රිදුණු තටු පිරිමදිමි – 21

ගෑනු ළමයින් දෙන්නාව ද උදව් කර ගෙන සන්තුෂී එදා උදයෙන් ම රූපලාවන්‍යාගාරය හොඳින් පවිත්‍ර කළා ය. මකුළු දැල් කඩා, දුහුවිලි පිස දමා, බඩු මුට්ටු පිළිවෙලට තබා  කාපට් එක වැකුම් කළා ය. තැන් තැන් වල ගෘහස්ථ විසිතුරු පැළෑටි වර්ග තබා ඇතුළත ජීවී බව වඩාත් වැඩි කළා ය. 

හිතක් නිරවුල් වූ විට ඒ හිත අයිති මනුෂ්‍යයා ද ඔහු හෝ ඇය වටා වන ලෝකය ද නිරවුල් ජීව කලාපයක් බවට පත් වන්නේ නිරායාසයෙනි. එතැන ඉන්නට හිතෙනා තැනක් බවට පත් වේ. එතැන සැනසුම තියෙන තැනක් බවට පත් වේ. 

සන්තුෂී සිටියේ නිදහස් හැඟීමකිනි. උදේ අම්මා එක්ක කතා කළාට පස්සේ ඇගේ ඒ මානසිකත්වය වඩාත් තහවුරු විය. අම්මා ව ද සමීපතම යෙහෙළිය ව ද සිය තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන්  පසු ඇයට සැනසීමක් දැනේ. දරුවන් දෙදෙනා කොහොමත් නිදහස් ලෙස සිතනා පුද්ගලයන් බව සන්තුෂී දනී. 

“ලස්සනයි නේද…සතියකට දවසක්වත් උදේට සැලෝන් එක ඇතුළ වෙනස් කරන්න ඕන. එතකොට එන අයට වගේම අපිට ෆ්‍රෙශ් ගතියක් දැනෙයි”

අංජලී ඇතුළත හැඩ බලමින් කීවා ය.

“කොහොමත් මිස්ට ලස්සන ඇහැක් තියනව. මට හිතා ගන්නවත් බෑ අර කැලේට හැදෙන මේ පැළයක් මේ වගේ තැනකට මෙහෙම ලස්සන වුණේ කොහොමද කියල”

එන ගමන් පාරක් අයිනේ රිය නවතා කානුවක් අසලින් ගලවා ගෙන විත් දිය ලිරවූ වීදුරු බඳුනක දැමූ හබරල පැළය දෙස බලා ගෙන ළයංගි කීවා ය. සන්තුෂී ගේ දෙතොල් අතරේ ලස්සන  සිනහවක් ඇඳුණේ ය. ඒ හබරල කොළ වල මාළු ඔතනු ඇය දැක තිබේ. නමුත් ඒ විශාල ව වැඩෙන තද කොළ පාට හබරල පත්‍ර වල වන අලංකාර රැල්ල, හැමදාමත් සන්තුෂී ගේ හිත මවිත කළ එකකි. සොබා දහමේ විචිත්‍රත්වය හැම ගහක ම හැම කොළයක ම හැම මලක ම තවරා තියේ. 

“සඳුදට ටිකක් වේලාසන එමු. එතකොට වැඩ පටන් ගන්න කලින් ක්ලීල් කරල ඩෙකරේට් කරන්න වෙලාව තියනව”

“අද මං මීටත් වඩා ඉක්මනට එනව. කොහෙද…එන්න ඇඳපු ඇඳුම ආයෙ ගලවන්න වුණානෙ”

“ඇයි…මහත් වෙලා ඇඳුං හිර වෙලාද..”

“නෑ අනේ..අපේ හබී නිසා තමයි. ඒ ඇඳුම මං මැරි කරන්න කලින් ගත්ත එකක්. ඒක ඇන්දට පස්සෙ කියවන්න ගත්තා අතනිං පේනව මෙතනිං පේනව හිර වැඩි නැද්ද අරව මේව කිය කිය”

“ඉතිං..”

“අන්තිමට කියනව ඕක ගලෝල වෙන එකක් ඇඳන් යන්නලු. ඒක එහෙම අවුල් ගවුමක් නෙවේ අනේ. මට කේන්තියටම ගලෝල මේක ඇඳන් ආව. කතා කරන්නෙවත් නැතුව ආවෙ මං”

සන්තුෂී ළයංගි දෙස බලා සිටියේ කම්මුලක අත තියා ගෙන ය. ඇයට මේ අලුත් බිරිඳ ගේ තත්වය තේරුම් ගන්නට පුළුවන. ඒ කාලේ සන්තුෂීටත් ඔය වගේ ප්‍රශ්න ඕනෑ තරම් තිබිණි.  විවාහ වූවාට පසුව පමණකුදු නොව විවාහ වීමට පෙර ද කල්ප ඇයට දැඩි බලපෑමක් එල්ල කළේ ය. ඇය ඇඳුම් ඇඳිය යුතු වූයේ ද, සිනා සිය යුතු වූයේ ද කතා කළ යුතු වූයේ ද ආහාර අනුභව කළ යුතු වූයේ ද තවත් එකී නොකී දෛනික ජීවන අංග සියල්ල සිදු කළ යුතු වූයේ ද ඔහු ට ඕනෑ හැටියට ය. ඔහු කැමති හැටියට ය. 

“ආදරේ නිසානෙ කියන්නෙ…ඔයා මගේනෙ”

වැනි අරුමෝසම් දවටනයක ඔතා එවැනි තර්ජනයක් කරත්දී ඒ තර්ජනයක් බව එදා කිසි සේත් ඇය දැන සිටියේ නැත. ප්‍රේමයේ නාමයෙන් අති බහුතරයක් ගෑනු ළමයි එසේ සිතන්නේ හෝ පිළි ගන්නේ නැත. නමුත් සන්තුෂී අද දනී. ප්‍රේමය වනාහි වෙනත් පුද්ගලයෙකු තමන් කැමති ලෙස වෙනස් කර ගැනීම නොවේ. වෙනත් පුද්ගලයෙකුගේ ස්වරූපයට කැමති වීමයි!

“ඒක ඔයා මැරි කරන්න කලිනුත් ඇඳ අ ඇඳුමක් කියල එයා දැනන් හිටියෙ නැද්ද..”

සන්තුෂී ළයංගී වෙතින් ඒ ප්‍රශ්නය ඇසුවේ බොහෝ කල්පනා කිරීමෙන් අනතුරුව ය. අනුන් ගේ පවුල් ප්‍රශ්නයකට අත දාන ඕනෑ ම කෙනෙකු ඕනෑ ම මොහොතක වැරදිකාරයෙකු විය හැකි ය යන්න තප්ති ගේ මුවෙහි නිතර ම වන ප්‍රකාශයකි.

“දන්නව මිස්”

ළයංගි ගේ මුහුණ බිමට හැරවිණ.

“ඉතින් ඒකනෙ. ඉස්සර අපිටනංමේව කියල දෙන්න කවුරුවත් හිටියෙ නෑ. අපි ජීවිතෙංම ඉගෙන ගත්ත දේවල්.ඒත් ඒ දේවල් තව කාට හරි පාඩමකට ගන්න පුළුවන් නං ලොකු දෙයක්නෙ. ඒකයි මං මේ කියන්නෙ. ඔයා මං ගැන වැරදියට හිතන්න එපා”

“අනේ නෑ මිස්”

“මුලදි ළයංගි කොයි කෙල්ලත් ආසයි කොල්ලා ඔහොම නීති දානවට..කෙල්ලො හිතන්නෙ එතන තමා ආදරේ තියෙන්නෙ…ආදරේ නිසානෙ එයා එහෙම කරන්නෙ කියලනෙ..ඒත් ඒක වැරදි හිතිවිල්ලක් කියල තේරුං යන්න කාලයක් යනව. ඔයා වුණත් පරක්කු වුණ එක ගැන කේන්ති ගත්තට එයා එහෙම කරපු එක ගැන හිත යටින් සතුටු වෙන්න ඇති…එයා මට කොච්චර ආදරේද කියල.නේද…”

ඇය අවිහිංසක ලෙස සිනහ වූවා ය. ඒ සිනහව හැඳින ගන්නට බැරි කමක් සන්තුෂී ට නැත. ඒ සිනහව තමන් ගේ ම අතීතයෙන් මතු වූවා සේ දැනී ඇගේ හදවත ගැඹුරේ සියුම් ගැස්මක් ඇති විය.

“එහෙම තමයි ළයංගි…කෙල්ලන්ට ආදරේ තමයි මුළු ජීවිතේ ම…ඒත් පිරිමින්ට ආදරේ කියන්නෙ ජීවිතෙන් පොඩි කොටසයි. ගෑනුංගෙ ඒ දුර්වල කම පිරිමි වාසියක් කර ගන්නව”

සන්තුෂී ගේ මුවග මන්දස්මිතයක් විය. එහි ඈත කෙළවරක පරන වූ රිදුමක නටඹුන් ඉතිරි වී තිබිණ.

“මං කියන්නෙ පිරිමින්ව විශ්වාස කරන්නෙපා කියලවත් එයාලට අවනත වෙන්න එපා කියලවත් ආදරේ කරන්න එපා කියලවත් නෙවෙයි. මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්නෙපා මං පුරුෂ විරෝධී ස්ත්‍රී වාදිනියක් හෙම නෙවේ. මාත් ආදරේට හරි ලෝබ ගෑනියෙක්. ආදරේ දැනෙන පිරිමියෙක් වෙනඅවෙන් ජීවිතේ වුණත් දෙන්න ලෑස්ති ගෑනියෙක්. එහෙම කරපු ගෑනියෙක්. ඒත් ළමයි…ආදරේ කියන්නෙ එහෙම කන්ට්‍රෝල් කරං හිර කරං ඉන්න එක නෙවේ කියල අපිට තේරෙන දවසක් එනව. අන්න එදාට අපිට ඕන වෙනව ඒ හිර ගෙවල් කඉල හරි ඒවගෙන් පැනල යන්න. ඒකයි මුල ඉඳලම කසාදයක් ඇතුළෙ නිදහස තියෙන්න ඕන. මං කියන්නෙ ගෑනු අපිට විතරක් නෙවේ. පිරිමි එයාලට වුණත්…යාළුවො ආශ්‍රය කරන්න…ඉඳ හිට සෙට් වෙන්න…ගෑනු ළමයි බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක හස්බන් එක්ක එල්ලෙන්න යන තැන් තමයි ඔය. ආදරේ කරා හරි මැරි කරා හරි කියල දෙන්නෙක් කවදාවත් එක්කෙනෙක් වෙන්නෑ. දෙන්නෙක්ම තමයි. එක්කෙනෙක් වෙන් ගිහින් පස්සේ මරා ගන්නවට වැඩිය හොඳයි මුලදිම දෙන්නෙක් කියල තේරුං අරං ඒ දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන එක..ඒ දෙන්නට වෙන වෙනම ආසාවල් තියනව. ජීවිත තියනව. ඒව තමන්ගෙ නිවාස අඩස්සියට ගන්න ගියාම තමයි ප්‍රශ්න. ආදරේ නිසා එහෙම කරන්න ඕන නෑ. ආදරේනං කරන්න ඕන එයා ආස විදිහට ජීවත් වෙන්න නිදහස දෙන එක. යන්න ඕන කෙනෙක්නං ඒ නිදහසෙන් ප්‍රයෝජන අරං යනවමයි. ඒත් ඇත්තටම ආදරෙං ඉන්න ඕන කෙනෙක් ඒ නිදහස ඇතුළෙ ආදරෙං ඉඳී. සතුටෙන් ඉඳී. ආදරේ වැඩි කර කර ඉඳී. සතුට බෙද බෙද ඉඳී. මේක මුලදිම තේරුං අරං කතා බහ කරගෙන ජීවිතේ ඉස්සරහට යන එක තමයි හොඳම. එහෙම නෙවෙයිද ළමයි…”

“අනේ මිස්…මිස් හරියට පාඩම් පොතක් වගේ”

“ඇත්ත මිස්. අපි අතරෙත් ඒ වගේ ප්‍රශ්න නැතුව නෙවෙයි. මිස් කියපු දේවල් නිසා හිතන්න අලුත් පැති ගොඩක් ඕපන් වුණා වගේ. මං වුණත් රණ්ඩු වෙනව ගස්සනව පුප්පනව එයා යාළුවො එක්ක චුට්ටක් හරි ඩ්‍රිංක්ස් අරං ආවොත්. අපේ පැත්තෙත් වැරදි තියං ඒ පැත්තට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑනෙ”

“ඔයාල මේව මෙහෙම තේරුං ගන්න එක තමයි ළමයි වටින්නෙ”

“කස්ටමර් කෙනෙක්”

තරුණියන් දෙදෙනා ඔවුන් ගේ වට මේස සාකච්ඡාව නවතා තබා නැගී සිටියේ පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා සපුරා ලනු වස් ය. සන්තුෂී සිය පරිගණකය ක්‍රියාත්මක කොට තබා ජංගම දුරකතනයෙන් මුහුණු පොතට ද මඳකට එබී නැගී සිටියා ය.ආවේ පාරිභෝගිකයන් දෙදෙනෙකු බව ඇය ට යන්තම් පෙනිණ. සන්තුෂී අසුනෙන් නැගිට සිනහ මුහුණකින් ඇතුළත කාමරයෙන් පිටතට ආවා ය. ඇය තිගැස්සී ගියේ කැඩපත ඉදිරි අසුනේ හිඳ ගෙන උන් යුවතිය දුටු විට ය.

“පොත දුන්නද අංජලී…”

සන්තුෂී නො සැලකිලිමත් ලෙස විමසුවා ය.

“ආ..නෑනෙ”

“ගේන්නකො ඒක..මොකද්ද ළයංගි..හෙයා කට් එකක්ද…”

“ඔව් මිස්”

“හරි මං කරන්නං”

සන්තුෂී දවසේ ප්‍රථම පාරිභෝගිකයා වෙත සමීප වූයේ කැඩපතින් බලා ඇය ට සිනහවකින් සංග්‍රහ කරමිනි.

“ඔයාට කොහොම කට් එකක්ද ඕනෙ..”

“ඉස්කෝලෙට ප්‍රශ්නයක් නැති විදිහට”

දැරිය ලැජ්ජාශීලී ලෙස සිනහ වූවා ය.

“මිස්..පොත..”

“හරි තියන්න අංජලී. ඔය දෙන්න එහෙනං අර වෙඩින් සාරි එක වර්ක් කරන වැඩේ කන්ටිනිව් කරන්නකො. බීඩ්ස් ඉවර නෑනෙ නේද..”

“නෑ මිස්”

තරුණියන් දෙදෙන ඇතුළු කාමරයට ගිය විට සන්තුෂී පාරිභෝගික යුවතිය ගේ මුහුණ දෙසත් ඇය හා පැමිණ සෝෆාවේ අසුන් ගෙන හිඳින වැඩිහිටි කාන්තාව දෙසත් මාරුවෙන් මාරුවෙන් බැලුවා ය.ඊළඟට ඒ තීරණාත්මක ප්‍රශ්නය ඇසුවා ය.

“ඔයා සදෙව්මා නේද…”

යුවතිය සිනහවෙන් විකසිත ව හිස හරවා සන්තුෂී ගේ මූණ බැලුවා ය.

“අක්කිට මාව මතකද…”

“ඔයා මීට කලින් ආවනෙ…මට මතකයි. ටික කාලයක් ආවෙ නෑ නේද..”

“ඔව්නෙ.. අපි දැන් මේ පැත්තෙ නෙවේ ඉන්නෙ. වෙන කැනකින් හෙයා කට් එක දාන්න මට හිතුන්නෑ. මේ…දැන් වැවිල.පෝනියක් දාගෙනයි ඉස්කෝලෙ යන්නෙ”

“අද ඉස්කෝලෙ ගියෙ නැද්ද…”

“නෑ. මේ දවස් වල ස්පෝට්ස් මීට් වල ප්‍රැක්ටිසස් නිසා වැඩක් කෙරෙන්නෑ ලොකුවට..කොණ්ඩෙ කපන්න එන්න ඕන නිසාම අද ගෙදර නැවතුණා”

හදවත ඒ තරම් වේගයෙන් ගැහෙන්නේ සතුටට ද වෙනයම් හේතුවක් නිසා ද කියන්නට සන්තුෂී දැන සිටියේ නැත. ඇගේ ඇතුළාන්තය බෙහෙවින් කලබල වී තිබිණ..නමුත් ඕ පිටතින් ඒ බවක් නො පෙන්වා ඉන්නට හැකි තාක් තමන් පාලනය කර ගත්තා ය.

“අද අම්ම එක්ක නෙවේද ආවෙ…”

“අර අම්මම්ම. අක්කිට අම්මිව මතකද…”

“මට අක්කි කියන්නෙපා අනේ..ඔයාටත් වඩා ලොකු අයියෙක්ගෙයි අක්කෙක්ගෙයි අම්මෙක් මම”

සදෙව්මා වඩාත් සොඳුරු ලෙස සිනහ වූවා ය. 

“ඒ වුණාට ඔයාට අක්කි කියන්නැතුව ආන්ටි කියන්නද…අම්මෝ…ඔයා වගේ ලස්සන යං කෙනෙකුට…”

එවර ඔවුහු දෙදෙනම සිනහ වූහ. සදෙව්මා සමග ඒ තරම් පහසුවෙන් සුහද විය හැකි වීම ගැන කලබලකාරී සතුටක් සන්තුෂී ට විය. නමුත් දැන් ඊළඟට කළ යුත්තේ කුමක් දැයි ඇය ට සිතා ගත හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles