මල් තුහින – 33

මලිති තමන්ගෙන් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව තේරුම් යද්දී නවීන්ට කම්පාවක් දැනෙන්නට විය. ජීවිතය ඉතා පහසුවෙන් ගත කරන්නට තෝරාගත් බිරිඳ වැරදි තේරීමක් බව සිතීම ඔහුට පහසු හැඟීමක් වූයේ නැත.

“අපි ආදරේ කරලා බලමු. මාව ගැළපෙන්නෙ නෑ කියලා ඔයාට හිතුණොත් හරි ඔයාව ගැළපෙන්නේ නෑ කියලා හිතුනොත් හරි අපිට පුළුවන් වෙන් වෙන්න.”

ප්‍රේමය ඇරඹුණු කාලයේ මලිතිට එවැනි යෝජනාවක් විය.නමුත් නවීන් එය පිළිගන්නට අකමැති වූයේ ය.

“මං ඔයා ගැන හොඳට තේරුම් අරගෙන ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ. අපි ගැළපෙනව. අපි බඳින්නෝන.”

ඔහු ඇගේ කැමැත්ත ගැන නොසැලකිලිමත් විය. ඉතා වෙහෙස මහන්සි සරසවියට ඇතුළත් වූ පසු ජීවිතයේ ඉතිරිය පිළිවෙලකට සකස් කර ගැනීම මිස ඔහුට වෙනත් සිතුවිලි නොතිබිණ. හොඳ බිරිඳක් මිසක ආදරයක් ඔහුට නුවුමනා බව තේරුම් ගත් මුල්ම මොහොතේ ඔහුගෙන් පලා ගියේ නම් මේ ගැටළු බොහොමයක් මඟ හැර ගන්නට තිබූ බව දැන් මලිතිට සිතේ.

“අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද?”

නවීන් කාමරයට එබුණේ මලිති සිතුවිලි කෝටියක අතරමං වෙද්දී ය.

“බෑ නවීන්.මගෙ ඔලුව හරි නෑ.”

ප්‍රතික්ෂේප කිරීම යන වචනය ජීවිතය තුළ නොතිබූ යුවතියක දැන් එතරමට රළු වීම නවීන්ට තදබල පහරක් විය.

“ජොබ් ස්ට්‍රෙස් ද?”

මලිති ඒ ප්‍රශ්නයට හිනැහුණා ය.

“එහා ගෙදර රීටා ආන්ටි ඇහුවත් ඔය ප්‍රශ්නෙ ඔයිට වඩා මනුස්සකමින් අහනව.”

මලිතිගේ අපහාසාත්මක සිනාව නවීන්ගේ කෝපය අවුළුවන්නට සමත් විය. ඔහු ගිනි ගන්නා දෑසින් බලා සිටියේ ය. 

“මං ජොබ් එකට ගිය අලුත රංගනීගෙ කරදර ගැන කිව්ව මතකද? ඔයා කිව්වේ ඒවා ඉවසන්න ඕන. ජීවිතේ කියන්නෙ පහසු දෙයක් නෙවෙයි කියලනෙ මතකද?”

සැබෑවටම වේදනාවට හේතුව කාර්යාලය අසල නිවසේ වාසය කරන කුඩා දැරියගේ අනතුර බව නවීන්ට කියන්නට මලිතිට හොඳටෝම ඕනෑකමක් තිබිණ. ඇගේ සුරතල් නවීන්ට පෙන්වූ අතීත දවස් තිබේ. දරුවෙකු ගැන ඔහුට කිසිම සිහිනයක් නැති බව දැන දැනම ශේන්යා දෙස බලමින් දුවෙකු ගැන සිහින දුටු අතීතයක් ද මලිතිට වේ. දැරියට අනතුරක් බවත් ඒ හන්දා හිත හොඳටම පෑරුණු බවත් කියන්නට තරම් නවීන් සමීප වූවානම් යැයි ඇය සිතුවේ ශෝකයෙනි.

“ඔයාට ඕන වුණේ මගෙන් සල්ලි හම්බ කරගන්න විතරයිනෙ නවීන්. මම ස්ට්‍රෙස් ගැන කියද්දි කියද්දී ඔයා මාව රස්සාවට යැව්වා. යන්තම් රනුක ඇවිල්ලා කම්පැනි එක බාර ගත්තට පස්සෙ ටිකක් ඔලුවට සැනසීමයි.නැත්තං මං ඔය රූෆ් ටොප් එකෙන් පැනල මැරිලා.”

අඩුම තරමේ වෙනත් සේවා ස්ථානයක් සොයා ගන්නට උත්සාහ කරන්නැයිවත් කියන්නට නවීන්ට මිනිස්කමක් නොතිබූ බව සිහි වෙද්දී මලිතිගේ ස්වරය උස්ව නැඟෙමින් තිබිණ.

“ඔව් මාත් දන්නව.”

එවර අපහාසාත්මක සිනාවකින් තොල් සරසා ගත්තේ නවීන් ය.

“මොකක්ද?”

මලිති සෘජුව ඇසුවා ය. ඔහුට දැන ගන්නට දේවල් නොවේ.

“රනුක ආවට පස්සෙ හරි ආසාවෙන් රස්සාවට යනව කියල. මං බබෙක් නෙවෙයි මලී හරිද? මට හොඳට ඇහැ කන පේනව. එකපාරටම සැලෝන් යන්නයි ඇඳුං ගන්නයි මේකප් කරන්නයි කරාබු ගන්නයි මතක් වුණේ රනුක හැමදාම ඔෆිස් එන්න ගත්තට පස්සෙ කියලා මං හොඳටෝම දන්නව.”

නවීන්ගේ ඒ කතාවට මලිති පපුව මත අතක් තබා ගත්තා ය.අහස පොළොව නුහුලන කතා යැයි කියන්නේ මේ වගේ කතා වලට විය යුතු බව ඇය සිතුවා ය.

“මොනවද නවීන් ඔය කියන ජරා කතා?”

රනුක සැබෑ ලෙසටම මහත්මා ගතිගුණ ඇති තරුණයෙකි. ඔහු රාජකාරි ස්වරූපයෙන්ම එහෙත් ඉතා සුහදව තමන්ගේ කාර්ය මණ්ඩලය සමඟ ගනුදෙනු කරන්නෙකි.එයට ප්‍රධානම හේතුව අම්මා නිසා ව්‍යාපාරය බ්ඳ වැටෙන්නට ඉඩ නොතබා බව කාර්ය මණ්ඩලය දනියි. නමුත් රනුකගේ මනුෂ්‍යත්වයට රංගනීගේ විකාර පැරදිය හැකි බවත් ඔවුහු විශ්වාස කරති. දැන් සුළු වෙලාවකට පෙර ආ රනුකගේ ඇමතුම මලිති නැවත සිහි කළා ය. උත්පලාගේ පෞද්ගලික වෛරයට තමන්ගේ අය පටලවා නොඉන්නට ඔහු කටයුතු කළ අන්දම ඇය යළි මතක් කර ගත්තා ය. එවැනි මිනිසෙකුට මෙවැනි චෝදනාවක් කිරීම ඉතා අප්‍රියජනක ය.

“කුණු කතා කියන්න එපා නවීන් කට තිබ්බ පලියට.”

නවීන්ගේ සැබෑ වර්ණ පෙනෙද්දී ඇති වූ අපුලෙන් ඇය තර්ජනය කළා ය. නමුත් මේ ඉකි බිඳිමින් හඬන්නට සිතෙන කතාවකි. ඇය මේ මොහොතේ වෙනත් මිනිසෙකුට ඒකපාර්ශ්විකව හෝ ආදරය කරමින් හිඳීම සත්‍යයකි. නමුත් හිතේ අහලකවත් නැති තරුණයෙකු ගැන කතන්දර අසන්නට මලිතිගේ කැමැත්තක් නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles