ශරදාකාසේ – 15

නිශාමනී උදේ අවදි වූයේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලීමේ සූදානම ඇතිව ය. ඇය කවදත් අභියෝග වලට බිය වූ ගැහැනියක නොවේ. මව් පියන් ට විරුද්ධ ව ශාරද ව තෝරා ගනිත්දීත් ඈ ඉදිරියේ වූයේ විශාල අභියෝගයකි. ඇය දෙපැත්තෙන් එකක් තෝරා ගත යුතු ව තිබිණ. ඈ ගැන මහත් බලාපොරොත්තු සහගත ව සිටි ශාරද ව අත්හැර දැමීම මහා පාපකර්මයක් විය හැකැයි නොයෙක වර ඇය ට සිතිණ. ඒ වෙලාවේ ගෙන් පිට වී ගිය ද ඇය ට මවු පියන් අහිමි නොවන බව ඇය දැන සිටියා ය. ඔවුන් ළඟ දරුවන් වෙනුවෙන් සාගරයක් තරම් ක්ෂමාව වන බව ඇගේ යටි හිත ආත්ම ගණනක් තිස්සේ දැන සිටියේ ය. නමුත් ශාරද ව අහිමි කර ගෙන ආත්ම ගණනක් හැඬිය නො හැකි බව ද ඇය සිතුවා ය. 

මවු පියන් අතැර එන්නට ගත් තීරණය කිසි සේත් ඔවුන් ව අත් හැරීමක් සේ ඇය නො සැලකුවා ය. ජීවිතය සමහර වෙලාවට අප ඉදිරියට එවන් පරීක්ෂණයන් පමුණුවයි. තෝරා ගැනීම් පමුණුවයි. සමහර තෝරා ගැනීමක් නිසා අනෙක සදහට ම අහිමි විය හැකි ය. නමුත් තවත් සමහර තෝරා ගැනීමක් නිසා අනෙක තාවකාලිකව ටිකක් දුරස් වෙනවා පමණක් වන්නට පුළුවන. ඒ වෙලාවට අහිමි වීමක දුක්ඛ දෝමනස්සයෙන් දුරස් වී හිඳිනු වස් අපට තීරණ ගන්නට සිදු වේ.

බොහෝ විට අප තෝරා ගන්නේ අහිමි වෙතැයි බිය දේ ය. අහිමි නොවෙතැයි හිතෙන දේ ගැන අපට වන විශ්වාසය දිගු කාලීන ය.

ශාරද හා ආකාස තේ බොන්නට කුස්සියට ආ විට නිශාමනී ඇගේ තීරණය දැනුම් දුන්නා ය.

“මං අද දුවත් අරං මෙහෙං යනව”

එක මොහොතකට ‘ශරදාකාස’ ය ගල් භීත විය. සුළං හඬක් හෝ මෑතකින් ද ඈතකින් ද ඇසුණේ නැත. අයිය මලෝ දෙන්නා ම හුස්ම ගත්තා ද කියාත් සැක සහිත ය.

“ගිහිං ඩිවෝස් එක දාන්නං. අපිට මෙහෙම එක ගෙදරක ඉඳගෙන ඒක කරන්න බෑනෙ”

“තමුන්ට යන දේවාලෙක යන්න පුළුවන්. හැබැයි මගෙ ළමයව මේ ගෙදරිං එළියට අරං යන්න තමුන්ට බෑ. අන්න එච්චරයි මට කියන්න තියෙන්නෙ”

ශාරද සිය දබරැඟිල්ල නිශාමනී ගේ මූණ ඉදිරියට දිගු කොට කීවේ දත්මිටි කමිනි. පිරිමියෙකු කෝප විය හැකි අවසාන සීමාව කොතැන ද ඔහු එතැන ට අවතීර්ණ ව සිටියේ ය. ඍජු ව ඔහු දෙස බලා සිටි නිශාමනී ශාරද වෙව්ලනු දුටුවා ය.

ඒ කෝපය තුළ වූ අන්ත අසරණ හැඟීම බිරිඳ වශයෙන් නිශාමනී ට වුව වැටහුණා නොවේ. සොයුරා ද ඉදිරියේ ඇය ඉදිරියේ බැගෑපත් වෙමින් ගෙදරින් නික්මෙන්නට එපා යි අයැද සිටීම මදි පාඩුවක් සේ ශාරද ට දැනිණ.  පපුව ඇතුළේ ඇය නික්ම යාවිය යන මහා භීතිය වූවාට, එය පිටතට පෙන්වීම සිය අභිමානය කෙළෙසා දැමිය හැකි සිදුවීමක් වනු ඇත ය යන හීන මානය තදබල ලෙස ඔහු යට කර ගෙන සිටියේ ය. 

“ළමයව දාල යන්න කියන්නෙ…ඔයාගෙ අනිත් වයිෆ් ඇවිත්ද  එයාව බලා ගන්නෙ…”

නිශාමනී සෝපාහාසයෙන් විමසුවා ය.  

“ශාමි මේ මගෙ යකානං අවුස්සන්න එපා. තමුන් ගෙදරින් එනකොට ළමයෙක් අරං ආවෙ නෑනෙ. මේ මගෙ ළමය. මගෙ ළමයව තමුන් ට ඕන ඕන විදිහට අරං යන්න දෙන්න බෑ”

“පිස්සුද ආ දෙන්නටම…”

එවර මැදින් පැන්නේ ආකාස ය. නො එසේ ව මේ වචන හරඹය කොතැනින් කොහොම නතර වනු ඇත්දැයි ඔහු බිය වූවා සේ ය.

“අයියෙ මේ…නිකං පිස්සෙක් වගේ හැසිරෙන්නයි කතා කරන්නයි එපා. තමුසෙට පුළුවන්ද එසඳිව බලා ගන්න”

“ඇයි මට බැරි…එසඳි මගෙ දුව…මං එයාගෙ තාත්ත…ඉතිං මට බැරි මොකද මගෙ දුවව බලා ගන්න…”

“ඕයි…ඒ ළමය ගෑනු ළමයෙක්. කා ළඟ තියලද තමුසෙ ජොබ් එකට යන්නෙ”

“මං ඩේ කෙයා එකක තියන්නං”

කියා ගෙන ශාරද කුස්සියෙන් නික්ම ගියේ ය. මේස පුටුවක් ඇද නිශාමනී එහි හිඳ ගත්තේ අප්‍රාණික ව ගොසිනි. ඒ තරම් අසරණ හැඟීමක් ශාරද ට වෙනත් සබඳකමක් ඇතැයි ස්ථිර වශයෙන් දැන ගත් වෙලාවේ වත් ඇයට දැනුණේ නැත. එසඳි වූ කලී ඇගේ ජීවිතයේ ම කොටසකි. ඇගේ ශරීරයේ ම කොටසකි. අම්මා කෙනෙකු ට වෙන කුමක් අත් හළ ද තමන් ගේ දරුවන් අත් හළ නො හැකි ය. යන අපායකට හෝ දෙව් ලොවකට යත හැක්කේ සිය දරුවන් සමගිනි. 

“අනේ ආකා..ස…”

එපමණකි. නිශාමනී වැලහින්නක සේ හඬන්නට පටන් ගත්තා ය. ඒ වූ කලී අම්මා කෙනෙකු ගේ හදෙහි මාතෘත්වය පිළිබඳ අධි සංවේදී සෛල පෑරීම නිසා ඇති වූ කඳුළු තොටකි. ඇය කෑ ගසමින් ද ඉකි බිඳිමින් ද හූල්ලමින් ද හඬන්නට වූවා ය. විනාඩි ගණනක් ගෙවී ගිය ද ඒ විලාපයෙහි නැවතීමක් නොවූ නිසා ආකාස නිශාමනී ගේ හිස් මුදුනෙන් සිය සුරත බරට තැබුවේ ය.

“අනේ මට බෑ දෙයියනේ…මට වාවන්නෑ මේක…”

ඇගේ පපුව පැලේවිද යන බිය ඇය ට පමණකුදු නොව ආකාස ට ද දැනිණ. 

“අඬන්න එපා ඔහොම”

සියල්ලට පෙර කළ යුතු ව තිබුණේ ඈ සන්සුන් කර ගෙන හිඳිනා එක ය. නමුත් කියූ තරම් පහසුවෙන් ඒ හැඬුම නිවා හළ හැකි වූයේ නැත. 

“මට දුව ඕනෙ දෙයියනේ..එයා නැති වුණොත් මං මැරෙයි. මං කාටවත් එයාව දෙන්නෙ නෑ. දෙන්නෙ නෑ මං”

“දෙන්නෙ නැත්තං ඔය නාඩගම නවත්තල ගෙදරට වෙලා ළමයව බලා ගෙන ඉන්න එකයි”

හිස් තේ කෝප්පය තබන්නට මුළුතැන්ගෙට පැමිණි ශාරද කියවූයේ ය. නිශාමනී ඔහු දෙස රවා බැලුවා ය. ආකාස ගේ ඇස් දෙක ද අයියා ට කීවේ නිහඬ වන ලෙසයි. 

“ළමය ඔයාට විතරක් නෙවෙයි..මටත් අයිතියි”

නිශාමනී හිතට දිරි ගෙන කීවා ය.

“ඒ වගේම මටත් අයිතියි”

නිශාමනී ගේ කඳුළු ශාරද තුළ ජයග්‍රාහී හැඟීමක් ඇති කර තිබෙන බව, ආකාස ට ඔහු ගේ කට හඬින් ම හැඳින ගත හැකි විය.

“හරි හරි දෙන්නටම අයිතියි තමයි..ළමයගෙ අම්මයි තාත්තයිනෙ. හැබැයි ළමයව දෙකට කපල බාගෙ ගානෙ තමුසෙල දෙන්නටම දෙන්න බෑනෙ. ඒක නිසා පොඩ්ඩක් මනුස්සයො වගේ මේ ප්‍රශ්නෙ විසඳෙන හැටියකට කතා කර ගන්නවල. උසාවි ගියත් තමුසෙල දෙන්නගෙන් එක්කෙනෙක්ටයි ළමයව දෙන්නෙ. අනිත් කෙනාට සතියකට සැරයක් ළමය බලල එන්න විතරයි පුළුවන්. අනිත් එක දැන් ළමයව ඉත්තෙක් කර ගන්න හදන්න එපා. තමුන්ට ළමයෙක් ඉන්නව කියල හිතල වැඩ කළා නං මේ දේවල් මෙහෙම වෙලා තියෙන්න විදිහක් නෑනෙ”

එවර ආකාස කතා කළේ තරමක් තදිනි. ඔහු මල්ලී වුණත් ශාරද ඒ හඬට මඳක් පසු බෑවේ ය. අනිත් අතට ආකාස කතා කළේ පූර්ණ සත්‍යයි. ශාරද ට වචනයක් කියන්නට දෙයක් එහි වූයේ නැත.

“ඔය යකා ඔයා යනවට කැමති නෑ. ඔයා කීයටවත් එසඳි ව දාල යන්නෙ නැති නිසයි ඔය විදිහට කිව්වෙ..”

ශාරද යළි ගෙතුළට ගිය පසු, පිටුපස හැරී බලා ඔහු නොවන බව සහතික කර ගැනීමෙන් පසු ආකාස මඳ සිනහාවකින් කීවේ ය. ඒ සිනහව මේ මොහොතේ සිනහ විය යුතු නිසා නැගුණක් නොව, නිශාමනී ට වැඩි බරක් නො දැනෙන සේ තත්වය සාමාන්‍යකරණය කරනු වස් නැගූ එකකි. නමුත් ඉන් නිශාමනී ප්‍රකෝප වූවා ය.

“එතකොට ඒක හරි ද..”

ඇය ආකාස ට කඩා ගෙන පැන්නා ය.

“හරි කියල නෙවෙයි කියන්නෙ. මං කොයි වෙලාවෙද එයා හරි කියල කිව්වෙ…එහෙම කියන්න මං පිස්සෙක්ද…මං කියන්නෙ ඒ වෙච්ච දේ නිසා ජීවිත කීපයක් විනාස වෙන්න දෙන්න එපා කියලයි. අර පොඩි එකී ගැන හිතන්න. ඔයා ඒ කෙල්ලව එක පැත්තකට අදිද්දි අර බූරුවා අනිත් පැත්තට අදින්න හදනව. ඒ යකා දිනන්න හිතං ඉන්නෙ ළමයව අයිති කර ගෙන. ඒ කියන්නෙ ඔයාව පරාද කරන්න. එසඳිව නොලැබුණොත් ඔයාට වෙන කිසි දේකින් වැඩක් නෑ කියල මං හොඳට දන්නව. ඔයාට ජීවිතේ වගේම දැන් ජීවිතේ සතුටත් එසඳි. ඒක අර බූරුවත් දන්නව”

ආකාස මේස පුටුවක් ඇද නිශාමනී පසෙකින් අසුන් ගත්තේ ය.

“මං ඔයාට කියන්නෙ…ප්ලීස්…කලබල වෙලා ගෙදර යන්නෙ නැතුව මේක විසඳ ගන්න වෙන හොඳ විදිහක් නැද්ද කියල බලමු. ම්…”

“එයා මාව හිර කරන්න හදන්නෙ මල්ලි”

හැඬීමෙන් හෙම්බත් ව විඩාවට පත් ව හිඳිනා ඇගේ විලාශයට හා ඒ හඬ තානයට ආකාස ගේ මුහුණට සිනහවක් ආවේ ය. ඇය සංවේදී ගැහැනියක බව ඔහු දනී. එසේ ම ඇය දක්ෂ ගැහැනියක බව ද ඔහු දනී. ඔහු ළඟදී සිය ආත්ම අභිමානය වෙනුවෙන් ඇය භාවිතා කළේ එක ම එක ආරක්ෂක පළිහකි. එනම් ‘මල්ලී’ යන වචනය පමණකි. 

“ඔයාට යන්නම ඕනද…මං කියන්නෙ…ඔයාට ඇත්තටම අයියගෙන් වෙන් වෙන්න ඕනද…”

ආකාස ගේ ඇස් දෙක ඇගේ දෑසින් ඇතුළු ව සිරුර විනිවිද ගොස් පපුවෙහි හැපෙනවා වාගේ නිශාමනී ට දැනිණ. වෙනදා සේ කඩිනමින් වෙනතක නෙතු හරවන්නේ නැති ව ඇය කෙලින් ඔහු දෙස බලා සිටියා ය. 

“ඒක මං කවදාවත් කියන්න හිටිය දෙයක් නෙවෙයි”

නෙත් බැමි පුපුරා යළිත් කඳුළු සොරොව් ඉහිරිණ. ඇගේ මූණ රක්ත වර්ණයට හැරිණ.

“හැබැයි දැං මං ඒක කිව්වෙ බොරුවටත් නෙවෙයි. මට ආයෙ ශාරද එක්ක ජීවිතයක් එපා”

කඳුළු පටලයක් බොඳ වූ ඇගේ වහු පැටවෙකු ගේ බඳු ලොකු ඇස් වල ස්ථිරසාර බවක් කියවා ගන්නට ආකාස සමත් විය. ඒ අවබෝධය ඔහු ව සන්තුට්ඨියට පත් කළා ද නො එසේ නම් සිය සොයුරා ගේ විවාහය බිඳ වැටෙන්නට යාම ගැන හදවත සංවේග ප්‍රාප්ත වූවා ද කියා වෙන් කර හැඳින ගන්නට ආකාස සමත් වූයේ නැත. ඔහු එවැන්නකට උත්සාහ කළේ ද නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...