පසුගිය රාත්‍රිය මුලුල්ලේම නොකඩවා ඇද හැලුනු වර්ෂාව ඒ වනවිට තුරල් වී තිබිණ. වැහි වලාකුළු වලින් බරවූ අහස හඬන්නට සැරසෙන ගැහැනියක සිහිපත් කරයි. මුලු පරිසරයම ශෝකී අන්ධකාරයකින් වැසී ඇතැයි සඳලුතලයේ රැඳී සිටි මට සිතිණ. වර්ෂාව නිසාම අම්මා ද කේක් සාප්පුවට ගියේ වෙනදාට වඩා හෝරාවක් පමණ ප්‍රමාදවය. සුදු නංගී සිය කාමරය තුළට වී ලැප්ටොප් පරිගණකයෙහි ග්‍රැෆික් නිර්මාණ කාර්යයක නිරතව සිටියෙන් මට තනිකමක් දැනිණ. ගතට දැනෙන සීතල නිසාම දෑත් බැඳගෙන මම අවට පරිසරය දෙස නෙත් හෙලාගෙන සිටියෙමි. වර්ෂාව විසින් කර ඇති හානිය දකිද්දී සිත තුළ ඇතිවන්නේ ශෝකයකි. වෙනදා උදෑසනට මල් පඳුරු වල පිපී සුවඳ දෙන මල් අද දක්නට නොමැත්තේ වර්ෂාව විසින් මල් පෙති සියල්ලම සූරා දමා ඇති හෙයිනි. මල් පඳුරු සියල්ලම වැහි දියෙන් බරිතව සිය හිස් බිමට බර කොට ගෙන සිටින්නේ තම හිස් සැරසූ සුවඳවත් හා වර්ණවත් පුෂ්පයන් සියල්ලම වර්ෂාව විසින් සූරා දැමීම නිසා ඇති වූ ශෝකය පළ කරන්නාක් මෙනි.
“බබා…”
වජිරාගේ කටහඬ මා පසුපසින් ඇසිණ. මම පසුපස හැරී බැලුවෙමි. සීතල නිසා අත් දිග බ්ලවුසයකින් සැරසී සිටි වජිරා දෑත් බැඳගෙන පරිසරය දෙස බලා සිටියාය.
“සීතලයි. නේද බබා?”
ඇය ඇසුවාය.
“මට එතරම් සීතලක් දැනෙන්නෙ නෑ වජිරා.”
“හිරිකඩ වැටිලා අසනීප වේවි. ඇඟ වැහෙන්න ඇඳුමක් අරගෙන එන්නද?”
ශල්‍යකර්මයෙන් පසුම මා ගෙදරට ඇන්දේ අම්මා මසා දෙන ලද අත් රහිත වූ තුනී කපු ගවුම් පමණකි. සැබවින්ම එය මගේ සිරුරට පහසුවක් විය.
“එපා.”
මම පැවසුවෙමි.
“වැස්ස අපිව කම්මැලි කරලා නේද බබා? මිදුල අතු ගාන්නත් විදියක් නෑ. පේනවද වැස්ස කරපු හදිය? මුලු මිදුලම යුද පිටියක් වගෙයි.”
වජිරා පවසන්නේ සත්‍යයකි. වෙනදා උදෑසනම වජිරා විසින් අමදින ලද මිදුල බොහෝ මනස්කාන්ත දසුනක් වුවද, වැස්ස විසින් සූරා දමන ලද ගස් වලින් වැටුනු තෙත් කොළ නිසා සියල්ල දිස් වන්නේ යුද පිටියක් ලෙසිනි.
“ඊයෙ රෑ මං ගොඩක් හීන දැක්කා බබා.”
බොහෝ වේලාවක් පරිසරය දෙසට නෙත් හෙළාගෙන සිටි වජිරා පැවසුවාය
“මාත් හීන දැක්කා. ඒත් උදේ වෙද්දි කිසිම දෙයක් මතක නෑ.”
මා පැවසුවේ මුසාවක් නොවේ. නින්දේදී බොහෝ සිහින දුටු බවට මතකයක් ඇති නමුත් කිසිවක් මතකයෙහි රැඳී නොතිබිණ. කෙසේ වුව ද, ඒ සෑම සිහිනයකම හේෂාන් සිටි බව පමණක් යන්තමින් මතකයෙහි තිබිණ.
“මං දැක්කෙ අපේ ගම. අපේ පරණ ගෙදර. අපේ අම්මා…”
දිගු සුසුමක් හෙලූ වජිරා පැවසුවාය.
“අම්මා ජීවත් වෙලා හිටිය කාලෙ හරිම ලස්සනයි. අපට ලොකු සල්ලියක් තිබුනෙ නෑ බබා. අම්මා ආප්ප පුච්චලා තමයි අපිව ජීවත් කළේ. අපි කියන්නෙ මල්ලියි, මායි.”
“මං ඒ බවක් දැනගෙන හිටියෙ නෑනෙ වජිරා.”
මම පැවසුවෙමි.
“මැඩම් නම් හැම දෙයක්ම දන්නවා. වළලපු අතීතයක් ආයෙ ගොඩ ගන්න ඕන නැති නිසා මම බබා එක්කවත් කිව්වෙ නෑ.”
“කෝ දැන් වජිරගෙ අම්මා?”
“අම්මා අසනීප වෙලා නැති වුනා. ලේ අඩුකම නිසා කියලා තමයි දොස්තරලා කිව්වෙ. මල්ලි අපේ දේපල හැමදේම අල්ල ගත්තා. මං පාරට වැටුනා බබා. අන්තිමේදි මැඩම් තමයි මට පිහිටට හිටියෙ.”
වජිරා දිගු සුසුමකින් සිත සැහැල්ලු කරගත්තාය. අනතුරුව ඇය මඳ සිනාවක් මුවගට නගා ගත්තාය.
“ඒ දවස් වල ගමේ පොදු ළිඳක් තිබුනා. මම හීනෙන් දැක්කෙ ඒ ළිඳට අම්මයි මමයි නාන්න යනවා. අම්මා කිව්වා මට වතුර අදින්න බෑ පුතේ. අද මාව නාවපන් කියලා.”
වජිරා මට රහසින් දෑස් පිසගන්නට තැත් කළ ද මම එය දුටුවෙමි.
“වජිරා දුක් වෙන්න එපා.”
මා පැවසුවේ ඇගේ දුක්මුසු මුහුණ මගේ සිත රිදවූ හෙයිනි. ඇය නිහඬවම ඈත අනන්තය දෙසට නෙත් හෙළාගෙන කල්පනාවට වැටී සිටියාය.
“බබා…”
එක්වරම වජිරා මගේ බාහුව තදින් අල්ලා ගත්තාය. ඇගේ දෑස් නතර වී ඇති දෙසට මගේ දෙනෙත් සැනෙකින් යොමු විය. සෙමෙන් පැමිණි හමුදා ජීප් රථයක් ගේට්ටුව අසළ නතර වන අයුරු දුටු මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ගේට්ටුව අසළ නතර ජී්ප් රථය නතර වුව ද කිසිවෙක් ඉන් බිමට බසින ආකාරයක් නොපෙනිණ. එක දිගට හෝන් හඬ නැගෙද්දී වජිරා කලබල වූවාය.
“සර් ද මන්දා බබා.”
මගේ හද වේගයෙන් ගැහෙන්නට වූයේ පිටතට ඇසෙන තරම් හඬක් නංවමිනි.
“මම ගිහින් බලන්නම්. බබා ඔහොමම ඉන්න.”
වජිරා පහළට දිව ගියාය. පැමිණ ඇත්තේ තාත්තා නම් මා ඔහු හමුවට යායුතුද යන දෙගිඩියාවෙන් යුතුව මම සුදු නංගීගේ කාමරය දෙසට ගියෙමි. පරිගණකය යහනෙහි පසෙක තබා ඇය තද නින්දට වැටී සිටියාය. සුදු නංගී ඇහැරන්නට මට නොසිතිණ. මම මගේ කාමරය තුළට ගොස් යහන මත හිඳගෙන සිටියේ කැළඹුනු සිතින් යුතුවය. ස්වල්ප වේලාවකින් වජිරා මා අසළට දිව ආවාය. ඇගේ මුහුණෙන් පළ වූයේ බියමුසු බවකි.
“සර් ඇවිත්…”
ඇය පැවසුවේ රහස් හඬිනි.
“තාත්තා?”
“ඔව්. බබාව අහනවා.”
“මාව?”
“ඔව් බබා. උඩට එන්න කලින් යමු. බයවෙන්න එපා. මම ඉන්නවා ඕන දේකට.”
මම වික්ෂිප්තව වටපිට බැලුවෙමි. තාත්තාගේ ඇඳුම් සහ තවත් ඔහු පරිහරණය කළ දෑ තවමත් ඔහුගේ කාමරය තුළ තිබේ. අම්මා ඔහුගෙන් නීතියෙන් වෙන් වී නොමැති හෙයින් මෙම නිවසේ ඕනෑම තැනකට යාමට ඔහුට අයිතියක් තිබේ. එහෙත් ඔහු මෙහි පැමිණියහොත් සුදු නංගී සහ ඔහු අතර ගැටුමක් ඇති වන බව ස්ථිරය. එබැවින් තාත්තා හමුවට පහළට යාමට මම තීරණය කළෙමි.
“යමු.”
මම යහන මතින් නැගී සිටියෙමි. වජිරා ද මා සමග පැමිණියාය. තාත්තා සෝෆාව මත හිඳගෙන සිටින අයුරු පියගැටපෙල මැදදී මම දුටුවෙමි. ඔහුගේ දෙනෙත් මා දෙසට යොමු වී තිබෙනු දුටුවද, එය නොදුටුවාක් මෙන් බිම බලාගත්වනම මම ඔහු අසළට පිය නැගුවෙමි.
“වාඩි වෙනවා.”
ඔහු මට අණ කළේය. මම තාත්තා ඉදිරියෙන් හිඳ ගතිමි.
“බලනවා මං දිහා කෙලින්.”
මම තාත්තා දෙස සෘජුව බැලුවෙමි. හමුදා ඇඳුමින් සැරසී සිටින කළ ඔහු කෙරෙන් පළ වන කඩවසම් බව වෙනදා මෙන්ම විය.
“මොකක්ද දැන් වෙලා තියෙන්නෙ?”
මම වජිරා දෙස බැලුවෙමි. ඇය ඈතින් හිඳ අප දෙස බලා සිටියාය.
“මුකුත් නෑ.”
මම ආයාසයෙන් පැවසුවෙමි.
“මුකුත් නෑ? මට හංගන්න එපා ඩිනාලි. මට පහුගිය දවසක ඩොක්ට අරුන් හම්බ වුනා. අරුන් තමයි මට සේරම විස්තර කිව්වෙ. දැන් ට්‍රීට්මන්ට්ස් ගන්නෙ නැතිව ගෙදරට වෙලා ඉන්නවද?”
තාත්තා ඇසුවේය. මගේ දෙනෙතට කඳුලු ගලා ආවේ අහේතුකවය.
“අම්මට ඕන උඹව මරා ගන්නද?”
“අම්මට බනින්න එපා.”
මම කඳුලු අතරින් පැවසුවෙමි.
“මට දුකයි ඩිනාලි.”
තාත්තා පැමිණ මා හිඳගෙන සිටි දිගු සෝෆාවෙහි හිඳ ගත්තේය.
“චූටිම කාලෙ ඔයා හරි හුරතල්. මට කිව්වෙ චාචා කියලා. අම්මගෙයි මගෙයි ප්‍රශ්න නිසා ඈත් වුනාට මං ඔයගොල්ලන්ට තවමත් ආදරෙයි.”
තාත්තා ලේන්සුවකින් දෙනෙත් පිස ගත්තේය.
“මං අම්මව කසාද බැඳගත්තෙ මෙහෙම වෙන්වෙන්න නෙමෙයි. එයා හැමදාමත් මගෙන් යැපෙන ගෙදරට වෙලා ඉන්න ගෑනියක් වුනා නම් අදටත් මම මේ ගෙදර ඉන්න තිබුනා. එයාට ඕන වුනේ තනියම නැගිටින්න. සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. ඔව්වට උඩගෙඩි දුන්නෙ වෙන කවුරුවත් නෙමෙයි. අර සීයා කියන මිනිහා. ඔයගොල්ලොත් මෙව්වා දැනගන්න ඕන.”
මම නිහඬව සිටියෙමි. තාත්තා තමාට ඊර්ෂ්‍යා කරන බව අම්මා අප හා පැවසූ බව මට සිහියට නැගිණ.
“එව්වයෙන් වැඩක් නෑ. අද මම සතුටින් ජීවත් වෙනවා. කවදාවත් නොහිටි තරම් සතුටෙන්. දැන් මොකක්ද වෙන්නෙ?”
“මුකුත් නෑ.”
මම පැවසුවෙමි.
“ඒ කියන්නෙ ට්‍රීට්මන්ට්ස් මොනවත් නැතිව මැරෙනකම් ගෙදරට වෙලා ඉන්නවා?”
“ඔව්.”
“පිස්සු නැතිව මහරගම යන්න ලෑස්ති වෙනවා. මම දන්න ඩොක්ටර්ස්ලා කීපදෙනෙක්ම ඉන්නවා. මම ඒගොල්ලන්ට කතා කරන්නම්.”
“එපා.”
“ඇයි?”
“ඩොක්ටර්ස්ලා ඇඳුනුම්කමට නෙමෙයි පේෂන්ට්ලව බලන්නෙ.”
“අම්මා වගේම පණ්ඩිතකම වැඩියි.”
තාත්තා පැවසුවේ පරාජිත ලෙසිනි.
“සර්ට තේ හදන්නම්?”
වජිරා අප සමීපයට පැමිණියාය.
“තේ? මගේ බල්ලටවත් එපා. උඹලගෙ උද්දච්ච මැඩම් හම්බ කරන සල්ලි වලින් ගන්න හූණු බිත්තරයක්වත් මට එපා.”
මගේ මුවට සිනාවක් නැගුනේ තාත්තා පැවසූ ‘හූණු බිත්තර’ කතාවටය.
“දැන් ඔය කරන්න හදපු මගුලට මොකද වෙන්නෙ? මනමාලයා දැන් මග අරිනවද?”
මම අන්දමන්දව තාත්තා දෙස බැලුවෙමි. ඔහුට මේ සියලු විස්තර පවසන්නට ඇත්තේ වෛද්‍ය අරුන්ද?
“මට හැමදේම ආරංචි වෙනවා. ඔය මගුල නොකෙරුණොත් මම මහ ගෑනිට වෙඩි තියනවා.”
තාත්තා පැවසුවේ සාහසික වේෂයෙනි.
“අනේ සර්… බබා ඉන්නෙ අසනීපෙන්.”
වජිරා ඉදිරියට පැමිණ පැවසුවේ යටහත් ලෙසිනි. ඉන් තාත්තා මෙල්ල වු බවක් පෙනිණ. ඔහු සෝෆාව මතින් නැගී සිටියේය.
“ඕන දෙයක් ඇත්නම් මට කතා කරනවා. මම යන්න ඕන.”
මඳ දුරක් ඉදිරියට ගමන් කළ තාත්තා ආපසු හැරී මා අසළට පැමිණියේය. ඔහු කලිසම් සාක්කුව තුළින් ගත් මුදල් නෝට්ටු මිටියක් මා දෙසට දිගු කළේය.
“මෙතන සල්ලි ටිකක් තියෙනවා. ඕන දේකට ගන්න.”
“මට එපා.”
මම පැවසුවෙමි.
“එපා? මං දන්නවා. අම්මා සල්ලිකාරිනෙ. මං යනවා. ඕන දේකට ආඩම්බරකම නැතිව මට කතා කරනවා.”
තාත්තා ඉදිරියට ගමන් කළේය. ඔහු ආපසු හැරී බලනු ඇතැයි මා සිතුවද, පසුපස හැරී නොබැලූ ඔහු නිවසින් පිටව යන දෙස මම බලා සිටියෙමි. ස්වල්ප වේලාවකින් ජීප් රථය පිටත්ව යන හඬ ඇසිණ.
“දැන් මොකද අනුකම්පාවක් පහළ වෙලා?”
මා සමීපයට පැමිණි වජිරා පැවසුවාය.
“දරුවො ඉන්නවා කියලා හිතලා වැඩ කරපු කෙනෙක් නෙමෙයිනෙ. බබා සල්ලි නොගත්ත එක හොඳයි. දරුවෙකුට ඕන සල්ලි නෙමෙයි සෙනෙහස කියලා හිතෙන්නෙ නැති තරමට හිත ගල් ගෙඩියක්. හිත නිදහස් කරගන්න බබා. අපි යමු උඩට.”
මම වජිරාට අවනතව පියගැට පෙළ නැග්ගෙමි. නතර වී තිබූ වර්ෂාව ඒවනවිට නැවතත් ආරම්භ වී තිබිණ. වැස්සේ හඬ මට ඇසුනේ ගැහැනියකගේ විලාපයක් පරිද්දෙනි.
“කවුද ඒ ඇවිත් ගියේ?”
සුදු නංගී අප අසළට දිව ආවේ කෝපයෙන් පිරුණු මුහුණින් යුතුවය.
“මට නින්ද ගිහින් හිටියෙ. නැගිටලා එද්දි මං අහම්බෙන් දැක්කෙ ජීප් එක යනවා. කවුද ඒ ආවෙ?”
“බබාලගෙ තාත්තා ආවා.”
වජිරා පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි.
“මොකා?”
සුදු නංගී වජිරාට කඩා පැන්නාය.
“තාත්තා? තාත්තා? එහෙම කෙනෙක් හිටියද අපට?”
“බබා අසනීප වෙලා කියලා ආරංචියට ඇවිත්.”
වජිරා පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි.
“ඇයි මට කිව්වෙ නැත්තෙ? කිව්වනම් එයා මේජර් වංශනාථ තියා කවුරු වුනත් කමක් නෑ. මං නැගිටලා හිටියනම් ගන්නවා කොස්ස.”
“නපුරු වෙන්න එපා.”
මට කියවිණ.
“ලොකූ… මගෙ ලොකූ… ඔය හැටි මෘදු වෙන්න එපා ලොකූ. හිතේ හයිය තියාගන්න. තාත්තා තියා කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.”
සුදු නංගී මා වැළඳ ගත්තාය. පහසුවෙන් නොහඬන ඇය මා වැළඳගෙන හඬා වැටුනේ මා වෙනුවෙන් බව මම දැන සිටියෙමි