සිහින අසපුව – 25 කොටස

හසිත් සුහර්ෂා නිවසේ ආලින්දයෙහි ඒ මේ අත ඇවිදින්නට වූයේ කල්පනාවෙනි. ආලින්දයේ එල්ලා ඇති මල් පෝච්චියක් කරා පියඹා ආ කොණ්ඩ කුරුල්ලාගේ තුඩග පොල් කෙන්දක් ඇති බව ඔහු දුටුවේය. හිස ඒ මේ අත හරවමින් වටපිට බැලූ කොණ්ඩ කුරුල්ලා මල් පෝච්චිය තුළට බැස ගත් අතර ඉන්පසු දර්ශනය වූයේ උගේ හිස පමණකි.

“කූඩුවක් හදනවා.”

හසිත්ට සිතිණ.

“කූඩුව හදන්නෙ කුරුල්ලා වෙන්න ඇති. ගැබ්බරින් ඉන්න කිරිල්ලිව වෙහෙස කරන්නෙ නැතිව කුරුල්ලා වෙහෙස වෙන තරමක්. හරියට මනුස්ස ලෝකෙ වගේමයි.”

කොහේදෝ සිට පියඹා ආ කිරිල්ලිය මල් පෝච්චියේ ගැට්ට මත වැසුවාය. ඇය හිස ඒ මේ අත හරවමින් වටපිට බලන්නේ ඉදි කරමින් ඇති කැදැල්ල කඩා බිඳ දැමීමට සතුරෙක් අසළක ඇත්දැයි පරීක්ෂා කිරීමට මෙනි. තවත් ස්වල්ප වේලාවකින් කුරුල්ලාත්, කිරිල්ලියත් යන දෙදෙනාම ඉවත ඉගිල යන අයුරු හසිත් බලා සිටියේය.

“කූඩුව හදලා තව ටික දවසකින් බිත්තර දමාවි. බිත්තර රකීවි. පැටව් එළියට ඒවි. ඒ පැටවු ආරක්ෂා කර ගන්න කුරුල්ලටයි කිරිල්ලිටයි මොන තරම් වෙහෙසක් දරන්න වේවිද?”

හසිත්ට සිතිණ. 

එක් අතකින් කොස්සක් රැගත් රංජනී ආලින්දයට පිවිසියාය. ආලින්දයේ සිටින හසිත් දුටු සැනින් ඇය අතින් කොස්ස අත හැරිණ.

“හසිත් සර් කීයටද ආවෙ? මම දන්නෙවත් නැහැනෙ. කාර් එකේ සද්දයක්වත් ඇහුනෙ නෑ.”

රංජනී පැවසුවාය. 

“මං ආවෙ බයික් එකේ රංජනී. වැඩි වෙලාවක් ගියේ නෑ. මං ආවෙ දැන් වගේ.”

“කෑම නම් ලෑස්තියි සර්. ගිහින් කාලා ඉඳිමු. සර්ට කරපිංචා කැඳ හදන්න කියලා මැඩම් කිව්වා.. යමු. මම රත් කරගෙන එන්නම්.”

කොස්ස පසෙක තබා ගෙතුළට යන්නට සැරසුණද, හසිත් ඇයට බාධා කළේය. 

“දැන්ම බඩගිනි නෑ. පස්සෙ පුලුවන්.”

රංජනී නතර වූවාය. හසිත්ගේ දෙනෙත් තුළින් ඔහුගේ සිත විනිවිද දැකීමට මෙන් ඇය බලා සිටියාය. 

“බේබිලා නම් ගෙදර නෑ.”

ස්වල්ප වේලාවකට පසු රංජනී පැවසුවාය.

“අපේ සර්රුයි, ලොකු බේබියි මහත්තයෙක් එක්ක කොළඹ ගියා.”

සුහර්ෂා ද එසේ පැවසූ බව මතකයට නැගුණද, රංජනී එසේ පවසද්දී ඔහුගේ සිතට දැනුනේ පරාජිත හැඟීමකි.

“මහත්තයෙක් කිව්වෙ?”

“අපේ සර්ගෙ යාලුවෙක්ගෙ පුතෙක්. මොකක්ද මැෂින් එකක් බලන්න යනවා කියලා කිව්වෙ.”

“ආරාධ්‍යා දන්නවයැ මැෂින් බලන්න?”

“ඒකතමයි. ඒ මහත්තයගෙ හිතේ අපේ බේබිව බඳින්න අදහසක් තියෙනවද කවුද දන්නෙ?”

රංජනී එල්ලය බලා පහර විද්දාය. හසිත්ගේ මුහුණ මැලවී යන අයුරු දුටු ඇගේ සිතට කුරිරු සතුටක් දැනිණ.

“මැඩම්ව රවට්ටගෙන කාර් එකක් ගත්තා මදිවට බේබිවත් රවට්ට ගන්න වෙන්න ඇති හිතුවෙ. එක් අතකට හොඳ වැඩේ.”

රංජනීට සිතුවාය.

“පොඩි බේබිත් ඔන්න තඩි බෑග් එකකුත් උස්සගෙන ගෙදරින් ගියා. අනේ මන්දා සර්. අපේ ගම්වල නම් මේ සිද්ද වෙන දේවල් වලට කැලෑ පත්තරත් ගහලා. ගෑනු ළමයි ඔහේ හිතුමතේ ගෙදරින් යනවා. දෙමව්පියන්ටත් ගානක් නෑ ඉතින්. මොනවා වුනත් ඉතින් අන්තිමේදි සල්ලි කුට්ටියක් එක්ක ලොකු මිනිහෙක්ට කසාද බන්දලා දේවි.”

හසිත් සිත්පිත් නොමැත්තෙකු සේ අසා සිටියේය. රංජනී අද මෙතරම් විවෘත ලෙස කතාබහ කරන්නේ නිවසෙහි කිසිවකු නොමැති බැවින් විය යුතු යයි ඔහුට සිතිණ. ඔහු කිසිත් නොපැවසුවේය.  කවුරු කෙසේ පැවසුවද, ආරාධ්‍යා සහ විහාරා පිළිබඳව අපැහැදීමක් සිත තුළ කිසිසේත්ම ඇති නොවෙයි. 

“ඔව්වා ඔහොම තමයි සර්. ඇවිත් කෑම කාලා ඉන්න. අනිත්මේදි මෙතන පරක්කු වුනොත් සර්ට මැඩම් දොස් කියාවි. මං කැඳ රත් කරගෙන එන්නම්.”

රංජනී ගෙතුළට ගියාය. හසිත් පුටුවක් මත හිඳ ගත්තේය. දැන් සියල්ල පසක් වෙමින් ඇතැයි ඔහුට සිතිණ. ආරාධ්‍යා තමා මග හරින්නේත්, දුරකතන ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නේත් ඇය තම අනාගතය තීරණය කර ඇති බැවින් විය යුතුය.

“කමක් නෑ.”

ඔහු සිත හදාගත්තේය. 

“ආරාධ්‍යාට හොඳක් වෙනවනම් මට ඕන කරන්නෙ එච්චරයි. අපි කවදාවත් ආදරයක් ගැන කතා කරලා නෑ. එයා මට සහෝදරයෙකුට වගේ සැළකුවා වෙන්න බැරිද? ආරාධ්‍යා වගේ කෙනෙක්ව ජීවිතේට ළං කරගන්න මම කවුද? එයාට හොඳක් වේවි. ඈත අහසෙ තරුවක් දිහා බලාගෙන සතුටු වෙනවා වගේ මම එයා දිහා බලාගෙන සතුටු වෙනවා.”

හදවත තුළ සියුම් වේදනාවක් දැනෙමින් තිබුණද, ඔහු සිත හදාගන්නට තැත් කළේය.

“මෙච්චර සැප සම්පත් දාලා ආරාධ්‍යාව මං වගේ කෙනෙක්ට බන්දලා දෙන්න මැඩම් කවදාවත් කැමති නොවෙන බව විශ්වාසයි. මට කියලා ඉන්නෙ අප්පච්චි විතරයි. අම්මා කෙනෙක් කියලා මං දැකලා තියෙන්නෙ අම්මගෙ ෆොටෝ එක විතරයි.”

හසිත් කල්පනා කළේය.

“යමු සර්.”

රංජනී පැමිණ කතා කළාය. ආහාර ගැනීමට සිතක් නොවුව ද, කුසගින්නේ සිටීම නිසා තම අසනීප තත්වය වර්ධනය විය හැකි බව සිහිපත් වූයෙන් හසිත් නැගී සිටියේය.

                    *

රත්මලානෙහි පිහිටා තිබූ මුද්‍රණ යන්ත්‍ර අලෙවි සැලකින් අලුත්ම මුද්‍රණ යන්ත්‍රයක් මිළ දී ගැනීමට ආයුෂ් තීරණය කළේ කවීන්ගේ ද උපදෙස් පරිදිය. මුද්‍රණ කර්මාන්තය පිළිබඳව කිසිවක් නොදැන සිටියද,  මුද්‍රණ යන්ත්‍රය දකිද්දී ආරාධ්‍යා තුළ ඇති වූයේ සතුටකි. එක් අතකින් නිකරුනේ කාලය ගත කිරීමට වඩා මෙවන් කර්මාන්තයක් සමග සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයකැයි ඇයට සිතිණ. කවීන්ගේ උපදෙස් මත එයට අත්තිකාරම් මුදලක් ලබා දෙන්නට තීරණය කළ පසු ආයුෂ් තුළ ඇතිව තිබු සතුට ඔහුගේ දෙනෙතින් පළවන්නේ යයි ආරාධ්‍යා කල්පනා කළාය.

“කටර් එකයි, බයින්ඩින් මැෂින් එකයි, ප්ලේට් මේකර් එකයි අපි මෙතනින්ම ගනිමු නේද අංකල්?”

ආයුෂ් යෝජනා කළේය.

“ඔව්. ඔක්කොම එක තැනකින්ම ගන්න එක හොඳයි. ලොකු ඩිස්කවුන්ට් එකකුත් වැටෙනවනේ පුතා.”

කවීන් අනුමත කළේය. 

“කම්පියුටර් ඩිපාට්මන්ට් එකට ඕන කරන හැම දෙයක්ම මගේ යාලුවෙක්ගෙ ප්ලේස් එකකින් ගන්න පුලුවන්. ඒ හැමදේම මෙහේ ඉන්න දවස් දෙක තුනේ පිළිවෙලක් කරගත්තා නම් හොඳයි.”

“ඕනම දේකට මට කතා කරන්න පුතා. වැඩ අඩු වෙලාවක මට එන්න පුලුවන්. පුතාට තනියට ඕනනම් ඇවිත් ආරාධ්‍යාව එක්ක යන්න පුලුවන්නෙ.”

ආයුෂ් ආරාධ්‍යා දෙස බැලුවේය. ඇය එය අනුමත කරමින් හිස සැලුවාය.

“හරි. අපි එහෙනම් මේ ප්‍රින්ටිං මැෂින් එකේ කලර් සෙට්එකක් ප්‍රින්ට්කරලා බලලම ඇඩ්වාන්ස් කරමු නේද? ඒ ගැන කතාකරලම අපේ බිල්ඩින් එක බලන්න යමු.”

කවීන් සහ ආයුෂ් කළමණාකරු හමුවන්නට ගිය පසු  ආරාධ්‍යා පසෙක හිඳගෙන සිටියාය.

“ජීවිතේ කිසිදවසක බලාපොරොත්තු නොවුන අන්තයක මම නැවතිලා.”

පසුගිය රාත්‍රියේ නින්දට පෙර යූ ටියුබ් එක ඔස්සේ නැරඹූ, මලීෂ රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යයේ එක් ජවනිකාවක මලීෂ පැවසූ වදන් ඊයම් බරු සේ හදවත තුළට කිඳා බැස ඇති ආකාරය පුදුම සහගතය.  එහි මලීෂ රඟ දක්වන්නේ විප්ලවකාරී තරුණයකුගේ භූමිකාවකි.

“ටෙලි නාට්‍යයක වුනත් මලීෂ කියපු දේවල් මගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වුන ආකාරය පුදුමයි.”

ඇයට සිතිණ.

“හසිත් අදත් පුරුදු විදියට ගෙදර එන්න ඇති. රංජනී කියන්න ඇති මමයි තාත්තයි ආයුෂ් එක්ක කොළඹ ගියා කියලා. අනේ… හසිත්ට මොනවා හිතෙන්න ඇද්ද?”

ජනේලයෙන් පිටත පෙනෙන අහස දෙස බලාගෙන ඇය කල්පනා කළාය. එකදු වලාකුළක් හෝ දක්නට නොමැති අහස නිල්ම නිල් පැහැතිය. ඇතැම් දින වල මුහුදු වෙරළේදී හමු වූ අවස්ථා වල  නිල් අහස දෙස බලාගෙන හසිත් පවසන වදන් ආරාධ්‍යාට සිහිපත් වන්නට වුව ද, ඇය එය අමතක කරන්නට උත්සාහ කලේ මතකය සිත බෙහෙවින් රිදවන බැවිනි.

“කමක් නෑ. මං හැමදේම කළේ හසිත් වෙනුවෙන්. මං නිසා හසිත්ට හැමදේම අහිමි වෙන්න දෙන්න බෑ. හසිත් හොඳ අනාගතයක් තියෙන කෙනෙක්.”

ආයුෂ් සහ පියා තමා සිටින දෙසට පැමිණෙමින් සිටි බැවින් ආරාධ්‍යා නැගී සිටියාය.

“හැමදේම හරි. ප්‍රින්ට්න් මැෂින් එකේ ටෙස්ට් රන් එකට දවසක් දාගත්තා. අපි වැඩට ගන්න හිතාගන ඉන්න මැෂින් ඔපරේටර් එක්ක එන්න ඕන ටෙස්ට් රන් එකට.”

ආයුෂ් පැවසුවේ තෘප්තිමත් මුහුණින් යුතුවය.

“ඔන්න ආරා දැන් ඉතින් අපි දෙන්නට එක දිගටම මහන්සි වෙන්න වේවි.”

“ඔයාට ඕනම උදව්වක් කරන්න මම සූදානම්.”

කවීන් දියණිය දෙස බලා මිහිරි සිනාවක් පෑවේය. ආරාධ්‍යා මෙන්ම විහාරා ද මලීෂ ද මුදු සිත් ඇත්තන් වූවා නම් ජීවිතය මොන තරම් සුන්දර විය හැකිදැයි ඔහු කල්පනා කළේය.

“ආරේ හැටි.”

කවීන්ට සිතිණ.

“ආරාධ්‍යාට සුහර්ෂගේ අම්මගේ ගතිගුණ පිහිටලා තිබුණට විහාරටයි මලීෂටයි පිහිටලා තියෙන්නෙ සුහර්ෂගෙ තාත්තගෙ ගතිගුණ.”

නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ සුහර්ෂාගේ පියා බොහෝ දැඩි පුද්ගලයකු වූ අතර, ඔහු සහ තමා අතර ගැටුමක් නිර්මාණය වූයේ තමා පෙනී සිටි නඩුවකින් පොලීසිය පැරදුනු දින සිට බව ඔහුට සිහිපත් විය.

“අඩුම තරමේ… අඩුම තරමේ… මම උගේ මාමණ්ඩි කියලා හිතන්න තිබුනා. මට සිද්ද වුනේ සුලුපටු අවනම්බුවක් නෙමෙයි.”

ඔහු පවසා තිබූ බව ආරංචි විය. එදින සිටම සුහර්ෂාගේ පියාගෙන් ප්‍රතික්ෂේප වූ තමා ඔවුන්ගේ නිවසට යාම අත්හිටවූ නමුත් සුහර්ෂා පමණක් දෙමව්පියන් දකින්නට ඉඳහිට එහි ගියාය. දැන් සුහර්ෂාගේ දෙමාපියන් බොහෝ මහලු වියට පත්ව සිටියද, තමාට තවමත් ඉද්දමල්ගොඩ වලව්ව තහනම් කලාපයක් බවට පත් වී තිබීම එක් අතකින් හාස්‍යජනකය.

“පිස්සු. සුහර්ෂාට පිහිටලා තියෙන්නෙත් ඔය දැඩි ගතියම තමයි.”

ඔහු මඳ සිනාවෙන් යුතුව සිතුවේය.

“අංකල්… ලොකු කල්පනාවක නේද?”

ආයුෂ්ගේ හඬින් කවීන් කල්පනාවෙන් මිදුනේය.

“දැන් වැඩ ඔක්කොම ඉවරයි නේද පුතා?”

“ඉවරයි. බිල්ඩින් එක බලන්න යන්න විතරයි තියෙන්නෙ. අපි ලන්ච් අරගෙන ඉවර වෙලාම ඒක බලන්න යමු.”

ආයුෂ් යෝජනා කළේය.

“ආරාධ්‍යා මොකද කියන්නෙ?”

“තාත්තගෙයි ආයුගෙයි කැමැත්තක්.”

මෝටර් රථයට පැමිණි පසු ආරාධ්‍යාට වෙහෙසක් දැනිණ. පසුගිය රාත්‍රියේ නිසි නින්දක් නොලැබීමත්, උදෑසනම පිබිදීමත්, ගමන් වෙහෙසත් නිසා දෙනෙත් නින්දට අත වනන්නාක් මෙනි. ඇය දෙනෙත් පියාගත්තාය.

“ආරට මහන්සි වගේ අංකල්.”

ආයුෂ් පවසන හඬ ඇයට සිහිනයෙන් මෙන් ඇසිණ.

“ගෙදරමනෙ ඉන්නෙ. මල වගේ. චුට්ටක් එළියට ආවම ඉක්මනින්ම වෙහෙස වෙනවා. ඒකට අපේ විහාරා? ගල් ගෙඩිය වගේ.”

“විහාරා විහාරා කිව්වට මම නංගිව දැකලම නෑනෙ අංකල්. මල්ලිවත් දකින්න ආසයි.”

ජනාකීර්ණ වීදියක් ඔස්සේ රිය පදවන ආයුෂ් පැවසුවේ ඔවුන් දැක ගැනීමට ඇති ආශාව නිසාය.

“විහාරා අද ඔන්න යාලුවෙක්ගෙ ගෙදර යන්න කියලා ගියා. ගෙදරක ඇත්තෙම නෑ පුතා. ආරාධ්‍යා වගේ නෙමෙයි. කොල්ලා වගේ. එකතැනක ඉන්න බෑ. මලීෂ නම් ටෙලි ඩ්‍රාමා එකක ඇක්ට් කරනවා. මේ දවස් වල ෂූටින්ලු.”

කවීන් පැවසුවේ සිතට විරුද්ධවය. සැබවින්ම බාල දියණිය හා පුතා ගැන තමා සැබෑ තොරතුරු කිසිවක්ම නොදන්නා බව ඔහුට සිහිපත් වූයේ වරදකාරී සිතිවිල්ලක් ද සමගිනි.

“පිටස්තර මිනිස්සු බිස්නස් එකට දාගන්නවට වඩා මම කැමතියි අපේම අයට වගකීම් දෙන්න තිබුනනම්. පබ්ලිකේෂන් එක පටන් ගත්තට පස්සෙ නංගියි මල්ලියි කැමති නම් ජොයින් කරගනිමු.”

“අපි කැමතිද කියලා අහලා බලමු පුතා.”

ගාලුමුවදොර සුපිරි හෝටලයක රථ අංගනයේ ආයුෂ් මෝටර් රථය නතර කළේය.

“ආරා…”

ආරාධ්‍යා දෙනෙත් හැරියාය. පසෙකින් පැරණි ගොඩනැගිලි වලින් යුත.් හෝටලයත්, අනෙක් පසින් නිල් පැහැති මුහුදත් දකිත්ම ඇගේ සිතට ඇති වූයේ සුන්දර සිතිවිලි සමුදායකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles