‘සතියේ මංගල යුවළ’ යටතේ ‘බිම්සරා ෆොටෝග්‍රැෆි’ නම් ස්ටුඩියෝවක අනුග්‍රහයෙන් ‘ස්ටයිල්’ නම් සඟරාවේ පල කර තිබූ මංගල ඡායාරූප සියල්ලම හේෂාන්ගේ සහ අරුණෝදිගේ ඡායාරූප බව දකිද්දී මා වියරු නොවැටුනා පමණකි. උල් තුඩකින් හදවත පාරන්නාක් මෙන් දැඩි වේදනාවක් දැනෙන්නට වුව ද, එම ඡායාරූප නැරඹීමේ ආශාව මට යටපත් කරගත නොහැකි විය.
“හේෂාන්… ඇයි මට මෙහෙම කළේ හේෂාන්?”
හේෂාන්ගේ මංගල සේයාරුව දෙස බලාගෙන මම ප්‍රශ්න කළෙමි.
“අරුණෝදි… ඇයි මට මෙහෙම කළේ?”
මම අරුණෝදිගේ ඡායාරූපයෙන් ද විමසුවෙමි. ප්‍රීතියෙන් පිරුණු මුහුණ වලින් යුතුව ඔවුන් දෙදෙනා පෙනී සිටින අපූරු ඡායාරූප පෙළ මම වෙන් වෙන්ව නැරඹුවෙමි. ඉතාමත් කලාත්මක පෝරුව මත හේෂාන් අරුණෝදිගේ ගෙල මංගල තැල්ල බඳින, මුදු පළඳින, සේලය අන්දන ඡායරූප සියල්ලෙහිම හේෂාන්ගේ මුවග සිනාවක් නොවී යයි මට සිතිණ.
“අපේ ඥාති මල්ලි කෙනෙක් ඉන්නවා. ලස්සනට මගුල් පෝරුව හදාගන්න පුලුවන්.”
හේෂාන්ගේ මව සහ පියා අප නිවසට පැමිණි අවස්ථාවේ හේෂාන්ගේ පියා පැවසුවේ ඔහුගේ ජංගම දුරකතනයෙහි වූ මංගල පෝරු වල ඡායාරූප කිහිපයක් අප වෙත දක්වමිනි. හේෂාන්ගේත්, අරුණෝදිගේත් මංගල පෝරුව ද තනන්නට ඇත්තේ එම ඥාතියා විය යුතු යයි මට සිතිණ.
තට්ටු පහකින් යුත් මංගල කේක් ආකෘතිය ද සුන්දර නිර්මාණයක් වුව ද, එය අම්මාගේ නිර්මාණයක් නොවන බව එය සරසා ඇති මල් වලින් හඳුනා ගත හැකිය. හේෂාන්, ඔහුගේ මව සහ පියා ද, අරුණෝදිගේ මව ද එක්ව ගත් ඡායාරූපයේ හේෂාන්ගේ මවගේ මුවග ජයග්‍රාහී සිනාවක් වූ නමුදු පියාගේ මුවග දුක් සිනාවක් ඇතැයි නිකමට මෙන් මට සිතිණ. තවත් බොහෝ ඡායාරූප පිටු කිහිපයක් පුරාවට තිබූ නමුත් තවදුරටත් ඒ කිසිවක් නැරඹීමට මට නොසිතිණ. මම සඟරාව බිමට විසි කර දැමුවේ සිත් පිත් නොමැත්තියක ලෙසිනි.
“බොරු ආදරයක් පෙන්නලා මාව රවට්ටලා මේ හොස්පිටල් එකට මාව ගෙනත් දැම්මෙ මේකටද හේෂාන්? මාව මෝඩයෙක් කරා.”
මා පණ මෙන් ආදරය කළ හේෂාන් මා රැවටීමට ලක් කළේය යන සිතිවිල්ල පවා මට ඉවසුම් නොදෙන්නක් විය. මම අතට හසු වූ හසු වූ දෑ බිමට විසි කලේ දරා ගත නොහැකි වේදනාවෙනි.
“මැඩම්…”
කාමරයේ දොර විවර කරගෙන පැමිණි ජ්‍යෝති හිස අත් ගසා ගත්තාය.
“මක් වුනාද මැඩම්?”
මගේ ස්වරූපය දුටු ජ්‍යෝතිගේ දෙනෙත් විස්මයෙන් විශාල වී තිබිණ.
“වෙච්චි ඉටි ගෙඩියක් නෑ.”
මම මහ හඬින් කෑගැසුවෙමි. මා උමතු භාවයට පත් වී ඇතැයි ජ්‍යෝති සිතන්නට ඇත. ඇය වහා කාමරයෙන් පිටතට දිව ගියාය. මා මෙතෙක් හිර කරගෙන සිටි වේදනාව කඳුලු බවට පත් වී දෙනෙතින් පිටාර ගලන්නට වූයේ මට ද රහසේය. මම හැඬුවෙමි. යහන මත මුනින්තලා වී ඉකි බිඳිමින් හැඬුවෙමි. දෑස් වල කඳුලු සිඳී යන තුරා හඬනු හැරෙන්නට මට තවත් ඉතිරිව ඇත්තේ කුමක්ද? කාමරයේ දොර විවෘත වන හඬ ඇසුණද මට හිස ඔසවා බලන්නට නොසිතිණ. ඇතැම් විට ජ්‍යෝති වෛද්‍ය පීහු කැඳවාගෙන පැමිණෙන්නට ඇතැයි මට සිතිණ. මා ඇයට පැවසිය යුත්තේ කුමක්ද?
“ඩිනාලි…”
කිසිවකු මගේ උරහිස මත අත තබනු මට දැනිණ. එවර මම යන්තමින් හිස හරවා බැලුවෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං කුතුහලය පිරුණු දෑසින් යුතුව මා දෙස බලා සිටියේය. ඔහු පසුපසින් සිටගෙන සිටින වෛද්‍ය පීහුගේ දෙනෙත් වල වූයේ බියක්දැයි සිතන්නට මම වෑයම් කළෙමි. මා උමතු වී ඇතැයි වෛද්‍ය පීහු ද, වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද සිතන්නට ඇත.
“ඩිනාලි… මොකක්ද ඩිනාලි සිද්ද වුනේ?”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං කාරුණිකව ප්‍රශ්න කළේය. මගේ මුව ගොලු වී දෑසින් කඳුලු උතුරා යමින් තිබිණ. මගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී ගිය දිනයේවත් මා මෙසේ නොහැඬූ බව වෛද්‍ය කුෂ්වාන්ත් සිංට මෙන්ම වෛද්‍ය පීහුට ද සිහිපත් වන්නට ඇත.
“කියන්න දරුවා. මොකක්ද සිද්ද වුනේ?“
වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැවතත් ප්‍රශ්න කළේය.
“ප්‍රතිකාර වලින් පස්සෙ ඔයා සුවය ලබන බව මට ඉර හඳ වගේ විශ්වාසයි. ඇයි මේ විදියට අඬන්නෙ?”
“මට හොඳ වෙන්න ඕනත් නෑ. ජීවත් වෙන්න ඕනත් නෑ ඩොක්ට. මට මැරෙන්න දෙන්න.”
මම හඬමින්ම පැවසුවෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං සහ වෛද්‍ය පීහු මුහුණින් මුහුණ බලා ගන්නා අයුරු මම දුටුවෙමි.
“මැරෙන එකනම් හැමදේටම විසඳුම මම මේ වෙනකොට මැරිලා අවුරුදු පහළොවකටත් වැඩියි දරුවා.”
වෛද්‍ය පීහු හිස සැලුවේ එය අනුමත කරන්නාක් මෙනි.
“මට කියන්න. මොකක්ද හේතුව? මේ හොස්පිටල් එකේ ඉන්න පේෂන්ට්ස්ලගෙන් වඩාත්ම හිත ශක්තිමත්, ධෛර්ය සම්පන්නව ජීවිතේට මුහුණ දෙන පේෂන්ට් ඔයා කියලයි මං හිතුවෙ. මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්න. විසඳුම් නැති ප්‍රශ්නයක් මේ ලෝකෙ නෑ ඩිනාලි.”
මගේ දෙනෙතෙහි වූ කඳුලු කෙමෙන් වියලී යන බවක් මට දැනෙන්නට විය. මට ද්‍රෝහි වු හේෂාන් සහ මට ද්‍රෝහි වූ මිතුරිය අරුණෝදි වෙනුවෙන් මා තවත් කඳුලු හෙලිය යුතුදැයි කල්පනා වුව ද, හදවත තුළ වූ දැවිලි ස්වභාවය ඒවනතුරුත් තුරන් නොවීය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ දෙඋරහිසින් අල්ලා මා යහන මත වාඩි කළේය. මා විසින් බිමට විසි කරන ලද සියල්ල ජ්‍යෝති අහුලා තබන අයුරු මම දුටුවෙමි.
“ජ්‍යෝති… අපට රස්නෙන් තේ අරගෙන එන්න. මසාලා චායි නම් හොඳයි.”
කාමරය තුළ වූ පුටුව මගේ යහන සමීපයට ඇද ගත් වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසුවේය. ජ්‍යෝති හිස සලා කාමරයෙන් පිටව ගිය අතර, මඳ වේලාවකට පසු වෛද්‍ය පීහු ද කාමරයෙන් පිටව ගියාය.
“දැන් මට කියන්න. මොකක්ද වුනේ? කවුරුහරි ඔයාට කෝල් එකක් දුන්නද හිත රිද්දලා?”
මම නැතැයි යන්න අඟවමින් හිස දෙපසට වැනුවෙමි.
“එහෙනම්? මේ තරම් හිත රිදෙන්න මොකක්ද හිටිගමන්ම සිද්ද වුනේ?”
ජ්‍යෝති විසින් මගේ යහන මත තබන ලද සඟරාව මම අතට ගතිමි. එහි වූ හේෂාන්ගේත්, අරුණෝදිගේත් මංගල සේයා රූ සහිත පිටුවක් හරවා මම වෛද්‍ය කුෂ්වාන්ත් සිංට පෙනෙන සේ තැබුවෙමි.
“කවුද මේ?”
ඔහු ඇසුවේය. මම පිළිතුරක් නොදුන්නෙමි. ඡායාරූප දෙස ඇසිපිය නොසලා බලා සිටි ඔහු යමක් වටහා ගත් ආකාරයෙන් හිස සැලුවේය.
“මෙයා ඩිනාලිව ඇඩ්මිට් කරපු දවසෙ ඇවිත් මා එක්ක කතා කරා මතකයි.”
“මාව මැරි කරන්න හිටියෙ මෙයා ඩොක්ට.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුවග දුක් සිනාවක් නැගිණ.
“මට තේරෙනවා. ජීවිතේ හැටි එහෙම තමයි. අපි හිතන, අපි ප්‍රාර්ථනා කරන හැමදේම අපට ලැබෙන්නෙ නෑ ඩිනාලි. මගේ ජීවිත කතාව ඇහුවොත් ඔයාට හිතේවි ඔයා දැන් අඬා වැලපෙන ප්‍රශ්නය මොන තරම් කුඩා එකක්ද කියලා.”
ජ්‍යෝති මා හා වෛද්‍ය කුෂ්වාන්ත් සිං වෙනුවෙන් තේ බන්දේසියක් රැගෙන පැමිණියාය. ඇය බන්දේසිය මේසය මත තබා නික්ම ගියේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට රහසින් කරන ලද සංඥාවක් අනුව යයි මට සිතිණ.
“බොන්න.”
තවමත් දුම් පිටවන සුවඳැති මසාලා චායි කෝප්පය වෛද්‍ය කුෂ්වාන්ත් සිං මා අත තැබුවේය.
“බොන්න. දන්නවද ඩිනාලි? මට රසට මසාලා චායි හදන්න පුලුවන්.”
රෝගීන්ගේ සිරුරට පමණක් නොව වේදනාවෙන් දැවෙන සිත් සුවපත් කිරීමට ඔහු තුළ ඇති හැකියාව පිළිබඳව මට පුදුම සිතිණ. වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිය චායි බඳුන සෙමෙන් සෙමෙන් පානය කරන්නට වූයේ එහි රසය උපරිමයෙන් විඳිමිනි.
“මට සමාවෙන්න ඩිනාලි.”
මා චායි බඳුන මුවට ළං කරන තුරු බලා සිටි ඔහු පැවසුවේ පසුතැවිල්ලට පත් ස්වරයෙනි.
“සමාවෙන්න කියන්න ඩොක්ට මට වරදක් කරලා නෑ.”
“ඔහොම දෙයක් දන්නවනම් මම ඔය මැගසින් එක ගේන්නෙ නෑ.”
“ඩොක්ට මේක ගෙනා එක හොඳයි. මේක නොදැක්කනම් මම හැමදාමත් හේෂාන් ගැන කල්පනා කරාවි. දුක් වේවි.”
මම පැවසුවෙමි.
“එයා ගැන අහිතක් හිතන්න එපා. ඔයා කියන විදියට එයා ඔයාට ගොඩක් ආදරෙන් හිටියනම් මේ විදියෙ තීරණයක් ගන්න එයාට මොකක් නමුත් ප්‍රබල හේතුවක් තිබුනා වෙන්නත් පුලුවන්.”
“මං ලෙඩෙක් ඩොක්ට. මගේ ලස්සනට තිබුන කොණ්ඩෙ දැන් ගැලවිලා තට්ටෙ පෑදිලා. මං දැන් ඉස්සර ඩිනාලි නෙමෙයි. මං විරූපියි.”
“කවුද කියන්නෙ?”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිනාසුනේය.
“කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න. කොණ්ඩෙ ගියාට පස්සෙ තමයි ඔය ඇස් වල ලස්සන වැඩිපුර කැපිලා පේන්නෙ. මම විතරක් කියන දෙයක් නෙමෙයි. පීහු නිතරම කියනවා ඩිනාලි කියන්නෙ ජාන්සි වගේම ලස්සන කෙනෙක් කියලා.”
“කවුද ජාන්සි?”
වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ සැනෙකින් අඳුරු වූ නමුත් ඔහු ඉක්මනින් යථා තත්වයට පත් වූයේ මා ගැන සළකා විය යුතුය.
“මං කියන්නම්. දැන් හොඳ ළමයා වගේ ඔය කඳුලු සෝදගෙන වෙන ඇඳුමක් ඇඳගන්න.”
“ඇයි?”
මම කුතුහලයෙන් ප්‍රශ්න කළෙමි.
“ගමනක් යන්න.”
“ගමනක්?”
මගේ දෙනෙත් තිර රෙදි හැර දමා තිබු ජනේලයෙන් පිටතට යොමු විය. ඒවනවිට අඳුර වැටී තිබෙන්නට ඇතත්, රෝහල් බිමේ දල්වා තිබූ විදුලි පහන් වල ආලෝකය නිසා මුලු පරිසරයම ආලෝකමත් ලෙසින් දිස් විය.
“ඔව්. ගමනක්. මං දැන් එළියට යනවා. ආයෙ මං එනකොට සූදානම් වෙලා ඉන්න.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං කාමරයෙන් පිටව ගියේය. හේෂාන්ගේ සහ අරුණෝදිගේ මංගල සේයා රූ ඇතුළත් සඟරාව ජනේලය හැර පිටතට විසි කරන්නට සිතුණද, මම එම අදහස වෙනස් කර ගතිමි. මම නාන කාමරයට ගියෙමි. උදෑසන දුටුවාට වඩා මගේ මුහුණ සිහින්ව තිබිණ. හඬා වැලපීම නිසා දෙනෙත් ඉදිමී රතුවී තිබිණ.
“එක අතකට හේෂාන් හරි. මට නැතත් එයාට ජීවිතයක් තියෙනවා. අරුණෝදිට ජීවිතයක් තියෙනවා. මට ඇත්තම කියලා මේ දේ වුනා නම් මට දුක නෑ. මාව රවට්ටපු එකටයි මට දුක.”
සිසිල් ජලයෙන් මුහුණ දොවා ගත් මම කොල සහ කහ පැහැයෙන් යුත් රෝහලට කිසිසේත්ම නොගැලපෙන රෝස පැහැති තිත් වැටුනු ලිහිල් ගවුමකින් සැරසුණේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං විශ්වාස කරගෙන නොවේ. ඇතැම් විට මගේ සිත තුළ වූ වේදනාව සමනය කිරීමේ අදහසින් ඔහු එසේ පවසන්නට ඇත. ඔහු මා කැටුව මෙම රාත්‍රියේ කොතැනක යන්නද?
මඳ වේලාවක් ගත වූ පසු වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසූ ආකාරයටම කාමරයට පැමිණියේය. ඔහු පසුපසින් ජ්‍යෝති ද පැමිණියාය. ඇය මා දෙස බලා ප්‍රසන්න සිනාවක් පෑවාය.
“අපි යමු මැඩම්.”
ජ්‍යෝති මා පුටුව මතින් නැගිටුවා ගත්තාය.
“කොහෙද අපි මේ යන්නෙ?”
ජ්‍යෝති, වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ දෙස බැලුවාය. ඔහු පිළිතුරක් නොදුන්නේය. කිසියම් පරීක්ෂණයක් කිරීම සඳහා ඔවුන් මා කැඳවාගෙන යනු ඇතැයි මට සිතිණ. රෝහලේ වූ පරීක්ෂණාගාරය, විකිරණ යන්ත්‍ර, එක්ස්රේ යන්ත්‍ර, සීටී ස්කෑනරය ආදී යන්ත්‍ර රෝහල් ගොඩනැගිල්ලට පසුපසින්වූ ගොඩනැගිල්ලක පිහිටා ඇතැයි ජ්‍යෝති මා හා පවසා සිටියද, මෙතෙක් මා එම ගොඩනැගිල්ල දැක තිබුණේ නැත.
“ජ්‍යෝති යන්න. මං ඩිනාලිව එක්ක යන්නම්.”
කාමරයෙන් පිටතට පැමිණි වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසුවේය. හිස නමා ඔහුට ආචාර කළ ජ්‍යෝති වදනකුදු නොදොඩා පිටව ගියාය.
“අපි යමු ඩිනාලි.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ අත අල්ලා ගත්තේය. පියකුගෙන් ලබන රැකවරණය මගේ සිතට දැනිණ. ඔහු මා විදුලි සෝපානය කරා කැඳවා ගියේ වදනකුදු නොපවසාය. විදුලි සෝපානය පහළට නොව ඉහළට ගමන් කරද්දී මම නොසන්සුන් ලෙසින් ඔහු දෙස බැලුවෙමි.
“අපි මේ යන්නෙ කොහෙද ඩොක්ට?”
මම නොඉවසිල්ලෙන් ඇසුවෙමි. ඔහු මඳ සිනාවකින් යුතුව මගේ මුහුණ දෙස බැලුවේය.
“මගේ ගෙදරට.”
නතර වූ සෝපානයෙන් පිටතට මා කැඳවාගෙන යන ඔහු පැවසුවේය.