රිදුණු තටු පිරිමදිමි – 25

අංජන ගේ හිතේ කප්පරක් සිතිවිලි පෙළ ගැසී තිබිණ. සන්තුෂී සිරිවර්ධන ගේ අතීතය සේ ම වර්තමානය ද ඔහු ට ප්‍රහේළිකාවකි. ඔහු ඒ ප්‍රහේළිකාවේ කොටු අතරේ අතරමං ව සිටියේ ය. සන්තුෂී කියන්නේ ඔහුට අමුත්තෙකු නොවේ. අවුරුදු විසි ගණනක් තිස්සේ ඔහු ගේ හදවත බදා ගෙන සිටින්නියකි. ඒ හුරුපුරුදු කමෙන් දින කිහිපයක් තුළ ඔහු ඇයට බෙහෙවින් සමීප වී ද ඔහු නොදන්නා පෞද්ගලික ජීවිතයක් ඇයට තිබේ. ජීවිතය ගැනත් ආදරය ගැනත් කවි වගේ ලසසන වදන් වලින් ඔහු ගේ හිත හදන්නට තැත් කළ සරස්වතී දෙව්දුව බිඳ වැටුණු විවාහයක් ඉදිරියේ සිට ගෙන සිටිනවායි ඔහු කොහොම විශ්වාස කරන්න ද?

ඒ රාත්‍රී භෝජනය සිනා කතා මැද සිදු විය. හැම හදවතක ම ඒ සිනා කතා වලින් මුවහ කරන්නට හදනා  සංවේගයක් හා සන්තාපයක් තිබිණි. මිනිස්සුන්ට ජීවත් වීමේ දී කෙතරම් බරපතල වූ රංගනයක යෙදෙන්නට සිදු වන්නේ ද? සන්තුෂී සිටියේ ඉතා ඉක්මනින් ඒ සන්තාප සාගරය තරණය කොට අවසන් කිරීමේ සටනක ය.

සමු ගත්දී රාත්‍රිය අඳුරට තුරුලු ව සිටියේ ය. තප්ති ගේ සැමියා ඇය හා දරුවන් කැටිව යන්නට රැකියා ස්ථානයේ සිට වෙරළාශ්‍රිත ආපන ශාලාව වෙත පැමිණ සිටියෙන් සන්තුෂී හා ස්වර්ණකාන්ති යා යුතු වූයේ තනිව ය. 

“මේ වෙලාවට වාහන අඩුනෙ. අපි එකටම යං”

අංජන සිය රියට නැගෙන්නට පෙර සන්තුෂී ට කීවේ ය. ඒ වෙලාවේ ඔහු ගේ ඇස් වල වූයේ ඇය තනි කරන්නට බැරි, නමුත් වෙනත් කිසිදු විකල්පයක් නොවීම ගැන පසු තැවීමකි. කරන්නට ඕනෑ ම දෙයක් වුව කර ගත නො හැකි වෙන වෙලාවල් ජීවිත වලට උදා වේ. ඒ මොහොත වල තැවරී තියෙන්නේ දරා ගන්නට අසීරු අසරණ කමක් විතර ය.

අංජන ගේ ඇස් කාන්දම් වාගේ සිය ඇස් වල ඇලෙනා බවක් සන්තුෂී ට දැනිණ. අසන්නට කියන්නට දැනගන්නට ඕනා බොහෝ දේවල් ඒ ඇස් වල විය. සිහින් රිදුමක් හැරෙන්නට වෙනත් යමක් සන්තුෂී ට දැනුණේ නැත. ඇයට කොහොමත් නිර්වින්දනයක අවශ්‍යතාව විය. 

සන්තුෂී ගේ රියට පිටුපසින් අංජන සිය රිය ධාවනය කළේ ය. කොට්ටාවේ දී ඔවුන් දෙපසට යා යුතු තැන දී සන්තුෂී රිය නතර කළා ය.

“එහෙනං අපි මෙතනිං හැරෙනවා”

රිය කවුළුවෙන් බලා ඔහුට එසේ කියා ඇය රුක්මලේ පාරට රිය හැරවූවා ය. නමුත් අංජන ගේ රිය පිටුපසින් ආවේ ය. සන්තුෂී යළිත් ඉදිරියේ නතර කළා ය.

“ඇයි…”

“යංකො. මං ඕගොල්ලංගෙ ගේ ළඟට ගිහින් ආයෙ එන්නං”

පපුවේ පිච්චීමක් මොහොතකට ඇය අත් වින්දා ය. ඒ සංවේදනය ඇස් දවා ගෙන ගියේ ය.

“හරිම හොඳ කොල්ලෙක්”

ස්වර්ණකාන්ති තෙපලනු සන්තුෂී ට ඇසුණේ සිහිනයකින් සේ ය. ඇය හා හ්ම් කියන්නට ගියේ නැත. ඔවුන් ගේ පිවිසුම් දොරටුවෙන් රිය ඇතුළට දමා සන්තුෂී අංජන වෙත ආවා ය. ස්තූති කරන්නට නො හිතෙන මොකක්දෝ තමන් ගේ කමක් ඇයට දැනිණ. 

“මට කතා කරන්න ඕන ඔයා එක්ක”

අංජන ඉක්මනින් එසේ කීවේ ඒ හිත් බර දරා ගෙන තවත් දුර යා නො හැකි වූ නිසාවෙනි. සන්තුෂී පිනිබර පොළොවට මඳහසක් පෑවා පමණකි.

“පරිස්සමෙං යන්න එහෙනං”

ඇය තෙපළුවා ය. එතකොට ස්වර්ණකාන්ති එතැන ය.

“අනේ ඔව් පුතේ. ගිහින් සන්තුට කෝල් එකක් දෙන්න හොඳේ…ගෙදර ගියා කියල”

හැම සමු ගැනීමක් ම වේදනාවක් හෝ නො තේරෙන ශෝකයක් හෝ ආත්මීය පාළුවක් ශේෂ කරයි. මේ වෙලාවේ මේ අඳුරේ ඇයට දැනුණේ ඒ අතරින් කුමක් දැයි වෙන් කොට හැඳින ගන්නට සන්තුෂී උත්සාහ කළේ නැත. එකකින් එකක් වෙන් කොට හැඳින ගත නො හැකි තරමට ඇය හැඟුම් පොදියක බර දරා සිටියා ය. එය මේ මොහොතේ වෙන් වීමට පමණක් අදාල වූවක් නොවේ.

ඒ රාත්‍රියේ කලප බණ්ඩාරතිලක දුරකතන ඇමතුමක් දෙතැයි බලාපොරොත්තුවක් සන්තුෂී ට වූයේ ම නැත. ඔහුත් ගෙදර පැමිණි වෙලාවේ පටන් කතා කරනවා ද නැත්ද යන දෙගිඩියාවේ පසු වී අවසන තීරණයක් ගත්තේ ය.

“ඔන්න මං නඩු දැම්මා. එදා මට චැලේන්ජ් කළානෙ”

සමහර හමු වීම් ජීවිතය තුළ කවදාවත් සිදු නොවුණා නම් හොඳය කියා හිතෙනා අවස්ථා උදා වන්නේ ය. මේ මොහොත තුළ සන්තුෂී තුළ ඉපිද පැන නැගුණා වූ ප්‍රථම සිතිවිල්ල ඒ ය. 

“සිතාසි ආව”

ඇය වියළි හැඟීමකින් කීවා ය.

“ගෙදර ආවනං ඔය කිසි දෙයක් නෑනෙ. දැන් වුණත් ප්‍රමාද නෑ. ඔයා එනවනං මං නඩුව අයින් කර ගන්නං”

“ඒක අයින් කර ගන්න එපා”

ඒ තරම් සන්සුන්ව ඔහු අමතන්නට දිරියක් ලැබුණේ කොහෙන්ද කියා සිතා බලන්නට ඇයට උවමනා විය. නමුත් මේ ඊට වෙලාව නොවුණේ ය. ශ්වසනයෙහි අවහිර වීමක් සන්තුෂී ට දැනිණ. හුස්ම හිර කර ගන්නට ඇයට ඕනෑ නැත. නමුත් ඕනෑ නැති දේ පවා ඇතැම් අවස්ථා වල සිදු වේ. සන්තුෂී ඕනෑ කමින් පපුව පිරෙන්නට හුස්ම ගත්තා ය.

“ඔයා ලොකු උදව්වක් කළේ ඒ වගේ නඩුවක් දාල…අවුරුදු විසි ගාණක් එක වහළක් යට ජීවත් වෙලා තියෙන්නෙ මොන විදිහෙ මිනිහෙක් එකක්ද කියල තේරුං ගන්න අලුතෙන් පාරක් හදල දීල”

“ගෙදර ආවනං ඕව නෑනෙ”

කල්ප ගේ හඬ දුර්වල ව ගියේ ය. වීරයෙකු සේ පෙනී සිටින්නට කෙතෙක් උවමනා වී ද එසෙ කළ නො හැකි ව අන්ත අසරණ වෙන අවස්ථා මිනිස් ජීවිත වලට උදා වේ. වැරදි නොකළා සේ පෙනී සිටින්නට කෙතෙක් උත්සාහ කළ ද බරපතල වරදක් කළ මිනිසෙකු හට සිය හෘදය සාක්ෂියෙන් ගැලවීමක් ලද නො හැකි මොහොතක් උදා වන්නේ ය. තමන්ටම තමන්ගේ උදාරත්වය පෙන්වනු වස් කල්ප විසින් නගා ගෙන සිටි අහංකාර හිනාව පරාජිත වෙමින් තිබිණ. ඔහු ගේ කම්මුල් වල මාංශ පේෂීන් ගැහී ගියේ ය. 

“කොහොමද කල්ප ඔයා එහෙම දෙයක් කළේ…ඩිවෝස් එකට හේතුව විදිහට මං අනාචාරෙ හැසිරුණා කියල දැම්මෙ…ගෑනියෙක් තමන්ගෙ ගේ ඇතුළට වෙලා තමන්ගෙ ළමයි බලාගෙන උන් වෙනුවෙන් ජීවිතේම කැප කරගෙන අවුරුදු විසි ගාණක් ජීවත් වෙන එකට කියන්නෙ ඒ ගෑනි අනාචාරෙ හැසිරෙනව කියලනං…තමන්ගෙ මිනිහ වෙන ගෑනු එක්ක කෙලවරක් නැති අප්පිරිය සම්බන්දකං ඇති කරගෙන ගෙදර එද්දිත් ඒ මිනිහට කෑම ටික උයල රෙදි ටික හෝදල ගෙදරක් බලං ඉන්න එකට කියන්නෙ අනාචාරෙ හැසිරෙනව කියලනං…හැමදාම එහෙම මිනිහෙක්ගෙ ඉඳුල් කකා නින්දා විඳින ගෑනියෙක් වෙන්න ඕන නෑ කියන එක තේරුං අරං තමන්ගෙ ශක්තියෙන් තමන්ගෙ කකුල් දෙකෙන් නැගිටින්න හදන එකට කියන්නෙ අනාචාරෙ හැසිරෙනව කියලනං…තවත් එහෙම මිනිහෙක් එක්ක එක ගෙදරක ඉන්න බෑ කියන තීරණය අරං තමන්ගෙ දෙමව්පියො ළඟට එන එකට කියන්නෙ අනාචාරෙ හැසිරුණා කියලනං…මං ඒ අනාචාරෙ හැසිරීමට කැමතියි කල්ප. ඔයා නඩු සීයක් වුණත් දාන්න. මං ආයෙ ආයෙත් අනාචාරෙමයි හැසිරෙන්නෙ. එතකොට ඔයාගෙ චාරෙට කියන නම මොකද්ද කියලත් මට කියන්න පුළුවන්ද කල්ප… ඔයා කිව්වනෙ දැං වුණත් ගෙදර එන්න පුළුවන් කියල…අනාචාරෙ හැසිරුණා කියල මුළු ලෝකෙම මට ගල් ගැහුවත් මං ආයෙ ඔයාගෙ ගෙදරට ඇවිත් සුචරිතය හිඟා කන්නෙ නෑ කල්ප. මිනිහෙක්ට පුළුවන්නං තමන්ගෙ නිර්දෝශී බව හොඳාකාරව දන්න ගෑනිට අනාචාරෙ හැසිරුණා කියල චෝදනා කරන්න…ඒ මිනිහෙක් නෙවේ බල් ලෙක් කල්ප. සංසාරෙ කිසි දවසක හමු වෙන්න එපා කියල මං බ්ලැක් ලිස්ට් කරනව කල්ප ඔයාව. ආදරේ විදිහටත් සමහර සංසාර කරුම ජීවිතේට එනව. ඒ කරුම ගෙවා දාල ඉවර කරන එක තමයි ලොකුම සතුට. අපි මෙතනින් නතර වෙමු කල්ප. බොහොම ස්තූතියි”

සන්තුෂී දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. දුරකතන ඇඳ මතට විසි කළ ඕ හයියෙන් හුස්ම ගන්නට වූවා ය. ඇයට හැඬෙන්නේ දැන් ය. කාමරයේ දොර වසා ගෙන සන්තුෂී ඉකි බිඳ බිඳ හැඬුවා ය. ඒ කඳුළු කුමක් අරබයා දැයි ඇය නිශ්චිත ව නො දැන සිටියා ය. නමුත් ඇය ට අනාචාරයේ හැසිරීමක් ගැන චෝදනා එල්ල වීම, ඒ කිසිදු කඳුළක් තුළ දිය වී නොතිබුණේ ය. 

රාත්‍රයේ ම දියණියටත් පුතනුවන්ටත් වෙන වෙනම කතා කළා ය. දික්කසාද නඩු දමා තිබෙන්නේ ඔවුන්ගේ පියා විසින් වීම ඇයට පහසුවක් විය.

“තාත්තිට ඩිවෝස් එක ඕනනං ඒක සිද්ද වෙන්න ඕන පුතේ. අපි දෙන්නා ඩිවෝස් වෙන එක ඔය දෙන්නට කොහොමවත් බලපාන්නෙ නෑ. ඔය දෙන්නගෙ දේකදි තාත්ති වගේම අම්මිත් ඉන්නව. ඕගොල්ලො දැන් ලොකුනෙ. තේරුං ගන්න පුළුවන්නෙ මේ වගේ කන්ඩිශන් එකක්…”

දියණිය යසස්වී මේ පුවත ගැන මඳක් කම්පිත වී ද පුතු මේඝ උපේක්ෂා සහගත වූයේ ය. 

“එකට ඉන්න බැරි දෙන්නෙක් ඩිවෝස් වෙන එක ශොක් වෙන්න ඕන දෙයක් නෙවේ. ජීවිතේකට එතික්ස් තියෙන්න ඕන. අනිත් කෙනාට තමන් එක්ක ගමනක් යන්න බැරිනං වෙනම එයාගෙ ගමන ඉඩක් තියෙන්න ඕන. ඔයා මේක ගැන හිතන්න ඕන එහෙම”

මේඝ සිය නැගණිය ගේ හිත හදන්නට එසේ කීවේ ය. අම්මා ගැන දුකක් කවදටත් ඔහු ගේ හදෙහි වූ බව පිළිගත යුතු ය. යසස්වී වැඩිපුර පියා ට ළෙංගතු වූවා ය. නමුත් තාත්තා සේ ම අම්මා ද ඇයට නිරතුරු ඕනෑ විය. ඒ නිසා මේ වියෝගය මේඝට වඩා ඇයට බලපෑවේ ය. 

රාත්‍රිය ගෙවා අහවර සන්තුෂී අවදි වූයේ අලුත් දිනයකට ය. අලුත් ජීවිතයකට ය. ඇය මඳහසකින් මුව සරසා ගෙන අලුත් උද්‍යෝගයකින් අලුත් දිනය ඇරඹුවා ය.

“අදත් ගෙදර හිටියනං හරිනෙ”

කියා ස්වර්ණකාන්ති කී විටත් සන්තුෂී කළේ හිනැහෙන එක ය. 

“සිද්ද වෙන කිසි දෙයක් නිසා ලෝකෙ නතර වෙලා තියෙන්නෙ නෑනෙ අම්මෙ. ඒ නිසා අපිටත් වැඩි කල් එක තැන නතර වෙලා ඉන්න බෑ”

ඇය හිත හදා ගෙන නම් ස්වර්ණකාන්ති ට ඒත් ලොකු දෙයකි. නමුත් දියණිය ගේ අනාගතය ගැන අලුත් බරක් දැන් ඇගේ හිත මත පැටවී තියේ. ඇය විසින් ආදායම් මාර්ගයක් තනා ගෙන තිබෙනා බැව් සැබවි. නමුත් අඩු තරමින් දරු දෙදෙනා හෝ ඈ අසලක නැත. තමන් ද ලෝකයෙන් නික්ම ගිය දා ක දියණිය තනි නොවේවිද යන ප්‍රශ්නය ඒ බර හා බිය ජනිත කළා වූ හේතුවයි.

සන්තුෂී මෝටර් රථය පාරට දමනා විට ය දුටුවේ. අංජන ගේ රිය මඳක් ඉදිරියෙන් නැවතී තිබිණ. ඇය ඔහු ට ඉදිරියෙන් රිය නවතා ඉන් බැස ගත්තා ය.

“ඇයි…”

හිතේ අමුතු ගැස්මක් තිබිණ. නමුත් ඒ නො පෙන්වා ඉන්නට සන්තුෂී වග බලා ගත්තා ය.

“මාත් එක්ක යං”

අංජන ගේ ඇස් වල වූයේ ඉල්ලා සිටීමක් ම නොවේ. මේ වෙලාවේ ඔහු ට එකඟ නොවී ඉන්නට ඇයට ඕනෑ වූයේ නැත. වහා ම රිය වෙත ගොස් රිවර්ස් එකකින් ම ඇය යළි එය ඇතුළට දැමුවා ය. ස්වර්ණකාන්ති ගෙතුළට යමින් සිට රිය හඬට නතර වී යළි ඉස්සරහාට ආවා ය.

“මිස් එකක්. හවසට බලනව”

අත් බෑගය ගනිමින් සන්තුෂී ඉක්මන් කොට ගේට්ටුව වැසුවා ය.

“ටැක්සියක් කතා කර ගන්න එහෙනං”

ස්වර්ණකාන්ති ඉස්තෝප්පුවේ සිට ම කීවා ය.

සන්තුෂී අංජන ගේ රියට ගොඩ වූයේ කවරාකාර හැඟීම් සමුදායක් සහිතව දැයි කිව නො හැකි ය. ඔහු නැඹුරු වී ආසන පටිය තද කරත්දීත් ඇය නො සෙල්වී සිටියා ය. සැබවින් මේ වාගේ ඔහේ සිටීමක්, කිසිවක් කරන්නේ කියන්නේ නැතිව, තමන් ගැන ම හෝ වගකීමක් ගන්නේ නැතිව, තමන්ව ද මුළුමනින් අතැර නිශ්චල වීමක් ආත්මය විසින් ඉල්ලා සිටිනු ලැබූ බව ඇයට දැනුණේ ඒ වෙලාවේ ය. ඕ අසුනෙහි වතට හිස බර වෙන්නට හැර නිසල වූවා ය. රිය හෙමිහිට ඉදිරියට ඇදෙන්නට ගති.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles