දිනෙන් දින බොහෝ සෙමෙන් ගතව යමින් තිබිණ. හේෂාන් රෝහලේ සිට නිවසට ගොස් දින ගණනාවක්ම ගත වුව ද මේ දක්වාම ඔහු දුරකතන ඇමතුමක් හෝ නොදුන් බැවින් මා කාලය ගත කළේ මහත් වූ මානසික පීඩනයෙනි. එහෙත් මගේ මානසික පීඩාවන් අම්මා සහ සුදු නංගී කෙරෙන් වසන් කරගෙන මා ආයාසයෙන් ඔවුන් සමග කතා බහ කළේද, සිනාසුනේද ඔවුන් සැනසීමට විනා මගේ සිතෙහි බිඳකුදු සතුටක් ඇතිව නොවේ. සියල්ල සිදු වූයේ සුපුරුදු පරිදිමය. අම්මා සෑම දිනකම මෙන්ම උදෑසන සිය කේක් සාප්පුවට ගිය ද, වෙනදාට වඩා වේලාසනින් නිවසට පැමිණෙන්නට පුරුදුව සිටියාය. සුදු නංගී සුපුරුදු පරිදි සිය කටයුතු වල නිරතව සිටියද, ඉඳහිට පැමිණ මා සිත සනසන බහක් දොඩා යළිත් සිය කාර්යයන්හි නිරත වූවාය.
වජිරා ද සුපුරුදු ලෙස නිවසේ නිවසෙහි හා මුළුතැන්ගෙයි කටයුතු වල නිරත වූ නමුත් නිතර නිතර පැමිණ මගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවාය. එහෙත් ඔවුන් කිසිවකුටත් මගේ සිත තුළ පවතින සාංකාව නොදැනෙන්නට ඇතැයි මට සිතුණේ කිසිවෙකු කිසිම විටෙක හේෂාන් පිළිබඳව වදනක් හෝ නොදෙඩූ හෙයිනි. ඔහුගේ ජංගම දුරකතනය අස්ථාන ගත වී යයි අම්මා පැවසූ පුවත සත්‍යයක් විය හැකිව තිබුණද, මේවනතුරුත් ඔහු අලුත් දුරකතනයක් මිළ දී නොගත්තා යයි සිතිය නොහැකිය. ඔහුට මා ඇමතීමට උවමනාවක් ඇත්නම් නිවසේ ස්ථාවර දුරකතනයෙන් මට ඇමතුමක් ගත නොහැකිද?
සිත පෙලන වේදනාත්මක සිතිවිලි දරා සිටිය නොහැකි තැන මම නිවසෙන් පිටතට පැමිණියෙමි. උදා වී ඇත්තේ දීප්තිමත් දවසකි. අම්මා විසින් වවන ලද මල් පඳුරු වල නා නා වර්ණයෙන් යුත් මල් බොහෝ පිපී තිබිණ. වජිරා උදෑසනින්ම වතුර යෙදීම නිසා ගහ කොළ ප්‍රාණවත් ලෙසින් දිස් විය. මම බංකුව මත හිඳ ගතිමි. කහ රෝස පඳුර සෘජුවම මගේ දෙනෙතට දිස් වෙයි. එහි වූ යන්තමින් පෙති විකසිත වී ඇති මල් පොහොට්ටු දකිද්දී මට සිහිවන්නේ හේෂාන් ය. හේෂාන්… හේෂාන්… හේෂාන්… දකින සෑම දසුනකම සැඟවී සිටින්නේ හේෂාන් ය. සිතෙන සෑම සිතිවිල්ලකම අග්ගිස්සේ එල්ලී සිටින්නේ හේෂාන් ය. මෙය මහා වේදනාවක් නොවේද?
“බබා…”
වජිරාගේ කටහඬ මට දුරින් ඇසිණ. මම එදෙස බැලුවෙමි. වජිරා වතුර වීදුරුවක් ද රැගෙන කලබලකාරී ලෙසින් මා සිටින දෙසට දිව එන අයුරු මම දුටුවෙමි.
“උදේ බෙහෙත් ටික බීලා නෑ නේද?”
මා අසළ නතර වූ ඇය සිය අත්ල පෑවාය. එහි වූයේ මගේ උදෑසන බෙහෙත් වේලයි. වජිරා එය මා අතට දී කාමරයෙන් පිටව ගිය පසු එය ගන්නට අමතක වන්නට ඇතැයි මට සිතිණ.
“සෝදන ඇඳුම් ගන්න බබාගෙ කාමරේට ගිය වෙලාවෙ ඩ්‍රෙසින් ටේබල් එක උඩ මේ පෙති ටික තිබුනා. අනේ බබා… බෙහෙත් බොන්න නම් අමතක කරන්න එපා.”
වජිරා ආයාචනා කළාය. මම බෙහෙත් පෙති කීපය උගුරට දමා වතුර වීදුරුව පානය කළෙමි.
“බබා ඉන්නෙ දුකෙන්ද?”
මා නිහඬව පහත නිම්නය දෙස බලා සිටිද්දී වජිරා ඇසුවාය.
“නෑ. ඇයි මං දුක්වෙන්නෙ? මං ඉන්නෙ සතුටෙන්.”
මම ආයාසයෙන් මුවගට සිනාවක් නගාගෙන පැවසුවෙමි.
“එහෙමනම් කමක් නෑ.”
වජිරා මා විශ්වාස නොකරන හඬකින් පැවසුවාය.
“තව ටිකකින් මං දවල්ට උයන්න යනවා. මොනවද බබාට හදලා ඕන?”
“ඔය ඕන දෙයක්.”
මම නොසැළකිල්ලෙන් පැවසුවෙමි. වජිරා මගේ මුහුණ දෙස බලා සිටියාය.
“හැමදේම හොඳ විදියට සිද්ද වේවි කියලා හිතන්න බබා.”
වජිරා මගේ හිස අත ගෑවාය.
“මං යන්නම්. අනේ බබා… ඕනදෙයක් ඇත්නම් කියන්න.”
වජිරා මා තනි කර ගියේ කැමැත්තෙන් නොවන බව මම දැන සිටියෙමි. ඇයට උදෑසන නිවසේ වැඩ කටයුතු අධිකය. කිසිදු මැසිවිලි නැගීමකින් තොරව සිය කටයුතු ඉටු කරන ඇය වන් කෙනෙකු තම සේවයට ලැබීම වාසනාවකැයි අම්මා පවසන වදන් මට සිහියට නැගිණ.
කොහේදෝ සිට පියඹා ආ කොණ්ඩ කුරුලු ජෝඩුවක් මා අසළ වූ පඳුර දෙසට පියඹා ආවේ කලින් කතා කරගත්තාක් මෙනි. ඔවුහු සිය හිස් හරවමින් ඒ මේ අත විමසිලිමත්ව බලන්නේ කූඩුවක් සෑදීමට සුරක්ෂිත වූ ස්ථානයක් සෙවීමට මෙනි. සත්ව ලෝකය මිනිස් ලෝකයට වඩා කෙතරම් වෙනස්ද?
මා එක්වරම නැගී සිටියේ වාහනයක හඬ ඇසීම නිසාය. පහත නිම්නය ඔස්සේ කන්ද නගින මෝටර් රථයක් මම දුටුවෙමි. ඒ අම්මාගේ මෝටර් රථය නොවේ. මට බොහෝ දෙනා සිහිපත් විය. සීයා, ආච්චි, මාමා, පුංචි අම්මා පමණක් නොව තාත්තා ද මගේ මතකයට පැමිණියේ නිතැතිනි. කුතුහලයෙන් යුතුව බලා සිටිද්දී සෙමෙන් පැමිණි මෝටර් රථය නතර විය. ඉන් බැසගත් හේෂාන්ගේ පියා දකිද්දී මගේ සිතට සතුටක් මෙන්ම බියක් ද එකවර ප්‍රවිෂ්ඨ වූයේ අහේතුකවය.
“තාත්තා…” යි පැවසුවද, මගේ මුවින් හඬ පිට නොවීය. ඒ හා සමගම හේෂාන් ද මෝටර් රථයෙන් බැස ගන්නා අයුරු දකිද්දී මට මුලු ලෝකයම අමතක විය. මම ඔහු වෙත දිව ගියෙමි.
“ඔහොම දුවන්න හොඳද?”
පියා සිටින බව අමතක වූවාක් මෙන් හේෂාන් මා තුරුලු කර ගත්තේය. මට ඉකිගසා හැඬුනේ දුකට නොව සතුටටය.
“අඬන්න එපා ඩිනාලි. සොරි. මට කතා කරන්න බැරි වුනාට. අද තමයි අලුත් ෆෝන් එකක් ගත්තෙ.”
හේෂාන් මගේ හිස පිරිමදිමින් පැවසුවේය.
“කැබ් එකක් දාගෙන ඩොක්ට හම්බ වෙන්න ගියා දුවේ. මෙයාගෙන් බේරුමක් නෑ ඩිනාලිව බලන්න යමු කියලා.”
මම හේෂාන් දෙස බැලුවෙමි. තවමත් ඔහුගේ දකුණතෙහි වෙලුම් පටි යොදා තිබිණ.
“අමාරුද හේෂාන්?”
මම වෙලුම් පටි මුදු ලෙසින් පිරිමැද්දෙමි.
“දැන් හොඳටම හොඳයි. තව දවස් දෙක තුනකින් බැන්ඩේජ් ගලවන්න පුලුවන් වේවි කියලා ඩොක්ට කිව්වා.”
“අම්මා ගෙදර නැද්ද දුව?”
හේෂාන්ගේ පියා ඇසුවේ නිවස දෙස බලමිනි.
“අම්මා ෂොප් එකට ගිහින් තාත්තෙ.”
“ හරිම පිපාසයි. මං ගෙට ගිහින් වතුර එකක් බොන්නම්. ඔය දෙන්නා කතා කර කර ඉන්නකො.”
හේෂාන්ගේ පියා නිවස දෙසට ගියේ සැබවින්ම ඔහුට පිපාසය දැනී නොව අප දෙදෙනාට නිදහසේ කතා බහ කිරීමට අවකාශ සලසා දෙමිනි. ඔහු කෙරෙහි වෙනදා නොවූ ආදරයකින් මගේ සිත පිරී ගියේය.
“ඔයා හිටියෙ දුකෙන්ද ඩිනාලි?”
බංකුව මත හිඳගෙන මගේ කර වටා අතක් යවා තමා වෙත ළං කරගත් හේෂාන් විමසුවේය. මගේ මුවට වදන් නොනැගිණ. මෙතෙක් දිනක් සිත තුළ තද කරගෙන සිටි වේදනාව දෙනෙත් වලින් දෝර ගලා ගියේය. මට හඬන්නට ඉඩ දී හේෂාන් මගේ හිස පිරිමදිමින් ඈත නිම්නය දෙසට නෙත් යොමු කරගෙන සිටියේ ශෝකී දෑසින් යුතුවය.
“අඬලා ඉවරද?”
මගේ හැඬුම නතර වූ පසු හේෂාන් විමසුවේ මුව රැඳි සිනාවෙන් යුතුවය.
“ඉවරයි. ඇත්තටම මොකක්ද වුනේ හේෂාන්?”
මා ඇසුවේ ඔහුට හදිසියේම සිදු වූ අනතුර පිළිබඳවය.
“එදා ඔයාව අනුරාධපුරේ එක්ක යන්න ඕනකම හිතේ තියාගෙන මං ආවෙ. කවදාවත් නැතිව මොකක් නමුත් වැරැද්දක් සිද්ද වුනා.”
මව සමග නිවසේදී රණ්ඩු කළ පුවත මා කෙරෙන් වසන් කළ ඔහු පැවසුවේය.
“ලොකු අමාරුවක් වුනේ නෑ. ඇක්සිඩන්ට් එක වුන ගමන්ම අවට හිටිය කට්ටිය එකතු වෙලා මාව හොස්පිටල් ඇඩ්මිට් කරා. මට දුක මගේ ෆෝන් එක ගැනයි. උදව් කරන්න ආව කෙනෙක් ඒකත් උස්සලා.”
“ජීවිතේ බේරුන එක ගැන සතුටුවෙන්න. ෆෝන් එකක් නම් ගන්න පුලුවන්නෙ. ජීවිතේ එහෙමද?”
“ප්‍රශ්න කරදර විදියට එන සමහර දේවල් ආශීර්වාදයක් වෙන වෙලාවලුත් තියෙනවා ඩිනාලි.”
හේෂාන් මගේ අතැඟිලි ඔහුගේ අතැඟිලි හා පටලා ගත්තේය.
“ඒ කිව්වෙ?”
“හේතුවක් ඇතිව කිව්වා නෙමෙයි. මට කියවුනා.”
හේෂාන්ගේ මුහුණෙහි වූයේ දුක්මුසු බවකි. ඔහු එය මා කෙරෙන් වසන් කරන්නට උත්සාහ කරන්නාක් මෙන් මට දැනිණ.
“මාව හොස්පිටල් එක්ක යන්න එනකොටනෙ ඔයාට මේ ප්‍රශ්නෙ වුනේ. මං මහරගම යන්න තීරණය කරලා ඉවරයි හේෂාන්.”
“මහරගම?”
“ඔව් හේෂාන්. ට්‍රීට්මන්ට්ස් පමා වෙන එක ගැන අම්මා ඉන්නෙ දුකෙන්. මට මං ගැන හිතනවට වඩා අම්මා ගැන හිතන්න ඕන.”
“ඇයි මං ගැන?”
මගේ දෑත් සිය මුහුණට ළං කරමින් හේෂාන් සිනාසුනේය.
“හිතනවා හේෂාන්. උදේ නැගිටින්නෙත් ඔයා ගැන මතකයත් එක්ක. රෑ නින්දට යන්නෙත් ඔයා ගැන මතකයත් එක්ක.”
“මං දන්නවා ඩිනාලි. මහරගම යන්න හදිසි වෙන්න එපා. මං අද අර හොස්පිටල් එකට කතා කරලා බලන්නම්.”
“එක පේෂන්ට් කෙනෙකුට විතරනේ ඉඩ තියෙනවා කිව්වෙ. දැන් සමහරවිට ඒකත් නැතිව ඇති.”
“සුබවාදීව හිතන්න ඩිනාලි. මං හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා. අපි නෙක්ස්ට් වීක් ඇඩ්මිට් වෙන්න යමු.”
“ඔයාට අපි එක්ක යන්න එන්න බෑ හේෂාන්. මම අම්මා එක්ක යන්නම්.”
මා පැවසුවේ හේෂාන් පිළිබඳව උපන් අනුකම්පාවෙනි.
“දැන්ම මට ඩ්‍රයිව් කරන්න බැරි බව ඇත්ත. මං ඒකට පිළිවෙලක් යොදන්නම්. දවස කිව්වම ඔයා ලෑස්ති වුනා නම් හරි.”
“මට සමාවෙන්න හේෂාන්. මං නිසයි ඔයා මේ කරදරේ වැටුනෙ.”
“ඔයා නිසා නෙමෙයි. අම්මා නිසා. එදා මං ගෙදරින් පිටවෙන්න ලෑස්ති වෙද්දි අම්මා මාව තරහ ගැස්සුවා. රණ්ඩු වුනා. කවදාවත් නැතිව අම්මා මට කම්මුලටත් ගැහුවා. මං ගෙදරින් පිට වුනේ හිතේ ආවේගෙන්. ඒකයි මේ හැමදේම.”
“ආන්ටි ඔයාට කියනවද මාව අමතක කරන්න කියලා?”
“නෑ. නෑ.”
කලබලයට පත් හේෂාන් පැවසුවේය.
“එහෙම කියන්නෙ නෑ. දන්නෙ නැද්ද අපේ අම්මගෙ හැටි? තරහට කෑගැහුවට සැනෙකින් ඒ තරහ නිවෙනවා.”
මම නිහඬව සිටියෙමි. හේෂාන්ගේ මව එසේ සැනෙකින් තරහ නිවී යන අයෙක් නොවන බව පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් පිළිබඳව කල්පනා කරද්දී පසක් වෙයි. එහෙත් ඒ බව හේෂාන් සමග පවසන්නට මට නොසිතිණ.
“බබා…”
වජිරාගේ හඬ දුරින් ඇසිණ. මම එදෙස බැලුවෙමි. වජිරා ඈත සිට අත වැනුවාය.
“සර් එක්ක එන්න තේ බොන්න.”
“අපි යමු හේෂාන්…”
හේෂාන් ද බංකුව මතින් නැගී සිටියේය. අප දෙදෙන ගෙතුළට යනවිට හේෂාන්ගේ පියා සුදු නංගී සමග කතා බහක නිරතව සිටින අයුරු මම දුටුවෙමි. කුඩා කළ සිට පිය සෙනෙහසක් අත් නොවිඳි සුදු නංගී පමණක් නොව මා ද හේෂාන්ගේ පියාගේ සමාගමය බෙහෙවින් ප්‍රිය කළ ද, නිවසේ ආධිපත්‍යය දරන ඔහුගේ මව විනා පියා සමග ඇසුරට අපට එතරම් ඉඩකඩක් නොලැබිණ.
වජිරා හේෂාන් සහ ඔහුගේ පියා වෙනුවෙන් සරු තේ මේසයක් පිළියෙල කර තිබිණ. එදෙස බැලූ හේෂාන්ගේ මුව නැගි දුක් සිනාව මම හඳුනා ගතිමි.
“වජිරට මං ආස දේවල් කවදාවත් අමතක වෙන්නෙ නෑ.”
ඔහු හිඳ ගත්තේ එසේ පවසමිනි.
“එහෙමත් අමතක වෙනවද සර්? මං මැඩම්ටත් කෝල් එකක් දුන්නා. දැනට වැඩක ඉන්නවා කියලා ඉක්මනින් එන්නම් කිව්වා. ඔන්න දවල්ටත් කාලා යන්න ඉන්නම ඕන.”
හේෂාන් සහ ඔහුගේ පියා මුහුණින් මුහුණ බලාගන්නා අයුරු මම දුටුවෙමි. ඔවුන්ට මෙහි රැඳී සිටිය නොහැකි කිසියම් කාරණයක් ඇතැයි මට සිතිණ.
*