බිම්මල් – 4

හේෂාන් මගේ අතැඟිලි තම අතැඟිලි හා පටලා ගත්තේය. ඔහුගේ දකුණත වෙදැඟිල්ලෙහි වූ රන් මුදුව මගේ නෙත ගැටිණ. එහි කොටා තිබූ ඉංග්‍රීසී ‘එච්’ අකුර අසළ මගේ දෙනෙත් නැවතී තිබිණ.

“මං ළඟ ඉන්න වෙලාවට ඔය හැටි කල්පනා කරන්න එපා ඩිනාලි. ඔයා ඉන්නෙ දුකෙන්ද?”

හේෂාන් ඇසුවේය. 

“මට තාත්තා මතක් වුනා. තාත්තා නිසා මම පුංචි කාලෙ ඉඳලම පිරිමින්ට හරි බයයි.”

“මං දන්නවා. ඉස්සර වෙලාම මං කතා කරද්දි වුනත් ඒ බය මං ඔයාගෙ ඇස් දෙකෙන් දැක්කා. ඒ වුනාට හැමකෙනෙක්ම අංකල් වගේ නෑ කියන එක මතක තියාගන්න. මාත් අපේ තාත්තා වගේම කාන්තා පාර්ශවයට ගරු කරන කෙනෙක්. හැම ගැහැනියක්ම මම දකින්නෙ මගේ අම්මා විදියටයි.”

“මොන තරම් සතුටක්ද?”

දෑසින් කඳුලු කැට කඩා හැලෙද්දී මම පැවසුවෙමි. 

“ඒ අතින් මම හරි වාසනාවන්තයි හේෂාන්.”

“ඔයා විතරක් නෙමෙයි. මාත් වාසනාවන්තයි. ඒකනෙමෙයි. කෝ අපේ කතා පෙට්ටිය?”

සඳලුතලය දෙස බැලූ හේෂාන් ඇසුවේ සුදු නංගී ගැනය.

“ඒකතමයි මාත් මේ බැලුවෙ. වෙනදා නම් මෙලහට ඇවිත් මෙතනට වෙලා ඔහේ කියවනවනෙ.”

“අම්මා ඊයෙ නවල්ස් වගයක් ගෙනාවා. ෂුවර් කාමරේට වෙලා ඒවා කියවනවා ඇති.”

“අපේ අම්මත් එහෙම තමයි. නවල් එකක් අතට ගත්තම ඉන්න තැනවත් මතක නෑ. ඒකනෙමෙයි. දන්නවද ඩිනාලි අපේ අම්මා ඊයෙ කියපු දේ?”

හේෂාන් ඇසුවේ මුවග රැඳි සිනාවකිනි.

“මොකක්ද?”

“පුතාටයි ඩිනාලිටයි ඉස්සර වෙලාම පුතෙක් ලැබෙනවානම් මම හරි ආසයි කියලා අම්මා කිව්වා.”

මගේ මුහුණ රතු වන්නට ඇත. පුතෙක්? විවාහය පිළිබඳව මිසක දරුවන් පිළිබඳව කිසිදිනෙක මා සිතා නොතිබිණ. හේෂාන් පවා ඒ ගැන කිසිදිනෙක මා හා කතා කර නොතිබිණ. පුතෙක්… රෝස පැහැති අත් පා වලින් යුත් සුන්දර බිළිඳෙකුගේ රුව මට මැවී පෙනිණ.

“අම්මා කියනවා අම්මටයි තාත්තටයි ඉන්නෙ මං විතරක් වුනාට අපට දරුවො ගොඩක් හදාගන්නලු. දරුවො කියන්නෙ ගෙදරට විතරක් නෙමෙයි. රටටත් වාසනාවක්ලු.”

“වාසනාවක් වෙන්නෙ හොඳ දරුවො වුනොත් විතරයි.”

මා පැවසුවේ තාත්තා පිළිබඳව සිත තබාගෙනය.

“ඇත්ත. ඔයාටයි මටයි ලැබෙන දරුවො නරක් වෙන්න විදියක් නෑනෙ.”

පහල බෑවුම ඔස්සේ වාහනයක් පැමිණෙන හඬ ඇසිණ. ඒ අම්මාගේ මෝටර් රථයේ හඬයි. මම බංකුව මතින් නැගී සිටියෙමි. 

“අම්මා එනවා.”

“මං ආවා කියලා ආන්ටි දන්නවද?”

“සුදු කෝල් කරන්න ඇති.”

“එහෙමනම් පයිනැපල් ගැටෝ එකක් ගේනවා ඇති ෂුවර් එකටම.”

හේෂාන් ද නැගී සිටියේය. හේෂාන් තුළ පයිනැපල් ගැටෝ කෑමට ඇති ආශාව පිළිබඳව අම්මා ද දැන සිටින බැවින් ඇය ඒවා රැගෙන එන බව මම ද දැන සිටියෙමි. අම්මාගේ ‘ඩිනාලි කේක්ස්’ රසවත් ගැටෝ වලට මහත් ප්‍රසිද්ධියක් දිනාගෙන ඇති අතර, ඉනුදු පයිනැපල් ගැටෝ වලට ඇත්තේ මහත් ඉල්ලුමකි. අම්මාගේම රෙසිපියකට අනුව තැනෙන  කේක් වර්ග අනුකරණය කරන්නට ඇතැම් කේක් නිෂ්පාදකයින් උත්සාහ කළ ද, ‘ඩිනාලි කේක්ස්’ වල ආවේණිකත්වය ලැබීම අසීරු බව අම්මා නිතර පවසයි. 

“ඒවා රහස්. මට සීයා කියලා දීපු රහස්.”

සුදු නංගීත්, මාත් ඒ ගැන අම්මාගෙන් විමසද්දී ඇය එසේ පවසන්නේ සිනාසෙමිනි.

“ඔයාලා දෙන්නගෙන් කවුරු හරි මගේ බිස්නස් එක භාර ගන්න දවසට මම ඒ රහස් ඔක්කෝම කියා දෙනවා.”

මෝටර් රථය නතර කළ අම්මා සෙමෙන් අප දෙසට ඇවිද ආවාය. ඇය තමා අත වූ පෙට්ටිය මා අතට දුන්නාය.   

“සුදු කිව්වා පුතා ආවා කියලා. ඒකයි මං ඉක්මනටම ආවෙ.”

හේෂාන් අම්මාට නොපෙනෙන්නට මගේ බාහුව කෙනිත්තුවේය. මම මුවට නැගි සිනාව වළක්වා ගතිමි. 

“අපේ වෙඩින් කාඩ්ස් අරන් ආවා ආන්ටි.”

“යමු. එන්න පුතා ගෙට.”

හේෂාන් සහ මම අම්මා පසුපසින් ගමන් කළෙමු. හදිසියේම සඳැල්ලෙහි පෙනී සිටි සුදු නංගී ඇසින් කළ ඉඟිය මට වටහා ගත නොහැකි විය.

                    *

වර්ෂාව ළඟ ළඟම පැමිණෙන බව අඟවමින් විවෘත ජනේලය අතරින් වේගයෙන් සුළං හමා එන්නට විය. රාත්‍රී අඳුර නිසා ජනේලයෙන් පිටත කිසිවක් නොපෙනුනද, වැහි බිඳු ඇද හැලෙන හඬ ඇසිණ. ජනෙල් පෙල අතරින් කාමරය තුළට හිරිකඩ පැමිණෙන හෙයින් අම්මා නැගිට ජනෙල් තිර ඇද දැමුවාය. මේසය මත වූ මංගල කාඩ්පත් බහාලන රෝස පැහැති කවර කිහිපයක්ම සුළඟ නිසා මේසයෙන් ඈතට ගසාගෙන ගියේය. සුදු නංගී නැගිට ඒවා යළි මේසය මත තැබුවේ සුළඟට ගසාගෙන නොයන සේ බරක් ද තබමිනි.

“මාර හුළඟක්නේ මේක.”

අම්මා පැවසුවාය.

“හවස ඉඳලම අහසෙ වැහි වලාකුළු පිරිලා තිබුනට මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට වහීවි කියලා. කමක් නෑ. අපි අපේ වැඩේ කරමු.”

මංගල කාඩ්පත් මිටිය තමා සමීපයට ගත් අම්මා පැවසුවාය.

“වෙඩින් කාඩ්ස් ටික නම් හරිම ලස්සනයි. ඒ වුනාට හේෂාන්ගෙ අම්මගෙ නම් හිත ටිකක් හොඳ නෑ වගේ.”

කාඩ්පතක් දිග හැර එදෙස මොහොතක් බලා සිටි අම්මා පැවසුවාය.

“ඇයි?”

දෙබැම රැළි නංවාගත් සුදු නංගී ප්‍රශ්න කළේ අමනාප ස්වරයෙනි.

“ඩිනාලි ආස නිසා රෝස පාටින් කාඩ්ස් ගත්තට රෝස පාට කියන්නෙ බබාලගෙ පාටක්ලු.”

අම්මා පැවසුවේ මුවගට සිනාවක් නගා ගනිමිනි.

“එයා නම් කීයටවත් ඔය පාට තෝර ගන්නෙ නැහැලු. එයා ආස ක්‍රීම් පාටටලු.”

සවස් කාලයේ අඩ හෝරාවක් පමණම අම්මා සමග දුරකතනයෙන් කතා කරමින් සිටින්නට ඇත්තේ හේෂාන්ගේ අම්මා වන්නට ඇතැයි එවේලෙහි මට සිතිණ. දුරකතන සංවාදය නිමා වුව ද, හේෂාන්ගේ අම්මා කතා කළ බව අම්මා අප හා නොපවසන්නට ඇත්තේ ඇගේ කතා බහින් අම්මාගේ සිත රිදී තිබූ බැවින් වන්නට ඇත.

“බම්බු ගහගන්න කියන්න. එයා නෙමෙයිනෙ කසාද බඳින්නෙ. පුතානෙ.”

සුදු නංගී පැවසුවේ තරහෙනි.

“මොනාද සුදු ඔය කතා කරන හැටි? වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න කියලා මම හැමදාමත් ඔයාට කියනවනෙ.”

“වැඩිහිටියො ගරු කළ යුතු විදියට ඉන්නවානම් මම ඒ විදියට කතා කරනවා. වැඩිහිටියො ගොන් පාට් දානකොට අපිත් සළකන්නෙ ඒ විදියට.”

“මේ ළමයා කතා කරන විදිය නම් අන්තිමයි.”

දිගු සුසුමක් හෙලූ අම්මා පැවසුවේ දුක් හඬිනි.

“අක්කා වගේ හැදෙන්නකො සුදු. බලන්න අක්කා මොනතරම් ලස්සනට කතා කරනවද? වැඩිහිටියන්ට සළකනවද? හැමෝම කියන්නෙ අක්කා හරිම හොඳ ළමයෙක් කියලා.”

“මට කාගෙන්වත් හොඳ අහගන්න ඕන නෑ. මං කරන කියන දේවල් හරිද වැරදිද කියලා තීරණය කරන්නෙ මගේ හිත.”

හිතුවක්කාරියක යයි අම්මා ඇතැම් විට චෝදනා කළ ද සුදු නංගීගේ ගතිගුණ වලට මම ද ප්‍රිය කළෙමි. කවරෙකුගේ සිත රිදුන ද, ඇය කියන්නට ඇති දේ කෙනෙකුගේ මුහුණටම පවසන්නට පුරුදුව සිටියාය. එපමණක් නොව ආච්චි සහ සීයා හැරෙන්නට නිවසට පැමිණෙන කිසිදු වැඩිහිටියෙකුට ඇය දණ නමා වඳින්නට ද මැළි වූවාය. 

“තාත්තා වගේම අහංකාරයි.”

ඇතැම් විට අම්මා පැවසුවාය. සුදු නංගීට ඇත්තේ අම්මාගේ ගතිගුණ නොව තාත්තාගේ ගතිගුණ බව අප පවුලේ සමීපතමයින් පවසන බව මට සිහියට නැගිණ.

“දැන් ඔය කතා නවත්තලා කාඩ් ටික ලියමු. මං හිතන්නෙ ඩිනාලිම ලිව්වනම් තමයි හොඳ. ඩිනාලිගෙ අකුරු මුතු ඇට වගේනෙ. සුදු… ඔය ලිස්ට් එක ගන්න.”

සුදු නංගී අම්මා විසින් කලින්ම පිළියෙල කර තිබූ මංගල කාඩ්පත් යැවිය යුතු අයගේ නාම ලේඛණය අතට ගත්තාය. මම පෑන අතට ගතිමි.

“කාටද පළවෙනි කාඩ් එක ලියන්නෙ?”

කාඩ්පතක් දිග හැර මා ඉදිරියෙහි තැබූ අම්මා පැවසුවාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles