සිඟිති දියණිය නින්දට වැටුණු පසු හිමාෂා අඳුර පොරවා ගත් මිදුලට ආවා ය.රාත්‍රිය අන්ධකාර ය.තමන්ගේ ජීවිතය ද මේ අන්ධකාර රාත්‍රිය තරමට අඳුරු නොවේදැයි ඇය සිතුවේ වේදනාවෙනි.ඇගේ කඳුළු දකින්නේ රෑ කළුවර පමණි.අන්ධකාර රාත්‍රිය සෑම වේදනාවක්ම සඟවා ගන්නට තමන්ට උදව් කරන වග ඇය දැන හුන්නා ය.හිමාෂා ඒ අන්ධකාරයේ සැඟවී අතීතය දිග ඇවිද යන්නට සිතුවා ය.
“මට පොඩ්ඩක් හරි ඔයාගෙ වෙලාවෙන් ටිකක් දෙන්න බැරි ඇයි සහන්?”
ඒ එකල්හි ඇයට තිබූ එකම පැනය ය.බිරිඳක් සිටිනවාදැයි නැද්දැයි අමතකව ගිය ඇය සමඟ දිනකට වචන කිහිපයක්වත් කතා කරන්නට අමතක කරන ඉඳහිටක රාත්‍රියේ ඈ තුරුලට ගන්නා සැමියා සමඟ ජීවිතය කාන්තාර බිමක ඇවිද යාමක් බව සිතෙද්දී හිමාෂාට ජීවිතය කල්කදුරු වන්නට පටන් ගෙන තිබිණ.ඔහු තමන්ට ආදරය තබා අවධානයක් වත් නොදෙන කාරණාව ඇයට වටහා ගැනීමට අසීරුව තිබිණ.
“මට මෙහෙම ඉන්න බෑ සහන්”
ආදරය සේම අවධානය අහිමි වීම ද ගැහැනියකට මරණීය වේදනාවක් ලබා දෙන කාරණාවකි.ආදරය කරන මිනිසාට තමන් ගැන වගක් නැති වග වැටහී යද්දී ඇය අයිස් කුට්ටියක් වී මිදෙන්නට පටන් ගෙන තිබිණ.සිතුවිලි පවා ගල් වී යද්දී මෙතැනින් එහාට කළ යුතු වන්නේ කුමක්දැයි සිතන්නට පවා හිමාෂා අපොහොසත් වූවා ය.එහෙත් නොසලකා හරින ලද මිනිසෙකු සමඟ ජීවත් වීමට යාම තමන්ට තමන් අහිමි කරන්නක් වග ඇයට වැටහිණ.ජීවිතය අතැර යන්නට සිතෙන සිතුවිල්ලෙන් මිදෙන්නට ඇය තමන්ගේ මහ ගෙදර වෙත ආවා ය.සහන්ගේ ඇවටිලි ද ඉනික්බිතිව නැගුණු තර්ජන ද ඵල රහිතව ගියේ ය.ඇයට නැවත යන්නට නුවුමනා විය.
ද්වේෂ සහගත ලෙස අතැර යාම ඉදිරියේ වැරදිකාරිය වී දික්කසාදය ලබා ගන්නට සිදුවීම ගැන හිමාෂාට එදා වේදනාවක් නොදැනිණ.ඇයට වූයේ වියළි සබඳතාවයක් අවසන් කිරීමේ සතුට පමණි.එහෙත් ඒ විවාහ සබඳතාවය එවැනි වියළි එකක් වන්නට මල්මිගේ බලපෑමක් වූවාදැයි වැටහෙද්දී පෙරහැර ගොස් අවසන් ය.
“ආදරයක් බලෙන් ලබා ගන්නෙ කොහොමද? ආදරේ නොකරන මනුස්සයෙක් ලියවිල්ලක් අස්සට හිර කරලා තියා ගන්නවට වඩා නිදහස් කරන එක ඇත්තටම හොඳයි”
ඇය එසේ සිතමින් හිත හදා ගත්තා ය.එනිසාම සහන්ට දිනාරාගේ තාත්තා යන අයිතිවාසිකම තවමත් ඉතිරි කරන්නට ඇයට හැකි විය.ඔහු තමන් සමඟ සදහටම නොරැදුණ ද දිනාරාට තාත්තා සදහටම ඉතිරි විය යුතු බව හිමාෂා තරයේම ඇදහුවා ය.ඒ නිසාම ඇය ඔහුට දියණිය දකින්නට ඇති ඉඩ ප්‍රස්තා අහුරා නොදැම්මා ය.
අතීත සිතුවිලි දිග ඇයට දිගු දුර ගමනක් යන්නට තිබිණ.එහෙත් ඒ කල්පනාවෙන් අවදි වන්නට සිදු වූයේ දුරකථනය නාද වූ නිසා ය.
රවිඳු!
ඔහු එහා අන්තයේ විය.ඔහුට මේ මොහොතේ උදව් අවශ්‍ය ය.හිමාෂා වහා ඇමතුමට සම්බන්ධ වූවා ය.
“මැරෙන්න යන එකත් ලේසි නෑ කියලා හිතෙන්නෙ තුවාල රිදෙනකොට තමයි.මට මීට වඩා ලේසි ක්‍රමයක් හිතන්න තිබ්බා හිමා.”
ඔහු පවසන්නේ ජීවිතය අතැර දැමීමට ගත් තීරණය තවම අහකට නොදැමූ බව ය.ඒ සංකල්පනාව ඉවතට දැමිය යුත්තේ සීරුවට සහ ප්‍රවේසම් වග හිමාෂා සිතුවා ය.ඇය ඒ වචන අහකට දමා ඔහුගේ සුවදුක් විමසුවා ය.
“මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බව ඔයාලට නොකිව්වෙ පාරමීට දුක හිතෙයි කියලද ඔයත් හිතන්නේ?”
ඔහුගේ පැනයට හිමාෂාට සිනා නැඟිණ.පාරමී එවැන්නක් සිතා හිඳිනවා විය හැකි ය.නමුත් හිමාෂා එසේ නොසිතුවා ය.ප්‍රේමවන්තිය ගැන පැවසීම හෝ නොපැවසීම රවිඳුගේ පෞද්ගලික තීරණයකි.අනිත් අතට එවැනි දේ කියන්නට තරම් සමීප මිත්‍රත්වයක් ද ඔවුන් අතර නොතිබූ තරම් ය.
“ඒක තනිකරම ඔයාගේ පර්සනල් තීරණයක්නෙ රවිඳු.ඔයා අපිට එයා ගැන නොකියා හිටියේ පාරමීටත් හෝප්ස් දෙන්න කියලා මම හිතන්නේ නෑ.ඒ වුණාට පාරමී ඔයා ගැන බලාපොරොත්තු තියන් ඉන්න එක ගැනත් මම වරදක් කියන්නේ නෑ.”
හිමාෂා පැවසුවේ ඇයට දැනෙන සැබෑ හැඟීම ය.පාරමීගේ සිතුවිලි ගැන වද වන්නට ඕනෑ නැති බව රවිඳු තේරුම් ගත යුතුයැයි ඇය සිතුවා ය.
“පාරමීට වරදක් කියන්නත් බෑ.ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවේ රවිඳු.ආදරේ කියන්නේ ආදරේට.එයා ඔයාට ආදරෙයි.ඔයාව අයිති කරගත්තත් නොගත්තත් එයා ඉන්නෙ ඔයා ගැන ආදරෙන්.ඒ හැඟීමට වැට බඳින්න අපිට බෑ.”
රවිඳු ඒ කතාව අසන්නට නොකැමති ය.ඔහු ගැන යුවතියක් ප්‍රේමයෙන් පසුවීම ගැන ඔහුට දැනෙන්නේ වරදකාරී හැඟීමකි.ඒ ඔහුට ඇය ගැන ප්‍රේමයක් නොදැනෙන නිසා ය.වෙනුරි අහිමි වී ගිය මේ මොහොතේ පවා එතැන පාරමීට රැඳෙන්නට ඉඩ දෙන්නට ඔහුට සිත එකඟ කර ගන්නට නොහැකි ය.
“අපි ආදරේ මිනිස්සු අපිට ආදරේ නෑ.අපිට ආදරේ අයට අපි ආදරේ නෑ.මේක මහ විකාර ජීවිතයක් හිමා.වෙනුරි හින්දා හිත රිද්දන් ජීවිතේ එපා කරන් ඉන්න මට පාරමීගේ ආදරේ පිළිගන්න හිතෙන්නෙ නෑ.ඒක මගෙ වරදක්ද?”
එය වරදක් නොවේ.එය ඔහුගේ ඇති අවංක කම ය.ඒ ගැන නොසඟවා කියන්නට හිමාෂාට ඕනෑ විය.