බිම්මල් – 36 කොටස

සිව්වන මහලෙහි පිහිටා තිබූ වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ නිවස බොහෝ චාම් නිවසක් විය මා සෝෆාව මත හිඳවූ ඔහු ගෙතුළට ගියේය. අඩු ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් පමණක් තිබූ එම නිවස තුළ අසපුවක නිහඬතාවය සහ සැනසීම ඇතැයි මට සිතිණ. මම වටපිට බැලුවෙමි. විසිත්ත කාමරයේ වූ රාක්කයක රෝහලේ පිළිගැනීමේ කවුන්ටරය අසළ තිබූ ආකාරයේම ලේඩි ජාන්සිගේ වර්ණවත් ඡායාරූපයක් වූ අතර එහි පළඳවා තිබූ පිච්ච මල් වැල ඒවනවිට පර වී තිබිණ. තවත් රාමු කරන ලද ඡායාරූපයක වෛද්‍ය කුෂ්වාන්ත් සිං සහ ජාන්සි සිනාසෙමින් සිටින වර්ණවත් ඡායාරූපයක් විය. එය ඔවුන් දෙදෙනා බොහෝ තරුණ අවධියේදී ගන්නා ලද ඡායාරූපයකි. ජාන්සි යන්තමින් මුහුණ හරවා වෛද්‍ය කුෂ්වාන්ත් සිං දෙස බලා සිටින එම ඡායාරූපය බොහෝ කලාත්මක වූවකි. ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව දැන් පැහැදිලි වෙමින් තිබේ. ඇයට සිදුවන්නට ඇත්තේ කුමක්ද?

වෛද්‍ය කුෂ්වාන්ත් සිං ගෙතුළ සිට මා අසළට පැමිණියේය. වෙනත් ඇඳුමකින් සැරසී සිටි ඔහු කෙරෙන් දිස් වූයේ වඩාත් තරුණ ස්වරූපයකි.

“එන්න. අපි යමු ඩිනාලි.”

මා අසුනින් නැගිටුවා ගනිමින් ඔහු පැවසුවේය. මට බියක් දැනිණ.

“කොහෙද?”

මා ඇසුවේ වෙව්ලන කටහඬිනි.

“බැල්කනි එකට යමු. එතනට අවට පරිසරයම ලස්සනට පේනවා.”

මම ඔහුට අවනත වූයෙමි. ඔහු මා සඳලුතලයට කැඳවාගෙන ගියේය. එහි වූ පුටුවක් මත ඔහු මා හිඳවූයේ ප්‍රවේශමෙනි. 

“කකුල් වලට අමාරුයිනෙ. මේ ස්ටුල් එක උඩින් කකුල් දෙක තියාගන්න.”

ඔහු මගේ දෙපා තබා ගැනීමට පහසු වන සේ ස්ටුලයක් තැබුවේය. මගේ දෙනෙතට කඳුලු නැගිණ. මේ කරුණාව වේදනාවෙන් දැවෙන සිතට සිහිල් පැන් පොදක් නොවේදැයි මම කල්පනා කළෙමි. 

“අපි දැන් කතා කරමු. හිතේ තියෙන හැමදෙයක්ම මට කියන්න ඩිනාලි. ඊටපස්සෙ ඔයාගෙ හිතට සැහැල්ලුවක් දැනේවි.”

මා අසළ හිඳ ගත් වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ ගත ගැල්වූ විලවුන් සුවඳ මට දැනිණ. ඔහු මට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණෙන සෑම දිනකදීම එම විලවුන් සුවඳ දැනෙන බව මට මතකයට නැගිණ. 

“මට කියන්න දෙයක් නෑ ඩොක්ට. ඉවරයි. හැමදේම ඉවරයි. දැන් ඉතිරි වෙලා තියෙන්නෙ මගේ… මගේ… ජීවිතේ…”

මම ආයාසයෙන් මුවට නැගි වදන් ගිල ගතිමි. මට ද්‍රෝහි වූ හේෂාන් වෙනුවෙන් මා මගේ ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුදැයි මට මොහොතකට කල්පනා විය. 

“අර බලන්න ඩිනාලි.”

කතා බහට විරාමයක් තබා වෛද්‍ය කුෂ්වාන්ත් සිං අත දිගු කළ දෙස මම බැලුවෙමි. සුදු සඳ එළියෙන් නැහැවෙන වැව හා අවට පරිසරය කෙතරම් සුන්දර දසුනක්ද යත් මට ඒ කෙරෙන් දෙනෙත් ඉවතට ගැනීම අසීරු විය.

“හරිම ලස්සනයි. පැරඩයිස් එකක් වගෙයි.”

මට කියවිණ.

“අපි මේ හොස්පිටල් එක හදන්න එද්දි ඔය වැව තිබුනෙ වැහිලා. අපි ආයෙම මේ වැව ප්‍රතිසංස්කරණය කරලා ගත්තා. ඒක මේ ගමටත්, අවට ගම් වලටත් ලොකු ප්‍රයෝජනයක් වුනා.”

“මේතරම් ලස්සනට මම කවදාවත් මේ වැව දැකලා නෑ.”

“ඒකතමයි කියන්නෙ. එකම දේ එක එක කෝණ වලින් බලද්දි පේන්නෙ වෙනස් විදියට. ඔය වැවට අපේ හොස්පිටල් එකේ අය කියන්නෙ ජාන්සි වැව කියලා. මේ වගේ හඳ පායලා තියෙන රෑට හරිම ලස්සනයි. තව රෑ වෙන්න රෑ වෙන්න සත්තු වතුර බොන්න එන හැටි බලන්න ලස්සනයි. මුවෝ රංචු පිටින් මෙතනට එනවා. මම ටෙලස්කෝප් එකෙන් බලාගෙන ඉන්නවා.”

“හාවොත් එනවද?”

මම මහත් උනන්දුවෙන් ඇසුවෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං නම් මිනිසා මගේ ප්‍රධාන වෛද්‍යවරයා නොව මගේ මිතුරකු ලෙසින් ඒවනවිට මට දැනෙමින් තිබිණ. ඔහු සිනාසුනේය.

“හාවො නම් මම දැකලා නෑ. එනවා ඇති.”

“අපි දෙන්නා ගොඩක් හීන දැක්කා ඩොක්ට. අපි වෙනුවෙන් හදපු අලුත් ගෙදර හාවො හදමු කියලා යෝජනා කළේ හේෂාන්. මම හාවුන්ට ආස බව එයා දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි. මං ආස නිසා රෝස මල් වවන්නත් එයා මට පොරොන්දු වෙලා හිටියා.”

මම පැවසුවෙමි. 

“එහෙම තමයි ජීවිතේ. ආදරේ නිසා නොයෙකුත් පොරොන්දු දුන්නත් සමහර වෙලාවට ඒවා ඉෂ්ඨ සිද්ද කරන්න බැරි වෙන්න පුලුවන්. මට සිද්ද වුනෙත් ඒ වගේ දෙයක් ඩිනාලි.”

මම වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණෙහි වූ වේදනාත්මක බව සඳ පහනේ ආලෝකයෙන් මම දුටුවෙමි.

“අද වුන සිද්ධියත් එක්ක ඩිනාලි හිතන්න ඇති. ඇයි මටම මේ දේ වුනේ කියලා. මං ඔයාව මෙතනට එක්ක ආවෙත් මගේ කතාව කියන්න එක්ක. ඒක ඇහුවම ඩිනාලිට හිත හදාගන්න පහසු වෙන්න පුලුවන්.”

ඔහු දිගු සුසුමක් හෙලුවේය.

“එයා ජාන්සි. අපි දෙන්නා අඳුනගත්තෙ මෙඩිකල් කොලේජ් ඉන්න කාලෙ. එයත් මාත් අතර තිබුන බැඳීම ආදරය හරිම පුදුමාකාර එකක්. ඒවගේම එයා හරිම ලස්සන කෙනෙක්. අපි දෙන්නා විවාහ වෙලා පදිංචි වෙන්න හිතාගෙන අපි ලස්සන ගෙයක් හැසුවා. ඒකත් හරියට පැලස් එකක් වගෙයි. විවාහයෙන් පස්සෙ ඒ ගෙදර පදිංචි වෙලා ගාඩ්න් එකේ මෙරිගෝල්ඩ් මල් විතරක්ම වවන්න එයා හීන දැක්කා.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසුවේය. ලේඩි ජාන්සි රෝහලේ තැන් තැන් වල ඇති සුරූපී කාන්තාවගේ සේයාරූ මෙන්ම රෝහලට ඇතුලු වූ තැන සිටම එක දිගටම වවා තිබූ දහස් පෙතියා මල් යාය පිළිබඳව සිත තුළ වු කුතුහලය ඔහුගේ වදන් සමගම කෙමෙන් පහව යන බවක් මට දැනෙන්නට විය.  ඇයට සිදු වූයේ කුමක්ද?

“අපි ලස්සනට වෙඩින් එක ප්ලෑන් කළා. ලාහෝර් වල එතෙක් මෙතෙක් තිබුන උත්කර්ෂවත්ම වෙඩින් එක විදියට අපේ වෙඩින් එක ගන්න ජාන්සිට ඕන වුනා. එයා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම කෙනා මමයි කියලා ජාන්සි නිතරම කිව්වා. ඒත්….”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං වදන් ගිල ගත්තේය. ජාන්සිට කුමක් සිදු වූයේද යන්න අසන්නට උවමනා වුව ද, මම නිහඬව සිටියෙමි. කතා කිරීමට වදන් අමතක වූවාක් මෙන් ඔහු ඈතින් පෙනෙන සඳරැසින් නැහැවුනු වැව දෙස බලා සිටියේය. වැව අවට වු ගහ කොළ සඳ දියෙන් නැහැවී ඇති අපුරුව දෙස මම බලා සිටියෙමි.

“වෙඩින් එකට හරියටම මාස දෙකකට කලින් ජාන්සි හිටිහැටියෙම අසනීප වුනා.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැවතත් සිය කටහඬ අවධි කළේය.  

“පුංචි දෙයක් කියලා මුලදි හිතුවත් පරීක්ෂණ වලදි ඔප්පු වුනා එයාගෙ අග්න්‍යාශයේ කැන්සර් එකක් කියලා. කාලෙක ඉඳලම යම් යම් රෝග ලක්ෂණ ඇති වුනත් එයා එයාගෙ ගෙදර අයටවත් මටවත් ඒ ගැන කියලා නැත්තෙ ප්ලෑන් කරපු විදියට වෙඩින් එක ගන්න බැරි වේවි කියලා බයට.”

“අයියෝ…” යි මට කියවිණ.

“පරීක්ෂණ වලින් ඔප්පු වුනා ඒවෙනකොට කැන්සර් එක හොඳටම ස්ප්‍රෙඩ් වෙලා කියලා. ඒත් ජාන්සි හොඳ මානසික ශක්තියකින් හිටියා. අමාරුකම් තියාගෙන හරි එයා ලස්සනට ඇන්දා. සිංදු කිව්වා. කීමොතෙරපි කරද්දි එයාගෙ කොණ්ඩෙ සම්පුර්ණයෙන්ම ගිහින් තට්ටෙ පෑදුනත් එයා ඒකත් දැක්කෙ ලස්සනට. එයා මාව සතුටින් තියන්න හැමතිස්සෙම උත්සාහ කරා. ඒත් අන්තිමේදි කිසිසේත්ම බලාපොරොත්තු නොවුන විදියට එයා ජීවිතෙන් සමුගත්තා. එයා අවසන් හුස්ම හෙලුවෙ මගේ අත් දෙක උඩයි ඩිනාලි.”

මම සෙමෙන් හිස හරවා වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහුගේ දෙනෙත් වල පිරී ඇති කඳුළු මත සඳ එළිය පතිතව දිලිසුනේය.

“මට මගේ ජීවිතේ එපා වුනා. බලාපොරොත්තු හැමදේම ජාන්සි එක්කම නැති වුනා වගේ දැනුනා. ජීවත් වුනා ඇති කියලා මට හිතුනා. ඒත් දවසක් මම හීනෙන් ජාන්සිව දැක්කා. එයා කිව්වා මං වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕන කුෂ්. මං වගේ කැන්සර් පේෂන්ට්ස්ලට ඔයා අතින් ප්‍රතිකාර කෙරෙන්න ඕන. ඒ හැමදේම මං වෙනුවෙන් කරන දෙයක් විදියට සළකන්න කියලා. ඊටපස්සෙ මම ගොඩාක් කල්පනා කළා.”

මෙතෙක් වේලාවක් ආලෝකය දුන් පුර හඳ වලාකුළකින් වැසී ගියෙන් පරිසරයම මොහොතකට අඳුරු වුව ද, සුලු මොහොතකින් වලාකුළ අතරින් මිදුනු සඳ පහන පරිසරයම ආලෝකමත් කරන්නට සමත් විය.

“මට කියන්න අමතක වුනා. එක නිවාඩුවකට අපි දෙන්නා ලංකාවට ආවා. අනුරාධපුරය ගැන ජාන්සි කතා කරේ හරිම ආශාවකින්. අපි දෙන්නා වයසට ගිය දවසක ලංකාවට ඇවිත් අනුරාධපුරේ පදිංචි වෙමු කියලා එයා විහිලුවට වගේ නිතර කියපු කතා මට මතක් වුනා. ඊටපස්සෙයි මම තීරණය කළේ ලංකාවට ඇවිත් ජාන්සි වෙනුවෙන් පිළිකා රෝහලක් හදන්න. මේ හොස්පිටල් එකට එන හැම කැන්සර් පේෂන්ට් කෙනෙක්ගෙන්ම මම දකින්නෙ ජාන්සිවයි. ඩිනාලිව දැක්ක මොහොතෙත් මට දැනුනෙ ජාන්සි  මගෙන් ප්‍රතිකාර ගන්න ඇවිත් කියලයි.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං මොහොතකට කතාව නතර කළේ වෙහෙසක් දැනුන බැවින් විය යුතුය. 

“අද හැන්දෑවෙ සිද්ධියත් එක්ක මං ආයෙම මගේ අතීතයට ගියා. මං ඕන වුනේ ඔයාට ජීවත් වෙන්න ධෛර්යය දෙන්නයි. හිතන්න. ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කවදා හරි ආයෙම ඔයාට දැකගන්න පුලුවන්. එයා සතුටින් ජීවත් වෙනවා කියලා හරි ඔයාට හිත හදාගන්න පුලුවන්. ඒත්… මම… මගේ ජාන්සි ආයෙ කවදාවත් එන්නෙ නෑ. මම… මම…”

වෛද්‍ය කුෂ්වාන්ත් සිංට පැවසීමට ගිය වදන් අමතක වූවාක් මෙන් විය. පරිසරය බොහෝ නිහඬ විය. ඈත වනරොද දෙසින් නිශාචර සතුන් නගන හඬින් එම නිහඬතාවය වරින් වර බිඳී ගියේය. බොහෝ ඈතින් කුඩාවට දිස් වන විදුලි පහන් ආලෝකය දෙස මම බලා සිටියෙමි.

“ඒ පේන්නෙ රුවන්වැලි සෑයෙ කොත මුදුන. මම අහලා තියෙනවා රුවන් වැලි සෑය වැඳලා ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉෂ්ඨ වෙනවා කියලා.”

“මට තවත් ප්‍රාර්ථනා කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ ඩොක්ට.” යි පවසන්නට මට සිතිණ. 

“සමහර රෑ කාලවල් වලට මම රුවන්වැලි සෑයට ගිහින් පැය ගණනක් වාඩි වෙලා ඉන්නවා. හරිම සැනසීමක් දැනෙනවා එතකොට. සමහර දවස් වලට රුවන්වැලි සෑයට ඉහළින් අහස මුදුනෙ එළි පේනවා. මිනිස්සු කියන්නෙ ඒ දේවතා එළි කියලා.”

මීට වසර ගණනාවකට පෙර අනුරාධපුරයේ චාරිකාවක් පැමිණි අවස්ථාවක් මගේ සිහියට නැගිණ. එම ගමනට අප සමග සහභාගි වූයේ අම්මාගේ මිතුරිය වන සාෂාත්, ඇගේ සැමියාත්ය. ඔවුන් ද දේවතා එළි සම්බන්ධව පැවසූ කතා පුවතක් යන්තමින් මගේ මතකයට නැගිණ. 

“හොඳයි…”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැගී සිටියේය.

“දැන් අපි කෑම කන්න ඕන දරුවා. යමු.”

ඔහු නැගිට තම අත මා දෙසට දිගු කළ ද මම එලෙසින්ම සිටියෙමි.

“මට බඩගිනි නෑ. කන්න බෑ ඩොක්ට.”

“එහෙම කියලා බෑ. බෙහෙත් බොන්න ඕන නේද? වෙනදාට මං මගේ කෑම හදාගන්නවා. ඒත් අද ඔයා වෙනුවෙන් ජ්‍යෝති කෑම ගෙනත් තියලා ඇති. යමු.”

ඔහුගේ වදන් වලින් පියෙකුගේ ආදරය හා රැකවරණය මගේ සිතට දැනිණ. මම නැගී සිටියෙමි. ඔහු මා කෑම මේසයට කැඳවාගෙන ගියේය.

රාත්‍රී ආහාර වශයෙන් වෙනත් දින වල මට ලැබෙන ආහාර වලට වඩා වෙනස් ආහාර කිහිපයක් මේසය මත තබා තිබිණ. මේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං වෙනුවෙන්ම පිළියෙල වූ ආහාර වන්නට ඇතැයි මම සිතුවෙමි.

“කන්න.”

මා ආහාර වශයෙන් ගත්තේ පාන් පෙත්තක් පමණකි. අනතුරුව සුප් කෝප්පය පානය කරන්නට වුයේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං සතුටු කිරීමට මිසක මට ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. 

“ඔය කාලා ඉවරද?”

මට අම්මා සිහි විය. කවර හෝ හේතුවක් නිසා අඩ වශයෙන් ආහාර ගන්නා දින වලදී ඇය නගන පැනය ද එයම විය.

ආහාර ගැනීමෙන් අනතුරුව වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ බෙහෙත් වේල මට ලබා දුන්නේය. නැවතත් ඔහු මා සඳලුතලයට කැඳවාගෙන ගිය නමුදු මගේ සිත තුළ ඇති වූයේ මහත් තිගැස්මකි. මට මගේ කාමරයට යාමට උවමනා බව පවසන්නට සිතුණද, මගේ දිව ඒ සඳහා නොනැමිණ.

“ඩිනාලි දන්නවද කුෂ්වාන්ත් කියන නමේ තේරුම?”

මා පුටුව මත හිඳවූ ඔහු ප්‍රශ්න කළේය. මා හිස දෙපසට වැනුවේ නැතැයි යන්න අඟවමිනි.

“සතුට…”

ඔහු පැවසුවේය. මම මඳ සිනා නැගුවෙමි. එහෙත් මගේ සිත තුළ වු තිගැස්ම කෙසේවත් පහ නොවීය.

“ඩොක්ට. මට යන්න ඕන.”

බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මම පැවසුවෙමි.

“එක්ක යන්නම්. ඩිනාලි… මට දැන් ඔයාගෙ කතාව කියන්න. ඊටපස්සෙ මම ඔයාව ඔයාගෙ රූම් එකට එක්ක යන්නම්.”

මම වෛද්‍ය කුෂ්වාන්ත් සිං විශ්වාස කළෙමි. හේෂාන් මට හමු වු දින පටන් මේ දක්වා සියලු පුවත් මා පැවසුවේ ඔහු කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබමිනි. ඔහු සියල්ල සාවධානව සවන් දී සිටියේය. කාලය ගත වන බවක් මට නොදැනිණ. අහස මුදුනේ වූ සඳ පහන ඈතින් ඈතට ගමන් කරන තුරුම මම මගේත්, හේෂාන්ගේත් කතාව පමණක් නොව අම්මාගේත්, තාත්තාගේත් හැලහැප්පීම් වලින් ගහන වූ යුග දිවිය පිළිබඳව ද ඔහු සමග පැවසුවෙමි.

“අපි යමු.”

සියල්ල අවසානයේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට නැගී සිටින්නට අත දිගු කළේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles