හිත හයිය කෙල්ල

තිසරි ගෙට ගොඩ වුණ ගමන්ම ලඟම තිබුන පුටුවෙන් වාඩි උනා.

” නංගි මට වතුර එකක් ගේන්න කෝ “

ඇගේ හඬේ තැවරිලා තිබුණෙ වෙහෙසකර බවක්.විනාඩි කිහිපයකට පස්සේ තිසරිගේ නංගි සඳලි සාලෙට ආවෙ වතුර එකකුත් අරගෙන

” අයිය මගෙන් ලෝන් එකක් ඉල්ලනවා “

තිසරි කිව්වෙ කම්පාවෙන්.ජීවිතය ගැට ගහගන්න අක්කා කරන්න මොනතරම් සටනක්ද කියලා දන්න නංගිත් ඒ ආරංචියෙන් කලබල වුණා

” මොකක් ? හරි නං එයා නේ අපිට සල්ලි දෙන්න ඕනේ ? “

” අනේද කියන්නේ “

වතුර එක ,එක හුස්මට බීපු තිසරි කාමරේට ආවා.පෞද්ගලික අංශයේ රැකියාවක් කරපු තිසරි නංගිත් එක්ක කොළඹ ආවේ මීට අවුරුදු කිහිපයකට කලින්.කුඩා කාලයේදී හදිසි අනතුරකින් තාත්තා මිය ගියාට පස්සේ අනේක දුක් විඳලා දරුවන් හදාවඩා ගත්ත අම්මත් හෘදයාබාධයකින් මිය ගියා.ඊට පස්සේ තිසරිගේත් සඳලිගේත් එකම පිහිට වුණේ ඔවුන්ගේ අයියා උන සංදේශ්. නංගිලා දෙන්නා ගේ වගකීම නෑදෑයන්ට බාර කරපු සංදේශ් හිතුමතේට විවාහයක් කරගත්තේ කවුරුවත් නොහිතපු වෙලාවක.විවිධ ව්‍යාපාර ආරම්භ කරලා පාඩු ලබමින් උනත් සංදේශ් කොළඹට වෙලා ජීවිතේ ගැට ගහ ගත්තා.

මහන්සි වෙලා අධ්‍යාපනය අවසන් කරපු තිසරි උසස් පෙළ අවසන් කරපු නංගිත් එක්ක කොළඹ ඇවිත් ජීවිතය එක්ක මහා සටනක් ආරම්භ කරන්නේ ඒ අතරතුරදී.අම්මා තුළ තිබුණු උත්සාහය සහ කැපවීම නොඅඩුවම තිසරි ලඟත් තිබුනා.

” අයියා මොකටද සල්ලි ඉල්ලන්නේ ලොකූ ? “

කාමරයේ ඇඳ උඩට වෙලා තනියම කල්පනා කර කර ඉන්න තිසරිව දැක්කම සඳලිට දැනුණේ මහා දුකක්.

” මොකද්ද ලී බිස්නස් එකක් පටන් ගන්නවලු.ඒකට සල්ලි වගයක් මදි උනා ලු “

” ඔයා ලොකු ළමයෙක් වෙච්ච වෙලාවේ අම්මා ඔයාගේ කරට දාපු මාලේ එයා කැත නැතුව උකස් කලා නේද ? ඒකවත් බේරලා දෙන්නෙ නැතුව ද ලොකූ එයා ඔය ආයෙම සල්ලි ඉල්ලන්නේ ? “

” මම කිව්වා මගේ ඩිප්ලෝමා එකට සල්ලි බැන්ද නිසා දැන් අතේ කීයක්වත් වැඩිපුර නැහැ කියලා “

එහෙම කියපු තිසරි ඇඳෙන් නැගිට්ටේ නාන කාමරයට යන්න හිතාගෙන

” මම අර ඉන්ටවිව් එක පාස් වෙලා ලොකූ.ලබන සතියේ ඉඳන් වැඩට එන්න කිව්වා “

සඳලි කිව්වේ ඇහෙන නෑහෙන ගානට.ඒත් ඒ වචන ටික ඇහුනට පස්සේ තිසරිගේ මූනේ ලොකු හිනා මලක් පිපුණා

” අනේ.මගේ මැණිකෙට ඔෆිස් අඳින්න මම ලස්සන ඇඳුම් ටිකක් අරගෙන දෙන්නම් “

තිසරි , සඳලිගේ ඔලුව අත ගෑවේ ලොකු ආදරයකින්.සඳලිගේ හිතේ කොනක ඉතිරි වෙලා තියෙන අම්මගේ ආදරයෙ මතක අලුත් කරන්න තිසරිගේ වචන වලට පුළුවන් වුණා

” රස්සාවල් කරන ලොකු නංගිලා දෙන්නෙක් නේ මට දැන් ඉන්නේ “

දවසක් හවසක තිසරිත් සඳලිත් ජීවත්වෙන පුංචි කුලී නිවසට තමන්ගේ බිරිඳත් එක්ක ආව සංදේශ් කිව්වේ තරමක ආඩම්බරයෙන්

” අයියටත් ජොබ් එකක් කරන්න තියෙන්නේ.හැමෝටම ඉතින් ඔය බිස්නස් හරියන්නේ නැහැනේ “

තිසරි කතා කළේ නොකියාම ගෙට ගොඩ උන අයියටත් නෑනටත් රෑ කෑමට සූදානම් කරන්නේ මොනවද කියලා හිතන ගමන්.

” ඔයාගේ වයසත් දැන් හරියාගෙන එනවා නේද ලොකූ ? “

සංදේශ් ඇහුවේ කාලයකට කලින් තිසරි ඇයට තිබුන ප්‍රේම සම්බන්ධය එක එක නොගැලපීම් නිසා නතර කරලා දාපු වග දැනගෙනමයි

” කසාද බඳින්න කලින් ජීවිතේ ගැන මොනතරම් දේවල් හිතන්න ඕනෙද අයියේ ? මට තව ඉගෙන ගන්න තියෙනවා.නංගිව බලාගන්න තියෙනවා.අනිත් එක හවසට වැඩ ඇරිලා ආවහම මේ ගෙදර කරන්න මට කොච්චර දේවල් තියෙනවද ? “

තිසරි තරමක් තදින් ඒ විදිහට කියනකොට සංදේශ් නිහඬ උනේ සේරටම කලින් විවාහයක් කරගෙන වගකීම් පැහැර හැරපු බව ඔහුගේ හිත දන්න නිසා වෙන්න ඇති කියලා තිසරිට හිතුනා

” එක අතකට ඔයාලගේ අයිය කිසිම වගකීමක් නැති මනුස්සයෙක් නේද තිසරි ? “

තිසරිගේ ජීවිත කතාව ගැන අගක් මුලක් නෑර හැම දෙයක්ම දැනගෙන හිටපු වාසනා දුරකථන ඇමතුමක් අතරතුරදී තිසරිගෙන් එහෙම ඇහුවේ බැරෑරුම් හඬකින්

” මමයි නංගියි අවුරුදු කීයක් නං නෑදෑ ගෙවල් වලට මාරු වෙවී හිටිය ද වාසනා ? අයියා බැඳලා කොළඹ ආවට පස්සේ අපිට කතා කළෙත් කලාතුරකින්.මමයි නංගි මෙහෙට ඇවිත් සම්බෝලයි බතුයි කාලා හිටපු දවස් තිබුණා.එහෙම වෙලත් අපි කවදාවත් අයියට කරදර කළේ නැහැ වාසනා .එයාලා ඒවා දන්නෙවත් නැහැ “

තිසරි කතා කළේ කළකිරීමකින්

” ඉස්සර අපි එන්න කියලාත් අපි නැවතිලා ඉන්න ගෙදරට එයාලා ආවෙ නැහැ වාසනා.නංගිත් දැන් රස්සාවකට යන නිසාද දන්නේ නැහැ දැන් ඔය එන්නේ “

” සහෝදරයන්ට උදව් කරන්න ඕනේ තමයි තිසරි. ඒත් ඕනෑවට වඩා කරන්න යන්න එපා. ඔයා වැඩිපුරම හිතන්න ඕනේ ඔයාගේ දරුවෙක් වගේ ඉන්න සඳලි ගැන “

ඇත්තටම තිසරි හැම වෙලාවෙම හිතුවේ තමන්ගේ කර මත තියෙන, තමන්ගේම අයියාත් පැහැර හැරපු නංගි ගේ වගකීම ගැන.එක බත් පත බෙදාගෙන කන්න , එකම ඇඳුම හුවමාරු කරගෙන අඳින්න වගේම ජීවිතය ගැන බොහෝ දේවල් නංගිට කියා දෙන්නත් තිසරි අමතක කළේ නැහැ.

රැකියාවට යන්න පටන් අරගෙන පළවෙනි පඩිය අතට ගත්තට පස්සේ සඳලි මුලින්ම කළේ අක්කා වෙනුවෙන් තෑගි ගත්ත එක. නංගි ගෙන් ලැබුන ඔරලෝසුව අතේ පැලඳගෙන හැඩ බලන තිසරිට මතක් උනේ මීට ඉස්සර සල්ලි දීලා තෑගි ගන්න බැරි නිසා තිසරිගේ උපන්දිනයට සඳලි ඇගේ අතින්ම සකස් කරලා දෙන ලස්සන සුබපැතුම්පත්.

” මේ තෑගි මම ගන්නේ අද විතරයි හොඳේ. ඊළඟ මාසෙ පඩියෙන් කීය කීය හරි ඔයා ඉතුරු කරගන්න. කවදහරි ඔයාට ඕනෙ වෙයි “

” අයියා එයාලගේ ඇනිවසරි එකට පාටියක් ගන්නවලු නේද ලොකූ ? “

” එහෙමද ? මට තාම කිව්වෙ නම් නැහැ “

” හොටෙල් එකකලු ගන්නේ. ලොකු වියදමක් යනවා ඇති. ගොඩක් යාලුවෝ වයිෆ්ලට සප්‍රයිස් එහෙම දෙන නිසා එයාටත් හිතුනලු එහෙම කරන්න “

” ඒවට නම් එයාලට සල්ලි ඕන තරම් තියෙනවා “

තිසරි කතා කලේ නොරිස්සුමෙන්

” ඒත් ඉතින් එක අතකට ඒවා එයාලගේ දේවල් නේ.ඕන විදියකට කරගනියිනේ “

තිසරි එහෙම කියනකොටම ඇගේ දුරකථනය නාද උනා.

” කියන්න අයියේ “

” ඔයාලා ගෙදරද ලොකු ? “

” ඔව්. මම නම් දැන් ආවේ.රෑට මොනවා හරි හදාගන්න ඕනේ දැන් “

” මට ලොකු උදව්වක් ඕනේ හලෝ.මං ඒකට කතා කළේ “

සංදේශ් කිව්වේ කිසිම පැකිලීමකින් තොරව

” නංගි කියන්න ඇති නේද අපේ පාටි එක ගැන ? “

” ඔව් මේ දැන් කිව්වේ “

” තුශාරිට සප්‍රයිස් එකක් දෙන්න මම හිතන් ඉන්නේ. ලස්සන රින්ග් එකක්.ඒකට පොඩි ගානක් මදි. හොටෙල් එකටත් සම්පූර්ණ ගාන ම ගෙවන්න ඕන නිසා අතේ සල්ලි නැහැ දැන් “

” ඉතින් ? “

තිසරි ඒ ප්‍රශ්නේ ඇහුවේ ඊළඟට අයියා අහන්න මොකක්ද කියලා දැනගෙන මයි

” රුපියල් තිස්දාහක් විතර නැද්ද ගන්න ? ඔය දෙන්නම ජොබ් කරන නිසා දැන් ඉතින් අවුලක් නැහැනේ “

” මොන ලැජ්ජ නැති කථාවක්ද අයියේ ඔයා මේ අහන්නෙ ? ඔය දේවල් වලට ඔයාලා වියදම් කරන්න ඔයාලට පුළුවන් හැටියට.එහෙම බැරිනම් ඕව නොකර ඉන්න.හැම මනුස්සයාම කරන දේවල් අපිට කරන්න බැහැනේ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඔයාගේ වගකීමක් නැති මේ වැඩ නිසා කවදහරි ඔයාට යන එන මං නැති වෙයි “

එක හුස්මට ඒ වචන පෙළ කියලා ඉවර කරපු තිසරි දුරකථන ඇමතුම විසන්ධි කරල ලොකු හුස්මක් ගත්තා.ඇස් වලට නැගුණු කඳුළු පිහිද ගත්ත තිසරි කිසිවක් නොවුනා වගේ හාල් ටිකක් මැනලා හෝදන්න පටන් ගත්තා

” ඔයා හරි හිත හයිය කෙල්ලෙක් ලොකූ “

මොහොතකට කලින් සිද්ධ වෙච්ච දේ අමතක කරලා ලහිලහියේ රෑට කෑම ලෑස්ති කරන අක්කා දිහා බලාගෙන සඳලි එහෙම හිතුවා

More Stories

Don't Miss


Latest Articles