හේෂාන්… හේෂාන්, මව සහ පියා සමග උත්සව ශාලාවට පිවිසෙන අයුරු මා බලා සිටියේ විස්මයට පත් දෑසින් යුතුවය. ඔහු ද අපගේ විවාහ මංගල්‍යයේ පිටත්වීම සඳහා පිළියෙල කරන ලද ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටියේය. හේෂාන් දැකීමෙන් පසු මුලු ශාලාව තුළම සිටි අන් කිසිවෙක් මට දර්ශනය නොවීය. ඇසිපිය නොසලා මා බලා සිටියේ ඔහු දෙසමය. හේෂාන්ට ද විවාහ මංගල උත්සවය සඳහා ආරාධනා කළ බව අරුණෝදි මා කෙරෙන් වසන් කළේ මන්දැයි මම කල්පනා කළෙමි.
හේෂාන්ගේ මව, හිඳගන්නට සුදුසු ස්ථානයක් සොයමින් අප සිටින දෙසට පැමිණෙමින් සිටිද්දී අහම්බෙන් මෙන් මා දුටුවාය. අදහාගත නොහැකි වුවාක් මෙන් මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටි ඇය එක්වරම හේෂාන්ගේ අතින් ඇදගෙන අනෙක් දෙසට ගමන් කරන්නට සැරසුණාය. එවේලේ හේෂාන්ගේ දෙනෙත් මා වෙතට යොමු විය. ඔහු ද මා දෙස බලා සිටියේ ලෝකයම අමතක වූවාක් මෙනි. කිසිවක් පැවසූ හේෂාන්ගේ මව ඔහු අතින් ඇදගෙන වෙනත් මේසයක් දෙසට ගමන් කරන අයුරු මම සිත්පිත් නැත්තියක සේ බලා සිටියෙමි.
“හේෂාන් නේද?”
මගේ දෙනෙත් යොමු වී ඇති දෙසට අම්මාගේ ද දෙනෙත් යොමු වන්නට ඇතැයි මට සිතුනේ ඇය එසේ පවසද්දීය.
“ඔව්…”
සුදු නංගී ද්වේෂ සහගත ලෙසින් සිනාසුනාය.
“මේ පැත්තෙ ඉන්නෙ අඩු කුලේ මිනිස්සුනේ. අර අහංකාර රැජිණ හේෂාන්වත් ඇදගෙන යන්න ගියේ.”
“කෑනොගහා ඉන්න ළමයා.”
අම්මා සුදු නංගී කෙනිත්තුවාය. මට නැගිට ගොස් හේෂාන් සමග කතා කරන්නට සිතිණ. එහෙත් හේෂාන්ගේ මව තැනක් නොතැනක් නොබලා මට මෙන්ම අම්මාට ද අපහාසාත්මකව කතා කරනු ඇත්දැයි මම බිය වූයෙමි.
“හේෂාන්ටත් ඉන්වයිට් කළා කියලා අරුණෝදි ඔයාට කිව්වද ඩිනාලි?”
අම්මා රහස් හඬින් ඇසුවාය. වදනක් මුවට නගා ගත නොහැකි වූයෙන් මම හිස දෙපසට වැනීමි. අරුණෝදි කඩිනමින් අප අසළට දිව ආවේ ඒ මොහොතේය. නෙලුම් මලේ පැහැයෙන් යුත් සාරියකින් සැරසී සිටි ඇය වෙනදාට වඩා බොහෝ සුන්දර වූවාය.
“මම හිතුවෙ නෑ ඉන්වයිට් කළාට ඩිනාලි ඒවි කියලා.”
අරුණෝදිට කියවිණ. ඇය මගේත්, අම්මාගේත්, දෙකොපුල් සිප ගත් නමුත් සුදු නංගී ව්‍යාජ උවමනාවක් පාමින් දුරකතනය දෙස බලමින් මඳක් ඈතට ගියාය.
“අපි දැනගෙන හිටියෙ නෑනෙ අරුණෝදි හේෂාන්ටත් ඉන්වයිට් කළා කියලා.”
අම්මා පැවසුවාය.
“හේෂාන්ට?”
විස්මයට පත් ඇය ඇසුවාය.
“හේෂාන්ට ඉන්වයිට් කළේ නෑ ආන්ටි. කරන්නත් හදලා ඉතින්… ඩිනාලිත්….”
මුවට නැගි වදන් ගිල ගත් අරුණෝදිගේ දෙනෙත් ශාලාව තුළ ඒ මේ අත දිව ගියේ හේෂාන් දැකගැනීමේ උවමනාවෙනි. ඔහු දුටු සැනින් අරුණෝදි සිනාසී ඔහුට අත වැනුවාය.
“පුංචිලගෙ පැත්තෙන් ඉන්වයිට් කරන්න ඇති. ඒ බාප්පගෙ යාලුවෙක්ද රිලේෂන් කෙනෙක් ද කියලා කියන්න මම දන්නෙ නෑ.”
අරුණෝදිගේ වදනින් මගේ සිතට සැනසීමක් දැනුනේ මන්දැයි මම නොදැන සිටියෙමි.
“කෙල්ල අද හරිම ලස්සනයි.”
මා දෙස මොහොතක් බලා සිටි ඇය පැවසුවාය.
“ඩිනාලි විතරක් නෙමෙයි. ආන්ටිත් හරිම ලස්සනයි. ඒකනෙමෙයි. අපි පස්සෙ කතා කරමු.”
අරුණෝදි කලබලයෙන් දිව ගියේ ඒවනවිට පෝරුවේ චාරිත්‍ර පටන් ගැනීමට නැකත ළං වෙමින් තිබූ නිසා විය යුතුය. ඇය හේෂාන් සමග කතා කිරීමට යනු ඇතැයි මා සිතුවද, අරුණෝදි එදෙසට නොගියාය. ඇගේ සාරියේ පැහැයෙන්ම සාරි වලින් සැරසී සිටි සුන්දර යුවතියන් කිහිප දෙනෙක් අසළ ඇය නතර වන ආකාරය මම බලා සිටියෙමි. ඔවුන් සියලු දෙනා මනාළියගේ යෙහෙළියන් විය යුතුය.
“ගියාද මායාකාරි? හැමදේම ප්ලෑන් කරලා ඇවිත් බබා වගේ කතා කරන හැටි.”
සුදු නංගී පැමිණ අසුන් ගත්තේ කෝපයෙන් පුපුරමිනි.
“බොරුවට චෝදනා කරන්න එපා සුදු. හේෂාන් ග්රූම්ගෙ පැත්තෙන් ආව කෙනෙක්ලු.”
සුදු නංගී නිහඬ වූවාය. මගේ දෙනෙත් වරින් වර හේෂාන් සොයා ගියේය. වරක් දෙකක් ඔහුගේත් මගේත් දෙනෙත් හමු වූ නමුත් අප දෙදෙනාටම සිනාසෙන්නට අමතක වී තිබිණ. එක් අවස්ථාවක හේෂාන් අසුනින් නැගී සිටින්නට සැරසෙත්ම ඔහුගේ මව ඔහු අතින් ඇද හිඳුවන අයුරු මා පමණක් නොව සුදු නංගී ද දකින්නට ඇත.
“තවම බෑග් එකයි වතුර බෝතලෙයි කරේ එල්ලලා මොන්ටිසෝරි අරන් යන බබෙක් වගේනෙ හේෂාන්…”
සුදු නංගී පැවසුවේ අසන්තෝෂයෙනි.
“මෙතනදි හේෂාන්ට අම්මා කියන දේ කරන්න වෙනවා සුදු. නැත්නම් මේ වගේ අවස්ථාවක අනවශ්‍ය ප්‍රශ්න ඇති වුනොත් ඒක කාට කාටත් හොඳ නැති නිසා.”
අම්මා පැවසූ පසු සුදු නංගී නිහඬ වූවාය. පෝරුවේ චාරිත්‍ර ආරම්භ වීමට නැකත ළං වෙමින් ඇතැයි මා සිතුවේ අරුණෝදිගේ මවත්, තවත් අයෙකුත් කැඳවාගෙන එන මනාලිය දකිද්දීය. අරුණෝදිගේ පුංචි අම්මා වුව ද, අප පසුවන වයසෙහි පසුවන මනාලිය බොහෝ සුන්දර යයි මට සිතිණ. මට සහ පියා කැටුව පැමිණෙන මනාලයා ද කඩවසම් අයෙකු විය. මට නැවත වතාවක් හේෂාන් දෙස බැලිණ. මවගේ අවධානය මනාල යුවළ දෙසට යොමු වී තිබුණෙන් ඔහු අප දෙස බලා සිනාසුනේය.
“පස්සෙ කතා කරමු.” යි ඔහු අභිනයෙන් පැවසුවේය.
“කොල්ලා පව්.”
හේෂාන් දෙස බැලූ අම්මා පැවසුවාය.
“ආන්ටි මට මේතරම් වෛර කරන්නෙ මම හිතාමතා වරදක් කරලා නෑ අම්මා.” යි මට කියවිණ.
“මිනිස්සු විවිධයි. විෂමයි පුතේ. ඒක අවබෝධ කරගෙන හිටියම හිතට දුකක් නෑ.”
අම්මා මා සැනසුවාය. ඒවනවිට පෝරුවේ චාරිත්‍ර ආරම්භ වී තිබිණ. නෙලුම් මලෙන් සැරසූ අලංකාර පෝරුව මත සිටින මනාල යුවල තුළින් මා දුටුවේ මා සහ හේෂාන් ය. සුදු වතින් සැරසී සිටි මැදිවියේ පුද්ගලයකු විසින් කරන ලද අෂ්ඨක ගායනයට මා සවන් දී සිටියද, මගේ සිත අත් නොහැර රැඳී සිටියේ හේෂාන් ය. මනාල යුවල මුදු මාරු කරගන්නා අයුරු, තැලි පිළි පළඳින අයුරු සිහිනයෙන් මෙන් මගේ දෙනෙත් වලට යොමු විය. මගේ අසනීපය සිදු නොවුවා නම් මේ මොහොතේ පෝරුව මත සිටින්නේ මා සහ හේෂාන් නොවේදැයි සිතෙත්ම සිත තුළින් සියුම් වේදනාවක් නැගී ආවේය. මනාල යුවල පෝරුවේ ගත කළ කාලය මඳක් දීර්ඝ වුව ද, එම කාලය මට එතරම් නොදැනුනේ මනසින් මා අපගේ මංගල චාරිත්‍ර සිදු කරන අයුරු දකිමින් සිටි බැවින් වන්නට ඇත.
“ඩිනාලි… මම ඔතනට නොඑන්නෙ සැලසුම් ගොඩක් හිත ඇතුළෙ තියෙන නිසා. සමාවෙන්න. මං ඔයාට ආදරෙයි… ආදරෙයි… ආදරෙයි…”
හේෂාන් මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් එවා තිබිණ. මම හේෂාන් දෙස බැලුවෙමි. පෝරුවෙන් බැස ගිය මනාල යුවළ කේක් කපද්දී මවගේ අවධානය ඒ දෙසට යොමු වී තිබූ හෙයින් හේෂාන් මුව පුරාම මා හා සිනාසුනේය.
“එක අතකට ඔය මගුල නොකෙරුන එක හොාඳයි කියලා හිත හදාගන්න ලොකු…”
මගේ දෙනෙත් යොමු වී ඇති දෙස බැලු සුදු නංගී පැවසුවාය.
“පිරිමියෙක් විදියට නැගිටලා ඇවිත් කතා කරන්න බැරිද? අම්මගෙ සාරි පොටේ එල්ලිලා ඉන්න පුතෙක් කසාද බැඳගන්නවට වඩා හොඳයි තනියම ඉන්නවා.”
සුදු නංගීගේ කටහඬ මට ඇසුනේ සිහිනයෙන් මෙනි.
“කෑනොගහ ඉන්නවා. එහෙම ඉන්න මොකක් නමුත් හේතුවක් ඇති. හේෂාන් එතන ඉන්නෙ කැමැත්තෙන් නෙමෙයි කියලා පේන්නෙ නැද්ද? පව්…”
අම්මා පැවසුවාය.
“අපි අර පැත්තට යමු අම්මා. එහා පැත්තෙ තියෙන්නෙ වැවක්. ටික වෙලාවක් ඉඳලා ඇතුළට එමු.”
සුදු නංගී පැවසුවේ මා විඳින මානසික පීඩාව ඉවෙන් මෙන් හඳුනාගෙන විය යුතුය.
“යමු. මීට කලිනුත් මං මේ හෝල් එකට ඇවිත් තියෙනවා. ලස්සනයි වැව පැත්ත. යමු ඩිනාලි.”
අම්මාත්, සුදු නංගීත් නැගී සිටියේ එකවරය. මම ද නැගිටින්නට උත්සාහ කළෙමි. එහෙත් බඩ කොර වූවාක් මෙන් දැනෙමින් තිබූ නිසා මට නැගී සිටින්නට අපහසු විය.
“ඇයි ඩිනාලි?”
අම්මා ඇසුවාය.
“බඩ කොරවෙලා වගේ අම්මා. නැගිටින්න ටිකක් අමාරුයි.”
“එහෙමනම් නැගිටින්න එපා. ඔහොම ඉන්න.”
අම්මා පැවසුවේ කැළඹුණු මුහුණින් යුතුවය.
“මට වොෂ් රූම් යන්නත් ඕන වගේ අම්මා.”
දැනෙමින් තිබූ අපහසුතාවය මඳින් මඳ වැඩි වෙමින් පවතිද්දී මම පැවසුවෙමි.
“එන්න. මම අල්ලගෙන යන්නම්.”
අම්මා මා නැගිටුවන්නට උත්සාහ කළාය. එහෙත් දැනෙමින් පවතින වේදනාව උත්සන්න වෙමින් පැවතියෙන් මට කෙසේවත් නැගී සිටීමට නොහැකි විය.
“ඇයි ආන්ටි?”
හේෂාන් අප අසළට පැමිණ ඇති බව මා දුටුවේ එවරය.
“ඩිනාලිගෙ බඩ කොර වෙලා වගේ කියනවා. නැගිටගන්න බෑ.”
“අපි ලොකුව බලාගන්නම්. ඔයා යන්න හේෂාන්. අම්මා බනීවි.”
සුදු නංගී පැවසුවේ නොරුස්නා ලෙසිනි.
“මං හෙමිහිට ඩිනාලිව නැගිට්ට ගන්න බලන්නම්. ආන්ටි එහාට වෙන්නකො.”
හේෂාන් මගේ බඳ වටා අත යවා මා නැගිටුවීමට තැත් කළ ද දැනෙමින් තිබූ වේදනාව නිසා මගේ දෙනෙතට කඳුලු නැගිණ. කඳුලු අතරින් මා දුටුවේ හේෂාන්ගේ මව ගිනි පිටවන දෑසින් යුතුව අප දෙස බලා සිටින අන්දමයි.
“යන්න හේෂාන්…” යි මට පවසන්නට උවමනා වුව ද මගේ මුවින් වදනක් හෝ පිට නොවීය. මංගල උත්සවයට සහභාගි වූ අමුත්තන්ගේ අවධානයට ලක් නොවී ඔවුන්ගේ ප්‍රීති සමාගමයට බාධාවක් නොකර ශාලාවෙන් පිටතට යන්නට මට ඕනෑ විය. අපහසුතාවය ආයාසයෙන් විඳ ගනිමින් වුව ද, හේෂාන්ගේ වාරුව ඇතිව මම ශාලාවෙන් පිටතට පැමිණියෙමි. ඒවනවිට මගේ ගතින් දහඩිය වැගිරිණ.
“තනිකර අපේ වැරැද්ද ආන්ටි.”
හේෂාන් පැවසුවේ පසුතැවිල්ලට පත් ස්වරයෙනි.
“ටී්‍රට්මන්ට්ස් ගන්න එක දවසින් දවසට කල් දැම්මා. දැනට ඩොක්ට අරුන් ළඟට යමු. හෙට නම් අනිවාර්යයෙන්ම හොස්පිටල් ඇඩ්මිට් කරන්න ඕන. මොන ප්‍රශ්න ආවත් මම උදෙන්ම එනවා ඩිනාලිව එක්ක යන්න.”
“හරි. එහෙම කරමු පුතා. දැන් ඔයා හෝල් එක ඇතුළට යන්න. මම ඩොක්ට අරුන් ළඟට ඩිනාලිව අරන් යන්නම්.”
“කමක් නෑ. මං එන්නම් ආන්ටි.”
“එපා. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න එපා. දැන් මං එක්ක යන්නම්.”
“කමක් නෑ එහෙනම්.”
හේෂාන් පැවසුවේ මගේ හිස පිරිමදිමිනි.
“මම අම්මා ඉන්න තැනට යන්නම්. ආන්ටි ප්‍රවේශමෙන් ඩිනාලිව එක්ක යන්න. මොනවා හරි ඇත්නම් මට කෝල් කරන්න. ප්‍රශ්න ඇති වේවි කියලා නෙමෙයි. මට හෙට එන්න ඕන නිසයි මං දැන් නොඑන්නෙ ඩිනාලි. දුක හිතන්න එපා.”
අම්මා මා සිටින තැනට මෝටර් රථය රැගෙන ඒම පිණිස රථ ගාල දෙසට ගියාය. ඇය පැමිණෙන තුරු හේෂාන් සහ සුදු නංගී මා සමග රැඳී සිටියහ. ශාලාව තුළින් මිහිරි ගී හඬක් ඇසිණ. සියලු දෙනාම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව සිටියදී මෙසේ සියල්ල අත හැර දමා යන්නට සිදුවීම මගේම අවාසනාවක් නොවේද?
ස්වල්ප වේලාවකට පසු අම්මා මෝටර් රථය මා සමීපයට රැගෙන පැමිණියාය. හේෂාන් සීරුවෙන් මා එහි හිඳවූයේය.
“මට අසනීප වුනා කියලා අරුණෝදිට පස්සෙ කියන්න හේෂාන්…”
මම පැවසුවෙමි.
“මම කියන්නම්.”
“ඩොක්ට ළඟට ගිහින් අපි එහෙමම ගෙදර යනවා පුතා.”
“හරි ආන්ටි. පරෙස්සමෙන්. හෙට යන ගමන ගැන මම ආන්ටිට හවස කියන්නම්.”
කෙමෙන් ඉදිරියට ගමන් කරන මෝටර් රථය, හේෂාන්ගේ ශෝකයෙන් පිරුණු මුහුණ මගේ දර්ශන පථයෙන් ඈත් කර දැමුවේය. වේදනාව නිසාම මා හිඳගෙන සිටියේ නැමීගෙනය. රිය පදවන අතරේ පවා අම්මා වරින් වර මා ගැන විමසා බැලුවාය.
“මට බය ඩොක්ට මටත් බනීවි කියලා.”
පෞද්ගලික රෝහල සමීපයට යද්දී අම්මා පැවසුවේ බිය මුසු කටහඬින් යුතුවය.
“අම්මා කියන්න හෙට ගිහින් ඇඩ්මිට් වෙන්න තමයි හිටියෙ කියලා.”
“බොරු කියලා ඩොක්ටර්ස්ලා රවට්ටන එකෙන් රැවටෙන්නෙ අපිම තමයි. මගෙයි සම්පූර්ණ වැරැද්ද.”
“අම්මා වරදක් කරලා නෑ. මම තමයි පස්සෙ යමු යමු කියලා කිව්වෙ.”
මම අපහසුවෙන් පවසා ගතිමි.
“හෙට හේෂාන් ආවත් නැතත් මම ඔයාව කොහේට හරි එක්ක යනවා ඩිනාලි.”
මෝටර් රථය නතර කළ අම්මා පැවසුවේ ස්ථිරසාර හඬිනි.