බිම්මල් – 34 කොටස  

ලේඩි ජාන්සි අනුස්මරණ පිළිකා රෝහලේදී මගේ ප්‍රතිකාර කටයුතු නිසියාකාර ලෙසින් සිදු වෙමින් තිබිණ. ඇතිවන යම් යම් අපහසුතා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලබා ගන්නා අයුරු දවසට කිහිප වතාවක් මා දැකීමට පැමිණෙන වෛද්‍ය කුෂ්වාන්ත් සිං සහ වෛද්‍ය පීහුගෙන් මම පුහුණු වෙමින් සිටියෙමි. වමනය, කරකැවිලි ස්වභාවය, ආහාර අරුචිය වැනි අපහසුතා දරා සිටීමට හැකි වුව ද, මගේ හිසකෙස් ගැලවී කොට්ටය මත තිබෙන අයුරු දකිද්දී ද, නාන කාමරයට ගිය අවස්ථා වලදී මගේ මුහුණ දකිද්දී ද ඇති වූ පීඩාව එසේ සමනය කර ගත නොහැකි වූවකි. මගේ හිසෙහි ඉතිරිව තිබූ අවසාන කෙස් ස්වල්පය ද ගිලිහී යාමත් සමගම පෑදුනු තට්ට හිස දකිද්දී කෑගසා හඬන්නට මට සිතිණ. මා සිටින තෙවන මහලේ ජනේලයෙන් පැන දිවි තොර කර ගන්නට මට සිතුනු වාරයන් ද අනන්ත විය. එහෙත් තට්ට හිසක් ඇති සහිතව සිටියදී ඒ තුළින් පවා සුන්දරත්වයක් දකින්නට වෛද්‍ය කුෂ්වාන්ත් සිං මෙන්ම වෛද්‍ය පීහු ද මගේ සිත පුරුදු පුහුණු කළහ. කණ්ණාඩිය ඉදිරියට ගොස් හඬා වැලපීම වෙනුවට තට්ට හිසක් සහිත මගේ මුහුණෙහි සුන්දරත්වයක් දකින්නට මම උත්සාහ කළෙමි.

ප්‍රතිකාර කටයුතු කෙරෙන බැවින් සති කිහිපයක් යනතුරු මා දකින්නට නොපැමිණෙන්නැයි මා අම්මාට දුරකතනයෙන් දැනුම් දුන්නේ මගේ තට්ට හිස දකිද්දී ඔවුන් බලවත් ලෙස කම්පනයට පත්වන බව මා දැන සිටි හෙයිනි. එසේ   වුවද දිනපතා රාත්‍රියට අම්මාත්  සුදු නංගීත් මා සමග දුරකතනයෙන් කතාකරද්දී පවා ඒ බව ඔවුන් කෙරෙන් වසන් කිරීමට මට සිදුවිය.  මුල් දිනයේ පැමිණි  පසු මේ වනතුරුත් හේෂාන් මා දකින්නට නොපැමිණියේ මන්දැයි මට වටහාගත නොහැකිවිය. ඔහුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිතව තිබෙන්නට ඇත්තේ ඇතැම් විට ඔහු විදේශගතව සිටින නිසා වන්නට ඇතැයි මම සිත හදා ගන්නට උත්සාහ කළෙමි. එක් අතකින් මගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති විටෙක ඔහු ද නොපැමිණෙන්නේ නම් යෙහෙකැයි මට සිතුණු වාරයන් ද අනන්ත විය.

වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද, වෛද්‍ය පීහු ද නිතරම මා දකින්නට පැමිණීම මගේ සිතට සතුටක් විය. ඔවුහු රැගෙන එන ලද චිත්‍රපට සියල්ලම සිත තුළ ධෛර්යය හා ශක්තිය ඇති කරන ඒවාය. ශාරීරික අපහසුතාවයන් මොහොතකට අමතක කළ මා චිත්‍රපට නරඹද්දී ජ්‍යෝති ද මා හා එක් වූවාය.

“ඩොක්ට කුෂ් හරියට ෆිල්ම්ස් බලනවා.”

මා සමග ‘බොම්බේ’ චිත්‍රපටය නරඹන ජ්‍යෝති පැවසුවාය.

“මං හිතන්නෙ ඩොක්ට මහ රෑ වෙනතුරුම කරන්නෙ ෆිල්ම්ස් බලන එක තමයි.”

“ජ්‍යෝති කොහොමද දන්නෙ?”

“මේ බිල්ඩින් එකට පිටිපස්සෙන් තමයි අපේ රූම්ස් තියෙන බිල්ඩින් එක තියෙන්නෙ. සමහරදාට මහ රෑ ඇහැරෙද්දි අපට ඇහෙනවා සද්දෙ.”

“මහ රෑ වෙනතුරු ෆිල්ම්ස් බලනවට ඩොක්ට කුෂ්ගෙ වයිෆ් අකැමැති නැද්ද?”

මා ඇසු විට ජ්‍යෝති පුලුල් සිනාවක් නැගුවාය.

“වයිෆ්? වයිෆ් කෙනෙක් හිටියනම් එහෙම නොවෙන්නත් ඉඩ තිබුනා. මිනිස්සු තනිකම නැති කර ගන්න බොහොමයක් දේවල් කරනවා මැඩම්.”

ජ්‍යෝති පැවසුවේ දුක් හඬිනි.

“ඩොක්ට කුෂ් මැරි කරලා නැද්ද?”

“දිග කතාවක් තියෙනවා මැඩම්. මම ඒවා කියන එක හරි නෑ.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං ගැන තොරතුරු දැන ගැනීමේ ආශාවක් ඇති වුව ද, එසේ විමසීම සදාචාරසම්පන්න නොවන බැවින් මම නිහඬ වූයෙමි.

“දැන් ඉතින් ෆිල්ම් එක බලන ගමන්ම කෑම කන්න.”

කතාව වෙනතක යොමු කරමින් ජ්‍යෝති නැගිට්ටාය. ඇය මගේ කෑම පිඟාන යහන මතටම රැගෙන පැමිණියද, ඒවායේ සුවඳ පවා මට ප්‍රිය නොවීය. දිවා කාලයේ මෙහි සිටින රෝගීන් සඳහා ශ්‍රීලාංකික ආහාර වේලක් පිළියෙල වුව ද, රාත්‍රී කාලයේ බොහෝ විට ගෙන එනු ලැබුවේ ඉන්දියානු ක්‍රමයට පිලියෙල කරන ලද ආහාර වේලකි. පූරි, රොටී, පරෝතා, සමෝසා ආදියත්, ඉන්දියානු රසකැවිලිත් ඖෂධ ප්‍රතිකාර ලැබීමට පෙර ආහාරයට ගැනීමට මට ප්‍රිය වුවද, ප්‍රතිකාර ලබද්දී මගේ ආහාර රුචිය සම්පූර්ණයෙන්ම මෙන් වියැකී යමින් තිබිණ.

“අමාරුවෙන් හරි කන්න මැඩම්. ඉක්මන් සුවයක් ලබන්න නම් හොඳ පෝෂණයක් ඕන.”

ජ්‍යෝති නිතර පැවසුවාය.

“මැඩම් කන්න කැමති දෙයක් ඇත්නම් කියන්න. සමහර පේෂන්ට්ලා කැමති කෑම වර්ග තියෙනවා. ඊයෙ පෙරේදා සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉන්න පොඩි ගෑනු දරුවට අප්පම් කන්න ඕන කියලා අඬ අඬා හිටියා. වෙන මොනවත්ම කෑවෙ නෑ. අන්තිමේදි කෙනෙකුට කියලා අප්පම් හදලා දුන්නට පස්සෙයි බඩ පිරෙන්න කෑවෙ. අප්පම් දැක්කම ඒ දරුවගෙ මූණ තිබුන සතුට දැක්කම ඇස් වලට කඳුලු ආවා කියලා ඩොක්ට පීහු කිව්වා. මැඩම්ටත් එහෙම ආස හිතෙන දෙයක් තියෙනවනම් කියන්න.”

මම මොහොතක් කල්පනා කළෙමි. දින කීපයක සිට තැම්බු කොස් ද, තෙල් දැමූ වැව් කරවල ද කෑමට ඇතිවන ආශාව පිළිබඳව පැවසීමට සිතුණද, ඒ බව ජ්‍යෝති සමග පැවසීමට මම මැළි වූයෙමි. අත්තම්මාත්, සීයාත් දකින්නට ගමට ගිය අවස්ථා වලදී අත්තම්මා විශේෂයෙන්ම ඒවා පිළියෙල කළේ මා වෙනුවෙනි. ඔවුන්ගේ වත්තෙහි කොස් ගස් රාශියක් තිබු අතර, අප එහි සිටින දින වලදී අත්තම්මා නොයෙක් ආකාරයට කොස් පිළියෙල කර දුන්නාය. කිරි කොස් මාලුවද, අමු අඹ තීරු සමග පිසින ලද කරවල හොද්දද, මගේ මෙන්ම අම්මාගේත්, සුදු නංගීගේත්, වජිරාගේත් ප්‍රියතම ආහාරයන් විය.

“අද නම් බඩ පැලෙන්නම කෑවා.”

සුදු නංගී පවසද්දී අත්තම්මා පියකරු ලෙස සිනාසෙයි. ඔවුන්ගේ නිවසට මඳක් ඈතින් වෙසෙන අම්මාගේ සීයාත්, ආච්චිත් දකින්නට ගිය විටදී ද ලැබෙන සත්කාරයන් වල නිමක් නොමැති තරම් ය. බොහෝ වයස්ගත වුව ද, තවමත් තම වැඩ කටයුතු තනිව කර ගන්නා ඔවුන් ගත කරන ජීවිතයේ සුන්දරත්වය පිළිබඳව අම්මා ඇතැම් විට මා සමග කතා බහ කරයි. 

“ඒ දෙන්නා විතරක් නෙමෙයි. අපේ අම්මයි, තාත්තයි වුනත් තවමත් ඉන්නෙ කුරුලු ජෝඩුවක් වගේ. ඒ වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න මට පින් මදි වුනා ඩිනාලි.”

අම්මා පවසන්නේ ශෝකයෙන් වුව ද, ඒ මොහොතේම ඇය ප්‍රීතිමත් සිනාවක් මුවගට නගා ගන්නේ මගේ සිත දුක්බර වීම වළක්වා ගනු පිණිස විය යුතුය.

“මේ ජීවිතේ ලස්සන නෑ කියලා කියන්නත් බෑ නේද ඩිනාලි? මට මල් දෙකක් වගේ ලස්සන කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. මට ආදරේ කරන්න හස්බන්ඩ් කෙනෙක් නැති වුනාට සතුටු වෙන්න පුලුවන් මොන තරම් දේවල් මගේ ජීවිතේ තියෙනවද?”

තාත්තා නිවසින් නික්ම ගිය පසු දිනෙක අම්මා පැවසූ අයුරු තවමත් මගේ මතකයට නැගේ.

“මැඩම්…”

ජ්‍යෝතිගේ කටහඬින් මම කල්පනා ලොවින් මිදුනෙමි.

“මැඩම් කන්න ආස දෙයක් තියෙනවනම් අහගන්න කියලා අද උදේ ඩොක්ට කුෂ් කිව්වා. කියන්න… කැමති දෙයක් ඇත්නම් ඩොක්ට කොහෙන් හරි ගෙනත් දේවි.”

ලජ්ජාශීලී සිනාවක් මගේ මුවගට නැගිණ. ජ්‍යෝති පරීක්ෂාකාරී ලෙස මා දෙස බලා සිටියාය.   

“එහෙම දෙයක් නෑ ජ්‍යෝති.”

“මැඩම් බොරු කියනවා. මට මැඩම්ගෙ ඇස් දෙකෙන් පේනවා මොනවා හරි කන්න ආසාවෙන් ඉන්නෙ කියලා.”

“මං ආස දේවල් හොයන්න බෑ. ඒ නිසා කියලා වැඩකුත් නෑ ජ්‍යෝති.”

“මොනවද කියලා කියන්න.”

“තම්බපු කොස් එක්ක වැව් කරවල කන්න මට දවස් ගානක ඉඳලා ආසාවක් දැනුනා ජ්‍යෝති.”

ජ්‍යෝති මොහොතක් කල්පනාවට වැටුනාය. ඇගේ දෙනෙත් දිළිසුනේ කඳුලු පිරීම නිසා විය යුතු යයි මට සිතිණ.

“හිතුනා විතරයි. එහෙම කන්න ඕනකමක් නෑ. ඒවා හොයන්න ජ්‍යෝති කරදර වෙන්න ඕන නෑ.”

“මට මගේ දුව හම්බ වෙන්න ඉඳිද්දිත් ඔය වගේ ආසාවල් ඇති වුනා. අපි දෙන්නම වෙජිටේරියන්. ඒ වුනාට මට ආසා වුනා ෆිෂ් පකෝරා කන්න. මගේ මහත්තයා එහෙම කියපු දවසට පස්සෙ දවසෙම කොහෙන්ද ෆිෂ් පකෝරා ගෙනත් තිබුනා. එදා මම බඩ පැලෙනකම් කෑවා. මැඩම්ට වුනත් සනීප වෙලා  කසාද බැන්ද දවසක…”

“කසාද බැන්දත් මට දරුවො ලැබෙන්නෙ නෑනෙ ජ්‍යෝති.”

මට කියවිණ. ජ්‍යෝති මා දෙස මහා අනුකම්පාවකින් බලා සිටියාය. ඉන්පසු ව්‍යාජ උවමනාවක් දක්වමින් ඇය කාමරයෙන් පිටව ගියේ හඬන්නට බව මම දැන සිටියෙමි. අතේ දුරින් ඇති ජීවිතයක් මිසක ඉන් එහා ජීවිතයක් පිළිබඳව සිහින නොදකින්නට ඒ වනවිට මම පුරුදු පුහුණු වෙමින් සිටියෙන් මගේ සිතට දුකක් නොදැනිණ. 

දොරට තට්ටු කරන හඬ ඇසුණෙන් මම බලමින් සිටි චිත්‍රපටිය කෙරෙන් දෑස් මුදා ගත්තේ පැමිණෙන්නට ඇත්තේ ජ්‍යෝති විය යුතු යයි සිතමිනි. කාමරයේ දොර විවෘත විය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං කාමරයට පිවිස වටපිට බැලුවේය.

“කෝ ජ්‍යෝති?”

අත වූ සඟරා කීපයක් මේසය මත තැබූ ඔහු ඇසුවේ රූපවාහිනී යන්ත්‍රය දෙසට යොමු කර ගත් දෑසින් යුතුවය.

“ජ්‍යෝති ටිකක් එළියට යනවා කියලා ගියා ඩොක්ට.”

ඒවනවිට බොම්බේ චිත්‍රපටයේ ඉතාමත් සුන්දර ගීතයක් විකාශය වෙමින් තිබිණ. පැමිණි කාර්යය අමතක වූවාක් මෙන් වෛද්‍ය කුෂ්වාන්ත් සිං එදෙස බලා සිටියේ දැහැනකට සම වැදුනාක් මෙනි. එහි ප්‍රධාන චරිත රඟපාන අරවින්ද් ස්වාමි වෙත  දිව එන මනීෂා කොයිරාළ ඔහුගේ ලය මත හිස තබා ගන්නා තුරුම බලා සිටි වෛද්‍ය කුෂ්වාන්ත් සිං මඳ සිනාවකින් යුක්තව මගේ මුහුණ දෙස බැලුවේය. සිනාසීමට නොදන්නා වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ සිනාව පියකරු යයි මට සිතුනේ එවේලෙහිය.

“බොම්බේ… මම කැමතිම ෆිල්ම් එකක්.”

ඔහු පැවසුවේ වෛද්‍යවරයකු ලෙස නොව සමීපතම මිතුරකු ලෙසිනි.

“අරවින්ද් ස්වාමිටයි මනීෂා කොයිරාළටයි මම කැමතියි. මේ සෝංග් එකේ ලස්සන අර්ථයක් තියෙනවා. ඩිනාලි දන්නවද?”

මම නැතැයි යන්න අඟවමින් හිස දෙපසට වැනුවෙමි.

“ඔබය… ඒ ඔබය…

ඔබ නොමැතිව මා ජීවත් වන්නේ කෙසේද?

එන්න… මෙහි එන්න… 

මට තවත් වේදනා නොදෙන්න

සොඳුරිය… මගේ ජීවිතය…

මා සුසුම් මත සැතපෙන්න…

සඳවතිය…ඔබ මගේ හදවතට පිවිසෙන්න…

ඔබ මට ආදරය කරන්නේ නම් 

එන්න… මා හමුවෙන්න…

නැතහොත් මා මෙලොවින් තුරන් කරන්න…”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං ගීතයේ කොටසක අරුත පැවසුවේ හැඟීම්බර කටහඬිනි. රූපවාහිනියේ හින්දි ගී වැඩ සටහනක ගීතයක අරුත හැඟීම්බර කටහඬින් පවසන නිවේදකයකු මගේ මතකයට නැගී ආවේය.

“ලස්සනයි.”

මම පැවසුවෙමි.

“ලස්සන දේවල් විඳින්න දේවල් මොන තරම් නම් තියෙනවද? ගීතය දිගයි. හරි ලස්සන අර්ථයක් තියෙනවා. මම වෙන වෙලාවක ඩිනාලිට කියා දෙන්නම්. දැන් කොහොමද?”

“හොඳයි ඩොක්ට…”

“ඩිනාලි කැමතිනම් පුලුවන්නම් ජ්‍යෝති එක්ක පහළට ගිහින් ටිකක් ඇවිදලා ආවට කමක් නෑ. මෙරිගෝල්ඩ් මල් යාය ඔයාගෙ හිතට සතුටක් ගෙනේවි.”

“තෑන්ක් යු ඩොක්ට.”

“සතුටින් ඉන්න. වෙලාවට බෙහෙත් බොන්න. ඕන දෙයක් ඇත්නම් ඩොක්ට පීහුට හරි ජ්‍යෝතිට හරි කියන්න. මම අනුරාධපුර ටවුන් එකට ගියා වැඩ කීපයකට. මම දන්නෙ නෑ ඩිනාලි කැමති මොනවටද කියලා. මම මැගසින්ස් ටිකක් ගෙනාවා.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං මේසය මත තිබූ සඟරා කීපය මා අතට දුන්නේය.

“තෑන්ක් යු ඩොක්ට.”

මම පැවසුවෙමි.

“අම්මා එනකොට ගෙනාව පොත් ඔක්කොම කියවලා ඉවර වෙලා මම පාලුවෙන් හිටියෙ.”

“මම නවල්ස් ගැන දන්නෙ නෑ. සිංහල රයිටර්ස්ලා ගැන දන්නෙ නෑ. ඒ නිසා ඔය මැගසින්ස් ගෙනාවෙ.”

මම සඟරා කීපය මුහුණට ළං කරගෙන එහි සුවඳ බැලුවෙමි. අලුත් පොතක්, සඟරාවක් අතට ගත් පසු එහි සුවඳ බැලීම මගේ පුරුද්දක් වුව ද නොදැනුවත්වම වෛද්‍ය කුෂ්වාන්ත් සිං ඉදිරියේදී එය සිදු වීම නිසා මගේ සිතට ලජ්ජාවක් දැනිණ. මගේ උරහිසට තට්ටු කළ ඔහු කාමරයෙන් පිටව ගියේය. 

“පව්…”

මට සිතිණ. 

“තාත්තා කෙනෙක් වගේ. පේෂන්ට්ස්ලා ගැන හරියට හිතනවා.”

යහන මත වැතිර ගත් මම එක් සඟරාවක් අතට ගෙන එහි පිටු සෙමෙන් පෙරලන්නට වීමි. එය කාන්තා සඟරාවකි. එහි මුල් පිටු වල සුන්දර කුර්තා මෝස්තර මගේ දෙනෙත් පැහැර ගන්නට සමත් විය. ඊළඟ පිටු කිහිපයේ වුයේ කේක් සැරසිලි ය.

“මේ එකක්වත් අම්මා හදන කේක් තරම් ලස්සන නෑ.”

මුවග රඳවා ගත් සිනාවකින් යුතුව ඊළඟ පිටුව පෙරලද්දී එක්වරම නෙත ගැටුනු දසුන මගේ හිසට ප්‍රහාරයක් එල්ලා කළාක් බඳු කම්පනයක් ජනිත කරන්නට සමත් විය.

“හේෂාන්….” යි මට මහ හඬින් කෑගැසිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles