බිම්මල් – 39 කොටස

අම්මා වෙහෙසට පත් ලෙසින් පුටුව යහන වෙතට ළං කරගෙන හිඳ ගත්තාය. ඇය කුමක් පවසන්නට සැරසෙන්නේද යන්න මට සිතා ගත නොහැකි විය. අම්මා වසරේ විශිෂ්ඨතම ව්‍යවසායිකාව වශයෙන් සම්මානයට පාත්‍ර වීමට නියමිතව තිබූ බව අපහසුවෙන් සහ වේදනාවෙන් ගෙවී ගිය පසු ගිය කාලය තුළ මට අමතකව තිබිණ. ඇතැම් විට සම්මාන උළෙල පවත්වන්නට ඇතත් ඇය පවසන්නට සැරසෙන්නේ ඒ පිළිබඳව විය නොහැකිය.

“කියන්න අම්මා…”

අම්මා තවදුරටත් නිහඬව සිටිද්දී මම නොඉවසිල්ලෙන් පැවසුවෙමි. සුදු නංගී දෙබැම රැළි නංවාගෙන අම්මාගේ මුහුණ දෙස බලා සිටියේ ද කුතුහලය පිරුණු දෙනෙතින් යුතුවය.

“හේෂාන් මැරි කරන්න යන බව මම දැනගෙන හිටියෙ අද ඊයෙ නෙමෙයි ඩිනාලි. ඔයාව මෙහේ ඇඩ්මිට් කරලා සතියක් දෙකක් යද්දි.”

අම්මා සෙමෙන් කටහඬ අවදි කළාය.

“ඉතින් ඇයි අම්මා මට කිව්වෙ නැත්තෙ?”

“මොනවා කියන්නද? ඒවෙද්දි මම හිටියෙ වැරැද්ද නිවැරැද්ද තේරුම් ගන්න බැරි මානසික තත්වයක. මම හේෂාන්ට අනුකම්පා කළා.”

“අනුකම්පාව දැන් භූමිකම්පාව වෙලා තියෙන්නෙ.”

සුදු නංගී පැවසුවේ තරහෙනි.

“ඉන්නකො සුදු…”

අම්මා නොඉවසිල්ලෙන් පැවසුවාය.

“අම්මා ඔය පහුගිය කතා කියලා ලොකූගෙ හිත අවුල් කරන්න එපා. දැන් හැමදේම සිද්ද වෙලා ඉවරයිනෙ.”

“නෑ. මම මේ දේ ඩිනාලිට කියන්නම ඕන. එතකොට හිත හදා ගන්න ලේසියි.”

“අමුතුවෙන් හදාගන්න හිතක් මට නෑ අම්මා… දැන් මම හිත හදාගෙන ඉන්නෙ.”

සුදු නංගී සෙමෙන් අත්පොඩි ගැසුවාය.

“දවසක් හේෂාන් මගේ ෂොප් එකට ආවා.”

අම්මා වචන තෝරා බේරාගෙන පවසන්නේ කවර වදනකින් හෝ මගේ හිත රිදෙනු ඇතැයි සිතා විය යුතුය. මම මහත් උනන්දුවෙන් සවන් දී සිටියෙමි.

“එයා ඇවිත් කිව්වා ආන්ටි මට සමාවෙන්න. මට ආන්ටි එක්ක ලොකු කතාවක් කියන්න තියෙනවා කියලා. මං එයාව මගේ ඔෆිස් රූම් එකට එක්ක ගියා. හේෂාන් කිව්වා අම්මා ඩිනාලිව මැරි කරනවට කැමති නෑ. එහෙම දෙයක් කරගත්තොත් එයා සූසයිඩ් කරගන්නවා කිව්වා කියලා.”

“අම්මත් ඒ බොරුව මෝඩයා වගේ විශ්වාස කළා.”

සුදු නංගී පැවසුවේ තරහෙනි.

“අම්මා දැනටමත් ප්‍රපෝසල් එකක් ගෙනත් තියෙන්නෙ. මං මොනවද කරන්නෙ කියලා ආන්ටි කියන්න  කියලා හේෂාන් ඇහුවා. මට දුකක් වගේම බයකුත් දැනුනා. චාන්දනී ජීවිතේ නැති කරගත්තොත් අපි හැමෝටම ජීවිත කාලෙම හිත් වලින් විඳවන්න වෙන බව මම දැනගෙන හිටියා. හේෂාන් මගේ උත්තරයක් බලාපොරොත්තුව බලාගෙන හිටියා. අන්තිමේදි මං කිව්වා. මගේ දරුවා නිසා කාගෙවත් ජීවිතේ විනාශ වෙන්න ඕන නෑ. හේෂාන් ඒ ප්‍රපෝසල් එකට කැමති වෙන්න කියලා.”

“එයා මොනවද කිව්වෙ?”

“මං කොහොමද එහෙම කරන්නෙ ආන්ටි? මට ඩිනාලිට ද්‍රෝහි වෙන්න බෑ කියලා එයා ඇඬුවා.”

“ඉතින්?”

“මොන හේතුවක් නිසාද මන්දා මට තරහ ගියා. මං හේෂාන්ට කිව්වා. කරුණාකරලා දැන් ඔයා ඩිනාලිගෙ ජීවිතෙන් ඈත් වෙන්න. අම්මා කියන දේකට ඔයා කැමති වෙන්න කියලා.”

“හේෂාන් හොඳටම ඇඬුවා. ඒත් මගේ හිත උනු වුනේ නෑ. ගෑනු මායම් කියලා ලෝකයා කිව්වට මං අවුරුදු ගානක් තිස්සෙ තාත්තගෙන් පිරිමි මායම් දැකලා තියෙනවා. ඔය කඳුලුත් මගේ අනුකම්පාව දිනාගෙන එයාගෙ අරමුණට යන්න කරන දෙයක් කියලා මම දැනගෙන හිටියා. මම එවේලෙම චෙක් එකක් ලියලා හේෂාන්ට දුන්නා.”

“චෙක් එකක්?”

“ඔව්. එයා මේ හොස්පිටල් එකට ඩිපොසිට් එකක් කළා කිව්වනෙ. ඇයි අපි එයාට ණය වෙන්නෙ? එයා චෙක් එක භාරගන්න කැමති වුනේ නෑ. ඒත් මං කිව්වා මගේ දරුවට වෙච්ච වැරැද්දට කාගෙන්වත් වන්දි ඕන නෑ. කරුණාකරලා මේක භාරගන්න කියලා. අන්තිමේදි එයාට චෙක් එක භාර ගන්න සිද්ද වුනා.”

“ඒක හොඳයි.”

මට කියවිණ.

“ඒත් ඇයි මට මේ හැමදේම වසන් කළේ අම්මා?”

“කියන්නෙ කොහොමද? ඔයා දැන් හිත හදාගෙන ඉන්න නිසා කිව්වට එහෙම නොවුනා නම් කවදාවත්ම මම මේක නොකියා වසන් කරගෙන ඉන්නත් තිබුනා.”

“අම්මගෙ ජීවිතේට කේක් ෂොප් එකේ න්‍යාය පාවිච්චි කරන්න එපා.”

සුදු නංගී පැවසුවාය.

“කේක් ෂොප් එකේ න්‍යාය? ඒ මොකක්ද?”

“කේක් එක ලස්සනට උඩින් අයිසින් කරලා තියෙනවා. පිටින් ඒ විදියට පෙනුනට යටින් තියෙන්නෙ බටර් කේක් එකක්ද, චොක්ලට් කේක් එකක්ද, එහෙමත් නැත්නම් පිච්චුනු කර වුනු කේක් එකක්ද කියලා පිටින් දකින කෙනා දන්නෙ නෑ. අම්මා මේ දේවල් වසන් කරගෙන හිටියනම් ලොකූ අදටත් ඉන්නෙ මුලාවක.”

“ඇත්ත ගොඩක් තිත්තයි….”

දොර හැරගෙන ජ්‍යෝති කාමරයට පිවිසියෙන් අම්මා කතාවට විරාමයක් තැබුවාය.

“ජ්‍යෝති… බොකේ එකයි, පාර්සල් ටිකයි අර පේෂන්ට් ගෙනිහින් දෙන්න.”

මම පැවසුවෙමි.

“ඒකටම තමයි මම ආවෙ මැඩම්.”

අම්මාට හිස නමා ආචාර කළ ජ්‍යෝති හේෂාන් සහ අරුණෝදි රැගෙන එන ලද මල් කළඹත්, පාර්සල් රැසත් රැගෙන නික්ම ගියාය. 

“මොනවද බබා ඒ?”

මෙතෙක් නිහඬව සිටි වජිරා ඇසුවාය.

“හේෂානුයි අරුණෝදියි මට අරන් ආව තෑගි. ඒ හැමදෙයක්ම මේ හොස්පිටල් එකේ ඉන්න වයසකම පේෂන්ට්ට දෙන්න කියලා මම ජ්‍යෝතිට කිව්වා.”

“ඇත්තටම මට ඔයා ගැන ආඩම්බරයි. මං හැමදාම ඔය දෙන්නට කියන්නෙ ගෑනු අපි ගහක එතිලා යන වැලක් වෙන්න ඕන නෑ කියලා.”

“ඇත්ත. මේජර් වංශනාථ කියන ගහේ එතිලා හිටිය අපේ සකුන්තලා ඉද්දමල්ගොඩ දැන් තනියම නැගී සිටින නියම දිරිය කාන්තාවක් වෙලා තියෙන්නෙ.”

සුදු නංගී සරදම් කළාය. මම හේෂාන්ගේ සහ අරුණෝදිගේ ඡායාරූප ඇතුළත් සඟරාව සුදු නංගී අතට දුන්නෙමි. අම්මා ද, වජිරා ද එයට එබී බලා සිටියහ. සුදු නංගී කෝපය පිරුණු මුහුණින් යුතුව එම පිටු කිහිපය කීතු කීතු කොට ඉරා දැමුවාය. සැනසීමක් මෙන්ම සියුම් වේදනාවක් ද මගේ සිත රිදවන බව දැනුන ද, මම වදනක් හෝ නොපවසා සිටියෙමි. වජිරා ඉරී ගිය කඩදාසි කැබලි ගුලි කර  කූඩයට දැමුවාය.

“හරි. ඒ චැප්ටර් එක ක්ලෝස් කරා. දැන් ඉතින් අපි අපි ගැන කතා කරමු.”

අම්මා ඔවුන් රැගෙන පැමිණි පාර්සල් තුළින් විල්ලුද පෙට්ටියක් රැගෙන පැමිණියාය. එය ඇය  ලද ගෝල්ඩ් ලෝටස් නම් සම්මානය විය. අම්මා එය එය මා අත තැබුවාය.

“සුබ පැතුම් අම්මා…”

මම අම්මාගේ මුහුණට මුහුණ ළං කළෙමි.

“මම සම්මානෙ ගන්න ගියේ නොගිහින් බැරිකමට. අපි තුන්දෙනාම යන්නනෙ හීන මැව්වෙ.”

“ලබන පාර අපි තුන්දෙනාම යමු.”

“ඔව්. යමු.”

අම්මා පැවසුවේ ඇගේ දෑස් කඳුලින් බොඳ වෙද්දීය.

                    *

අම්මාත්, සුදු නංගීත්, වජිරාත් නික්ම ගියේ මා සමග හෝරා දෙකකට ආසන්න කාලයක් ගත කිරීමෙන් අනතුරුවය. ජීවිතයේ බොහෝ නැවුම් බවක් මට දැනෙමින් තිබිණ. බෙහෙත් පාවිච්චියෙන් පසුව දැනෙන අපහසුතා මට දැනුනේ අඩුවෙනි. අප්‍රාණික බව හා ඔක්කාර ස්වභාවය පවා මා කෙරෙන් තුරන් වී යන බවක් මට දැනිණ. කැඩපත ඉදිරියෙහි වෙනදාට වඩා වේලාවක් ගත කරන්නට මට සිත් වූයේ මන්දැයි මට නොවැටහිණ. ප්‍රතිපිළිකා ඖෂධ භාවිතය නිසා පෙර වූ සමේ වර්ණය අඩු වී තිබුණද, මුහුණ මඳක් සිහින් වී තිබුණද, මගේ මුහුණ පියකරු යයි සිතන්නට මම උත්සාහ කළෙමි. අම්මා විසින් අලුතින් ගෙන එන ලද සුදු තිත් සහිත කපු රෙද්දෙන් මැසූ ගවුම පවා මා තුළ වෙනසක් ඇති කරන්නට සමත් වී  ඇතැයි මට සිතිණ. එහෙත් කාලය ගත වන්නට ගතවන්නට කිසියම් නොසන්සුන් සහගත හැඟීමක් මගේ සිත තුළ ඇතිවෙමින් තිබුනේ මන්දැයි මට වටහා ගත නොහැකි විය.

“ඇයි මැඩම්?”

ජ්‍යෝති කිහිප වරක්ම මගෙන් විමසුවාය.

“ඇයි කිව්වෙ?”

මම පැවසුවෙමි.

“අලුත් ඇඳුමක් ඇඳගෙන හරිම සතුටින් හිටිය මැඩම් දැන් ඉන්නෙ දුකෙන් වගේ.”

“එහෙම එකක් නෑ ජ්‍යෝති.”

“නැත්තෙ නෑ. සිද්ද වෙච්ච දේවල් දැන් ඉතින් සහමුලින්ම අමතක කරන්න.”

“අමතක කළා ජ්‍යෝති. වළළලා කොන්ක්‍රීට් තට්ටු හතක් දාලා තියෙන්නෙ. ආයෙ කවදාවත් ඒ වෙනුවෙන් මම අඬන්නෙ නෑ.”

කාමරයේ දොර හැරෙන හඬින් මම තිගැස්සී එදෙස බැලුවෙමි. කාමරය පිරිසිදු කරන්නිය කාමරය තුළට පිවිසියාය. සිත තුළ වු බලාපොරොත්තුවක් කඩ වී ගියාක් බඳු හැඟීමක් මගේ සිතට දැනෙමින් තිබිණ.

“ඩොක්ට කුෂ් අද එළියට ගිහින්.”

මා දෙස විමසිලිමත් ලෙසින් බලා සිටි ජ්‍යෝති පැවසුවාය. මා ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නට ඇතැයි ජ්‍යෝති සිතන්නට ඇත. වදනක් හෝ පවසා ගත නොහැකිව මම ගොලු වී සිටියෙමි.

“සමහරවිට එනකොට හැන්දෑ වේවි.”

පිරිසිදු කරන්නිය ද පැවසුවාය.

“ඩොක්ට අනුරාධපුරේට හරි ආසයි. සමහර දවස් වලට ඇවිදින්න ගිහින් එන්නෙ මහ රෑ මැද.”

මම නිහඬව සිටියෙමි. මා ඔහු දකින්නට අපේක්ෂාවෙන් සිටි බව මට වැටහෙන්නේ දැන්ය. වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ කරුණාව, අනුකම්පාව සිත සුවපත් කරන ඖෂධයක් මෙනි. එහෙත් ඔහු දැකීමෙන් ඇතිවන චිත්ත ප්‍රීතියට මම බිය වෙමි. 

“මොනවද මම මේ හිතන්නෙ?”

ජනෙල් පෙළ දෙසට ඇවිද යන මම සිතුවෙමි. සැන්දෑ හිරුගේ රත් පැහැ කිරණ පතිතව ජාන්සි වැව දිස්වන්නේ මොන තරම් නම් සුන්දරවද කිවහොත් දෑස් ඉවතට ගැනීමට මට නොසිතිණ.

“ලස්සනයි නේද මැඩම්?”

මා පසුපසින් සිටගත් ජ්‍යෝති පැවසුවාය.

“ලස්සනයි. හැන්දෑවටත් වඩා හඳ එළිය වැටුනම වැව ගොඩාක් ලස්සනයි.”

“මැඩම්ට අපහසුවක් නැත්නම් අපි ටිකක් ඇවිදින්න යමු.”

පිරිසිදු කරන්නිය පිටව ගිය පසු ජ්‍යෝති යෝජනා කළාය.

“යමු. කාමරේ ඇතුළෙම ඉඳලා මට දැන් ඇති වෙලා තියෙන්නෙ.”

“මම වීල් චෙයාර් එකක් අරන් එන්නම්.”

“එපා.” යි මම පැවසුවෙමි.

“අපි ඇවිදගෙන යමු. හැමදාටම වඩා මට අද සනීපයක් දැනෙනවා ජ්‍යෝති.”

“එහෙම වෙන්න ඕන.”

ජ්‍යෝති මගේ හිස අත ගෑවාය. මම ඇගේ අතින් අල්ලාගෙන විදුලි සෝපානය ඔස්සේ පහත මහලට පිවිසුනෙමි. පිළිගැනීමේ නිලධාරිනිය මා දැක බොහෝ සුන්දර සිනාවක් නැගුවාය. අප සෙමෙන් රෝහල් මිදුලට පිවිසුනෙමි. විශාල බිමක වවා තිබූ දහස් පෙතියා මල් යාය මා මෙතරම් සමීපව දකින්නේ පළමු වරට නොවේද? මල් යාය අතරින් මට ජාන්සිගේ සුන්දර මුහුණ මැවි මැවී පෙනිණ. ජීවිතයෙන් සමුගෙන ගියද, ඇය වෙනුවෙන් වෛද්‍ය කුෂ්වාන්ත් සිං ඉදි කරන ලද මෙම සුන්දර ගොඩනැගිල්ල හා සමගම මට සිහි වූයේ ටජ් මහල තැනූ ෂා ජහන් රජතුමා ය. මෙය ද ටජ් මහල මෙන්ම ආදරයේ සිහිවටනයක් නොවේද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles