන්න බැරි තරං දුකක්. ඒ දුක නිවා ගන්න මං කළේ මැඩම් වගේම වැඩ කරන එක තමයි. ස්පෙශලිස්ට් ට්‍රේනින් එකකට මේ තරං ඉක්මනට හිත හදා ගත්තෙත් ඒ දුක අමතක කරන්න පුළුවන් වෙන තරං වැඩ වැඩිවෙන හේතුවක් නිසා”

“දෛවය කොච්චර ලස්සනට හැම දේම ප්ලෑන් කරලද කියල හිතෙන්නෙ…ලෝචනගෙ ෆයිනල් මෙඩිකල් රිපෝට්ස් එන්න ලං වෙද්දිම අපිට ඔයාව ආයෙ හම්බ වුණ නිසයි”

මධාරා අක්කා හා නිශාන් අයියා ආවේ තවත් පමා වී, දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙහි රඳවා තැබුණ ඔවුන් ගේ දියණිය ද කැටිව ය.කඳුළු නිමා වී යයි සිතා උන් මා වඩාත් ම හැඬුවේ මධාරා අක්කා ව වැළඳ ගෙන විය යුතු ය. සදහට ම අහිමි වී යයි සිතා උන් තමන්ගේ ම අය වෙත හරි හදිස්සියේ ළඟා වෙන්නට අවස්ථාවක් උදා වූ සුරංගනා කතාවක කුඩා ගෑනු ළමයෙකු සේ මම සතුටට පත් ව ශෝකයේ කිමිදෙන්නට වූයෙමි.

“දෙයියන්ට පින් සිද්ද වෙන්න ඕන නිබ්බු…තෑග්ගක් විදිහට එයාම දවසක මට ගෙනත් දීපු මගෙ නංගිව එයාම උදුර ගත්ත එක ගැන මං දුකකට වඩා කේන්තියක හිටියෙ. මල්ලා සනීප වෙනවමයි නිබ්බු. ඔයාට පුළුවන්…ඔයාගෙ ආදරේට පුළුවන් ඉතුරු ටික කරන්න. ඔයා එයාව බලා ගනී නිබ්බු…”

“ලෝචන අයියට…මුකුත් වෙන්නෑ…”

ඒ රාත්‍රී භෝජනය අප සියලු දෙනා සැහැල්ලුවට පත් කළ හා සැනසුම උදා කළා වූ එකක් කියා සිතමි. හැම මුහුණක ම බලාපොරොත්තුවේ සිනහ රැල්ලක් තිබිණ. ලෝචන එදා මගේ පෙරැත්තයට වෙනදාට වඩා කෑම ටිකක් ගත් බව මදුරාපුර මැතිණියත් මධාරා අක්කාත් පිළිගත්හ.

“බොරුනෙ අසනීපෙටයි බෙහෙත් වලටයි කන්න බෑ කිව්වෙ. එහෙනං අද කෑවෙ කොහොමද…තනිකරල තිබිල තියෙන්නෙ නිබ්බුතාව දකින ඕනකම”

මධාරා අක්කා විහිළුවක් ද කළා ය. මම මා අස හිඳ උන් ලෝචන ගේ උකුල මත වූ අත කාටත් නොපෙනෙන සේ අල්ලා ගතිමි. 

“ඔයාට දැන් සනීපයි පුතා. දැන් තියෙන්නෙ ඔයාගෙ හිත හදා ගන්න එක. හිත හදා ගෙන කාල බීල ඇඟට පණ ගන්න එක. අම්මගෙ හිතේ හයියටයි තාත්තගෙ හයියටයි කරන්න පුළුවන් හැම දේම කරලයි තියෙන්නෙ. ඉතුරු ටික ඔය දෙන්නට බාරයි”

“නිබ්බුතා ළඟ හිටියනං මීට කලින් මෙයා නැගිටල. ඒ ළමයට මුකුත් කියන්න අපිට ඉඩ දුන්නෑනෙ”

“දැන් හැම දේම හොඳම විදිහට විසඳිලානෙ තියෙන්නෙ”

රාත්‍රී භෝජනයෙන් පස්සේ මා මදුරාපුර ලා ගෙන් සමු ගත්තේ එක ම නිවාස සංකීර්ණයක වෙනත් මහලක වන මගේ තාවකාලික නවාතැන කරා යන්නට ය.

“මං ඔයාව බස්සල එන්නං”

ලෝචන එවන් මොහොතක එසේ ඉදිරිපත් වේවියි මම සිහිනයෙන් හෝ නො සිතුවෙමි. සැබවින් එය මගේ චිත්ත ධෛර්යය අවුළුවාලන ඉදිරිපත් වීමක් විය. ඔහු විදුලි සෝපානයට ගොඩ වූයේ ද නව වෙනි මහලේ දී ඉන් පිටතට ආවේ ද මගේ අතක් අල්ලා ගත් වන ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles