සුසානය පාළුවට යමින් තිබේ. දැන් අහස කරා නික්ම යන්නේ අවසන් දුම් රොටු කිහිපය විය යුතු ය. ආදාහන කටයුතු වෙනුවෙන් පැමිණ සිටි සෑම සියලු දෙනා ම පාහේ නික්ම ගොස් දැන් ඉතිරි ව ඉන්නේ අපේ පවුලේ කිහිප දෙනා පමණක් කියා සිතමි. මගේ ඇස් වල කඳුළු නැත ද මහත් හිස් කමක් එහි ශේෂ ව ඇතැයි සිතමි.
වෛද්‍යවරියක, විශේෂඥ වෛද්‍යවරියක වශයෙන් මරණය කියන්නේ ජීවිතය හා බැඳුණු නියත දහම බව මම හොඳාකාරයෙන් දනිමි. නමුත් තමුන්ගේ කෙනෙකුට එහෙම වෙත්දී ඇති වන්නා වූ ශෝකය ස්වභාවික ය.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වශයෙන්, උපන් ගමන් බිළිඳුන්ව අතින් ගෙන මම පිරික්සා බලමි. කිරි දරුවෙකු ගේ ඇස් වල වන දීප්තිමත් ආලෝක පුංජ දැකීම තරම් ප්‍රීතියක් මගේ වෘත්තීය ජීවිතයෙහි නොවන්නේ ය. එසේ උපත ලබන සෑම මිනිස් ප්‍රාණියෙකු ම ක්‍රමයෙන් මරණය කරා ගමන් කළ යුතුය යන නියත දහම විටෙක හද දවාලයි. නමුත් ජීවිතය කියන්නේ උත්පත්තියේ සිට මරණය කරා ගමන් කිරීමට වැටී ඇති මාර්ගය බව පිළි ගත යුතු ව තියේ.
“අම්මි…අපි යං…”
අපේ දියණිය දිව විත් මගේ දෙපා වැළඳ ගත්තා ය. මම ඇයව වඩා ගෙන මගේ පපුවට තුරුලු කොට ගතිමි. මරණයේ භයංකර අඳුරු සෙවනැළි මගේ ඇස් වලින් ඇය දැක ගත යුතු නැති නිසාවෙන් මා දැරියට මූණ දුන්නේ නැත. නමුත් ඈ සිය ළපටි අතැඟිලි වලින් මගේ කොපුල් අල්ලා ගෙන මූණ ඇය වෙතට යොමු කොට ගත්තා ය.
“අම්මි තාම දුකෙන් නේද…”
මම දෙතොල් තද කොට ගෙන ඇය වෙත සිනහවක් පෑවෙමි.
“නෑ පුතේ”
“මිනිස්සු මැරෙනවමයි ඒ ගැන දුක් වෙන්න ඕන නෑ කියල අම්මියි තාත්තියි හැම තිස්සෙම කිව්වෙ…ඉතිං බබානං දුක් වෙන්නෑ. අම්මි දුක් වෙන්නත් එපා”
“නෑ මගෙ පුතේ”
තදින් සිප ගෙන මම දැරිය බිමින් තැබුවෙමි. ඇය අපේ පපුලේ අය වෙත දිව ගියා ය.
බටහිර අහස, හැඬීමෙන් රතු වූ දෑසක් සේ මට පෙනිණ. හිතේ පාළු නිස්සාර බව තව තවත් තීව්‍ර කරන්නට ඒ අහස සමත් ය. තනි වීමක අවශ්‍යතාවය මට දැඩිව දැනෙමින් තිබි බව ලෝචන මදුරාපුර වුව වටහා ගන්නට ඇත. කිසිවෙකු ගේ මරණයක් සවන් වැකෙන්නා වූ අවස්ථා වල මා අභ්‍යන්තර තිගැස්මකට ලක් වූ බව, රහසක් කොට තබා ගෙන සිටියද ඔහු දැන සිටි බව මම දනිමි. මගේ සවන් වැකෙනවාට මා බිය ම වූ පුවත! මරණය!
මා හා ලෝචන මදුරාපුර අතර විවාහය, චාරිත්‍රානුකූල උත්සවයක් ලෙස පැවැත්වුණේ විශේෂඥ පුහුණුවෙන් පසු මා ලංකාවට පැමිණි පසුව ය. නමුත් ඊට පෙර ලන්ඩන් නුවරදී ම අපි අඹු සැමියන් ලෙස දෙවියන් ඉදිරියේ එක ජීවිතයක් ඇරඹුවෙමු. එක දවසක් නොව එක පැයක් වුව අපතේ යැවිය නොහැකි යයි මට සිතිණ. අපට අපේ ජීවිතයෙන් වසර කිහිපයක් ම අහිමි වී තිබුණ බැවිණි.
මදුරාපුර පවුල ලන්ඩන් නුවර ස්ථාවර වීමට සිතා සිටි අතර මා ද ලෝචන හා විවාහ වී එහි ම නතර වනු ඇතැයි ඔවුහු උදක් ම බලාපොරොත්තු වූහ. විශේෂඥ වෛද්‍යවරියක ලෙස එහි රෝහලක සේවය කරමින් ස්ථාවර වීම මට ඉතා පහසු වූයේ ය. නමුත් එක හෙළා මම ඊට විරුද්ධ වීමි.
“මං හුඟක් අමාරුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. නිදහස් අධ්‍යාපනේ කියන දේ නොතිබුණානං ඩොක්ටර් කෙනෙක් වෙන්න තියා…අපේ අම්මට බැරි වෙන්න තිබුණා අපිව පහේ පන්තියට ඉස්කෝලෙ යවන්නවත්. එහෙම තියෙද්දිත් ඒ අවුරුදු දහ තුන දුෂ්කර ක්‍රියාවක් වගෙයි. එකම පොතේ මං විෂයන් තුන හතරක නෝට්ස් ලියල තියෙනව. පොත් ඉවර වුණාම යාළුවන්ගෙ පොත් වලින් කොළයක් ඉල්ලගෙන ලියල තියනව. අවුරුද්දෙ අන්තිමට සඳනිගෙ පරණ පොත් වල ඉතුරු වුණ කොළ ටික කඩල එකතු කරං ඇවිත් තියනව. ඒ වගේ අමාරුවෙන් ජීවත් වෙන පවුල් තව අනන්තවත් අපේ රටේ ඉන්නව. මට මතකයි ඉස්සර අපි බෙහෙත් ගන්න ආණ්ඩුවෙ ඉස්පිරිතාල පෝලිං වල දුක් වින්ද හැටි. රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන මේ වගේ රටක සැපවත් ජීවිතයක් ගෙවන්න හිත හදා ගන්න මට බෑ. ඉගෙන ගත්තු ඒවට මං ඒ මිනිස්සුන්ට ණය ගෙවන්න ඕනෙ. අපි වගේ ම දුප්පපත් පවුල් වල ළමයින්ට කරන්න පුළුවන් දෙයක් කරල ඒ ළමයින්ටත් මං ආව පාර පෙන්නල දෙන්න ඕන. අඩු ගානෙ ඒ ළමයින්ට බෙහෙත් පෙත්තක් හරි දෙන්න ඕන. ඒකට මං මගෙ රටේ ඉන්න ඕන. මට සමා වෙන්න ඕගොල්ලො ඔක්කොම. ඒත් මට ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ”
ඒ වෙලාවේ මා කතා කළේ මගේ හෘදය සාක්ෂියට එකඟව ය. මදුරාපුර පවුල ම ගොළු ගැසී බලා සිටියදී මදුරාපුර මහතා මා වෙනුවෙන් ඉදිරිපත් වූයේ ය.
“නිබ්බුතා කියන එක හරි. එයාට යුතුකමක් තියනව ඉෂ්ට කරන්න. එයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ ඒ යුතුකම ඉෂ්ට වෙද්දියි. එයා ලංකාවට ගියදෙන්. පුතා නිබ්බුතා එක්ක ලංකාවෙ ඉන්න. අපිට සැරෙන් සැරේ එහෙටයි මෙහෙටයි යන්න එන්න පුළුවන්නෙ අපේ අය බලා කියා ගන්න”
“ඒත් පුතාගෙ අසනීපෙත් එක්ක…”
“පුතාට දැන් ඇති අසනීපයක් නෑනෙ. එයා සම්පූර්ණයෙන් නිරෝගී කෙනෙක්. රෙකමන්ඩ් කරල තියන විදිහට ඒ ඒ කාල වලදි චෙකප්ස් දා ගන්න එකනෙ තියෙන්නෙ. නිබ්බුතා ඩොක්ටර් කෙනෙක්නෙ. අපි එයාට අමුතුවෙන් දෙයක් කියන්න ඕන නෑනෙ ඒ ගැන”
ලෝචන හා මා විවාහයෙන් පසු ලංකාවේ ජීවිතය ආරම්භ කළේ එසේ තීන්දු වීමෙන් අනතුරුව ය. ඔහු ඉංජිනේරුවෙකු වශයෙන් සිය වෘත්තීය කටයුතු ආරම්භ කළේ ය. ලෝචන ගේ නිරෝගී බව දිගින් දිගට ම ස්ථාවර වීම අපට තිබුණ ලොකු ම සතුට හා සැනසීම ය.
මහ ගෙදර අයිතිය නීත්‍යාකූල වශයෙන් අම්මා වෙත ලැබීමෙන් අනතුරුව ඔවුන් ගැන යමක් ඔබට පවසනු නො හැකි විය. ආච්චි මමී ඒ වන විට ද සිටියේ අසනීප ගණනේ ය. මහ ගේ අහිමි වීමෙන් පසු සුනිමල් මාමා හා නීලිකා නැන්දා අවන්ත ද සමග කුළියට නිවසක් ගෙන ගොස් තිබිණි. වසන්ති පුංචිලා ද එසේ ය. නීලිකා සිය ලේලිය නිසා ඔවුන් යටතේ දී ඇයගෙන් වෙනස්කම් සිදු විය හැකි බවට තිබි සැකය නිසාවෙන් ආච්චි මමී ගියේ වසන්ති පුංචි ළඟට ය. නමුත් ඒ නිවසේ ආච්චි මමී ට වැඩි කාලයක් සතුටෙන් සිටිත නො හැකි වූයේ බාප්පා ඇති කළ ප්‍රශ්න නිසාවෙනි. පුත්‍රයා වශයෙන් සුනිමල් මාමා ආච්චි මමී ගේ වගකීම හා භාරකාරිත්වය ගත යුතු යයි ඔහු අඩව් අල්ලා ඇත. ඒ අනුව සුනිමල් මාමා ආච්චි මමීව ඔහු ගේ නිවසට ගෙන ගොස් තිබේ. ටික දිනක් එහි සිටියදී ආච්චි මමී බලාපොරොත්තු වූ ලෙසට ම ලේලි ගෙන් ප්‍රශ්න ඇති වී තිබේ. අම්මා ඇය බලන්නට ගිය වෙලාවක, මල්ලීට කියා වැඩිහිටි නිවාසයකට ඇය භාර දෙන ලෙස ආච්චි මමී ඉල්ලීමක් කොට ඇත. අම්මා ගෙදර විත් මේ පුවත පැවසූ විට මල්ලී කියා ඇත්තේ ඕනේ නම් ආච්චි මමී ව ඔහු ගේ ගෙදරට ගෙන එන ලෙසයි. ඒ අනුව මා විදේශ පුහුණුවට ගිය අලුත ම ආච්චි මමී අපේ ගෙදර පදිංචියට ආවා ය. ඒ ඇයට හැමදාමත් වෙනස් ලෙස සැලකූ කුඩම්මා වී ද අම්මා කිසි ලෙසකින් හෝ ඇගේ කුඩම්මා ට වෙනසක් කළේ නැත. ඇයව කුසයේ දැරූ අම්මාට ලෙසින් අම්මා ආච්චි මමී ට සැලකුවා ය. ලෙඩට දුකට බැලුවා ය. සුවෙන් සැපයෙන් ඇයගේ සැඳෑ සමය ගෙවී යන්නට ඉඩ සලසා දුන්නා ය.
ලංකාවේ පදිංචි වීමෙන් පසු සතියකට වරක් හෝ මම මල්ලිගේ ගෙදර ගියෙමි. අම්මා ගේ ද ආච්චි මමී ගේ ද සුව දුක් විමසුවෙමි. මගේ අතින් ඇගේ හිත රිදෙන එක ම එක සිදු වීමක් වී තියේ. ඒ ඔවුන් එක්ව මල්ලී ව බන්ධනාගාර ගත කළ දිනයේ මධාරා අක්කලාගේ ගෙදරින් මා ආච්චි මමීව හා වසන්ති පුංචී ව පන්නා ගැනීම ය. ඒ සඳහා එදා කෙතරම් සාධාරණ හේතුවක් තිබුණ ද ඒ සිදුවීම ඉනික්බිති මගේ හිතට වද දුන් බව කිව යුතු ය. හෘද සාක්ෂිය ඉදිරියේ ඒ වරද සමා කර ගනු වස් මම ආච්චි මමී ට වැඩි වැඩියෙන් සමීප වීමි. ඇය ගැන සොයා බැලුවෙමි. හැකි අවස්ථා වල ඇය අපේ ගෙදර නවතා ගෙන ඇප උපස්ථාන කළෙමි. අප කුඩා සාවියේ අපව නො සලකා හැරි, සිය කුසින් බිහි කළ දරු දෙදෙනාගේ දරුවන් ට පමණක් ආදරය කළ ආච්චි මමී මේ වෙත්දී සිය වැරදි අවබෝධ කොට ගෙන සිටින්නට ඇත. කෙසේ වෙතත් ජීවිතයේ අවසාන භාගය ඇය සතුටෙන් ගත කළා ය.
ආච්චි මමී ගේ වියෝව මේ තරම් තදින් මගේ හිතට දැනෙනුයේ පහුගිය කෙටි කාලය තුළ මා ඇය ට බෙහෙවින් සමීප වූ නිසා ය. මගේ ළමා වියේ දී මට අහිමි වූ ආච්චි අම්මෙකු ගේ ආදරය මට ලැබුණේ මා අම්මා කෙනෙකු වූවාට පස්සේ ය. නමුත් මගේ දියණිය ආච්චි අම්මා ගේ ද ලොකු ආච්චි අම්මා ගේ ද ආදරය විඳින්නට තරම් වාසනාවන්තියක වූවා ය.
“නිබ්බුතා…අපි දැං යමු නේද…රෑ වීගෙනත් එනවනෙ…”
ලෝචන මදුරාපුර මවෙත විත් ආදරය තැවරී ගත් ඔහු ට පුරුදු ස්වරයෙන් මා ඇමතුවේ ය. මම ඇස් වලින් සිනහ වීමේ උත්සාහයකින් ඔහු දෙස බැලුවෙමි.
“ආච්චි මමී වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම ඔයයි මල්ලියි දෙන්නම කළානෙ නිබ්බුතා. ජීවිතේ කියන්නෙ කොයි වෙලාවක හරි මේ විදිහට කෙළවර වෙන දෙයක් කියල ඔයා නොදන්නව නෙවේනෙ”
“ආච්චි මමීට තව ටිකක් කල් ඉන්න තිබුණා අයියෙ”
“ආච්චි මමී එයාගෙ ජීවිතේ උපරිමයෙං වින්දා. ඒ ගැන අපි සතුටු වෙමු. ම්…”
ලෝචන මගේ උරය වටා අතක් දමා ගෙන ඔහු ගේ සිරුර ට මා වාරු කොට ගෙන ම අපේ රිය වෙත කැටිව ගියේ ය. මල්ලීත් ඔහු ගේ බිරිය හා පුතනුවනුත් අම්මා හා අපත් හැරුන විට අනිත් සියලු දෙනාම දේහය තිබූ මල්ලි ගේ නිවසට ගොස් සිටියහ. ඔවුන් ට සංග්‍රහ කොට පිටත් කොට හැරීමෙන් පසුව ඉතිරි වූයේ අප පමණ ය. මළ ගෙයක් සිදු වීමෙන් අනතුරුව ගෙදරක ඇති වන්නා වූ ගුප්ත පාළුව එහි නො අඩු ව ශේෂ වී තිබිණ.
ආච්චි මමී සිය ජීවිතය එසේ අවසාන කළා ය. ඇයතින් ජීවත් වත්දී සිදු වූ වැරදි අපි ඇසින් දුටුවෙමු. ඒ නිසා හැකි තාක් වැරදි අවම කර ගෙන ජීවත් වීම අපේ බලාපොරොත්තුවයි. අනිත් අතට ලෝචන කියන්නේ මරණයේ දොරකඩට ගොස් ආපසු හැරුණ මිනිසෙකි. මා වූ කලී මරණයත් එක්ක ගනුදෙනු කරනා වෛද්‍යවරියකි. ඒ නිසා ජීවිතයේ අගය හා වටිනාකම ගැන මහත් වූ හැඟීමක් අපට තියේ.
“අපි ගෙදර ගිහින් එමුද ලෝචන අයියෙ…”
මගේ හදිසි ප්‍රශ්නයෙන් මල්ලී විපරම් බැල්මක් හෙළුවේ ය. වෙන වෙන ගෙවල් වල ජීවත් වූවාට මල්ලී තවමත් කැමති හැකි තාක් අප එකට සිටින්නට ය. සතියකින් අපට මෙහි එන්නට බැරි වුණොත් ඔහු අපේ ගෙදර දිව ගෙන එයි. ඔවුන් අපේ ගෙදර දිනක් දෙකක් නතර වී සිට ආපසු යන්නේ එක්කෝ අපව ද එහි කැටිව ය. නැත්නම් ඉක්මනින් එහි එන පොරොන්දුව ලබා ගෙන ය.
“එදා වගේම අදත් ඔය දෙන්නගෙ බැඳීම වෙනස් නොවී තියෙන එක තරං සකුටක් මට තව නෑ”
අම්මා දවසකට වරක් හෝ මන්තරයක් සේ එසේ මුමුණන්නේ අපේ ඒ අසීමිත බැඳීම නිසා ය.
“ඇයි සුදූ ගෙදර යන්නෙ…”
ලෝචනට ද පෙර ප්‍රශ්නය මල්ලී වෙතිනි.
“මල් පැළ වලට වතුර දාල එන්න ඕන. දවස් දෙකකින් වතුර නෑනෙ. මැරිල යයි”
මළ ගෙයක් සිදු වූ තැනක් කියා හෝ වගක් නැතිව මල්ලී කොක් හඬ ලා සිනහ වූවේ ය. මම නෝක්කාඩු බැල්මක් නගා ගෙන සිටියෙමි.
“අනේ දොස්තර නෝනගෙ මල් වත්ත. අර කැලේට වැවෙන තාරකා මල් විතරක් තියෙන මල් වත්ත”
“එන්නෙපා හරිද…ඕකීඩ් රෝස වුණත් කැළේ වැවෙනව. හැබැයි අපි ගෙදර හදනවනං වතුර දාල පෝර දාල බලා ගන්න ඕන”
“හරි හරි අපි ගිහිං වතුර දාල එමු”
ලෝචන මඳහසකින් මවෙත සමීප වූයේ මගේ හිත ඉතා මැනවින් හඳුනන බැවිනි. තාරකා මල් කෙරේ මගේ වන ගෞරවය හා භක්තිය, දෙවියෙක් හෝ දෙවොලක් කෙරේ වනාකාරයේ එකකි. දර මඩුවේ ගෙදර වටේට ම වැවී තිබි තාරකා මල් ගාලත්, මධාරා අක්කාට අයිති ගෙදර තාප්පය අයිනේ බෝඩරයක් සේ වැවූ තාරකා මල් පාත්තියත්, එංගලන්තයේ ලන්ඩන් නුවර බියර්මවුන්ට් අපාට්මන්ට් හි ලෝචන ගේ ජනේල කණ්ඩිය මත වූ තාරකා මල් බඳුනත් අද අපේ නවීන දෙමහල් මැදුරේ මිදුල සරසන තාරකා මල් යායත් මසිත් හි ඇති කොට තිබෙන්නේ සමාන ආදරයකි.
“ආ එහෙනං මං ලෝචන අයියත් එක්ක ගිහිං වතුර දාල එන්නංකො”
“නෑ නෑ අපි දෙන්නා යන්නං ඉතිං. ඕගොල්ලො දුවව බලා ගන්නකො. අපි ටක් ගාල එන්නං”
“ආ…ඒක කොහොමද…ළමයව මෙහෙ දාල ඒ දෙන්න තනියම රවුමක් දාන්න යන්නෙ”
“නෑ නෑ. අපි කොහෙවත් රවුං දාන්න යන්නෑ නේ අයියේ…ගෙදර ගිහිං මල් වලට වතුර දැම්මා අනිත් අතට ආව…නේ…”
සිනහවකින් මදෙස බලා උන්නා මිස ලෝචන වදනකුදු දෙඩුවේ නැත. රිය පදවන අතරේත් ඒ සිනහව ඔහු ගේ මුහුණේ දකිත හැකි විය.
“තෑන්ක් යූ…”
මම ඔහු ගේ අත් බාහුවේ දෑතින් ම එල්ලෙමින් ඒ මූණ බැලුවෙමි. ලෝචන ඇයි කියා ඇසුවේ නැත.
“මට මං විදිහටම හැමදාම ඉන්න දුන්නට…මගෙ අම්ම එක්ක…මල්ලි එක්ක…අපේ අතීත මතක එක්ක පරණ නිබ්බුතා විදිහටම ඉන්න දුන්නට…වෙනස් නොවී ඔයත් එතනම ඉන්නවට…”
ඔහු එහෙම ම හිස හරවා යන්තම් මගේ මගේ හිස් මුදුන සිප ගත්තේ ය. වචන වලින් නොකීවාට ඔහු ගේ හදවත දොඩමළු බව මම දනිමි. ජීවිතය කියන්නේ ඉතා කෙටි ගමනක් බව අපි ඉතා හොඳින් දැන සිටිමු. ඒ අතර මැද බොහෝ අහඹු සිදුවීම් විය හැකි බව ද අතින් අත් අල්ලා සිටින තාක් අභියෝග වලට මුහුණ දීම පහසු බව ද දැන ගෙන අපි මේ ගමන යන්නෙමු. එසේ ම අප පසෙකින් සිටිනා එක ගැන නිරතුරු අපේ හදවත් වල උනුන් කෙරේ නිහඬ ස්තූතියක් වන බව ද අපි ඉඳුරා දැන සිටිමු. රණ්ඩු වුණත් මත ගැටුම් ඇති කර ගත්තත් ඒ සියල්ලට වඩා ඉහළින් පවත්නා දේවාශීර්වාදයක් වන් ආදරයක් අප අතරේ හුස්ම ගන්නා බව සියල්ලට වඩා හොඳින් දැන් අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් ම අවබෝධ කර ගෙන සිටිමු.
“අද රෑට ඔයා ටිකක් වැඩිපුර නිදියන්න ඕන නිබ්බුතා. මේ ටිකේම නිදිමරල ඔයාට මහන්සියි”
ලෝචන ගේ අත මගේ දෑතින් ම තුරුළු කොට ගෙන මම ඒ උර මඬලෙහි හිස තියා ගතිමි. ජීවිත ගමනක වෙහෙස නිවනා ආදරයක් මිනිසෙකු අස පැවතිය යුතු ම ය. කෙසේ හෝ එවන් ආදරයක් හොයා ගන්නට තරම් දැඩි චිත්ත ශක්තියක් ද මිනිසෙකුට තිබිය යුතු ම ය!
සමාප්තයි.
(නිබ්බුත ගීත අතර මැද්දේ ඔබට දැඩි වෙහෙසක් දැනුණා නම් ඒ ගැන සමාව අයදිමි. නමුත් ජීවිතයක් තුළ දුක සතුට සමබර ව ඇති හෙයින් ඒ වෙහෙස දරා ගැනීමට තරම් ඔබ කතාව ඉවසන්නට ඇති කියා ද සිතමි.)