ඇලීම තරමට මිදීම පහසු නැති බව මලිති අවබෝධ කරගෙන සිටියා ය. එහෙත් ඇය වසර ගණනක අතීතයේ සිට අද දක්වාම නවීන් හන්දා ලැබුණු දේ ද ගිලිහුණු දේ ද සටහන් කර බලන්නට තීරණය කළා ය.
තරාදියක බර වැඩි පැත්තක් අනිවාර්යයෙන් තිබේ.සිත සනසා ගත් දවස් වලට වඩා සිත රිදවා ගත් බවත් රිද්දා ගනිමින් විඳවමින් සිටිනවාට වඩා කළ යුතු වන්නේ නික්මීම බවත් මලිති තේරුම් ගනිමින් සිටියා ය.
“කාලයකට පසු ප්‍රේමයෙනි,
අත අත් හැරීම ප්‍රේමය බව මම නොදැන සිටියෙමි. අඩුම තරමේ තාරකා දෑස් බව මා සිතූ දෑස නව යෞවනියක කාලයේ ප්‍රතික්ෂේප කිරීමේ වරදට දඬුවම් විඳින්නට හෝ මට උවමනා ය.
ඔබේ ප්‍රේමය පිළි ගැනීමට තිගැස්මෙනි, එහෙත් ඔබ සමඟ ජීවිතයක් ඇරඹීමේ උවමනාවෙනි.
මලිති ඇගේ දිනපොත ලියා තැබුවා ය. දිනෙක තුහිනට මේ සෑම සටහනක්ම පෙන්වන සිහිනයක් ඇයට තිබිණි. ඒ අතීතයේදී ය. ඔහු සමීප වීමෙන් පසු ඒ සටහන් ඔහුට කොහෙත්ම නොපෙන්වන තරමට ලැජ්ජාවකින් ඇගේ හිත පිරී තිබේ.
“මට උඹේ ඇනෙක්ස් එකට එහා පැත්තේ එක ගන්න ඕන. මම කී මනිත් අරගෙන ආන්ටි ලසිකා මීට් වෙන්න දැන් එනවා.”
ඒ පණිවිඩය දෙස රුවිනි බලා සිටියේ මඳහසකිනි. ජීවිතය සම්බන්ධ තීරණ ගන්නට බොහෝ ලතැවෙමින් ඒ තීරණවලට පසු සිදුවන දේ ගැන අනාවැකි පළ කරමින් විඳවූ මිතුරිය අතුරුදහන් වී ගොස් තිබේ. අඩුම තරමේ තමන්ගේ ජීවිතය රැකගැනීම ගැන හෝ සිතන යුවතියක නිර්මාණය වෙමින් තිබේ.
“අනේ මේ මං අස්සට එන්නෙ නැතුව වෙන තැනක් හොයාගන්නවකො.”
රුවිනි සරදමට එසේ කියද්දී පවා මලිති වෙනදා මෙන් සසැලුණේ නැත.
“ඔයාට ඇත්තටම කරදරයක් නම් මං වෙන තැනක් බලන්නං.”
රුවිනි උස් හඬින් හිනැහුණා ය. ඇය සිටියේ සතුටිනි. මලිති පීඩා නොවිඳිමින් ඇය ගැන තීරණයක් ගැනීම ගැනත් කිසිවෙකුත් ගැන බලාපොරොත්තු තබා නො ගනිමින් ස්ථාවර වීම ගැනත් රුවිනිට සතුටක් දැනේ.
“දුව කසාද බැඳලානෙ හිටියේ. ඇයි මේ තනියම තැනක් හොයන්න.”
නිවස පෙන්වා ගනුදෙනු කතාබහ කරගත් පසු ලසිකා උපැස් යුවලට යටින් බලමින් විමසුවා ය. මලිති සමහර අවස්ථාවලදී රුවිනිව දකින්නට ආවේ තරුණයෙකු සමඟ බව ඇයට මතක ය. ඒ මිතුරියගේ ප්‍රේමවන්තයා නොව ස්වාමිපුරුෂයා බව පැවසුවේ රුවිනි ය. ගැහැණු ළමයින්ට නවාතැන් සපයන කාන්තාවක් වශයෙන් ලසිකාට එවැනි කාරණා ඕනෑවටත් වඩා හොඳින් මතක ය.
“මේ කාලේ ලංකාවේ ඉතුරු වෙන්නේ ආන්ටි, අපි හත් අට දෙනෙක් විතරයි. හැමෝම රට යනව අනේ. නවීන් අයියත් ඉංග්ලන්ඩ් යනව.”
රුවිනි වහා මුසාවක් ඇද බෑවා ය. එවැනි අවස්ථා කොපමණ ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවේ දැයි සිතමින් මලිති මුහුණ අඳුරු කරගත් නිසා රුවිනිගේ මුසාවට ලසිකා කම්පා වන්නට ගත්තා ය.
“අයියෝ ඉතින්! දෙන්නත් එක්කම යන්නකො.”
මේ මොහොතේ මලිතිට ඒ රටේ රැකියා අවස්ථාවක් නොමැති බවත් ඇය රෝගී තත්ත්වයෙන් පසුවන මවුපියන්ව තවම අධ්‍යාපනය හදාරන නැගණියට පවරා විදෙස් ගත වන්නට අකමැති බවත් රුවිනි විස්තර කරන්නට පටන් ගත්තා ය.
“අම්මලාට මෙහෙ ඇවිල්ලා ඉන්නත් බෑ. එයාලට ඉතිං පුරුදු ගමේ නිදහසේ ඉඳලනෙ. ඒ හන්දා කරන්නේ මොකක්ද කියලා කල්පනා කරද්දී නවීන් අයියම තමයි කිව්වේ මං ඉන්න තැනම නවත්තා ගන්න කියලා.”
රුවිනි දිගින් දිගටම විස්තර කථනය ඉදිරිපත් කරන්නට පටන් ගත්තේ ලසිකාගේ සම්පූර්ණ විශ්වාසය රැකෙන පරිද්දෙන් ය. ඒ හන්දා මලිතිට නවාතැන දෙන්නට ලසිකාගේ කිසිම පැකිලීමක් ඇතිවූයේ නැත.
“ගේ ගත්තා කියලා සුදු අම්මට කිව්වද?”
ගනුදෙනු පියවා ලසිකාගෙන් සමුගෙන රුවිනිගේ නිවස තුළට පැමිණි වහා රුවිනිට අසන්නට ප්‍රශ්නයක් විය. මව්වත්කම පැමිණෙන්නේ හැඟීම් වලින් බව මලිතිගේ සුදු අම්මා හන්දා රුවිනි වටහාගෙන තිබේ. මලිති මේ ගැටළු ඔවුන්ගෙන් සඟවා පලක් නොවේ.
“ෆෝන් වලින් මේවා කතා කරන්න බෑ. මේ සති අන්තෙ සිකුරාදත් නිවාඩු එකේ මම හිතුවේ ගමේ යන්න. ගිහිං සුදු අම්මා එක්ක කතා කරලා තාත්තටත් කියනව.නංගි නම් මම මනුස්සයෙක් මැරුවත් මං වෙනුවෙන් හිරේට වුණත් යන එකීනෙ. මට හොඳටම විශ්වාසයි සුදු අම්මයි තාත්තයි මාව තේරුම් ගනී කියලා.”
මලිතිගේ හඬ පැහැදිලි ය. රුවිනි ඇයට කෝපි කෝප්පයක් පිළි ගන්වන අතර උරහිසට අතක් තැබුවා ය.
“ඕනනම් මාත් එන්නං. හැබැයි අපි මේ වෙලාවේ කතා කරන්න ඕනේ නවීන්ගේ ප්‍රශ්න විතරයි කියලා මතක තියාගන්න. තුහින ගැනවත් ශේන්යා බබා අපි දැන්ම කියන්න හදිසි වෙන්න ඕන නෑ.”
රුවිනි ද ඒ ගමනට සහභාගී වීම මලිතිට ශක්තියකි. ඇය ශේන්යාගේ සිඟිති මුහුණ සිහි කළා ය. සුදු අම්මා මලිතිව සෙනෙහසින් වැළඳ ගත් ඇයට අම්මා වූ ගැහැනිය ය. වෙන කිසිවෙකුටත් වඩා ශේන්යා කෙරෙහි බැඳෙන ඇගේ සිතුවිලි තේරුම් ගන්නට සුදු අම්මාට හැකි වනු ඇත.
(මල් තුහින ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් තබා යන්න.)