අංජන එදා සදෙව්මා ගේ හිත හදා නැවතත් වින්දි ළඟ රඳවා ගියේ වැඩි විය පත් ගැහැනු ළමයෙකුට වැඩි ම ආරක්ෂාවක් ඇත්තේ අම්මා ළඟ බව දන්නා නිසා ය. නමුත් එවක් පටන් වින්දි සදෙව්මා කෙරේ හැසිරුණේ නො පැවතිය යුතු සැකයක් හිතේ දරා ගෙන ය. අම්මෙකු නොව කුඩම්මෙකු සේ දියණිය ට තරවටු කරන්නට වූවා ය. ඒ වෙලාවේ තාත්තා ගේ පැත්ත ගැනීම ගැන දොස් කීවා ය. කියවූවා ය. හැඬුවා ය. වින්දි ගේ මේ තත්වය වටහා ගෙන අනුකම්පා කරන්නට තරම් ඇය මනසින් වැඩී නො තිබූ අතර, අම්මා ගේ හැසිරීම් විකාරයක් සේ දකිනා එක ඇයට වඩා පහසු විය. ඇය එසේ නො රිස්සුම් වෙත්දී වින්දි ගේ පැත්තෙන් එල්ල වූ පීඩනය තව තවත් වැඩි විය.
“ඒ ගමන උඹ මේ කෙල්ලවත් කන්න පටන් ගත්තද…ළමයව හදන්න උඹට බැරිනං ළමයගෙ තාත්තට බාර දියං. එතකොට ඉවරනෙ..”
මව් පියෝ වින්දිට අනතුරු ඇඟවූහ. නමුත් වින්දි සිටියේ ඇගේ ම අඳුරු ලෝකයක් තුළ ය. ඒ ලෝකයෙහි ඇයට විශ්වාස කළ හැකි කිසිවෙකු වූයේ නැත. එහි විශ්වාසය කියන්නේ ඉතා විරල වූ දෙයක් විය. සදෙව්මා කෙරෙහිත් වින්දි සැකය ම පතුරුවන්නට වූවා ය. අම්මා හා දුව අතරේ නිතර බහින් බස් වීම් ඇති විය. වින්දි දරුණු වෙන්නට වෙන්නට සදෙව්මා මුරණ්ඩු වෙමින් සිටියා ය.
“ඔයා මාත් එක්ක නිකං බොරුවට රණ්ඩු වෙනෝ වගේ තමයි තාත්ති එක්ක රණ්ඩු වෙන්නෙත්. තාත්ති පව්. එයාගෙ කිසි වැරැද්දක් නෑ”
කේන්ති ගිය වෙලාවක සදෙව්මා වින්දි ගේ මූණට ම කීවා ය. වින්දි ගේ ඇස් වල ක්‍රෝධයේ ගිනි සිළු බුර බුරා දැල්විණ.
“ඔව් ඔව්. උඹල ඔක්කොටම දැන් ඒ මිනිහ ලොකු වුණා. මට හොඳ වැඩේ”
අම්මා අදත් සිය ජීවිතයට අනතුරක් කර ගැනීමේ උත්සාහයක් දරාවිද කියන බිය සදෙව්මා ගේ සිත්හි ඇති වුණත් ඇය මුරණ්ඩු කමට ඒ සිතිවිල්ල පලවා හැරියා ය.
දැන් ඇය පාසල් ගොස් පැමිණි පසු නිතර සන්තුෂී ට දුරකතන ඇමතුමක් දෙයි. ඒ විනාඩි කිහිපය සදෙව්මා ට සුවය දනවන්නකි. සන්තුෂී ගේ වචන ආදරණීය ය. ඇය නිතර ම තමන් සමග කතා කරන පුද්ගලයා වෙනුවෙන් හදවතින් ම පේ වී කතා කරයි. කාර්ය බහුල වෙලාවක නම් ඍජුව ඒ බව කියා පසු ව කතා කරයි. ඇගේ කතා බහ හිත හැදෙන විදිහේ එකකි. වින්දි කෙරේ බිඳුණු හිතින් ඇය නිතර ම සන්තුෂී ට දුක කීවා ය.
“ඔයාට හිතෙන ඕන දෙයක් කියන්න. ඕනම දෙයක් කියල හිත නිදහස් කර ගන්න. අනේ දරුවො ඒත් අම්ම ගැන කවදාවත් හිතේ තරහක් තියා ගන්න එපා. ඔය විදිහට කෙනෙක් නිකංම හැසිරෙන්නෙ නෑ. එයා මොකක් හරි මානසික ගැටළුවක ඉන්නව ඇත්තෙ. ඒකෙන් මිදෙන්න එයා ළඟ ඉන්න අයගෙන් උදව් ඕනෙ. ඒක නිසා පුළුවන් තරං එයාව තේරුං ගන්න බලන්න. ඒ වගේ ම කොහොම හරි එයාව සනීප කර ගන්න බලමු. ඔය තුන් දෙනාටම සතුටෙන් ඉන්න පුළුවන් වෙයි එතකොට”
ඒ අන්තිම ටික කියත්දී වෙනදා නො දැනෙන පපුවේ හිර වීමක් සන්තුෂී ට දැනිණ. උගුරේ රිදුමක් ඒ ආශ්‍රිත ව පැතිර ගියේ ය. සමහර වේදනා වලට නිශ්චිත හේතුවක් නො වන්නේ ය. නමුත් අනියම් ආකාරයකින් අවිනිශ්චිත හෝ හේතුවක් නො වෙතැයි පැවසිය නො හැකි ය.
මුලින් අංජන ගැන දැනුණා වූ අනුකම්පා සහගත හැඟීම, දුවෙක් දැක ගන්නට මහ මග ඉබාගාතේ කල් මරණා පියෙකු ගැන ඇති විය හැකි පොදු මිනිස් හැඟීමකි. නමුත් දැන් එය පෞද්ගලික වූ ද සිය හදවතට අයිති වූ ද වේදනාවක් බවට පත් ව තිබේ. එය වූ කලී කිසියම් සංකා හැඟීමකි. දැන හෝ නො දැන වැරදිකරුවෙකු වීම ගැන දෝමනස්සයකි. අංජන ගේ ඇස් වල මුල් දවසේ පටන් දුටු උමතු බව ඈ හා බැඳුණ එකක් බව දැනෙත්දී ඒ සානුකම්පාව පෞද්ගලිකත්වයට හැරී හදවත් කුටීර වල පිරී යයි. ඉනික්බිති ඒ හැඟීම මුහු වුණ රුධිරය සිරුර පුරා සංදරණය වීමෙන් ඇය මුළුමනින් එකී හැඟීම් ගුලියක් බවට පත් වේ. ඔහු ට එවැනි ඉරණමක් නිර්මාණය කොට දෙනු ලැබූවේ ඇය විසින් ද?
“ඕ මයි ගෝඩ්. මං කිව්වෙ අංජන ඔයාට කැමතියි කියල. දෙයියනේ ඒක අවුරුදු විසි ගාණක් තිස්සෙ පිරිමි පපුවක හිර වෙලා තිබිච්ච ආදරයක් කියල කවුද හිතුවෙ…කොල්ලගෙ ඇස් වල තිබුණෙ වේදනාවක් එක්ක කැළතුණ සැනසිල්ලක්. ඔයා නොලැබී ගිය දුකයි ආයෙ ජීවිතේ අතර මගකදි මුණ ගැහුණ සතුටයි දෙකම එයා විඳිනව. ඒක එයාගෙ ඇස් වලින් එළියට එනව”
සන්තුෂී කෙරේ අංජන ගේ වූ අතීත ප්‍රේමය ගැන දැන ගත් වෙලාවේ තප්ති කියවා ගෙන ගියා ය.
“ඔයා මාව අඬවන්න හදන්නෙපා ඉතිං”
සන්තුෂී එසේ මිමිණුවේ දෙතොල් මත්තේ තවරා ගත් සිනහවක් එක්ක ය. නමුත් ඉකි බිඳ බිඳ හඬන්නට තරම් වන දුකක් ඈ තුළ තිබිණි. සිනහවකින් ඇතුළාන්තයේ වන දුක වහගෙන දැන් විසි වසරක් තිස්සේ ඇය ට පුරුදු ය.
“මං කිව්ව එදාම…ඒ ලෙටර් එක හරෝල යැව්ව කියල කියපු දවසෙම…එහෙම නොකර ඉන්නයි තිබුණෙ කියල. නිකමට හරි ඒක අරං කියෙව්වනං…මේ දේවල් මෙහෙම නොවෙන්නත් තිබුණා”
“මේක තමයි වෙන්න තිබුණ විදිහ තප්ති. ඉරණමේ ලියවිල තිබුණ විදිහ”
“එහෙනං ඉරණමේ ලියවිල තිබුණෙ ඔය දෙන්නා ඉපදිලා ඉන්නෙ ඔය දෙන්නා වෙනුවෙන් කියල තේරුං ගත්තට පස්සෙ එකතු වෙන්න වෙන්නැති”
පපුවේ සිට යටි පතුල් දක්වා ම සීතල වී යනු සන්තුෂී ට දැනිණ. ඇය කිසිත් නො කියා සුසුම පපුවේ හිර කර ගත්තා ය. වෙන්නට තියෙනා දේවල් ගැන අනාවැකි කියන්නට ඇය දන්නේ නැත. නමුත් පවුලක් යනු බිඳී විසිරිය යුතු නැති දෙයක් ය යන්න ඇගේ විශ්වාසයයි. සිය යුග දිවිය රැක ගන්නට බෝ කාලයක් ඇය උත්සාහ කළා ය. අන්තිම මොහොත තෙක් උත්සාහ කළා නොවේ. නමුත් අන්තිම මොහොතේත්,දෙවියන් නැති දෙවොලක් වැනි වූ, හදවතේ ඔහු නැති කුළ ගෙදර ජීවත් වූවා ය. ඒ සිය දරුවන්ට අම්මා හා තාත්තා යන දෙදෙනා ම සිටිය යුතු වූ බැවිනි. පවුලට අලුතෙන් එක් වන්නා වූ සැමියෙකු හෝ බිරිඳක අතින්, සැබෑ මවක ගේ හෝ පියෙකු ගේ භූමිකාව ඉෂ්ට සිද්ධ වේවියි ඇයට සිතිය නො හැකි විණි. යළි විවාහයකට එළඹියේ නැතිවා වී ද එක වහළක් යට මව් පිය දෙදෙනා ම සමග වාසය කරනා එක දරුවන් ගේ අභිමානය වේ. සිය නිදහස් ජීවිතය සොයා ගනු විනා වෙනත් පුරුෂයෙකු සොයා ගැනීම සන්තුෂී ගේ අභිප්‍රාය ද නොවිණි.
නමුත් දැන් ඇගේ හදවත එදා තත්වයෙහි නොවේ. තමන් ගැන සිතන, තමන්ට ආදරය කරනා පිරිමියෙකු තමන් ද නො දැන ලොව කොතැනක හෝ ජීවත් වී ඇති බව දැන ගැනීම ගැහැනු හදවතක් වෙනස් ම තානයකින් සුසර කරවන්නට සමත් වේ!
“අංජන ට තියෙන්නෙ අර ගෑනිව ඩිවෝස් කරල දාල ඔයාව මැරි කරන්න. සදෙව්මාත් ඔයාට කැමතිනෙ”
“තප්…ති…”
“ඒ වගේ යක්ෂණියක් එක්ක මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන්ද…සමගියෙන් සමාදානෙන් පවුල් කන්න බැරිනං ලෝකෙට පේන්න බොරුවට එතන ඉඳල වැඩක් නෑ කියල තමුසෙමනෙ කියන්නෙ”
“ඒක හරි. ඒත්…”
“තමුන්ට ඕනෙ මොකද්ද කියල තේරුං ගන්න මිනිස්සු අවංක වෙන්් ඕන කියල ඔයාමයි දවසක් කිව්වෙ සන්තු. දැන් ඔයාම උගුරට හොරෙන් බෙහෙත් ගිලිනව කියලයි මට හිතෙන්නෙ”
“මං හිතන්නෑ මට ආයෙ කසාදයක් ඕනයි කියල”
ඒ වචන ටික තමා තුළ ම දෝංකාර නැංවෙනවා සන්තුෂී ට ඇසිණි. දැනිණි. ඇය තමා තුළට නැඹුරු ව තමන් ගේ ආත්මයට සවන් දුන්නා ය. දුකක් වාගේ දෙයක් මීදුමක් සේ පා වෙමින් පැවතී ද ඒ මීදුම් දුකෙහි පැටලී ගත් කන්දක් සේ තමන් දරා සිටිනා බවක් ඇය වටහා ගත්තා ය.
දික්කසාද නඩුව ඇසෙමින් තිබිණ. බොහෝ විට ඊළඟ වාරයේ තීන්දුව ලැබිය හැකි බව නීතීඥවරයා සන්තුෂී ට දැනුම් දුන්නේ ය. ඇයට සැහැල්ලුවක් දැනිණ. ජීවිතයේ මේ මැද භාගය වන විට බැඳීම් වලින් ඇය නිදහස් වෙමින් සිටී. දරුවන් දෙදෙනා කොහොමත් යළි මෙදිවයිනට පැමිණේවියි සිතිය නො හැකි ය. ඉඳහිට එහි ගොස් ඔවුන් සමග ටික දිනක් ගත කොට පැමිණිය යුතු ව තිබේ. සන්තුෂී ට ඉතිරි වී තිබෙන්නේ අම්මා ගේ ජීවිත කාලය තුළ ඇය බලා ගෙන සිටිනා එක ය.
නමුත් ඇයට පාළුවක් නැත. දුකක් ද නැත. දරුවන් ව වුණත් හැම දා ඇගේ තුරුළේ හංගා ගෙන නො ඉඳ පියඹා යන්නට ඉඩ දිය යුතු යයි ඇය සිතා සිටියා ය. කවුරුන් සිටිය ද නැත ද ජීවිතය සතුටෙන් ගත කළ යුතු ව තියේ. හුස්ම වැටෙනා අවසාන මොහොත තෙක් සිනහ වීමට කාරණා සොයා ගත යුතුව තියේ.
“ඒ වුණාට මාත් නැති කාලෙක ඔයා තනියමයි කියල හිතන එක මට මහ බයක් චූටි පුතා. ඔයා පිළිවෙලක් වුණානං මට සැනසීමයි”
ස්වර්ණකාන්ති දික්කසාද තීන්දුව අත ළඟ බව දැන ගත් වෙලාවේ මඳක් කම්පිත වූවා ය. කල්ප වාගේ මිනිසෙකු ගෙන් සන්තුෂී නිදහස් වෙන එක ගැන අවංකව ම සතුටු වී ද ඇගේ හුදෙකලා අනාගතය ගැන සිතන්නට අම්මා වශයෙන් ඇය බිය ය.
අම්මා ගේ අදහසට සන්තුෂී තරමක් හඬ නගා සිනහ වූවා ය.
“මේ වයසක මං ආයෙ මොනා පිළිවෙලක් වෙන්නද අම්මෙ..”
“ඒක යස වයස. වයස කීය වුණත් ඔයා ලස්සන තරුණ ගෑනියෙක්”
“මං දැං ආස තනි ජීවිතේකට. ඒ නිදහස ඇතුළෙ තියෙන සතුට විඳින්න. අම්ම ඉන්නව…තප්ති ඉන්නව…එයාගෙ පොඩි උන් ඉන්නව…දුරක වුණත් හැමදාම පැය ගාණක් කතා කරන්න මගෙ කොල්ලයි කෙල්ලයි ඉන්නව…මදිද අම්මෙ…”
හදවතේ නොතේරෙනා ගැඹුරක හිඳ අංජන බලා සිටිනවා සේ ඇයට දැනිණ. ඔහු ඇය වෙනුවෙන් වසර විසි ගණනක් බලා හිඳ තිබේ. හදවතේ තියා ගෙන ප්‍රේමය පරිස්සම් කොට තිබේ. එහෙම ප්‍රේමයක් ගැන දැන ගැනීම ගැහැනියකට සංසාරයකට වෙනත් ප්‍රේමයක අවශ්‍යතාවයක් නොදනවන හේතුවක් වේ.
අංජන සන්තුෂී ට කතා නොකර සිටියේ ය. ඔහු ජීවිත කාලයක් හදවතේ සුරැකි සරස්වතිය ඇය කියා කිසිම විටෙක පවසනා සිතක් ඔහු ට වූයේ නැත. ඉතිරි කාලය ද ඒ රහස තමා තුළ ස සඟවා ගෙන මිය යාම ඔහු ගේ බලාපොරොත්තුව වී තිබිණ. නමුත් ඒ වෙලාවේ සියල්ල පුපුරා ගියේ අනපේක්ෂිත ආකාරයකට ය.
ඔහු ගේ කට හඬ හෝ අහන්නට නැතිව ගෙවෙනා හෝරාවන් වල කුමක්දෝ පාළුවක් සන්තුෂී ට දැනිණ. ඒ පාළුව ඉවසා ගත නො හැකි වූ වෙලාවක ඇය ඇමතුමක් ගන්නට දුරකතනය අතට ම ගත්තා ය. නමුත් හිත තද කර ගෙන යළිත් එය පසෙකින් තැබුවා ය.
අංජන දිග ම දිග ලියුම් වැනි පණිවිඩ ලීවේ ය. ඒවායේ තිබුණේ ඇය දුටු ඒ දවස ගැන ය. ඇය ගැන දැනුණ හැඟීම් ගැන ය. ඇගෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහු ගේ ජීවිතය ගැන ය. ඒ ජීවිතයේ ඇතිරී තිබූ හුදෙකලාව හා ශෝකය ගැන ය. ඒවා නැවත නැවත කියවමින් ඔහු සුසුම් හෙළුවේ ය. ඇතැම් විට තනිව කඳුළක් ද පිස දා ගත්තේ ය. නමුත් සන්තුෂී ට නො යවා ඒවා මකා දැමුවේ ය.
නමුත් සදෙව්මා තව තවත් සන්තුෂී ට සමීප වෙමින් සිටියා ය. ඉස්කෝලේ ළමයින් ගැන විස්තර සිනහ වෙවී කීවේ ඇයට ය. පාසල් සේවා වෑන් රියේ යන ආඩම්බර පිරිමි ළමයෙකු ගැන කියන්නට වුව සන්තුෂී ඇයට සම වයස් යෙහෙළියක වූවා ය. හිස රදයක් ගැන ද මාසික ඔසප් වේදනාව නිසා විඳිනා අසීරුතා ගැන ද අම්මාට සේ ඇයට කියන්නට දැරිය පුරුදු වෙමින් සිටියා ය. එවැනි වෙලාවක අම්මා ගෙන් සේ තරවටුවක් හෝ නො සලකා හැරීමක් නොව සන්තුෂී ගෙන් ලැබුණේ ඇගේ හිත ඉල්ලමින් සිටි ආකාරයේ ප්‍රතිචාරයකි. නමුත් ඇගේ හිත නිවැරදි මාවතට හරවා තබන විදිහේ ධනාත්මක ප්‍රතිචාරයකි.
මේ අතරේ දිනක් වින්දි හා සදෙව්මා අතරේ බහින් බස් වීමක් දුර දිග ගොස්, පසු දා පාසල් හැරීමෙන් පසු සදෙව්මා මහ ගෙදර නොයා මත්තෙගොඩ ඔවුන් ගේ ගෙදර ගොස් තිබිණ. බසයෙන් බැස සදෙව්මා අංජන ට දුරකතනයෙන් සිදුවීම දැනුම් දුන්නා ය. ඔහු ඒ වෙලාවේ ම රැකියා ස්ථානයෙන් පිටත් විය.