බිම්මල් –  20 කොටස 

අම්මාත්, සුදු නංගීත් නිවසින් පිටව ගොස් කෙමෙන් කෙමෙන් කාලය ගත වෙද්දී මම බෙහෙවින් නොසන්සුන් වූයෙමි. කිසියම් දෙයක් සිදුව ඇති බව වැටහුණද, එය කුමක්දැයි අනුමානයෙන්වත් සිතා ගත නොහැකි තරම්ය. මම ආලින්දයේ ඒ මේ අත ඇවිද්දේ නොසන්සුන් සිතිනි. දැඩි වෙහෙසක් මෙන්ම දෙපා වේදනාව අධික ලෙස දැනෙන්නට වූයෙන් මම පුටුවක් මත හිඳගතිමි.

“ඇයි බබා?”

මේ මුලු කාලය තුළම මා තනි නොකර මා සමීපයෙන් සිටි වජිරාට මා තුළ වූ අපහසුතාවය වැටහෙන්නට ඇත.

“මහන්සි නේද? තවම හරි හැටි සනීපෙකුත් නැතිව කොච්චර ඒ මේ අත ඇවිද්දද? වතුර එකක් ගේන්නද?”

මගෙන් පිළිතුරක් ලැබීමට පෙරම ආලින්දයේ තබා තිබු කූඩයක් තුළින් වතුර බෝතලයක් ගත් වජිරා එය මා වෙත දිගු කළාය. මම වතුර උගුරු කීපයක් පානය කළෙමි.

“අම්මා තවම නැත්තෙ ඇයි දන්නෙ නෑ නේද වජිරා?”

මම ඇසුවෙමි.

“ඒකම තමයි මාත් කල්පනා කලේ බබා.”

“මොකක්ද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ.”

“මාත් කල්පනා කරේ ඒක තමයි. ෂොප් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති.”

“එහෙමනම් යාළුවෙකුට සනීප නෑ කියලා කිව්වෙ.” 

“ඒකතමයි. විස්තරයක් මුකුත් කිව්වෙ නෑ. ගියා. කෝල් එකක් දීලා බලන්නකො.”

මම අම්මාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගතිමි. එහෙත් එය ක්‍රියා විරහිත කර තිබිණ. අනතුරුව මම සුදු නංගීගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් නමුත් එය ද ක්‍රියා විරහිත කර තිබිණ.

“දෙකම ඕෆ් කරලා. අනේ හේෂාන්ට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ.”

මම හැඬුම්බරව පැවසුවෙමි.

“එහෙම දෙයක් නැතිව ඇති බබා. බයවෙන්න එපා. අපි තව ටිකක් බලමුකො.”

මා සනසන්නට එසේ පැවසුවද, වජිරාගේ මුහුණේ ඉරියව් වලින් පළ වූයේ බියමුසු බවකි. හේෂාන්ට කරදරයක් නැතැයි සිතා සිත හදාගන්නට තැත් කළ ද, යටි සිත පවසන්නේ ඔහු කිසියම් කරදරයකට මුහුණ පා ඇතැයි යන්නයි. නොඑසේනම් පොරොන්දු වූ පරිදි හේෂාන් අප නිවසට නොපැමිණියේ ඇයි?

මම සිතිවිල්ලේම හේෂාන්ගේ දුරකතනයට ඇමතුමක් ලබා ගත්තද, එය ද උදෑසන මෙන්ම ක්‍රියා විරහිතව තිබිණ.

“හේෂාන් කවදාවත් ෆෝන් එක ඕෆ් කරන්නෙ නෑ වජිරා. මොකක් හරි ප්‍රශ්නයක්ම තමයි.”

නොයෙකුත් අසුභවාදී සිතිවිලි සිත තුළ පෙරලි කරද්දී මම වජිරා සමග පැවසුවෙමි.

“එහෙම වෙන්නෙ නෑ බබා. කලබල නොවී තව ටිකක් ඉන්නකො. දැන් මැඩම්ලා ඒවි.”

ආලින්දයේ එල්ලා ඇති මල් පෝච්චියක් කරා පොල්කිච්චකු පියඹා ආවේය. එක්වරම නැගී සිටි වජිරා පොල්කිච්චා එලවා දැමුවේය. තනි පොල්කිච්චකු දකින සෑම මොහොතකම වජිරා ඌ පලවා හරින්නේ එය අසුබ දර්ශනයක් බව පවසමිනි. එවන් අවස්ථා වල සුදු නංගී වජිරාට කරන සරදම් මට සිහියට නැගිණ.

“හරි වැඩක්නෙ. පොල්කිච්චට කියලා නිදහසක් නැද්ද? යන යන තැන හස්බන්ඩ් හරි වයිෆ් හරි එක්ක යන්න ඕනද? තනි පොල්කිච්චා අසුබයි කියලා ඔයා එයා එලවනවා. උන්ට තනියම ගමනක් යන්නවත් මිනිස්සු ඉඩ නොදෙන හැටි.”

එවන් අවස්ථා වල මා සුදු නංගී සමග එකඟ වුව ද, අද කිසියම් බියක් මගේ හදවතට දැනෙයි.  ඒ අන් කිසිවෙක් සම්බන්ධව නොව හේෂාන් සම්බන්ධවය. 

“අපි හේෂාන්ගෙ ගෙදරට කතා කරලා බලමු වජිරා. මට බය හිතෙනවා මොකක් නමුත් ප්‍රශ්නයක්ද කියලා.”

පොල්කිච්චා එලවා දමා පැමිණ මා අසළින් අසුන් ගත් වජිරාට මම යෝජනා කළෙමි.

“ගෙදරට කොf්ල් කරන්න? එපා බබා. හේෂාන් සර්ගෙ අම්මා ගත්තොත් බබාගෙ හිත රිද්දාවි.”

“කමක් නෑ. මම කියන්නම් හේෂාන්ගෙ යාලුවෙක් කතා කරන්නෙ කියලා.”

“අනේ මන්දා බබා. තව ටිකක් බලමුකො. මැඩම්ලා දැන් ඒවි.”

වජිරා මගේ සිත සනසන්නට එසේ පැවසුවද, මට දැනුනේ ගිනි ගොඩක මා දැවෙන්නාක් මෙනි. හේෂාන් පිළිබඳව කිසිවකුගෙන් කිසිදු විමසීමක් නොකර සිටියහොත් මගේ හදවත පුපුරා යනු ඇතැයි මට සිතිණ.

“මම ගන්නවා. තවත් මට ඉවසගෙන ඉන්න බෑ වජිරා.”

මා දුරකතනය අතට ගත්තේ තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැනය. 

“එහෙමනම් දෙන්න. මම කතා කරන්නම්.”

වජිරා ඉල්ලා සිටියාය.

“එපා. වජිරා කතා කළොත් ආන්ටි හොඳටම බනීවි. මම කතා කරන්නම්.”

මම හේෂාන්ගේ නිවසෙහි දුරකතනයට ඇමතුමක් ලබා ගත්තෙමි. බොහෝ වේලාවක් නද දුන් දුරකතනය අනතුරුව නිහඬ විය. වජිරා මා දෙස විමසිල්ලෙන් බලා සිටින අයුරු මම දුටුවෙමි.

“ඇයි බබා?”

“ගෙදර කවුරුත් නෑ වගේ. රිංග්ස් යනවා. ගන්නෙ නෑ.”

මම නැවතත් හේෂාන්ගේ නිවසෙහි දුරකතනයට ඇමතුමක් ලබා ගත්තේ කිසිවකු කතා කරනු ඇතැයි සිතා නොවේ. එහෙත් පිරිමි කටහඬකින් ‘හලෝ’ යි පවසද්දී මා තුළ ඇති වූයේ නිම්හිම් නොමැති ප්‍රීතියකි. එහෙත් ඒ කටහඬ හේෂාන්ගේ නොවේ. හේෂාන්ගේ පියාගේ ද නොවේ.

“කරුණාකරලා මට හේෂාන්ට කතා කරන්න පුලුවන්ද?”

සිත තුළ ඇති වූ තිගැස්ම පාලනය කර ගැනීමට උත්සාහ කරමින් මම විමසුවෙමි.

“කවුද ඔය කතා කරන්නෙ?”

එවර මම එම කටහඬ හඳුනා ගතිමි. ඒ අන් කිසිවෙක් නොව හේෂාන්ගේ නිවසෙහි වැඩපල කර දෙන කරුණානන්දගේ කටහඬයි. 

“කරුණා… මම ඩිනාලි. කෝ හේෂාන් සර්? ගෙදර නැද්ද?”

මම ඇසුවෙමි. කරුණා මඳ වේලාවක් නිහඬව සිටියේය. වජිරා මා අසළටම වී සවන්පත් යොමු කරගෙන සිටියාය. 

“ඇයි? මිස්ට ආරංචි නැද්ද?”

ස්වල්ප වේලාවකට පසු කරුණා පැවසුවේය.

“නෑ. මොකක්ද කරුණා? ආන්ටිට සනීප නැද්ද?”

මා ඇසුවේ ගැහෙන හදවතින් යුතුවය.

“මැඩම්ට මොනවත් වෙලා නෑ. හේෂාන් සර් ඇක්සිඩන්ට් වෙලා. ගෙදර කවුරුත් හොස්පිටල් ගිහින්.”

කරුණාගේ ඈත ලොවක සිට පවසන්නාක් මෙන් මට දැනිණ. එම හඬ මගේ දෙසවන් තුළ දෝංකාර දුන්නේය. මා අතින් දුරකතනය අත හැරෙන්නට ගිය ද වජිරා එය අල්ලා ගන්නා අයුරු යන්තමින් මම දුටුවෙමි. අවට පරිසරයම තද දම් පැහැයට හැරෙන බවත්, සියල්ල මා වටා භ්‍රමණය වන බවත් දැනෙන්නට වූයෙන් මම පුටුවට වාරුවීමි. වජිරා, කරුණා සමග දුරකතනයෙන් කතා කරමින් සිටින බව යන්තමින් ඇසුණද, ඒ වදන් කිසිවක් මට පැහැදිලිව නෑසුනේ මා ක්ලාන්ත වන්නට ඇති බැවින් විය යුතුය.

“බබා… අනේ බබා… ඇස් දෙක අරින්නකො.”

වජිරාගේ කටහඬ මට සමීපව අසෙද්දී මම යන්තමින් දෙනෙත් හැරියෙමි.

“බබා කොහෙමද දැන්?”

මගේ මුහුණට නැඹුරු වී බලා සිටින වජිරාගේ මුහුණ මම දුටුවෙමි. ඇය වතුර පොදක් මගේ මුහුණෙහි තැවරුවාය. මා හැඳ සිටි ඇඳුමෙහි කොලරය තෙත්ව ඇති බව මගේ ගෙල පෙදෙසට දැනිණ. මා ක්ලාන්ත වන්නට ඇති බවත්, වජිරා වතුර ඉස මා සිහි ගන්වන්නට උත්සාහ කරන්නට ඇති බවත් මට අවබෝධ විය. මම වටපිට බැලුවෙමි. මා සිටින්නේ මගේ කාමරයේ යහන මත බව මම වටහා ගතිමි. ආලින්දයේදී මා ක්ලාන්ත වන්නට ඇති බවත්, වජිරා මා වත්තම් කරගෙන කාමරයට රැගෙන එන්නට ඇති බවත් මම වටහා ගතිමි. එක්වරම මගේ සිහියට නැගුණේ හේෂාන් ය. හදිසි අනතුරකට පත් වූ ඔහු සිටිනු ඇත්තේ අසාධ්‍ය තත්වයෙන් විය යුතුය. 

“වජිරා… හේෂාන්… හේෂාන්…” 

මට හැඬිණ. වජිරා මගේ හිස පිරිමැද්දාය. 

“බය වෙන්න දෙයක් නෑ බබා. මම කරුණට කතා කළානෙ. උදේ හේෂාන් සර් ගෙදරින් එන්න හදද්දි මැඩම් හොඳටම රණ්ඩු කරලා. ඒක ඔලුවෙ තියාගෙන හේෂාන් සර් කා එක ඩ්‍රයිව් කරලා තියෙන්නෙ. කේක් ෂොප් එක ඉස්සරහදි කා එක තාප්පෙක වැදිලා.”

“කෝ දැන් හේෂාන්?”

“හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒ හැටි අමාරුවක් නෑලු බබා. කා එකට නම් සෑහෙන්න ඩැමේජ්ලු. හේෂාන් සර්ගෙ අතක් ටිකක් තුවාල වෙලාලු.”

“අනේ… බොරු නේද ඔය කියන්නෙ?”

“දෙයියම්පා නෑ බබා.”

වජිරා දිවුරුවාය.

“ගෙදරින් යන්න හදද්දි අර නපුරි රණ්ඩු කලේ නැත්නම් ඔය වගේ දෙයක් වෙන්නෙ නෑනෙ.”

“ඇයි එහෙනම් අම්මා කතා නොකරන්නෙ? ඇයි ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නෙ?”

“බලමු බබා. මැඩම්ලත් තවම ඉන්නෙ හොස්පිටල් එකේ ද දන්නෙ නෑනෙ.”

මගේ සිතට යම් පමණක සැනසීමක් දැනිණ. අම්මා සහ සුදු නංගී සිය දුරකතනයන් ක්‍රියා විරහිත කරගෙන සිටින්නේ හේෂාන්ට සිදු වූ අනතුර මා කෙරෙන් වසන් කිරීමටද? නොඑසේනම් ඔවුන් තවමත් රෝහලේ සිටින බැවින්ද?

“හේෂාන් සර්ගෙ අම්මටත් ප්‍රෙෂර් වැඩි වෙලා. අන්න එයත් හොස්පිටල් එකේලු.”

වජිරා මා නොදත් පුවතක් හෙළි කළාය. තමා අතින් වූ වරද සම්බන්දයෙන් ඇය තුළ ඇති වූ පසුතැවීම නිසා ඇයගේ රුධිර පීඩනය වැඩි වන්නට ඇතැයි මට සිතිණ. 

“අනේ… අපි යමු වජිරා.”

වජිරාගේ අත අල්ලා ගත් මම පැවසුවෙමි.

“යන්න? කොහෙද බබා?”

“අපි කැබ් එකක් කතා කරගෙන හොස්පිටල් යමු. මට හේෂාන්ව බලන්න ඕන.”

“පිස්සුද බබා? තවම හරියට සනීපත් නැතිව.”

“මට ඇති අසනීපයක් නෑ. මට යන්න ඕන.”

“හරි හරි යමු.”

වජිරා මගේ හිස පිරිමැද්දාය.

“මැඩම්ලා ආවම අපි විස්තර දැනගෙනම යමු. හේෂාන් සර් ඉන්නෙ මොන හොස්පිටල් එකේද  කියලා දන්නෙ නැතිව යන එකේ තේරුමක් නැහැනෙ. බබා දැන් බ්ලවුස් එක මාරු කරගන්න වෙයි. වතුර ඉහිද්දි බ්ලවුස් එක තෙමිලා.”

වජිරා අල්මාරිය හැර ඇඳුමක් ගෙන මා අසළින් තැබුවාය. ඒ හා සමගම අම්මාගේ මෝටර් රථයේ නළා හඬ ගේට්ටුව දෙසින් ඇසිණ. 

“අන්න මැඩම්ලා එනවා වගෙයි. මම ගේට් එක අරින්න යනවා. බබා ඇඳටම වෙලා ඉන්න.”

වජිරා කාමරයෙන් පිටව දිව ගියාය. මට කිසිවක් සිතා ගත නොහැකිය. මා රෝහලට කැඳවාගෙන යාමට එන බවට ඊයේ පොරොන්දු වී ගිය හේෂාන් අනතුරකට ලක්වීම අදහා ගත නොහැකිය. කෑගසා හඬන්නට උවමනා වුව ද මගේ මුලු ගතත්, සිතත් අකර්මණ්‍ය වී ඇති බව මට දැනේ. අම්මා හමුවන්නට යන්නට සිතුණද, මගේ දෙපා අප්‍රාණිකව ඇත්තාක් මෙන් මට දැනිණ. අම්මා නිසැකවම මා දකින්නට  මගේ කාමරයට පැමිණෙන බව දැන සිටියද, ඒ ගත වූ කාලය කල්පයක් සේ මට දැනිණ.

“ඩිනාලී…”

ස්වල්ප වේලාවක් ගතවෙද්දී අම්මාගේ කටහඬ මගේ කාමරයේ දොරකඩ දෙසින් ඇසිණ. 

“කොහොමද අම්මා හේෂාන්ට?”

මා ඇසුවේ නොඉවසිල්ලෙනි. අම්මා මේසය මත ඇති විෂබීජ නාශක දියර ස්වල්පයක් අත්ලට දමා පිරිමදින්නට වූවාය. සඳුන් සුවඳ මුලු කාමරය පුරාම පැතිර ගියේය. 

“හේෂාන්ට ප්‍රශ්නයක් නෑ. අත ටිකක් තුවාල වෙලා එච්චරයි. අත බැන්ඩේජ් කරගෙන ඉන්නවා.   හේෂාන් ඔයාට කියන්න කිව්වා බය වෙන්න එපා කියලා. සනීප වුන ගමන් ඩිනාලිව බලන්න එනවා කියන්න කියලත් කිව්වා.”

“ඔය ඇත්තමද?”

මම හැඬුම් හඬින් ඇසුවෙමි.

“ඇත්ත. ඇත්ත. හේෂාන්ට තුවාලෙ අමාරුවට වඩා තියෙන්නෙ ඔයාව හොස්පිටල් එක්ක යන්න බැරි වුන හිතේ අමාරුව. අතට බෙහෙත් කරාට හිතට බෙහෙත් කරන්න බෑනෙ.”

සුදු නංගී ද කාමරයට පැමිණියාය. සුදු නංගීගේගේ වදනින් මගේ සිතට සැනසීමක් දැනිණ. 

“අර නපුරිච්චිත් ඇවිත් හිටියා ලොකු. අපිව දැකලා ගල් ගිල්ලා වගේ පැත්තකට වෙලා හිටියා. ඇයි වැරැද්ද එයාගෙනෙ. හේෂාන් ගෙදරින් එන්න හදද්දි යකින්නියක් වගේ කඩාපැන්නලු. පිස්සියක් වගේ රණ්ඩු කරාලු.”

“කවුද සුදු බබා කිව්වෙ?”

වජිරා ඇසුවාය.

“අංකල් කිව්වෙ. පව්… අංකල් නම් හරි හොඳයි. මට තවම දුවව බලන්න යන්න බැරි වුනා කියලා අංකල් හොඳටම දුක් වුනා.”

“ඒක ඇත්ත.”

අම්මා අත් ඔරලෝසුව ගලවා වජිරා අතට දුන්නාය. 

“හේෂාන්ගෙ අතේ ඔපරේෂන් එක ඉවර වෙලා තියටර් එකෙන් ගේන තුරුම අපි දෙන්නත් එතනට වෙලා හිටියා. ඊටපස්සෙ වෙච්චි දේ දන්නවද? අපි දිහා බලන්නෙවත් නැතිව හිටිය චාන්දනීට එකපාරටම ෆේන්ට් වුනා.”

“ප්‍රෙෂර් වැඩිවෙලාලු.”

සුදු නංගී සිනාසුනාය.

“ඊටපස්සෙ එයාවත් රූම් එකකට දැම්මා. මම නම් බලන්නෙවත් නෑ. අම්මා තමයි එයාව බලාගත්තෙත්.”

“හතුරෙක් වුනත් විපතකදි අහක බලන්න බැහැනෙ. මොනවා වුනත් මට කමක් නෑ. එයා ඇත්ත කවදාහරි ඇත්ත තේරුම් ගනීවි. දැන්නම් හොඳටම බඩගිනියි වජිරා. රස්නෙන් තේ ටිකක් හදන්නකො.”

“හදන්නම් මැඩම්. මෙච්චර වෙලාවක් බබා හිටියෙත් බඩගින්නෙ.”

වජිරා කාමරයෙන් පිටව ගියාය. මා හේෂාන්ගේ නිවසට දුරකතන ඇමතුමක් දුන් පුවතත්, මා ක්ලාන්ත වු පුවතත් කාමරයට පැමිණීමට පෙරම වජිරා අම්මා සමග පවසන්නට ඇතැයි මට සිතිණ.

“මම ගොඩක් බය වුනා අම්මා.”

මම පැවසුවෙමි.

“ජීවිතේ හැටි එහෙම තමයි ඩිනාලි. අරුන්දතී ආරංචිය කියපු විදියට මම හොඳටම බය වුනා. අපි යනකොටත් හේෂාන්ව තියටර් අරන්.”

“මම නිසයි අම්මා හැමදේම වුනේ. ඒ ගැන මට ගොඩක් දුකයි.”

“හේෂාන් සනීප වෙලා එනතුරු ඔයාගෙ ටී්‍රට්මන්ට්ස් නනතර කරන්න බෑ පුතේ. අපි හෙට මහරගමවත් යමුද?”

අම්මා ඇසුවාය.

“තව ටික දවසක් බලමු අම්මා.”   

“අතේ අමාරු අඩු වුනාම හේෂාන්ව ඩිස්චාජ් කරාවි. හැබැයි ටික දවසකට ඩ්‍රයිව් කරන්න නම් බැරිව යාවි. අපට බලාගෙන ඉන්න බෑනෙ.”

“මට දැන් මුකුත්ම කියන්න බෑ අම්මා. අපි පස්සෙ ඔය ගැන කතා කරමු.”

අම්මා මොහොතක් මා දෙස බලා සිටියාය. ඇගේ දෙනෙත් යොමු වී තිබුනේ වජිරා විසින් ගෙනැවිත් තබන ලද මගේ ඇඳුම් සහිත බෑග් දෙසටය. දිගු සුසුමක් හෙලූ අම්මා කාමරයෙන් පිටව ගියාය. සුදු නංගී ද ඇය පසුපසින් ගිය පසු මම දෙනෙත් පියා ගතිමි. හේෂාන්ගේ රුව මට මැවී පෙනිණ. පිළිකා රෝගයෙන් මා පෙළෙන බව දැන දැනත්, කිසිදිනෙක මගේ කුසින් දරුවකු බිහි කළ නොහැකි බව දැන දැනත් මා අත නොහැර සිටි ඔහුට ඉක්මන් සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කළෙමි.

*

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles