අම්මා සහ තාත්තා මේවනවිටත් කෑම මේසයට හිඳගෙන සිටින අයුරු ආරාධ්‍යා දුර සිටම දුටුවාය. ඔවුන් දෙදෙනා හිස් ළං කරගෙන පහත් හඬින් කතා බහක නිරතව සිටින්නේ හෙට දින යාමට සූදානමින් සිටින ගමන පිළිබඳව යයි ඇයට සිතිණ. මුද්‍රණ යන්ත්‍රයක් ගැනීමට ආයුෂ් සමග යන ගමනට අම්මාගෙන් කිසිසේත්ම විරෝධයක් එල්ල නොවන බව ඇගේ හැසිරීම් රටාවෙන් පෙනේ.
“කෝ විහාරා?”
ආරාධ්‍යාට සුපුරුදු පුටුව දක්වමින් සුහර්ෂා ඇසුවාය.
“නංගි තව ආවෙ නැද්ද? මං හිතුවෙ ඇවිත් කියලා.”
ආරාධ්‍යා හිඳ ගත්තාය.
“එයාට ඉතින් කෑම කන්න එන්න කියන්නත් එක්කො වඳින්න ඕන. එක්කො බුලත් දෙන්න ඕන. එහෙම නැත්නම් ආරාධනා පත්‍රයක් දෙන්න ඕන.”
සුහර්ෂා පැවසුවේ දෙඋරහිස් හකුළමින් සිය අප්‍රසාදය දක්වමිනි.
“විහාරා එක්ක රණ්ඩු කරන්න එපා සුහර්ෂා. තව හිතුවක්කාර වෙනවා.”
“හිතුවක්කාරකම් සනීප කරන හැටි මං දන්නවා. මං තව ඉවසනවා.”
“සිද්ද වෙලා තියෙන දේවල් දැන් හොඳටම ඇති. දැන්වත් ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න.”
“හරි. මං කට පියාගන්නම්කො.”
සුහර්ෂා කවීන්ගේ පිඟානට ඉඳිආප්ප කිහිපයක් බෙදුවාය.
“දන්නවද සුහර්ෂා? මලීෂ ටෙලි ඩ්‍රාමා එකක ඇක්ට් කරනවලුනෙ. බලන්නම හිතාගෙන හිටියෙ. මට අදත් මිස් වුනා.”
“කාටද ඔව්වා බලන්න වෙලාවක් තියෙන්නෙ? ඊමේල් වගයක් යවන්න තියෙනවා. අදත් රෑ දොළහ පහු වේවි මම නිදාගන්නකොටත්.”
“මොනවා වුනත් මලීෂ දක්ෂයා. මම නිදාගන්න කලින් යූ ටියුබ් එකේවත් ඒක බලන්න ඕන.”
කවීන් පැවසුවේය. මල්ලී රඟපාන ටෙලි නාට්‍යය අතපසු නොකොට නින්දට යාමට පෙර යූ ටියුබ් එකේවත් නැරඹිය යුතු යයි ආරාධ්‍යා කල්පනා කළාය.
විහාරා මන්දගාමී ලෙසින් කෑම මේසය දෙසට පැමිණෙන අයුරු ආරාධ්‍යා හදිසියේම දුටුවාය. ඇගේ හිසකෙස් අවුල්ය. ඇඳුම් පොඩි වී ගොසිනි. ඇය තවමත් හිසරදයෙන් පසුවන්නේදැයි ආරාධ්‍යා කල්පනා කළාය. කලකට පෙර ප්‍රීතිමත් මුහුණින් යුතුව දඟකාර ලෙසින් හැසිරුණු විහාරාගේ රුව ආරාධ්‍යාගේ මතකයට නැගිණ. ඇය දිගු සුසුමක් හෙලුවාය.
විහාරා කෑම මේසයට හිඳගෙන සිටින කිසිවකු දෙස නොබලාම ශබ්ද නගා පුටුව ඇද එහි හිඳ ගත්තාය. ඇය මුනින් නවා තිබූ පිඟාන හරවා ගත්තේද ශබ්ද නැගෙන ලෙසිනි.
“කැෆටේරියා එකේ හදන පරිප්පුව නම් මෙලෝ රහක් නෑ.”
විහාරා දෙස නෙත් කොනින් බැලූ සුහර්ෂා කවීන්ගේ පිඟානට පරිප්පු හැඳි කිහිපයක් බෙදුවාය.
“ලන්ච් වලට ගෙදර එන්න වෙලාවක් නැති නිසා කනවා තමයි. මෙලෝ රහක් නෑ. කුක්ව මාරු කරලා අලුත් කෙනෙක්ව ගන්න ඕන. මොකද විහාරා ඔය කන හැටි?”
ආරාධ්‍යාට විහාරාගේ පිඟාන දෙස බැලුනේ ඉබේටමය. ඉඳිආප්ප දෙක තුනක් පමණක් බෙදාගෙන එය මතට යන්තමින් හොදි කලවම් කර ගත් ඇය අනුභව කරන්නට වූයේ කිසිවකු කෙරෙහි අවධානය යොමු නොකරමිනි.
“හොඳට බෙදාගෙන කනවා. මොකද දැන් ඔය මූණෙ හැටි? ඇදිලා ගිහින්.”
ආරාධ්‍යා, විහාරාගේ මුහුණ දෙස බැලුවාය. සැබවින්ම ඇගේ මුහුණෙහි පෙර තිබූ පිරිපුන් බව අඩු වී ඇතැයි ඇයට සිතිණ.
“පීඩිත මිනිසුන්ගේ ස්වභාවය…”
විහාරා ඇසෙන නෑසෙන හඬින් පැවසුවාය.
“දුකින් පෙලෙන්නෝ ආශීර්වාද ලද්දෝය.”
විහාරා මේ කරන්නේ රඟපෑමක්දැයි ආරාධ්‍යාට සිතිණ. අම්මා සහ තාත්තා අසළදී ඇය හැසිරෙන්නේ මානසික අවුල් භාවයකට පත් වූ ලෙසිනි.
“ජීවිතේ දුකයි. වියදම සැරයි.”
“පිස්සුද මේ ළමයට?”
සුහර්ෂා ඇසුවාය.
“ඔව්. පිස්සු. ළඟදිම මානසික රෝහලේ නතර වෙන්න වේවි.”
ආහාර ගැනීම නතර කළ විහාරා වතුර වීදුරුව පානය කළේ ශබ්ද නැගෙන ලෙසිනි. රංජනී ඇය ඉදිරියෙන් පළතුරු සලාදය තැබුවාය.
“නිවේදනයයි. කාගේත් අවධානය පිණිසයි.”
පළතුරු සලාදය බෙදා ගන්නා විහාරා ශබ්ද නගා පැවසුවාය.
“මම හෙට ගමනක් යනවා. සමහරවිට දවසකින් දෙකකින් එන්නත් පුලුවන්. සතියකින් මාසයකින් වෙන්නත් පුලුවන්. සමහරවිට නෑවිත්ම ඉන්නත් පුලුවන්.”
“යන්නෙ කොහෙද?”
කවීන් ඇසුවේය.
“දන්නෙ නෑ. මග හොඳට තියෙනවා නම් යන්න ඇස් දෙකත් පේනවා නම් කොහේ යන්න බැරිද? යනවා… ඔලුව හැරෙන අතේ යනවා.”
“පිස්සු වැඩ කරන්න එපා ළමයා.”
සුහර්ෂා පැවසුවාය.
“පිස්සො පිස්සු වැඩ නොකර ඔය මැඩම්ලා, ලෝයර්ස්ලා කරන වැඩ කරන්නෙ නෑනෙ මැඩම්.”
“මොනවා කියනවද මන්දා. වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම දාලා ගිහින් පිටරටකට වෙලා ඉන්න. මොන කරදරයක්ද මේගොල්ලො මට දෙන්නෙ?”
“ප්‍රශ්නයක් නෑ. යන්න මැඩම්. මැඩම්ගෙ විමුක්තිය හොයාගෙන යන්න. යනකොට ඔයා අර අලුතින් කාර් එකක් අරන් දුන්න කුක්කු බබාවත් අරන් යන්න.”
මුවට ළං කළ ආහාර පිඬ ආරාධ්‍යා අතින් ගිලිහිණ. විහාරා මේ පවසන්නේ හසිත් පිළිබඳව විය යුතුය. අම්මා ඔහුට මෝටර් රථයක් රැගෙන දී ඇති බව ඇය මෙතෙක් නොදැන සිටියාය.
“ඔව්. මං හසිත්ට කා එකක් අරන් දුන්නා තමයි. ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ?”
සුහර්ෂා ඇසුවාය.
“ප්‍රශ්න එකක් නෙමෙයි. ප්‍රශ්න පත්තරයක් තියෙනවා මැඩම්. මම රුපියල් පන්දාහක් දහදාහක් ඉල්ලුවම නැතිවාදම කියන මැඩම්, හසිත්ට ලෝබ නැතිව හොඳම වර්ගයේ කාර් එකක් අරන්දීම මට විතරක් නෙමෙයි. හැමෝටම ප්‍රශ්නයක්.”
විහාරා නිවසෙහි නොසිටියද, අම්මාගේ ආයතනයේ තතු තමාටත් වඩා හොඳින් ඇය දනියි. ඇයට මේ තොරතුරු පවසන්නේ කවරෙක්ද යන්න ආරාධ්‍යාට සිතා ගත නොහැකි විය.
“ආයතනයේ දියුණුව වෙනුවෙන් කැප වෙලා වැඩ කරන කෙනෙකුට වාහනයක් අරන් දීම වැරැද්දක් නෙමෙයි. මං වුනත් ඒක අනුමත කරනවා.”
කවීන් සන්සුන් ලෙසින් පැවසුවේය.
“හරි. දීකිරට බළල්ලුත් සාක්කිලුනෙ. ඔයගොල්ලො ඔක්කොම එක බෝට්ටුවේ. යමු. යමු. ඔහොම යමු මැඩම්. එක හීනෙන් එලිවෙන්නෙ නෑනෙ.”
බෙදා ගත් පළතුරු සලාදයෙන් අඩකටත් වඩා ඉතුරු කළ විහාරා කෑම මේසයෙන් නැගිට ගියාය.
“කවුද මේවා මේ කෙල්ලට කියන්නෙ?”
සුහර්ෂා තමාටම පවසා ගත්තාය.
“කේලම්කාරයා කවුද කියලා හොයලා බලලා අස් කරලා දානවා. බලාගෙන යනකොට ආයතනයේ රහස් කියලා දෙයක් නැති වෙලානෙ තියෙන්නෙ.”
“කලබල වෙලා තීරණ ගන්න එපා සුහර්ෂා. අපි රහස් කියලා හිතාගෙන ඉන්න ආරක්ෂා කරගෙන ඉන්න ගොඩක් දේවල් සමාජයට රහස් නෙමෙයි.”
හසිත්ට මෝටර් රථයක් රැගෙන දීම සම්බන්ධයෙන් පියා සහ මව අතර ගැටුමක් ඇති වෙනු ඇතැයි සිතුණද එම සිතිවිල්ල නිවැරදි එකක් නොවන බව වටහා ගත් ආරාධ්‍යා නිහඬව ආහාර ගත්තාය.
“ම්… මට කියන්න බැරි වුනානෙ.”
මඳ නිහැඬියාවකින් පසු සුහර්ෂා කටහඬ අවදි කළාය.
“මං අද නීතියේ දෙවඟන දැක්කනෙ.”
ආරාධ්‍යාට සිනා පහළ වූ අතර සිනාසෙන ඇයට කෑම හිර විය. රංජනී ඇය වෙත වතුර වීදුරුව ළං කළාය. කවීන්ගේ මුවග ද සිනාවක් නැගුණේ තමා සහ දියණිය අතර සවස් කාලයේ ‘නීතියේ දෙවඟන’ පිළිබඳව ඇති වූ සංවාදය සිහිපත් වීමෙනි.
“තනියම නෙමෙයි. ලස්සන කොල්ලෙක් එක්ක.”
සුහර්ෂා යටැසින් කවීන් දෙස බලන අයුරු ආරාධ්‍යා දුටුවාය.
“ඔව්. මොනාලිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිත්ලු ලංකාවට. සමහරවිට වෙඩින් එකත් ගනීවි ශේඛර් ආයෙම යන්න කලින්.”
කවීන් පැවසුවේ සන්සුන් ලෙසිනි. ආරාධ්‍යාට පුදුම සිතිණ. සැකය නිසා දෙදරා යන පවුල් ජීවිත දෙස බලද්දී අම්මා සහ තාත්තා අතර ඇති අවබෝධය සිතා ගත නොහැකි තරම්ය. කාර්ය බහුලත්වය නිසා දුරස් වුව ද අම්මාගේ රාජකාරි ජීවිතය පිළිබඳව තාත්තාත්, තාත්තාගේ රාජකාරි ජීවිතය පිළිබඳව අම්මාත් සියලු දෑ දැන සිටීම විස්මයජනක නොවේදැයි ඇය කල්පනා කළාය. මේසයෙන් නැගිට ගත් ඇය පියගැට පෙළ නැග්ගේ කල්පනාවෙනි. උඩු මහලට පිවිසි විගසම රංජනී දිව ආවාය.
“මොකක්ද බේබි මේ වෙන්න යන්නෙ?”
වටපිට බැලූ රංජනී ඇසුවාය.
“ඇයි රංජනී? මොකක්ද වෙලා තියෙන්නෙ?”
ආරාධ්‍යා ඇසුවේ විස්මයෙනි.
“හසිත් සර් කාර් එකකින් ආවා තමයි. මං දන්නෙ නෑනෙ මැඩම් අරන් දුන්න කාර් එක කියලා.”
රංජනී පැවසුවේ අමනාප මුහුණින් යුතුවය.
“අපට ප්‍රශ්නයක් නෑනෙ රංජනී…”
ආරාධ්‍යා සන්සුන් ලෙසින් පැවසුවාය.
“ප්‍රශ්නයක් නැත්තෙ මොකද? බේබිලාට එව්වා තේරෙන්නෙ නෑ. මට වුනත් කාලෙකින් පඩි වැඩි කළෙත් නෑ. කොහෙවත් යන එවුන්ට සැප…”
“දැන් රංජනී ගිහින් කෑම කාලා නිදාගන්න. අපි හෙට උදේ කතා කරමු.”
ආරාධ්‍යා උපක්‍රමශීලී ලෙසින් රංජනී පිටත් කර හැරියේ විහාරාගේ කාමරයේ ඒවනවිටත් විදුලි පහන් දැල්වෙමින් තිබූ නිසාත්, දොර සම්පූර්ණයෙන්ම හැර දමා තිබූ නිසාත්ය. ආරාධ්‍යා කාමරයට ඇතුලු වූවාය. විහාරාගේ යහන මත ඇඳුම් රැසක් තබා තිබිණ. ඒවා එකින් එක ගෙන ගමන් බෑගයක තැන්පත් කරමින් සිටි විහාරා හැරී බැලුවාය.
“හෙට උදෙන්මද යන්නෙ?”
විහාරාගේ යහන මත හිඳ ගත් ආරාධ්‍යා ඇසුවාය.
“වෙනදා වෙලාවට යනවා අක්කෙ.”
කෑම මේසයේදී විහාරා දැක්වූ අවුල් සහගත ස්වභාවය මවා පෑමක් බව සිතෙන්නේ ඇය දැන් හැසිරෙන් සන්සුන් ස්වභාවය දකිද්දීය.
“කොහෙද ෂූටින් තියෙන්නෙ?”
විහාරා අන්දමන්දව ආරාධ්‍යා දෙස බැලුවාය.
“ම්… මේ…ටිකක් දුරක. මට නම මතක නෑ.”
“ගියාට පස්සෙ මට කෝල් එකක් දෙනවා නේද?”
“බලන්නම්.”
මුහුණ සඟවා ගත් විහාරා පවසද්දී ඇය ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා යන බව මුසාවක් යයි ආරාධ්‍යාට සිතිණ. ඇය සුහේල් පිළිබඳව ආරංචියක් ලැබ ඔහු සොයා දුරක යනවා විය යුතුය.
“කොහේ ගියත් පරෙස්සමෙන්.”
ආරාධ්‍යා පැවසුවාය.
“බලමු.”
යහන මත වූ ඇඳුම් සියල්ලම ගමන් බෑගය තුළට එබූ විහාරා කීස් හඬින් සිප් එක ඇද එය වසා දැමුවාය.
“අක්කා ගිහින් නිදාගන්න. මම උදෙන්ම යන්නෙ නෑනෙ.”
විහාරා පැවසුවේ තමා ඇගේ කාමරය තුළ රැඳී සිටීම ඇයට හිරිහැරයක් වූ කලෙක මෙනි.
“ගුඩ් නයිට්…”
යහන මතින් නැගී සිටි ආරාධ්‍යා පැවසුවද, විහාරාගෙන් පිළිතුරු සුබ පැතීමක් නොලැබිණ. දිගු සුසුමක් හෙලූ ආරාධ්‍යා කාමරයෙන් පිට වූවාය.