සුපුරුදු පරිදි කාර්යාලයේ කටයුතු වල යෙදුනද, හසිත්ගේ සිත තුළ වුයේ කැළඹීම් සහගත බවකි. ආරාධ්‍යා තමා මග හැර සිටින්නට හේතුව කුමක්දැයි කල්පනා කළ ද, ආසන්න වශයෙන් හෝ කිසිවක් සිතා ගත නොහැකිය. අවුරුදු නිවාඩුවෙන් පසුවම ඇය තමා විසින් දෙනු ලැබු එකදු දුරකතන ඇමතුමක් සමගවත් සම්බන්ධ නොවුවාය. එකදු කෙටි පණිවුඩයකටවත් පිළිතුරු නොඑව්වාය. හදිසියේම ඇය වෙනස් වීමට හේතුව සුහර්ෂා මැඩම්ද? තමා සමග කතා බහට නොයන්නැයි ඇය ආරාධ්‍යාට පවසන්නට ඇත්ද?
හසිත් බොහෝ වේලාවක් කල්පනා කළේය. එහෙත් ඔහුට කිසිවක්ම සිතා ගත නොහැකි විය.
“අද රෑට මං කොහොම හරි ආරාධ්‍යාට කතා කරනවා. කතා නොකළොත් මං ආයෙ ඒ ගෙදරට යන්නෙ නෑ.”
අවසානයේ ඔහු සිතා ගත්තේය. උදෑසන ආරාධ්‍යාට තෑගි කිරීමට රැගෙන ගිය ‘මැටි ලේනා’ ගේ දවටන ඉවත් කර ඔහු එය තම මේසය මත තබා ගත්තේ නිරන්තරයෙන් ඇය සිහි වනු පිණිසය. එහි ඡායාරූපයක් ගෙන එය ආරාධ්‍යාට යැවීමට තරම් තමා බොළඳ වුවද, ඇය එය දුටු බවටවත් පිළිතුරක් එවා නොතිබිණ.
“පුදුමයි.”
හසිත් තමාටම පවසා ගත්තේය.
“හැමදාමත් මං එනතුරු බලා හිටිය, පුංචි එකෙක් වගේ තොරතෝංචියක් නැතිව මාත් එක්ක කතා කරපු ආරාධ්‍යා හදිසියේම වෙනස් වුනේ ඇයි?”
හසිත් මැටි ලේනා දෙස බලා සිටියේය. ඒ ලේනකු නොව ලේනියක් යයි ඔහු සිතුවේ ඇඳ සිටි ඇඳුම් අනුවය. කර වටා කුඩා රේන්දයක් අල්වන ලද අත් රහිත රතු පාට ගවුම ලේනියට කදිමට ගැලපෙයි. ඇගේ දෑස් වල ආදරය සටහන් කිරීමට එය ඇඹූ තැනැත්තා කෙතරම් දක්ෂයෙකු වන්නට ඇත්දැයි හසිත්ට සිතිණ.
ධීවර කාන්තාවන් විසින් ණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් සහිත ලිපි ගොනුව තවමත් මේසය මත තිබේ. මෙයට හෝරා කිහිපයකට පෙර සහකාර මුදල් කලමනාකරු වරුණ එය භාර දුන්නද, ඉන් සුදුසුකම් සහිත කාන්තාවන් තෝරා ගැනීම සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. අවුල් වූ මනසින් යුතුව එම කාර්යය කිරීම නොකළ යුතු යයි සිතුණද, ඉක්මනින් එය ලබා දෙන ලෙස සුහර්ෂා උදෑසන සිහිපත් කළාය. හසිත් ලිපි ගොනුව අතට ගත්තේය. අයදුම්පත් සියල්ලම පුරවා ඇත්තේ ක්ෂේත්‍ර නිලධාරිනියක් විය යුතුය.
“ධීවර ගම්මානයේ බොහොමයක් ගැහැනු අයට සාක්ෂරතාවයක් නෑ. වැල්ලේ ඉපදිලා වැල්ලේම පර වෙලා යන අසරණ ජීවිත…”
ඔහුට සිතිණ. වීදුරු කාමරයෙන් එහා හදිසියේම මතු වු රුව හසිත්ගේ සිත වඩාත් කළඹන්නට සමත් විය. සුහර්ෂා වරුණ අසළ නතර වී ඔහුට කිසියම් උපදෙසක් ලබා දෙන බව පෙනේ. සිටගෙන සිටින වරුණ හිස සලන්නේ ඇය පවසන වදන් අනුමත කරන ලෙසිනි. තවත් ස්වල්ප වේලාවකින් ඇය තම කාර්යාලයට පිවිසෙන බව හසිත් දැන සිටියේය. අවුල්ව තිබූ මේසය පිළිවෙල කරද්දී ඔහු සිතූ ලෙසම සුහර්ෂා දොර හැරගෙන පැමිණියාය.
“මොකද ප්‍රශ්නෙ හසිත්?”
නැගිටින්නට සැරසුණද, හිඳගන්නා ලෙස අතින් සන් කළ සුහර්ෂා ඔහු ඉදිරියෙහි හිඳ ගත්තාය.
“මං ඇහුවෙ මොකක්ද ප්‍රශ්නෙ කියලා.”
සුහර්ෂා එක එල්ලේම හසිත්ගේ දෙනෙත් දෙස බලා සිටියේ ඔහුගේ සිත පරීක්ෂා කිරීමට මෙනි.
“මුකුත් ප්‍රශ්නයක් නෑ මැඩම්.”
“නැති වෙන්න විදියක් නෑ. මං බලාගෙන හිටියෙ සෑහෙන වෙලාවක් හසිත් කල්පනා කරනවා. වැඩ කරන වෙලාවෙ කල්පනා කරන්න කාලය ගත කරන එකටනම් සමාවක් දෙන්න බෑ හසිත්. කාලය කියන්නෙ මුදල්.”
“සොරි මැඩම්.”
හසිත් පැවසුවේ ලජ්ජාශීලී ලෙසිනි.
“විසඳුමක් නැති ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑ. කියන්න කැමති නම් කියන්න.”
“මුකුත් ප්‍රශ්නයක් නෑ මැඩම්. මං කල්පනා කරේ තාත්තා ගැන.”
හසිත් මුසාවක් පැවසුවේ සුහර්ෂාගේ සිත මෘදු කිරීමේ අරමුණෙන් යුතුවය.
“තාත්තා කතා කළාද?”
“නෑ මැඩම්. තාත්තට ෆෝන් පාවිච්චි කරලා පුරුද්දක් නෑ. මොනවා හරි පණිවිඩයක් ඇත්නම් බලාගන්න අක්කටයි අයියටයි කියලා කියන්නෙ.”
“මුදල් ප්‍රශ්නයක් නෑ නේද?”
“නෑ මැඩම්. එහෙම ප්‍රශ්නයක් නෑ.”
“හොඳයි. මං හසිත්ව හමු වෙන්න ආවෙ නෙදර්ලන්ඩ් අරන් යන සෙට් එකේ වෙනසක් කරමු කියලා කියන්න.”
හසිත් පිළිතුරු නොමැතිව බලා සිටියේය. සැබවින්ම නෙදර්ලන්තයේ චාරිකාව යාම සඳහා සත් දෙනෙකු නම් කලේ ඔහුගේ කැමැත්ත මත නොව වරුණගේ කැමැත්ත මත බව සිහියට නැගුණද ඔහු ඒ බව සුහර්ෂා සමග පැවසුවේ නැත.
“දේවකයි, චන්දනයි නෙදර්ලන්ඩ් තියා අපේ රටේ තැනකටවත් අරන් යන්න බෑ.”
සුහර්ෂා මුව කොනින් සිනාවක් නැගුවාය. එයට හේතුව කුමක්දැයි විමසීමට සිත් වුව ද හසිත් නිහඬව බලා සිටියේය.
“උන් දෙන්නා බේබද්දො. මං දෙතුන් පාරක්ම අවවාද කරලා තියෙන්නෙ. වැඩ කරන වෙලාවෙ බීලා අහු වුනොත් ආයෙ දෙකක් නෑ අස් කරලා දානවා. දක්ෂයො බව ඇත්ත. ඒත් රත්තරං කියලා පිහියෙන් බෙල්ල කපා ගන්න පුලුවන්ද?”
“ඔව් මැඩම්.”
හසිත් පැවසුවේය. පසුගිවය දිනෙක රාත්‍රී භෝජනය සඳහා පැමිණි දේවක අසළින් නිකුත් වූ මත්පැන් ගන්ධය ඔහුට සිහිපත් විය.
“අපේ ආයතනයෙ ගෞරවය විතරක් නෙමෙයි අපේ රටේ ගෞරවයත් අපි රැක ගන්න ඕන. නාන මිනිස්සු අරන් ගිහින් අපේ තැන නැති කරගන්න බෑ.”
“හොඳමයි මැඩම්.”
හසිත් එකඟ විය.
“ඒ වෙනුවට කවුද දාන්නෙ?”
“මං කල්පනා කළේ සුලක්ඛණයි, රාජිනීයි දාන්න. ඒ දෙන්නගේ පාස්පොර්ට් හෙටම ගෙන්න ගන්න. ප්‍රශ්නයක් නෑ නේද?”
“නෑ මැඩම්. මං ඒ නම් දෙක ඇතුලු කරන්නම්.”
“අනිත් අවශ්‍ය දේවල් හැමදෙයක්ම සම්පාදනය කරන එක හසිත්ට භාරයි.”
“මං ඒ ගැන බලන්නම්.”
හිඳගෙන සිටි අසුනින් නැගිටීමට සැරසුණ සුහර්ෂාගේ දෙනෙත් හසිත්ගේ මේසය මත වූ මැටි ලේනා දෙසට යොමු වූයේ නිතැතිනි. ඇය එය අතට ගත්තාය.
“ප්‍රසන්ට් එකක්ද?”
ඇය ඇසුවේ යටැසින් හසිත් දෙස බලමිනි.
“නෑ මැඩම්. එන ගමන මැටි බඩු කඩේකදි දැකලා ලස්සන නිසා ගත්තෙ.”
“ලස්සනයි තමයි.”
සුහර්ෂා මැටි ලේනා ඒ මේ අත හරවා බැලුවාය. එහි රතු පැහැති හදවතක් තුළ වූ Love අකුරු පෙළ ඇය කියවූයේ මුවගට නගා ගත් මඳහසක් ද ඇතිවය.
“හසිත් ඉන්නෙ කවුරු හරි ගැන ආදරෙන්. මං හරිද?
මැටි ලේනා මේසය මත සුරැකිව තබන සුහර්ෂා ඇසුවාය.
“විශේෂ ආදරයක් ඇති කෙනෙක් නෑ මැඩම්. මං හැමකෙනෙක්ටම ආදරෙයි.”
“හැමකෙනෙක්ම කිව්වෙ?”
“මං කිව්වෙ… මිනිස්සුන්ට… සත්තුන්ට… ගහකොළට… මුලු සොබා දහමටම…”
“දැන්ම මැරි කරන්න අදහසක් හසිත්ගෙ නැද්ද?”
“අපොයි නෑ මැඩම්…”
හසිත් ලජ්ජාශීලී ලෙසින් සිනාසුනේය. සුහර්ෂාගේ දෙනෙත් තවමත් යොමු වී තිබුනේ මැටි ලේනා කෙරෙහිය.
“මැඩම් කැමතිනම් ගන්න.”
ඔහු පැවසුවේ කාන්තා පාර්ශවය මෙවන් වස්තූන්ට දක්වන ආදරය පිළිබඳව දැන සිටි හෙයිනි.
“ඉස්සරනම් මාත් ඔය වගේ සුකුරුත්තන් වලට හරි ආසයි. ඒවා එකතු කළත් එක්ක. දැන් මගෙන් ඒ හැමදේම ඈත් වෙලා. බලාගෙන යනකොට මං දැන් අර්ධ ගෑනියක් විතරයි. කාර්ය බහුලත්වය, වගකීම් යුතුකම්… මේ හැමදේම මගේ ජීවිතෙන් සුන්දරත්වය ඈත් කරලා හසිත්.”
ඇය පැවසුවේ ශෝකයෙන් යයි හසිත්ට සිතිණ. ඔහුට ඇය පිළිබඳව ඇති වූයේ අනුකම්පාවකි.
“කමක් නෑ.”
සාරිය සකස් කරගෙන නැගී සිටි සුහර්ෂා පැවසුවාය.
“තවම වෙලාවක් ආවෙ නෑ අපට ප්‍රොජෙක්ට් රිපෝට් එක ගැන සාකච්ඡා කරන්න. මං හිතන්නෙ අපි නෙදර්ලන්ඩ් ගිහින් ආවමම ඒ ගැන සාකච්ඡා කරමු. ඒ ගමනෙ අත්දැකීම් වුනත් අපිට ප්‍රයෝජනවත් වේවි. මං යනවා.”
සුහර්ෂා හසිත්ගේ කාර්යාලයෙන් පිටවී ගියාය. දිගු සුසුමක් හෙලූ හසිත් මේසය මත වූ මැටි ලේනා අතට ගත්තේය.
*
ආරාධ්‍යා සඳලුතලයේ සිට ඈත මුහුද දෙස බලා සිටියාය. හිරු බැස යද්දී බටහිර අහස් තලයේ දිස්වන ආශ්චර්යය හැමදාමත් මෙන් ඇය විඳ ගත්තේ සතුටු සිතින් යුතුවය.
“සොබා දහමම චිත්‍රයක්. ඒක හරි අපුරුයි.”
ඇයට සිතිණ.
“සමහර දවස් වලට ඔෆිස් එකේ වැඩ ඉවර වුනාට පස්සෙ හැන්දෑවට මං ගිහින් මුහුදු වෙරළෙ වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවට හිතට ලස්සන ලස්සන අදහස් එනවා. මං ඒ අදහස් පුංචි කොල කෑලි වල සටහන් කරලා තියෙනවා.”
දිනක් උදෑසන මුහුදු වෙරළේ සිටියදී උදේ ආහාරය ගැනීම සඳහා .තම නිවසට යමින් සිටි හසිත් පැමිණ පැවසූ අයුරු ආරාධ්‍යාට සිහියට නැගිණ.
“මට දෙන්න බලන්න.”
ආරාධ්‍යා ඉල්ලා සිටියාය.
“බෑ. තරහ වෙන්න එපා.”
“ඇයි බැරි?”
“ඒවා පිට අය දකිනවට මං කැමති නෑ.”
“මං පිට කෙනෙක් කියලද හසිත් කියන්නෙ?”
ආරාධ්‍යා ඇසුවාය.
“ඇයි? ඒක වැරදිද?”
“වැරදියි. මං තමන්ගෙ කෙනෙක් කියලා හිතන්න හසිත්ට බැරිද?”
“මං හිතන්නෙ බැරි වේවි.”
දෙතොල් තද කරගත් හසිත් දෑසින් සිනාසුනේය.
“ඇයි?”
“මං කොහොමද මිස් මගේ කෙනෙක් කියලා හිතන්නෙ? ඇත්තටම මිස් මගේ කෙනෙක් නෙමෙයි.”
“එහෙමද?”
ආරාධ්‍යා හසිත් තල්ලු කරගෙන මුහුද දෙසට දිව ගියාය. ඈත සිට පෙරලී පැමිණි මුහුදු රළ වෙරලෙහි හැපී බිඳී ගියේ ආරාධ්‍යා පමණක් නොව හසිත් ද තෙමා දමමිනි.
“පිස්සි. දැන් මං ඔෆිස් එකට යන්නෙ කොහොමද?”
හසිත් ඇසුවේ අමනාපයෙනි.
“ඔහොම යන්න. අම්මා ඇහුවොත් කියන්න ආරාධ්‍යා මාව මුහුදට තල්ලු කළා කියලා.”
“වෙලාවට අද මැඩම් ඔෆිස් එකේ නෑ.”
“ඇයි? කොහේ ගිහින්ද?”
“කිව්වෙ නෑ. මං හිතන්නෙ ටිකක් වැදගත් ගමනක්. අගමැතිතුමා හම්බ වෙන්න ගියා වෙන්න ඕන.”
“හසිත් අපේ අම්මට බයයි නේද?”
ආරාධ්‍යා සරදම් කළාය.
“බය වෙන්න එපායැ මිස්? මැඩම් මගේ බොස්. මං දැන් යන්නම්. රූම් එකට ගිහින් චේන්ජ් එකක් දාගෙන ඔෆිස් එකට යන්නම්. නැත්නම් අනිත් අය හිතාවි මැඩම්ගෙ දුව මාව නාවලා කියලා.”
හසිත් සිහිපත්ව ආරාධ්‍යාගේ මුවග සිනාවක් නැගිණ. ඔහුගේ දුරකතන ඇමතුම් වලට සහ කෙටි පණිවුඩ වලට පිළිතුරු නොමැති වීම නිසා ඔහු පසුවන්නේ කැළඹීමෙන් විය යුතුය.
“සමාවෙන්න හසිත්.”
ආරාධ්‍යා තමාටම පවසා ගත්තාය.
“එහෙම ඉන්නෙ හිතකින් නෙමෙයි. ඔයාගෙම හොඳට කියලා කවදාහරි දවසක ඔයා තේරුම් ගනීවි.”
ඇය තොල් මතුලාය.
“කතා බහ කළා වගේ නෙමෙයි. ඒකෙන් ඔයා ඈත්ම වෙලා ගියොත් මෙහෙමවත් ඉඳහිටලාවත් දකින්න නොලැබෙන එක ගැන මට දුකයි.”
තම උරහිස මත කිසිවකුගේ අතක් තබනු දැනී ආරාධ්‍යා හැරී බැලුවාය.