බිම්මල් –  22 කොටස 

අම්මා ආරාධනා පත්‍රය අතට නොගෙන අරුණෝදි දෙස බලා සිටියේ විමතියෙන් යුතුවය. අරුණෝදි  හදිසියේම විවාහ වන්නට සැරසෙතැයි අම්මා සිතන්නට ඇති අතර මටද එසේ සිතිණ. අම්මා ගේ පමණක් නොව වජිරාගේ ද, සුදු නංගීගේ ද විස්මයට පත් දෙනෙත් අරුණෝදි දෙසට සෘජුවම යොමු වී තිබෙන අයුරු මම දුටුවෙමි.

“ඇයි මේ පුදුම වෙලා? මැරි කරන්නෙ මං නෙමෙයි.”

සිනාසුණ අම්මා අරුණෝදි අතින් මංගල ඇරයුම්පත ගත්තාය. 

“මං කිව්වනෙ ආන්ටි පුංචි හදිසියේම ලංකාවට ආවා කියලා. මැරි කරන්නෙ නෑ කිය කියා හිටියට  අපේ අම්මලා එකතු වෙලා අහිංසකීව අමාරුවෙ දාන්න ලෑස්ති කරලා.”

අරුණෝදි සිනාසෙමින් මා වෙත පැමිණියාය.

“ඔයා වෙඩින් එකට එනවනම් මම කැමතියි ඩිනාලි. ආන්ටියි, ඔයාලා දෙන්නයි එදාට එන්න ඕන. මතකයි නේද අපි දෙන්නා කීසැරයක් අනුන්ගෙ බ්‍රයිඩ් මේඩ්ස්ලා වෙන්න ඇත්ද? මේ පාරත් ඔයාව ගන්නයි හිටියෙ. ඔයා අසනීප වුනානෙ කෙල්ල.”

මා අතට මංගල කාඩ්පතක් දුන් අරුණෝදි පැවසුවේ අප දෙදෙනා මනාලියගේ යෙහෙළියන් වූ  සුන්දර අවස්ථාවන් සිහියට නංවමිනි. ජීවිතයේ පළමු වතාවට අප මිතුරිය ජාන්වීගේ විවාහ මංගල උත්සවයේ මනාළියගේ යෙහෙළියන් වූ අවස්ථාවේ මාත්, අරුණෝදිත් ඇන්දේ රෝස පැහැති සාරි ය. සුදු පැහැති පබලු වලින් හැඩ කරන ලද එම සාරිය තවමත් මගේ අල්මාරිය තුළ තබා ඇත්තේ සිහිවටනයක් ලෙසිනි.

අරුණෝදි සුදු නංගීට ද ආරාධනා කිරීමට ඇය අසළට ගියාය. සුදු නංගී කිසියම් කවට වදනක් පවසන්නට ඇතැයි මා සිතුවේ අරුණෝදි හඬ නගා හිනැහෙමින් ඇගේ පිටට පහරක් ගසද්දීය.

“ඇත්තටම මං හිතුවෙ අරුණෝදිගෙ පුංචි අම්මා ආවා කියලා කිව්වම එයා වැඩිහිටි කෙනෙක් කියලා.”

සෝෆාව මත අසුන් ගත් අම්මා පැවසුවාය. අරුණෝදි ද පැමිණ මා අසළින් හිඳ ගත්තාය.

“හැමෝම හිතන්නෙ එහෙමයි. අපේ අම්මගෙ පවුලෙ ළමයි දුසිමක්. පුංචි තමයි බාලයා. මට වඩා අවුරුදු දෙක තුනකට තමයි එයා වැඩිමල්.”

“හරි ෂෝක්.”

අම්මා සිනාසුනාය.

“පුංචි කියලා කිව්වට එයා මගේ යාළුවෙක් වගේ ආන්ටි. වෙඩින් එකෙන් පස්සෙ දවස් දෙක තුනකින් ආයෙම එයා යනවා. ගිහින් හස්බන්ඩ්ව එහාට ගෙන්න ගන්නවා කියලා තමයි කියන්නෙ.”

මම කාඩ්පත දිගහැරියෙමි. එහි වූ දිනය, මට මගේත් හේෂාන්ගේත් මංගල්‍යයට දින නියමව තිබූ දිනයම වීම පුදුමයකි. එදින මනාලියක වන්නට පෙරුම් පිරූ මට එදිනට අන් අයකුගේ මංගල දිනයේ ආරාධිතයකු ලෙසින් සහභාගි වීමට ලැබීමම දෛවා්පගත සිදුවීමක් නොවේද?

“වෙඩින් එක අත ළඟටම ඇවිත් තියෙද්දි ඉන්වයිට් කලා කියලා ආන්ටි තරහ නෑ නේද?”

අරුණෝදි ඇසුවාය.

“එහෙමත් තරහ වෙනවද? කොච්චර සතුටක්ද?”

“පුංචිගෙ වැඩ වලට එයාගෙ තනියට හැමතැනම යන්න වුනේ මට. ඒ නිසයි මට ඩිනාලිව බලන්න එන්නත් බැරි වුනේ. කොච්චර කාර්ය බහුල වුනාද කියනවනම් ප්‍රෙස් එකේදි හේෂාන් හම්බ වුන වෙලාවෙ ඩිනාලි අසනීපෙන් කියලා එයා කිව්වෙ නැත්නම් මම දන්නෙත් නෑ ඩිනාලි හොස්පිටල් ඇඩ්මිට් කළා කියලා.”

හේෂාන් හදිසි අනතුරකට ලක් වූ පුවත අරුණෝදිට සැල නොවන්නට ඇතැයි මට සිතුණද, ඇය හා එපුවත පවසන්නට මට නොසිතිණ.

“ම්… තව එකක් ආන්ටි. පුංචිගෙ මනමාලයගෙ ආන්ටි කෙනෙක් කේක් හදන්න භාර දීලා තියෙන්නෙ ඩිනාලි කේක්ස් එකට කියලා අද උදේ තමයි දැනගත්තෙ.”

අම්මාගේ දෙනෙත් බබළන්නට වූයේ ඇයත්, ඇගේ සේවක සේවිකාවන් පිරිසත් බොහෝ වෙහෙස මහන්සි වී නෙලුම් පොහොට්ටු වලින් අලංකාර කරන  ලද කේක් එක සිහි වීම නිසා විය යුතුය. 

“ඒ ආන්ටි පුංචිට ඒකෙ ෆොටෝ එකකුත් එවලා තිබුනා. මේ…”

අරුණෝදි ජංගම දුරකතනය අම්මා වෙත පෑවාය. අම්මා එය අතට ගෙන බැලුවේ සතුට පිරුණු දෙනෙතින් යුතුවය.

“අපි ගොඩක් මහන්සි වුනා මේකට. අපි කිව්වට මට වඩා අරුන්දතියි අනිත් ළමයිනුයි තමයි වැඩියෙන් මහන්සි වුනේ. දැන් නම් වැඩ ඉවර කරන්නත් ළඟයි. කවුද දැනගෙන හිටියෙ ඒක හදන්නෙ අරුණෝදිගෙ පුංචිට කියලා. ඇත්තටම දැනගෙන හිටියානම් මං ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා.”

“හැමදේම පුදුම තමයි ආන්ටි.”

වජිරා විසින් රැගෙන එන ලද අයිස් කෝපි වීදුරුව අතට ගත් අරුණෝදි පැවසුවාය.

“වජිරා අද අයිස් කෝපිත් හදලා.”

“මං ඉතින් අපේ බබා කැමති එක එක දේවල් හදනවා. හැබැයි මේ ඕඩර් එක නම් බබාගෙ නෙමෙයි. අපේ සුදු බබාගෙ.”

බන්දේසිය මා වෙත පෑ වජිරා පැවසුවේ සිනාසෙමිනි.

“එහෙමනම් මම ගිහින් එන්නම්. එනවනේ එදාට.”

අරුණෝදි අත් බෑගය ද ගෙන නැගී සිටියාය.

“අනිවාර්යයෙන්ම.”

අරුණෝදි මගේ දෙකොපුල් සිප අප සියලු දෙනාගෙන් සමුගෙන නික්ම ගියාය.

“ඇත්තමයි ඩිනාලි කේක් එක අරුණෝදිගෙ පුංචිට කියලා දන්නවනම් මම ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඕඩර් එක දෙන්න ආව ලේඩි කිව්වෙ එයා බ්‍රයිඩ්ගෙ ආන්ටි කෙනෙක් කියලා. ලොකු සල්ලිකාරියක් පාටයි කියලා අරුන්දතිත් කිව්වා.”

“ඕඩර් එක දුන්නෙ සල්ලිකාරියක් නම් මොනවට ඩිස්කවුන්ට් දෙනවද? වියදම් කරන්න පුළුවන්  නිසානෙ ඔච්චර ලොකු ඕඩර් එකක් දුන්නෙ.”

සුදු නංගී පැවසුවාය.

“බිස්නස් එක මෙයාට භාර දුන්නනම් එහෙම කස්ටමර්ස්ලට කිසිම විදියකින් සහනයක් දෙන එකක් නෑ.”

“ඔව්… මගේ ළඟ සහනාධාර නැහැනෙ. බිස්නස් නම් බිස්නස්. එතනට යාලු හිතමිත්‍රකම් අදාළ ම නෑ.”

“අම්මෝ… මේ සුදු බබා නම්…”

වජිරා සිනාසෙමින් නික්ම ගියාය. අම්මා තවමත් පසු වූයේ සිනාමුසු මුහුණින් යුතුවය. කෙනෙකුගෙන් ලබන සේවය මුදලට කළ ද එය ඇගයීමට ලක් කිරීමේදී ලබන තෘප්තිමත් භාවය මිළ කල නොහැකියයි ඇය කිහිප වතාවක්ම පවසා ඇති බව මගේ සිහියට නැගිණ.

“ඩිනාලි වෙඩින් එකට යනවද?”

මඳ වේලාවක් කල්පනා කරමින් සිටි අම්මා ඇසුවාය.

“යන්න ඕන අම්මා. අපි දෙන්නා පුංචි කාලෙ ඉඳලම යාලුවොනෙ. එයා අපට ඉන්වයිට් කළෙත් අපි එන බව විශ්වාස කරගෙනයි.”

“ඔයාට සාරියක් අඳින්න බැරි වේවි.”

මගේ අත උදරය කරා ඇදී ගියේ නිරායාසයෙනි. මා හැඳ සිටි තුනී ගවුම තුළින් උදරය හරහා කරන ලද ශල්‍ය කර්මයේ කැළල අතට හසු විය.

“කමක් නෑ. මම ගොයින් අවේ එකට මහපු ගවුම අඳින්නම්.”

මට ඉබේටම කියවිණ. අම්මා සංවේගය රැඳුනු දෑසින් මා දෙස බලා සිටියාය. මගේ මංගල දිනයේ දී පිටත්ව යාමේදී ගවුමක් ඇඳිය යුතුයයි යෝජනා කළේ හේෂාන් ය. ඒ සඳහා අපි මෝස්තර සඟරා රැසකම ගැලපෙන මෝස්තර සොයා බැලුවෙමු. අවසානයේදී අත් රහිත චාම් දිගු ගවුම් මෝස්තරය තෝරා දුන්නේ හේෂාන් ය. එය ඇහැල මලෙහි පාට විය යුතු යයි ද යෝජනා කළේ ඔහු ය. 

“ඔයාට ඇහැල මලේ පාට ලස්සනට ගැලපෙනවා. අම්මා කියන්නෙත් ඇහැල මල කියලනේ.”

මගේ රූපලාවන්‍ය ශිල්පිනියද හේෂාන්ගේ තේරීම අනුමත කළාය. සැබවින්ම එම චාම් ඇඳුම සිහිනයක් සේම සුන්දර වූවකි.

“කමක් නෑ. ඒක අඳින්න. ලස්සනයි. ආයෙ ඕන වුනු දවසක අපි ඊටත් වඩා ලස්සන ඇඳුුමක් මස්සමු.”

අම්මා පැවසුවේ ඇගේ සිතට නැගි ශෝකය සඟවා ගනිමින් විය යුතුය. නැවතත් එවන් දිනයක් මගේ ජීවිතයට උදා වේදැයි යන්න සැක සහිත වුව ද, ඒ බව අම්මා සමග පවසන්නට මට නොසිතිණ.

“කොහොම වුනත් ඩිනාලි. හිතුවක්කාර නොවී ඉක්මනටම තීරණයක් ගන්න වේවි. ටී්‍රට්මන්ට්ස් ඉක්මනින් පටන් ගන්න ඕන. ඔයා මෙහෙම ඉන්නකොට ඒක මගේ හිතට කරදරයක් පුතේ.”

අම්මා පවසන්නේ සත්‍යයකි. කල් නොහැර අදාළ ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව අප වෛද්‍යවරයා අවධාරණය කරමින් කියා සිටියේ කල් ගත වෙද්දී පිළිකාව පැතිර යාමේ අවදානම ද අපට පැහැදිලි කර දෙමිනි. ප්‍රතිකාර ලබා ගැනීමට යාමට සූදානම් වෙද්දී සිදු වූ සිදුවීම් සියල්ල ඒ සැලසුම් අඩපණ කළ ද, මා ප්‍රතිකාර ලබා ගත යුතුය. මා ජීවත් විය යුත්තේ මා වෙනුවෙන් නොවේ. මට ජීවය දුන් අම්මා වෙනුවෙනි. සුදු නංගී වෙනුවෙනි. හේෂාන් වෙනුවෙනි.

“වෙඩින් එකට ගිහින් ආවට පස්සෙ අපි මහරගම යමු අම්මා.”

බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි මම පැවසුවෙමි. අම්මා දුක් සිනාවක් නැගුවාය.

“හේෂාන් කියපු හොස්පිටල් එකේ ඉඩ තිබුනෙ එක්කෙනෙකුට කිව්වනේ. දැන් සමහරවිට ඒ ඉඩත් නැතිව ඇති.”

අම්මා පැවසුවාය.

“කමක් නෑ අම්මා. දුකෙන් ඉන්න එපා. අපි මහරගම යමු. ඉක්මනින් හොඳ වෙලා ඉක්මනින් හැමදේම යථා තත්වයට පත් වෙලා අපේ හීන ඔක්කොම හැබෑ කරගන්න දවසක් ඉක්මනින්ම ඒවි අම්මා.”

මා පැවසුවේ කඳුලු අතරිනි. අම්මා ද මට නොපෙනෙන්නට දෑස් පිස ගන්නා අයුරු මම දුටුවෙමි. සුදු නංගී සිය ලැප්ටොප් පරිගණකය ද රැගෙන එතැනින් ඉවත්ව ගියේද මා පැවසූ වදන් වලින් ඇගේ සිත ද වේදනාවට පත් වූ බැවින් විය යුතුය.

මම නැගී සිටියෙමි. පවසා ගත නොහැකි සිතුවිලි සමුදායක් මගේ සිත තුළ පෙරලි කරනු දැනේ. මට ඕනෑ වූයේ තනිවන්නටය. තනි වී හඬන්නටය. මුහුදෙහි රළ නගන්නාක් මෙන් නොකඩවා සිතට ප්‍රවිෂ්ඨ වන සිතුවිලි දිනපොතෙහි සටහන් තබන්නටය.

“ඩිනාලි… කාමරේට යන්නද?”

මා අනුව නැගී සිටි අම්මා ඇසුවාය.

“මහන්සියි අම්මා. මං ටිකක් නිදාගන්න ඕන.”

“යමු. මම කාමරේට එක්ක යන්නම්.”

ඒවනවිට තනිව මගේ කටයුතු කර ගැනීමේ හැකියාව තිබුණද, අම්මා නිවසේ සිටින අවස්ථා වලදී ඇය මා එහා මෙහා යද්දී මට සහය වන්නට පැමිණියේ බිය නිසා විය යුතුය.

“මට තනියම යන්න පුලුවන්.”

මම යන්තමින් සිනාසී පැවසුවෙමි.

“කමක් නෑ. ගෙදර ඉන්න හැම මොහොතෙම අම්මා ඔයා ළඟින් ඉන්න ඕන.”

අම්මා මා අල්ලාගෙන පියගැට පෙළ නගින්නට වූවාය. ඇය මා කාමරය තුළට කැඳවාගෙන ගියාය. අම්මා නික්ම ගිය පසු මට මගේ සිතිවිලි සියල්ල සටහන් කිරීමට උවමනා විය. මම දිනපොත ද රැගෙන මේසය අසළ හිඳ ගත්තෙමි. දිනපොත විවර කරද්දී හේෂාන් සහ මා මුල්වරට එකට ගත් ඡායාරූපය මගේ නෙත ගැටිණ. පසුබිමින් රෝස පැහැති කුඩා මල් පිපෙන නම නොදන්නා මල් පඳුරක් අසළ සිටගෙන අප දෙදෙනා ගන්නා ලද ඡායාරූපය දෙස මම බොහෝ වේලාවක් බලා සිටියෙමි.

“හේෂාන්…”

ඡායාරූපය මුහුණට ළං කරගත් මම සෙමෙන් මිමිනුවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles