මගේ කොට්ටය අසළ වූ ජංගම දුරකතනය නොනවත්වා නාද වෙන හඬ නින්දෙන් මෙන් මට ඇසිණ. හිස ඔසවා එදෙස බලන්නට උත්සාහ කළ ද, අවට පරිසරයම මා වටා භ්‍රමණය වන බවක් දැනුනෙන් මම නැවතත් කොට්ටය මත හිස තබා ගතිමි.
“ඇයි මැඩම්? කලන්තෙ වගෙයිද?”
ජ්‍යෝතිගේ කටහඬ ඇසිණ. පිළිතුරක් මුවට නගා ගැනීමට උත්සාහ කළ ද මගේ මුවට වදනක් නොනැගිණ.
“ඉන්න මං ෆෝන් එක ළඟට කරන්නම්.”
ජ්‍යෝති ජංගම දුරකතනය මගේ සවනතට ළං කළාය. කිසිවෙකු කතා කරන හඬ ඇසුණද, ඒ අම්මා ද එසේත් නැත්නම් හේෂාන්දැයි හඳුනා ගත නොහැකි තරමට මා තුළ ඇති වූයේ තදබල අපහසුතාවයකි.
“අම්මා…”
මා පැවසුවද මගේ හඬ මුවින් පිට නොවීය.
“හේෂාන්…”
එවරද මගේ මුවින් හඬ නිකුත් නොවීය. කිසිවෙක් කිසිවක් පවසන හඬ ඇසුණද, ඒ කවරෙක්ද, පවසන්නේ කුමක්ද යන්න ග්‍රහණය කර ගැනීමටවත් මා තුළ පවතින තදබල අපහසුතාවය ඉඩ නොදුන්නේය. මගේ දෑසින් කඳුළු කැට කඩා වැටිණ.
“සාමාන්‍ය දෙයක් මැඩම්. අඬන්න එපා. ඉක්මනින් හරියාවි.”
ජ්‍යෝති පවසන වදන් මට ඇසුණේ අතරින් පතරිනි. හිස එසවීමට තැත් කරද්දී වමනය වන්නට එන බව අත්දැකීමෙන් දැන සිටි ජ්‍යෝති මා වෙත බඳුනක් ළං කළාය. ඉන්පසු මඳ පහසුවක් දැනුනද, මගේ මුලු සිරුරම වෙනස් වෙමින් පවතින බවක් මට දැනෙමින් තිබිණ. ජ්‍යෝති මා නැවතත් යහන මත හාන්සි කළාය.
“කොහොමද ඩිනාලි?”
මගේ යහන අසළ සිට ගත් හේෂාන් අසන හඬ මට ඇසිණ.
“කරකැවිල්ලයි වමනෙයි වගේ එනවා නේද? ඒක සාමාන්‍ය දෙයක්. හෙමිහිට හරි යාවි.”
මම සෙමෙන් අත දිගු කොට හේෂාන්ගේ අත අල්ලා ගතිමි. සෙමෙන් දෑස් විවර කරද්දී මගේ නෙත ගැටුනේ හේෂාන් නොව සුදු ඇඳුමෙන් සැරසී සිටින වෛද්‍ය කුෂ්වාන්ත් සිං ය.
“ඩිනාලි…”
මා වෙත නැඹුරු වූ ඔහු මා අමතන හඬ ඇසිණ.
“මට අමාරුයි ඩොක්ට. මං මැරේවි.”
මම අපහසුවෙන් පැවසුවෙමි.
“ඒක සාමාන්‍ය දෙයක්. කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඔහොම ටිකක් නිදාගන්න. ඉක්මනටම හරි යාවි.”
මම දෙනෙත් පියා ගතිමි. මා සිටින්නේ රෝහලේ යහන මත නොවේ. මා මියගොසිනි. මා සිටින්නේ සුදු මංගල ඇඳුමින් සැරසීගෙනය. මනාලයකු සේ සැරසී සිටින හේෂාන් දෑත් ලයෙහි බැඳගෙන නිහඬව මා දෙස බලා සිටියේය.
“පව් අසරණී. එක අතකට දුක් විඳිනවට වඩා ඔහොම වුනු එකත් හොඳයි.”
හේෂාන් පැවසුවේය. අම්මා ද, සුදු නංගී ද, වජිරා ද දුක් මුහුණින් යුතුව මා දෙස බලා සිටියේ කඳුලකුදු නොසලමිනි. අරුණෝදි පමණක් ඉකි බිඳිමින් හැඬුවා පමණක් නොව මගේ දෑත් මත වූ සුදු රෝස මල් කළඹ පසෙකට කර රතු රෝස මල් කළඹක් මගේ දෑත් අතර තැබුවාය.
“මාව මතක් වෙන්න අරන් යන්න ඩිනාලි.”
ඇය හඬමින් පවසද්දී මගේ දෙනෙතට කඳුලක් නැගිණ.
“මට යන්න බෑ.”
මල් කළඹ පසෙකට විසි කර දමා මම නැගිට හිඳ ගතිමි.
“යන්න බෑ. යන්න බෑ.”
මම කෑගැසුවෙමි.
“ඩිනාලි… ඔයා ගෙදර යන්නෙ හොඳටම සනීප වෙලා.”
මම දෑස් විවර කළෙමි. වෛද්‍ය පීහුගේ සිනාමුසු මුහුණ මම හඳුනා ගතිමි. මා දැක ඇත්තේ සිහිනයක්ද, එසේත් නැත්නම් මේ සියල්ලම මනසෙහි ඇඳුන විකාරද?
කිසිවකු මගේ නළළත පිරිමදින අයුරු මට දැනිණ. ළදරු ඕඩිකොලොන් සුවඳක් ද යන්තමින් දැනිණ.
“ජ්‍යෝති… මොනවා හරි වෙනසක් වුනොත් ඉක්මනින් කියන්න.”
වෛද්‍ය පීහු පවසන හඬ ඇසිණ. ඉන්පසු සියල්ල නිහඬ විය. එකිනෙකට සම්බන්ධ නොවූ සිහින රැසක් දකිමින් මා දීර්ඝ නින්දකට වැටෙන්නට ඇත.
*
ආහාර ගැනීමට කිසිදු ප්‍රියතාවයක් ඇති නොවුවද, ජ්‍යෝතිගේ බල කිරීම නිසාම මා ආහාර ගත්තේ ඉතාමත් ස්වල්පයකි. ආහාර ගත් පසු වමනය වන නිසා ආහාර ගැනීම පවා මට ප්‍රිය නොවීය. ශල්‍ය කර්මයෙන් පසු මා තුළ තිබු ශක්තිය මෙහි පැමිණි පසු සිඳී ගියේ මන්දැයි මම කල්පනා කළෙමි. ප්‍රතිපිළිකා ඖෂධ ලබද්දී මෙවැනි ශාරීරික වෙනස්කම් ඇතිවන බව වෛද්‍ය පීහු වරින් වර පැමිණ පවසා සිටි අතර, ඇය මගේ සිතට ධෛර්යය ලබා දීමට මහත් උත්සාහයක් දැරුවාය. නැගිට ඒ මේ අත ඇවිදින්නට, වැව දෙස බලා සිටින්නට මට උවමනා වුව ද, ඇති වූ ශාරීරික අපහසුතාවයන් නිසා මා කාලය ගත කළේ යහන මත වැතිරගෙනය. ඒ කාලය තුළ මට අම්මා සිහි විය. හේෂාන් සිහි විය. සුදු නංගී සිහි විය. ඔවුන් මා ළඟ සිටියානම් යයි මට සිතුණ ද, මා විඳින වේදනාවන් ඔවුන් නොදකින්නේ නම් යෙහෙකැයි මට සිතුණ වාරයන් ද අනන්ත විය.
“මැඩම්ව බලන්න ගෙදරින් ඇවිත්.”
ශබ්ද විකාශන යන්ත්‍රයෙන් බොහෝ සෙමෙන් ඇසෙන මියුරු හින්දි ගීයකට සවන් දෙමින් නින්දත්, නොනින්දත් අතර සිටියදී ජ්‍යෝති පැවසූ වදන් මට ඇසුනේ සිහිනයෙන් මෙනි. මම දෑස් හැරියෙමි. අම්මාත්, සුදු නංගීත්, වජිරාත් යහව අසළ සිටගෙන සිටින අයුරු දකිද්දී මගේ දෙනෙතින් ගලා යන්නට ඇත්තේ සතුටු කඳුලු විය යුතුය.
“අම්මා…”
මම පැවසුවෙමි. මා බදා වැළඳ ගත් අම්මා දෑසට නැගෙන කඳුළු වළක්වා ගැනීමට මහත් ආයාසයක් දරන අයුරු මම දුටුවෙමි. සුදු නංගිත්, වජිරාත් පසෙකට හැරී දෙනෙත් පිස ගත්තේ ඔවුන්ගේ කඳුලු මා කෙරෙන් වසන් කිරීමට විය යුතුය.
“ඊයෙ මං කතා කරාම කතා නොකර ඉඳිද්දි මට හරියට බය හිතුනා ඩිනාලි.”
මගේ හිස මුදු ලෙසින් පිරිමදින අම්මා පැවසුවාය.
“මට කරකැවිල්ල වගේ දැනුනා. ඔලුව උස්සගන්න බැරි තරමට මොකක් නමුත් අමාරුවක් දැනුනා. කෝ හේෂාන්?”
“දැන් අමාරු අඩුද?”
මා නැගූ පැනයට පිළිතුරක් නොදුන් අම්මා ඇසුවාය.
“අද තරමක අඩුවක් දැනෙනවා. ටිකක් බඩ දැවිල්ලයි වගේ. කෝ හේෂාන්?”
“හේෂාන්ට වැඩ ඇති පුතේ.”
අම්මා පැවසුවේ ඇසෙන නෑසෙන තරම් සෙමෙනි.
“අම්මා… බොරු කියලා ලොකූව රවට්ටන්න හදන්න එපා. තිත්ත වුනත් ඇත්ත කියන්න.”
සුදු නංගී පැවසුවේ තරහ මුහුණින් යුතුවය.
“ඒක බොරුවක් නෙමෙයි. වැඩ වැඩි නිසා වෙන්න ඇති හේෂාන් ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නෙ.”
අම්මා පැවසුවේ හඬන්නාක් මෙනි.
“ළඟක හිටියනම් සව් බාර්ලි තැඹිලි වගේ දේවල් දෙන්න තිබුනා බඩේ දැවිල්ලට. නේද මැඩම්?”
වජිරා පැවසුවාය.
“ඒ හැමදෙයක්ම මෙහෙන් දෙනවා වජිරා. ඒත් තවම කන්න බොන්න අප්පිරියයි. වමනෙ වෙනවා.”
අම්මා යටි තොල සපාගෙන හැඬුම් වළක්වා ගැනීමට මහත් උත්සාහයක් දරන අයුරු මා බලා සිටියේ ශෝකයෙනි.
“දැන් මෙතන හිටිය ගෑනු කෙනා කවුද ලොකූ?”
සුදු නංගී ඇසුවාය.
“ඒ ජ්‍යෝති. එයා තමයි මගේ තනියට ඉන්නෙ.”
මම පැවසුවෙමි.
“ඩොක්ට කුෂ් එනවද ඔයාව බලන්න?”
එවර සුදු නංගී රහස් හඬින් ඇසුවාය.
“එනවා. දවසට දෙතුන් පාරක් ඇවිත් බලලා යනවා. ඒ කතා කරන වචන වලින් හිතට හරි හයියක් එනවා අම්මා. පොඩි පොඩි අමාරුකම් තිබුණට තව ටික දවසකින් ඒ හැමදේම හරියාවි.”
“ඒකනම් මටත් විශ්වාසයි පුතේ.”
අම්මා පැවසුවේ මඳ සිනාවෙන් යුතුවය.
“හේෂාන්ගෙ අම්මා හේෂාන් එක්ක රණ්ඩු කරනවද දන්නෙ නෑ ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නෙ.”
හේෂාන් පිළිබඳ මතකයෙන් කිසිසේත්ම මිදෙන්නට නොහැකි වූයෙන් මම පැවසුවෙමි. අම්මා නිහඬව සිටියාය.
“බබෙක්නෙ.”
සුදු නංගී පැවසුවේ තරහෙනි.
“අම්මා උකුළෙ තියාගෙන නලවනවා ඇති.”
“මම ඔයා ආස කරන කෑම ටිකක් හදාගෙන ආවා. පුලුවන් විදියට කන්න පුතේ. කොච්චර අමාරු වුනත් නොකා ඉන්න එපා.”
අම්මා ලොකු බෑගයක් ලොකරය මත තැබුවාය.
“කැවුම් තියෙනවා. රසයි. මෙහේ අය කැවුම් කාලත් නැතිව ඇතිනෙ. අපි එනකොට මගින් ගත්තෙ. ආයෙ එද්දි මෙහේ ඉන්න පේෂන්ට්ලා හැමෝටම මොනවා හරි හදාගෙන එන්නම්.”
මම වටපිට බැලුවෙමි. ජ්‍යෝති කාමරයෙන් පිටව යන්නට ඇත්තේ අපට නිදහසේ සිටින්නට ඉඩ සලසා දෙමින් විය යුතු යයි මට සිතිණ. කැවුම් පාර්සලය ඇයට දිය යුතු යයි මට සිතිණ.
මගේ කාමරයේ දොරට තෙවරක් තට්ටු කරන හඬත් සමගම දොර විවර විය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං සහ වෛද්‍ය පීහු කාමරයට පිවිසුනු අතර, ඔවුන්ට මගේ යහන අසළට පැමිණීමට ඉඩ සලසා දෙමින් අම්මාත්, සුදු නංගීත්, වජිරාත් පසෙකට වූහ. වෛද්‍ය පීහු අම්මා සහ සුදු නංගී සමග සුහද ලෙසින් සිනාසුණ නමුත් වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිනාසුනේ නැත.
“අද ටිකක් හොඳයි නේද ඩිනාලි?”
මගේ උරහිසට තට්ටු කළ ඔහු විමසුවේය.
“හොඳයි. හැමදේම හොඳින් සිද්ද වෙනවා. ඔන්න ඔයගොල්ලන්ට ඉක්මනින්ම ඩිනාලිව ගෙදර එක්ක යන්න පුලුවන්.”
සිනාවෙන් තොර මුහුණින් යුතුව වුව ද ඔහු පැවසුවේ සුහදශීලී ලෙසය.
“අපොයි. ඒ මනුස්සයා හිනාවෙන්නවත් දන්නෙ නෑ.”
වෛද්‍යවරුන් දෙපළ පිටව ගිය පසු සුදු නංගී පැවසුවාය.
“කුෂ් හැන්ඩියා වුනාට හිනාවෙන්න දන්නෙ නෑ. හිනාවෙන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි කියලා ඔයාවත් කියා දෙන්න ලොකු.”
“මිනිස්සුන්ට හිනාවෙන්න බැරි හේතු තියෙනවා.”
අම්මා පැවසුවේ තරහෙනි.
“සමහර අයට හැමදෙයක්ම ලෝකෙන් වසන් කරගෙන හිනාවෙන්න පුලුවන් වුනාට සමහරෙකුට එහෙම කරන්න අමාරුයි. එහෙම මිනිස්සුන්ව සමච්චලේට ගන්න එපා සුදු. පව්.”
සුදු නංගීගේ මුවෙහි වූ සිනාව වියැකිණ. තමා අතින් වරදක් සිදු වූවාක් බඳු පසුතැවිල්ලක් ඇය කෙරෙන් පළ විය.
“අපි දැන් යන්නම් ඩිනාලි. ආයෙ හෙට අනිද්දා එන්නම්. අපි ආවෙ කැබ් එකක. මෙච්චර දුරක් කා එක ඩ්‍රයිව් කරගෙන එන්න බෑ කියලා හිතුනා.”
මා සමග හෝරාවකට ආසන්න කාලයක් රැඳී සිටි අම්මා පැවසුවේ මගේ සිත වේදනාවට පත් කරමිනි. එහෙත් එය ඔවුන් කෙරෙන් වසන් කිරීමට මම උත්සාහ කළෙමි.
“නවල්ස් ටිකක් ගෙනාවා. ෆිල්ම්ස් දෙක තුනකුත් ඇති. ඔයාට ඉක්මනින් ගෙදර යන්න පුලුවන් කියලා ඩොක්ට කිව්වට පස්සෙ හිතට හරි සතුටුයි පුතේ.”
“මටත් සතුටුයි.”
මම පැවසුවෙමි.
“අම්මා… හේෂාන්ට කියන්න කෝල් එකක් දෙන්න කියලා. ඇයි දන්නෙ නෑ ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නෙ.”
“ප්‍රින්ටින් එක්සිබිෂන් එකක් බලන්න යනවා කිව්වනෙ. සමහරවිට ගිහින් ඇති.”
අම්මා පැවසුවේ ඉවත බලාගෙනය.
“යන්න කලින් මට කියලා යන්න තිබුනා.”
“සමහර වෙලාවට හදිසියේ යම් යම් දේවල් යෙදුනම අත්‍යවශ්‍ය දේවල් අමතක වෙනවා. ඒ ගැන හිතන්න එපා. ඔයා සනීප වෙලා ඉන්නකො.”
“හේෂාන්ට මාව අමතක වෙලා වෙන්න ඇති.”
“එහෙමනම් අපි යන්නම්. යන ගමන් ඩොක්ටවත් හම්බ වෙලාම යන්නම්.”
“ඩොක්ට කුෂ්?”
“නෑ. ඩොක්ට පීහු… එයා හරිම සුහදශීලියි. ඩොක්ට කුෂ් වැඩිය කතා කරන්න හිනාවෙන්න කැමති කෙනෙක් නෙමෙයි වගේ පේන්නෙ.”
“එහෙම නෑ.”
මම පැවසුවෙමි. සුදු නංගී අතින් මුව වසාගෙන සිනාසුනේ සමච්චලයටය. අම්මා ඇය දෙස රවා බැලුවාය. අම්මාත්, සුදු නංගීත් මගේ මුහුණ සිප නික්ම ගිය පසු මා තුළ ඇති වූයේ පවසා ගත නොහැකි තරමේ ශෝකයකි. එය හඬන්නට තරම් බලවත් වුව ද, සිතේ සහ ගතේ වේදනාවන් නොහඬා දරා සිටින්නට ඒවනවිට මම පුරුදුු පුහුණු වෙමින් සිටියෙමි.