රිදුණු තටු පිරිමදිමි – 40

ඒ සති අන්තයෙන් පසු උදා වූයේ සදෙව්මා ගේ ජීවිතයේ අලුත් යුගයකි. ඇය තාත්තා එක්ක මත්තේගොඩ ඔවුන් ගේ නිවසේ නතර වීමට ගියා ය. මවගෙන් වෙන් වීම දුවටත් දුවගෙන් වෙන් වීම මවටත් වේදනාව දනවන්නට ඇත. නමුත් ඔවුන් දෙදෙනා ම ඒ බවක් උනුන්ට නො හඟවන්නට උත්සාහ දැරූහ. අනෙත් අතට මේ වෙන් වීම ස්ථිර එකක් නොවන බවත්, ඒ තුළ අහිමි වීමක් නොමැති බවත් ඔවුහු දැන සිටියහ. හැම සතියක ම උනුන් මුණ ගැහෙනු ඇත. නමුත් ඉස්සර වාගේ හැම සන්ධ්‍යාවක ම හා හැම උදෑසනක ම ඔවුන් උනුන් නො දකිනු ඇත. අම්මලා හා දුවලා අතරේ සුලභ පුංචි පුංචි රණ්ඩු හා බහින් බස් වීම් ඉන් පසු ඔවුන් ට දුර ඈත වනු ඇත. 

අප සමහර බැඳීම් ඇති කර ගන්නේ සැබවින් ම අපට ඕනා කමකට නොවේ. ඒ බැඳීම් ඉබේ ඇති වේ. ඇතැම් විට අප නො දැන ඇති වේ. ඇතැම් විට අපේ අකමැත්ත මත ඇති වේ. ඇතැම් විට අපේ කැමැත්ත මත ඇති වේ. සමහර විට ගැහැනු කුස් වලට දරුවන් එන්නේ ද ඔවුන් ට දරුවෙකු ඕනෑකමට නොවිය හැකි ය. ඔවුන් ගේ වෙනත් අවශ්‍යතා හා සම්බන්ධතා නිසා ලොවට බිහි වන දරුවන් ද ඔවුන් ට ඉබේ ඇති වන්නා වූ බැඳීමක් වේ. ඒ බැඳීම් පවත්වා ගන්නට හෝ නඩත්තු කරන්නට යාම තුළ අති විශාල අර්බුධ ගොන්නක් හා සටන් කරන්නට ද ඔවුන් ට සිදු වනු ඇත. 

සදෙව්මා සිය කුස ඔත් බව දැන ගත් වෙලාවේ වින්දි භීතියෙන් ඇළලී ගියා ය. අංජන එක්ක දරුවෙකු හදන්නට ඇයට උවමනාවක් තිබිණි ද යන ප්‍රශ්නය ඇය ඇගෙන් ම ඇසුවා ය. ඇයට ඕන වුණේ සිය පැරණි පෙම්වතාට පෙනෙන්නට අලුත් ජීවිතයක් අරඹන්නට හෝ ඔහු ට රිදවනු වස් තමන් තුටින් සිටිනා බව අඟවන්නට පමණි. ඒ අතරේ අනාරාධිතව ම ඔවුන් අතරට පැමිණි සදෙව්මා හිතට බරක් සේ වින්දි ට දැනුණු වාර ගණන අපමණ ය. ඇය වැඩි වශයෙන් විශාධයේ බලපෑමට ලක් වූයේ සිය කුළුඳුල් දරු ගැබ කුස දරා ඉන්නා සමයේ ය. ඒ කළයෙන් නිදහස් වීමේ උමතුවකින් ඇය විටෙක වියරු වැටුණා ය. කෑ ගසා හඬමින් දරු ගැබ ඉවත් කරන්නට සහාය වන ලෙස අංජන ගෙන් ඉල්ලා සිටියා ය. ඇයට දරුවෙකු තැනීමේ ආශාවක් නැති බව කියා සිටියා ය. නමුත් අංජන ගෙන් කිසිදු අනුබලයක් නො ලැබුණු තැන ඇය සදෙව්මා ට අම්මා වූවා ය. නමුත් දරු ප්‍රසූතියෙන් පසු පශ්චාත් විශාධයන් ගෙන් දැඩි ලෙස පහර ලැබුවා ය. 

සිය ජීවිතය පෙරපර ගලපා ගන්නට බැරි වියවුල් සහගත බවක වින්දි නිතර පසු වූවා ය. සිය විවාහය හෝ දරුවා හෝ ස්වාමියා හෝ අතීතය හෝ වෙන් වශයෙන් විසඳා ගන්නට බොහෝ විට අසමත් වූවා ය. ඒ සියල්ල ඇගේ ගිලන් මනස තුළ පැටළුණ නූල් බෝලයක් විය. විවාහයක්, සැමියෙකු හා දරුවෙකු සිය ජීවිතයට ඈඳා ගෙන බරපතල වරදක් සිදු කර ගත් බවට හැඟීමක් නිරන්තර ඇය පෙළුවේ ය. 

ඉතින් මේ විදිහට ඒ සියල්ලෙන් නිදහස් වීම වින්දි ව විශාල පීඩනයකින් නිදහස් කරමින් තිබිණ. ඇය මේ වන විට තමන් ව තේරුම් ගන්නට සමත් වෙමින් සිටියා ය. නමුත් සියුම් වේදනාවක් ඇය අත් නො වින්දා නොවේ.

“ඔයාට තේරෙනව නේද…අපිට සමහර දේවල් ටිකක් දුෂ්කර වෙයි. ඒ කියන්නෙ…දැන් ගෙදර අම්ම කෙනෙක් නැතුව අපි දෙන්න ඉන්නව. මට පුළුවන් උදේට උයල අපි දෙන්නට උදේ දවල් කෑම හදන්න. රෑට අපි එක්කො එළියෙන් මොනා හරි ගමු. නැත්තං අපිට පුළුවන්නෙ මොනා හරි හදා ගන්න. මට ඔෆිස් යන ගමන් ඔයාව ස්කූල් එක ළඟ ඩ්‍රොප් කරන්න පුළුවන්. දවල්ට එන්න එක්කො පරණ ස්කූල් වෑන් එක කතා කරගමු. නැත්තං ස්කූල් බස් ඇවිත්…ක්ලාස් නැති දවසට ගෙදර යන්න. ක්ලාස් දවස් වලට මං පික් කරන්නං. ආච්චි අම්මල ළඟ ඉන්නවනෙ…ඉස්සර වගේම ඔයාට මං එනකල් ඉන්න පුළුවන්නෙ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ආච්චම්මත් දැන් නිතර නිතර අසනීප වෙන එක තමයි”

එදා වින්දි ගේ ගෙදරින් ඇවිත්, කඩෙන් ගෙනා කෑම දිග හැර ගෙන රෑට කන අතරේ අංජන සදෙව්මා ට ඔවුන් ගේ අනාගත ජීවිතය ගැන දළ විස්තර කිරීමක් කළේ ය. ඇගේ මුව මඳහසක් වූවා ට ඇතුළත ගැඹුරු කල්පනාවක් විය.

“අපි කොහොම හරි මැනේජ් කර ගමු තාත්ති. මං ඔයාට කරදරයක් වෙන්නෑ”

“ඔයා කොහොමත් කවදාවත් මට කරදරයක් නෙවේ මැණික”

අංජන සදෙව්මා ගේ හිස් මුදුනේ කෙහෙ රැල් අවුල් කළේ ය. සිනහවක් මුහුණේ තවරා ගෙන සිටියාට ඔහු තුළත් වූයේ කඳුළු බර බවකි. 

“ඔයා අපේ දුවනෙ. අපේ දරුවනෙ…ඉතිං ඔයා නොහොමද මට කරදරයක් වෙන්නෙ…එහෙම නෙවේ. ඔයා මගෙ වගකීම. හොඳට උගන්නල…හොඳ සමාජ මට්ටමක් ජොබ් එකක් හදල දීල…හොඳ මහත්තයෙක්ට බාර දෙනකල් දුවෙක් කියන්නෙ තාත්ත කෙනෙක්ගෙ වගකීම”

සදෙව්මා මලක් සේ සිනහ වූවා ය. ඇගේ වයසේ බොහෝ දැරියන්ට වඩා දැන් ඇය අත්දැකීම් අතින් පරිනත ය.ඒ මේ කුඩා වයසට ඇයට මුහුණ දෙන්නට සිදු වූ දෑ නිසාවෙනි. කෙසේ වෙතත් සදෙව්මා වූ කලී බුද්ධිමත් දැරියකි. මුල දී අම්මා ගේ වදන් වලට බොළඳ ලෙස රැවටුණා ට දැන් ඇය තාත්තා ගැන දනී.

“ඒ වෙනකල් විතරද එතකොට තාත්ති මං ගැන බලන්නෙ…”

අංජන සදෙව්මා ගේ පිඟානට තවත් තෝසේ එකක් දැමුවේ ය.

“ඔයා මගෙ ජීවිතේ පුරාම මට තියන වැදගත්ම වගකීම. ඔයාව ලස්සනට හදන එකයි මගෙ හීනෙ. අනිත් අයගෙ හිත් තේරුං ගන්න පුළුවන් සංවේදී වැදගත් ලේඩි කෙනෙක් විදිහට. දවසක ඔයාව මහත්තයෙක්ට බාර දුන්නා වුණත්…එයාට ඔයා එපානං ආයෙ ඔයාව බාර ගන්න මං ඉන්නව. ලොකෙ කොහේ කොතනක ඔයා හිටියත්…ඒ කොතනකිං ප්‍රතික්ශේප වුණත් ඔයාට දෙපාරක් හිතන්නැතුව තාත්ති ළඟට එන්න පුළුවන්. තේරුණා නේද…”

“ඒක මං දැනටම තේරුං අරං තියෙන්නෙ…අයිම් සොරි තාත්ති. ටික කාලෙකට හරි ඔයා ගැන වැරදියට හිතුවට සමා වෙන්න”

“අපි වැඩියෙන්ම ආදරේ කරන අය නිසා තමයි පුතේ අපිට ගොඩක්ම රිදෙන්නෙ…එයාල නිසා තමයි අපි හුඟක්ම දුක් ගන්නෙ…අපි වැඩිපුරම ඉවසන්නෙත් එයාල නිසා. කොටින්ම අපි ජීවත් වෙන්නෙ අපිට ආදරේ කරන අයයි අපි ආදරේ කරන අයයි වෙනුවෙන්. තව ටිකක් ලොකු වුණාම ඔයාට මං කියන දේ හොඳටම තේරුං යයි”

ඒ අලුත් ජීවිතයට සදෙව්මා සිය වයස ඉක්මවා මුහුකුරා ගිය එකියක සේ මුහුණ දෙන්නට සූදානම් වූවා ය. පසු දා උදේ පාසල ළඟදී ඇය පියා ගේ රියෙන් බැස ගත්තේ තරමක සාඩම්බරයකිනි. 

“එහෙනං ස්කූල් බස් එකෙන් කොට්ටාවෙන් බැහැල මත්තෙගොඩ එකක යන්න හොඳේ. අපි ඉක්මන්ට ස්කූල් සර්විස් එකක් අල්ලගමු”

අංජන ඇගේ හිස පිරිමැද කීවේ ය. සදෙව්මා පිරිපුන් සිනහවක් පෑවා ය.

“මං කැමතියි ස්කූල් බස් යන්න”

එදා පාසල් බස් රියෙන් බැස ගත් පසු ඇය ට සැලෝන් සන්තු ඈතට පෙනුණේ ය. නිකමට එහි ගොඩ වී සන්තුෂී සමග වචනයක් දෙකක් කතා කොට ගෙදර යනවා යි සිතී ඇය රූපලාවන්‍යාගාරය වෙත ගියා ය.

“හා…නේ…ඔයානෙ…ඉස්කෝලෙ ඇරල බස් එකේද ආවෙ…”

සන්තුෂී සදෙව්මා දැක වහා පෙර මං විත් ඇය වැළඳ ගත්තා ය. 

“හ්ම්. ටක්ගාල ඔයාව බලල දුවන්න ආවෙ”

“අනේ..එහෙම දුවන්න දෙන්නෙ කොහොමද…දැන් යන්නෙ ගෙදර නේ…”

“ඔව්. වීක් ඩේස් වල මං තාත්ති එක්කනෙ දැන් ඉන්නෙ”

අංජන ඒ බවක් කී වග සන්තුෂී සදෙව්මා ට නො කියා සිටියා ය.

“බෑග් එක ඔය කොහෙං හරි තියල අපි කෑම කාල ඉමු. ඔයාට බඩගිනිත් ඇතිනෙ. මාත් තාම කෑවෙ නෑ”

“අනේ බෑ. මං යන්න ඕන. උදේ අපි උයල දවල්ට මට කන්න කෑම තියලයි ආවෙ”

“හරි හරි ඒකට කමක් නෑ. මගෙ බත් එකෙන් ටිකක් කමුකො”

සන්තුෂී සදෙව්මා ට බත් කවන්නට ගත්තේ බලයෙන් වී ද ඇය කෑවේ ආශාවෙනි. මතක ඇති කාලයක අම්මා ඇයට බත් කවා නැති වග සදෙව්මා ට සිහි විය. එවැනි ඉල්ලා සිටීමක් දැරිය ගේ හදවත ඉල්ලා සිටි අවස්ථාවක වුව වින්දි  ‘හුරතල් වෙන්න එපා’ කියමින් ඇයට තරවටුවක් කළා ය.

“ඔයා ගෙදර ගිහිල්ලත් තනියම ඉන්න ඕන එකේ…තාත්ති එනකල් මෙහෙට වෙලා ඉන්නකො ඉතිං”

සන්තුෂී එවන් ඉල්ලීමක් කළේ දවසේ ඉතිරි හෝරා ගණන ඇය තනිව සිටිය යුතු නේදැයි සිහිපත් වූ නිසා ය. මේ වෙලාවේ සදෙව්මා වෙතින් දිස් වූයේ ඉතා ප්‍රීතිමත් දැරියකි.

“මට ඇඳුංවත් නෑනෙ. අනිත් එක තාත්ති බනී”

“චුට්ටක් ලොකු වුණාට ටී ශර්ට් එකකුයි ශෝට් එකකුයි දෙන්න පුළුවන් ඇඳ ගන්න. ඇඳගෙන තාත්ති එනකල් ඉස්කෝලෙ වැඩක් බලා ගන්න අනේ”

“එහෙනං අක්කි තාත්තිට කියන්න”

සදෙව්මා ව රූපලාවන්‍යාගාරයේ රඳවා ගත් බව සන්තුෂී ගෙන් දැන ගත් අංජන තුළ ඇති වූයේ සැහැල්ලුවකි. පියෙකු වශයෙන් තනිව දියණියක ගේ වගකීම හිස දරන්නට සිදු වීම පිටතින් දකිනවාට වැඩි වගකීමකි. වග වීමකි. වද වීමකි. සන්තුෂී මේ වෙලාවේ ඒ හිත් බර හරි අඩකින් අඩු කළ සෙයක් අංජන ට දැනිණ. වැඩ අවසාන කොට ඉක්මනට ගෙදර යා යුතු ය යනුවෙන් උදේ සිට හිතට කරදර කළ සිතිවිල්ල යටපත් වී සන්සුන් ව හිතේ ගුළි ගැහිණ. ඔහු හවස සැලෝන් සන්තු අසලට ආවේ සැහැල්ලුවෙනි.

“ඔයාට අවිශ්වාසයක් නැත්තං සදෙව්මා ඉස්කෝල ඉවර වෙලා ඇවිත් මෙහෙට වෙලා හිටියදෙන්. හවසට ඔයා යන ගමන් එක්ක යන්න”

රූපලාවන්‍යාගාරය වෙත විත් අමුත්තන් සඳහා වන සෝෆා කට්ටලයෙහි අසුන් ගත් පසු සන්තුෂී අංජන ට කීවේ ය. ඔහු එක තියුණු බැල්මක් ඇය වෙත හෙළා ඉවත බැලුවේ සුසුමක් පපුවේ හිර වී තිබියදී ය. 

“ඔයා එයාට ගෙදරක් වෙයි…”

මන්ද්‍ර ස්වරයකින් එසේ කියා ඔහු බිම බැලුවේ ය. සන්තුෂී සිය දෑස් පිරෙන්නට අංජන ගේ පිරිමි පෞරුෂය දෙස බලා සිටියා ය. 

“ඇයි මං අවිශ්වාස කරන්නෙ…”

ඔහු ඒ දෙවන වාක්‍ය ඛණ්ඩය පිට කළේ උගුර යටිනි. කියා ගත හැකි ඒවාට අමතරව කියා ගත නො හැකි බොහෝ දේ හදවත් වල හිර වී ඇති සැටියක් ඔවුන් දෙදෙනාට ම දැනිණ. ඒ කිසිත් කිසි දාක නො කියා ඉන්න එක හොඳ ය. ඒවා එපමණට හැඟීම්බර වනු ඇත්තේ නො කියා ඉන්නා තරමට ය. 

“සදෙව්මාට දවල්ට ඕන ඇඳුම් ටිකයි පොත් එහෙමයි ඔයාල උදේට ඉස්කෝලෙ යන ගමන් ඉස්සරහ රැක් එක උඩ තියල යන්න වුණත් පුළුවන්. මං ආවහම අරං තියන්නං. කෙල්ලට කෑම එවන්න එපා හොඳේ”

අංජන සිය දෑත් කලිසම් සාක්කු වල ඔබා ගනිමින් සෝෆාවෙන් නැගී සිටියේ ය. ඒ ඇස් දෙක පාමුල ඇය හිම පියල්ලක් සේ දිය වී යන අයුරු සන්තුෂී නැවත නැවතත් අත් වින්දා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles